ඩයනා උදයංගනී

ජාතික ලැයිස්තුවෙන් පැමිණි දෙතුන් දෙනෙකු එක්සත් ජාතික පක්ෂය විනාශ මුඛයට ඇද දමා ඇතැයි එම පක්ෂයේ උපනායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායක මහතා පැවසීය.

කිසිඳු ජනපදනමක් පවා නොමැති එම සුළුතරය විසින් පක්ෂයට සිදුකර ඇති විනාශය යළි ආපස්සට හැර වීමට නොහැකි තරම් බරපතළ වී ඇතැයිද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

 මෙම තත්ත්වය හමුවේ පක්ෂය තුල රැඩිකල් වෙනසක් සහිත ප‍්‍රතිසංවිධානයක් සිදුවිය යුතු බවත් තරුණ කොටස් සඳහා ඉදිරියට පැමිණීමට අවස්ථාව සලසා දිය යුතු බවත් රවි කරුණානායක මහතා කියා සිටියේය.
         
රවී කරුණානායක මහතා මේ බව පැවසුවේ මෝදර, කිඹුලාඇල ප‍්‍රදේශයේ ක‍්‍රීඩා සංගම් සඳහා ක‍්‍රීඩා භාන්ඩ ප‍්‍රදානය කිරීම වෙනුවෙන් අද (01) උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
         
තමා සම්බන්ධයෙන් සොයාබැලීමට පක්‍ෂය විසින් මාරපන කමිටුව පත් කළ බව ද පැවසූ කරුණානායක මහතා ජනවරමක් නොමැති අය ජනපදනමක් තිබෙන  තමා වැනි  අයෙකු පිළිබඳව තීරණ ගන්නේ කෙසේ දැයි ප‍්‍රශ්න කරන බව ද කියා සිටියේය.