(ආරියරත්න රණබාහු)

අද පෙරවරු 10.30ට රැස්වූ පාර්ලිමේන්තුව ඒකාබද්ධ විපක්ෂයෙන් මන්ත්‍රීවරුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් පෙරවරු 11.30ට අත්හිටුවීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කළේය.

සමෘද්ධි දීමනාව කපා හැරීම පිළිබඳ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රශ්නයක් මතු කළ අතර ඒ සඳහා පිළිතුරු දීමට සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන ඇමැති එස්.බී.දිසානායක මහතා සබාවේ නොසිටියේය.

ඉන් පසු කළු පටි බැඳගත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු විරෝධතා පුවරු ඔසවමින් විනාඩි 15ක පමණ කාලයක් සබාවේ උද්ඝෝෂණය කළහ.

සමෘද්ධි දීමනාව කපා හැරීම පිළිබඳ එක්සත් ජාතික පක්ෂය ලෙස තමන් ද විරුද්ධ බව නියෝජ්‍ය ඇමැති අජිත් පී.පෙරේරා මහතා ප්‍රකාශ කර සිටි අතර නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා ද ඊට විරුද්ධ බව ප්‍රකාශ කළ අතර එසේ නමුත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු අද පැවැත්වීමට නියමිත මහ බැංකු විවාදය මග හැරීම සඳහා සංවිධානය වී මෙම විරෝධතාවය සිදුකරන බවත් කියා සිටියේය.