(නිමල කොඩිතුවක්කු)
 
අගොස්තු මාසය අවසන් වනවිට සමෘද්ධි ප‍්‍රතිලාභ හිමිවිය යුතු සෑම පවුලකටම සමෘද්ධිය  ලබා දෙන බව ප‍්‍රථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා කොළඹදී පැවසීය.
 

දේශපාලන භේදයකින් තොරව සමෘද්ධිය  හිමිවියු යුතු නියම සුදුස්සන් තෝරා ගැනිම වෙනුවෙන් ගම් මට්ටමින් කමිටු පිහිටුවන බවත් අමාත්‍යවරයා බවත් සදහන් කළේය.
 
රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවනාගාරයේ අද(07) පැවති මාධ්‍ය හමුවකදී  ඔහු මේ බව පැවැසීය.
 
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ප‍්‍රථමික කර්මාණ්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා මෙසේ ද කීවේය.
 
   ‘‘මම ඉස්සෙල්ලම අයවැයෙන් මුදල් ඉල්ලුවා ලක්ෂ හයකට සමෘද්දිය ලබා දෙන්න.  දැන් මේකට ගොඩක් අය දොස් කියනවා දුප්පත් කම වැඩිකරනවා කියළා.  එක්සත් ජාතික පක්ෂයෙන් ජනසවිය පටන් ගත්තේ  අවුරුදු දෙකකට සමෘද්දිය ලබා දීලා අවුරුදු දෙකක් ඇතුළත  ඔවුන්ව සවි බල ගන්වයි.  නමුත් ගිය රජය මේක දේශපාලන ව්‍යාපාරයක්  කරගෙන ලක්ෂ 14කට සමෘද්ධිය ලබා දුන්නා.  
සමහරු අවුරුදු  21ක් තිස්සේ සමෘද්ධිය ලබා ගන්නවා. සියයට 83ක්ම අවුරුදු 15ක් තිස්සේ සමෘද්ධිය ලබා ගන්නවා. මේ බොහෝ දෙනෙක් එක්ක කතා කරහම ඒ හැමෝන්ටම තියෙන්නේ රජයෙන්ම යැපෙන මානසිකත්වයක්.  සංගණනයක් කරලා බලපුවහම  ඇත්තටම සමෘද්ධිය ලැබිය යුතු උදවියට නෙමෙයි සමෘදධිය  ලැබිලා තියෙන්නේ.
 
ප‍්‍රදේශීය ලේකම්වරුන්ගෙන් සමෘද්ධිය හිමිවිය යුතු අයගේ ලයිස්තුවක් අරගෙන අපි දැන් වෙනකොට  ලක්ෂ හයකට ආසන්න ප‍්‍රමාණයකට සමෘද්ධිය ලබා දීලා තියෙනවා. 
 
 
තවත් අසාධාරණයට ලක්වූ පිරිස් ඉන්නවා. තමන්ට සමෘද්ධිය ලැබිය යුතුයි කියලා හිතන ඒ හැම කෙනෙක්ම සමෘද්ධි  අධ්‍යක්ෂ ජනරාල්තුමන්ට ලිපියක් යොමු කළ යුතුයි.  දැනට අයදුම්පත් ලක්ෂ තුනහමාරක් මට ලැබිලා තියෙනවා.  ගම්මට්ටමින් කමිටු පත් කරලා  ඇත්තටම සමෘද්දිය  හිමිවය යුතු අයට අගෝස්තු අන්තිම වෙන්න කලින් සමෘද්ධිය ලබාදීමට කටයුතු කරනවා’’ යැයිද අමාත්‍යවරයා එහිදී පැවැසීය.