" අර බේත වැඩකරලා නැහැ වගේ "
වසන්ති කිව්වේ ඇවිළෙන ළිප දිහා බලාගෙන.
" කොහොමද දන්නේ "
අජිත් ඇහුවේ බත් පිඟාන දිහා බලාගෙන"
" දැන් දඟලනවා වගෙත් දැනෙනවා "
" බෙහෙත ගන්නකොට පරක්කු වැඩි ඇති "
අජිත්ගේ කටහඬ ඇහෙන නෑහෙන ගානයි.
" එක අතකට අපි කරන්න හැදුවේ මොන අපරාධයක්ද ?
මේත් අපේම දරුවෙක්නෙ.
වසන්තී බත් පිඟාන අතගගා ඉන්න අජිත් දිහාවට හැරුණා.
" ඒක ඇත්ත
ඒත් අපි වෙන මොනවද කරන්නේ.
මේ වයසට තවත් දරුවෝ හදන්න පුළුවන්ද?
ඔයාට දැන් හතළිස් තුනක්.මට පනහක්.
ලොක්කි ලබන අවුරුද්දේ බඳිනවා.මද්දු උසස් පෙළ ලියනවා.
චූටිට නම් ගානක් වෙන එකක් නැහැ."
" අනික ලොක්කි බඳින්න ඉන්න ගෙදර කට්ටියට මූණ දෙන්නේ කොහොමද?
ගමේ එකාලා මොනවා නොකියයිද ?
අජිත් කිව්වේ සාලෙට ඇතුළුවෙන දොර දිහාවට එබිලා දරුවෝ කවුරු හරි එනවද කියලා බලන ගමන්.
" මම ඕක කලින්ම කිව්වා.
මම මොන තරම් පරෙස්සම් වුණාද?
ඔයාගෙන් තමයි බේරෙන්න බැරි වුණේ."
වසන්ති සැරවුණා
" මටම දොස් කියන්නේ මොකද .මාත් ඉතින් හුස්ම වැටෙන මිනිහෙක්නේ.පෙති බොමුයි කියලා කිව්වහමත් මහත් වෙනවයි කියලා බෑ කිව්වෙත් ඔයාමනේ.
මිඩ් වයිෆ් නෝනත් කී පාරක් නම් ගෙදරටම ඇවිත් කිව්වද ක්ලිනික් එක පැත්තේ එන්න කියලා.
වැඩ, වැඩ කිය කියා ඔයාමනේ මග ඇරියේ."
අජිත් නිදහසට කරුණු කිව්වා.
" එක අතකට චූටි හම්බවුණු වෙලාවෙම මිසීලා කියපු විදියට ඔපරේෂන් එක කරගෙන ආවනම් ඉවරයි.
ඔයානේ කොල්ලෙකුත් ඕනෑමයි කියලා හිටියේ"
" මේ පාර කොල්ලෙක්ද දන්නේ නෑ "
අජිත්ගේ ඇස් දිලිසුණා.
" විකාර
මම මේ දෙලොව රත්වෙලා ඉන්නවා
ඔයා එනවා සුරුට්ටු පත්තුකරන්න."
ළිපට පිඹින්න පාත්වෙන ගමන් වසන්තී අජිත්ට පිම්බා.
" නැවි නැවී ළිපට පිඹින්නේ ගෑස් එකෙන් උයන්නකෝ "
" හොඳට ඉඳී
වත්තේ මේ තරම් දර පොල් කොළ තියෙද්දී
ගෑස් එක පිරිමහගන්නවා හදිස්සියකට"
" ඒක නෙවෙයි
උදේට ඔක්කාරෙ එනවා .නවත්තගන්න බැහැ
දැන් කොයි වෙලාවක හරි ලොක්කිට මේක දැනෙනවා.
ඊයේ මගෙන් ඇහුවා ,අම්මා ලෙඩින්ද
මූණත් සුසුමැලි වෙලා කියලා."
පහුවදා පාන්දර හතරට එලාම් එක වදිනවා වසන්තිට ඇහුණේ නැහැ.ඇඟේ කෙඩෙත්තුවට හොඳටම නින්ද ගියා.ඇහැරෙනකොට පහමාරයි.වැඩට ගෙනියන්න බත් බැඳගන්න බැරි වුණා.ඉස්කෝලෙ යන දෙන්නට නම් පරිප්පු උයලා සම්බෝලයක් කොටලා බත් බැඳලා දුන්නා.බත් බඳිද්දී ආපු ඔක්කාරය නවත්තගන්නම බැරි වුණා.ගේ පිටිපස්සේ පොල් ගහ බදාගෙන වමනෙ කරනකොට මද්දු තමයි පිට අතගෑවේ,
" අම්මා ඊයේ රෑට මොකුත් කෑවෙි නැහැනේ
බඩ හිස් වෙලා ඇති" කියමින්
අජිත්, වත්තම් කරගෙන ඇඳට එක්කරගෙන ආවා.
හැමෝම පිටවෙලා ගියාට පස්සේ උදේ වරුවෙම වසන්ති කළේ නිදාගන්න එක.දොළහට විතර ඇහැරුණේ අල්ලපු වත්තේ ඉන්න අජිත්ගේ අම්මා ඇවිත් කතාකරන සද්දෙට.
" මොකෝ මේ ගිනි දවල් දොරවලුත් වහගෙන නිදි.
මිදුල වත් අතුගාගෙන නැහැ.
ගෙවල් මිදුල් පාළුවට ගිහින් "
නැන්දම්මා ආවෙම ආඩාපාලි කියාගෙන.
ඒත් ගෙනත් තියන කොස් පිඟාන දැක්කම වසන්තිට කන්නම හිතුණා.නැන්දම්මා ඉන්දැද්දිම උණු උණු කොස්වලට පොල් සම්බෝලත් දාගෙන කෑවා.
නැන්දම්මා බලාගෙන හිටියේ අමුතු විදියට.
" මොකද මැලවිලා ගිහිං.
අසනීපයක් වත්ද?"
" ඔව් අම්මේ
බඩේ අමාරුවක්.
ඊයේ දවසටම මොකුත්ම කන්න බැරි වුණා.ඔළුව උස්සගෙන ඉන්න පණ නෑ කැරකිල්ල වගේ ."
" ඉතිං බං බෙහෙත් ටිකක් ගන්න එපායැ "
එහෙම කියපු නැන්දම්මා ඉදල හොයාගෙන මිදුලත් අතුගාලා දැම්මා.
දරුවෝ එන්නේ හවස පන්ති වලටත් ඉඳලා.ඒ එනකොට උයලා තියන්න මාළු ඩිංගක් අරගෙන එන්න වසන්ති හන්දිය පැත්තට ගියා.මුලින් ඇන්ද ගවුමට බඩ පේනවයි කියලා හිතුණු නිසා ලොකුයි කියලා පැත්තකට දාලා තිබුණු ගවුමක් ඇඳගත්තා.මාළු අරගෙන එනකොටයි සුරංගනී හම්බවුණේ.
සුරංගනී, වසන්ති දිහා බැලුවේ අමුතුවට.
" මොකෝ නංගියේ ඇදිලා පැදිලා ගිහිං.
බබාලා හම්බවෙන කාලෙට අඳින තාලේ ගවුමකුත් ඇඳගෙන.
වාසියක් ද ?"
" මේ වයසට මොන වාසිද අක්කේ."
කියාගෙනම වසන්ති අඩිය ඉක්මන් කළා.
හතරදෙනාම හවස ගෙදර ආවේ එකටම වගේ. අජිත්, මාළු පාන් ගෙනත් තිබුණා.කුස්සියට ඇවිත් අඹ අච්චාරු උරයක් හොරෙන්ම වසන්තිගේ අතේ තිබ්බා.රෑට උයන ගමන්ම මැටි කෝප්පයකින් වහගෙන වසන්තී එකෙන් ඩිංග ඩිංග කෑවා.
දෙන්නට නිදහසේ කතාකරන්න පුළුවන් වුණේ ළමයි කාමරවලට ගියායින් පස්සේ.කාමර තුනක් තියෙන ගෙදර ලොක්කි තනියම කාමරයක් අයිතිකරගෙන.රෑට පාඩම් කරන දෙන්නා එකක.පස්දෙනාම එකම කාමරයක නිදාගත්තු කාලය මොන තරම් ලස්සනද කියලා සමහරදාට අජිතුයි, වසන්තී කතාකරනවා.
" දවල් වුණු සිද්ධි වසන්තී අජිත් එක්ක කිව්වේ රහසින්.පොඩි කෙල්ලෝ දෙන්නා අල්ලපු කාමරේ පාඩම් කරනවා.
" අම්මට සැක හිතුණද" අජිත් ඇහුවා
" අනේ මන්දා
සුරංගනීට නම් සැක හිතුණා."
" ඕන එකෙක් ඕනෑ දෙයක් හිතපුවාවේ .
අපි අපේ දරුවා හදාගමු .
වැල්ලේ ගෙඩි වැලට බර නෑ කියනවනේ."
" ඔයා ඔහොම කිව්වට මොන තරම් ප්‍රශ්න එනවද අජිත්.
රටේ ලෝකෙ මිනිස්සු නම් මොනවා කිව්වම මොකද.
අපේ කෙල්ලන්ට මොනවා හිතෙයිද?
උන් ලැජ්ජාවට අපි එක්ක වෛර බැඳගනී.
ලොක්කි බඳින්න ඉන්න කොල්ලගෙ අම්මණ්ඩිත් එක්තරා විදියක ගෑනියෙක්නේ.
ඔය මංගල්ලෙට මුලදි කැමති වුණෙත් නැහැනේ.
මේ පිටින් දාලා මගුලත් නවත්තන්න හදයිද දන්නේ නැහැ."
" හ්ම්
ඒකත් ඇත්ත"
අජිත් එකඟ වුණා.
" අනිත් එක මේ කෙල්ලො තුන්දෙනාගේ වියදම් බලාගන්නෙත් මොන තරම් අමාරුවෙන්ද?
ඕ ටී කරලම ඔයත් වයසට වඩා වයසට ගිහිල්ලා.ආයෙමත් මුල ඉඳන් දරුවෙක් හදන්න මටත් පණ නැහැ.
ලොක්කිගේ මඟුලටත් සල්ලි හොයාගන්න තියනවා.
මේ වෙලාවේ තවත් දරුවෝ හදන්න අපට වත්කමක් නැහැ"
වසන්තී කිව්වේ බිඳුණු හඬින්.
කතා කරකර ඉඳලා නින්දට යනකොට දොළහටත් කිට්ටුයි.ඒත් විසඳුමක් හිතාගන්න දෙන්නටම බැරි වුණා.
පහුවදා උදේ වසන්තී ,දරුවන්ට වැඩිපුර මූණ දෙන්න ආවේ නැහැ.දෙහි ගෙඩියක් නහයට ළංකරගෙන ඉව්වා.කට්ටිය පිටවෙලා යනකම් ඉඳලා පොල් ගහ බදාගෙන වමනෙ දැම්මා.අල්ලපු වැටේ ඉන්න නැන්දම්මට ඇහෙයි කියලා හිතුනත් තමන්ව පාලනය කරගන්න වසන්තිට බැරි වුණා.
බැරි අමාරුවෙන් ගෙවල් මිදුල් අතුගාලා කාමරයට ආපු වසන්ති ,අල්මාරිය අවුස්සමින් හෙව්වේ ගවුම් පොඩියක්.ඒක ඇඳ උඩ තියාගෙන අතින් රැලි අරිනකොටම කුස තුළින් සියුම් දැඟලිල්ලක් දැනුණා .වසන්තිගේ ඇස් වලට කඳුළු ඉනුවා.
" අපි අසරණයි පුතේ "
වසන්තී ,කුස පිරිමදිමින් මිමිණුවා.
කෙටි නිවාඩුවක් දමලා එදා හවස අජිත් වේලපහ ගෙදර ආවා.අජිත්ගේ මූණේ තිබුණේ බැරෑරුම් බවක්.
" මේ ප්‍රශ්නයට විසඳුමක් නම් යාළුවෙක් කිව්වා"
අජිත් කිව්වේ වසන්ති හදාගෙන ආපු තේක අතට ගන්න ගමන්.
" හොඳ දොස්තර කෙනෙක් ඉන්නවලු.
ටක්කෙටම වැඩේ කරනවලු.
අම්මට අවුලකුත් නැතිලු.
මම තැන අහගත්තා.ඔයා කැමතිනම් ගිහිං බලමු."
" වෙන මොනවා කරන්නද ?
එහෙනං ගිහිං බලමු"
වසන්ති සුසුමක් හෙළා ළය සැහැල්ලු කරගත්තා.
" කෝකටත් කියලා හෙට නිවාඩුවක් දමලයි ආවේ.
තව පරක්කු කරන්න බැහැනෙ.හෙටම යමු"
නිදාගන්නට ඇඳට ගියත් වසන්තිට නින්ද ගියේ නැහැ.නින්ද යාගෙන එනකොටම ගැස්සිලා ඇහැරෙනවා.නින්දත් නොනින්දත් අතර දරුවෙක්ගේ මූණ පේනවා.පාන්දර පොඩ්ඩක් නින්ද ගියත් එලාම් එකට ඇහැරුනේ දාඩිය දාගෙන.නින්ද ගිහින් වගේ හිටියත් අජිත්ටත් හරියට නින්ද නොගිය බව වසන්තිට දැනුණා.
" තාත්තා අද වැඩට යන්නේ නැද්ද "
ලොක්කි ඇහුවේ වැඩට යන්න එළියට බහින ගමන්.වෙනදා දෙන්නා එකටමයි ගෙදරින් පිටවෙන්නේ.
" නෑ
අද අම්මව දොස්තර කෙනෙක් ළඟට එක්ක යන්න කියලා.
පහුගිය ටිකේම හිටියේ අසනීපෙන්නේ."
" ඒක තමයි මාත් කිව්වේ "
කියාගෙනම ලොක්කි පිටවෙලා ගියා.
දෙන්නා ගෙදරින් පිටවෙනකොට අට පහුවෙලා.බස් එකට නගින්න හන්දියට යනකොටයි ප්‍රියන්ත හම්බවුණේ.
" කොහෙද මේ අලුත් ජෝඩුව යන්නේ.
ක්ලිනික් යනවද?"
ප්‍රියන්ත ඇහුවේ හිනා වෙවී.
බස් එකේ ඒතරම් සෙනඟ හිටියේ නැහැ.දෙන්නටම එකම සීට් එකේ වාඩිවෙන්නත් ලැබුණා.ඒත් මගදි සෙනඟ පිරුණා.කුඩා දරුවකු අතින් අල්ලගෙන ගැබිනි මවක් වසන්තිලා ඉඳගෙන ඉන්න තැනටම තල්ලු වෙලා ආවා.වසන්තිගේ මූණ බලපු අජිත් නැගිටලා ඒ අම්මට ඉඳගන්න දුන්නා.දරුවත් උකුලේ තියාගෙන ඒ අම්මා ඉඳගත්තේ හරිම පරිස්සමට.තමනුත් දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් නේද කියලා මතක් වෙලා වසන්තිගේ පපුව දාලා ගියා.
ටවුමෙන් බැහැලා දෙන්නා එක්ක පයින්ම යාළුවා කියාපු තැන හොයාගෙන ගියා.කලබලේට කුඩයක් වත් ගේන්න අමතක වුණා.ත්‍රී වීලරයක නගින්නත් දෙන්නම පසුබෑවා.ප්‍රධාන පාරෙන් අතුරු පාරකට හැරිලා ටික දුරක් ගිහින් පුංචි දෙවට පාරකටත් හැරිලා ටික දුරක් යනකොට තැන හම්බවුණා.
දොස්තරගෙ නමත් එක්ක " ඉංග්‍රීසි බෙහෙත් ශාලාව" කියලා සඳහන් වුණු බෝඩ් එකේ ලෙඩ්ඩු බලන වෙලාව විදියට සඳහන් වුනේ උදේ අටේ ඉඳලා දොලහ වෙනකම්.ඒක පරණ තාලෙ ගෙයක් .පිටතින් කිසිකෙනෙක් පේන්න හිටියේ නැහැ.දොරෙන් ඇතුල් වෙලා සාලෙට ගියහම ඉඳගන්න පුටු තියලා තිබුණා.
අඳුනන කවුරුහරි ඉඳී කියන සැකයට වැඩිය වටපිට බලන්නේ නැතිව ඉන්න දෙන්නම උත්සාහ කළා.තරුණ හෙදියක් වාඩිවෙන තැන පෙන්නුවා.සාරිය ඇඳපු මැදිවියේ ගැහැණු කෙනෙක් කාටත් උපදෙස් දෙමින් වරින් වර දොස්තරගෙ කාමරය ඇතුලට ගියා.ඒ වේගෙන්ම පිටතට ආවා.
වසන්ති හිටියේ හොඳටම බයවෙලා .අජිත් ඊටත් වඩා බයවෙලා.මූණත් එක්කම කළු වෙලා.ඉඳගෙන ඉන්න කවුරුවත් කාගෙවත් මූණ බැලුවේ නැහැ.ජෝඩු පහ හයක් හිටියා.අම්මෙකුයි දුවෙකුයි කියලා හිතන්න පුළුවන් දෙන්නෙකුත් හිටියා.සමහර ජෝඩු ලොක්කිටත් වඩා බාලයි වගේ.තමන් දෙදෙනා මෙතෙන්ට ගැලපෙන්නේ නැති බවක් දෙදෙනාටම වැටහුණා.
පැයක් විතර යන්න ඇති.මැදිවියේ කාන්තාව ඇවිත් වසන්තිලාට ඇතුලට කතාකළා.වසන්තිගේ අතින් අල්ලලා නැගිටින්න උදව් කරනකොට ඒ අතේ සීතල අජිත්ගේ හදවතට දැනුණා.
වයස හැටක් පමණ වන වෛද්‍යවරයා, දෙන්නව පිළිගත්තේ හිනා මුසු මුහුණකින්.වෛද්‍යවරයාගේ කාමරයේ තද සීතල ඉවසන්න බැහැ වගේ වසන්තිට දැනුණා.දින වකවානු විස්තර අසා දැනගත් වෛද්‍යවරයා වසන්තිව ඇඳට දාල හොඳින් පරීක්ෂා කළා.
" අදම කරන්න වෙයි.
දැනුත් ප්‍රමාදයි."
වෛද්‍යවරයා කිව්වේ වචන බර කරමින්.වැයවන මුදල කොලයක සටහන් කරලා අජිත් දිහාට තල්ලුකරන ගමන්.
" එලියෙන් වාඩිවෙලා ඉන්න
දොළහෙන් පස්සේ තමයි කරන්නේ
හවස් වෙනකොට ගෙදර යන්න පුළුවන් "
එලියට එනකොට එහි හිටියේ අම්මයි ,දුවයි,තව ජෝඩුවකුයි විතරයි.
මුලින්ම කතාකලේ අම්මටයි දුවටයි.අම්මා දුවව බලෙන්ම වගේ කාමරයක් ඇතුලට තල්ලු කරගෙන ගියා.දුවගේ මූණේ තිබුණේ බය බිරාන්ත පෙනුමක්. කාලය ගතවුණා .බිත්තියේ එල්ලලා තිබුණු ලොකු මූණක් තියෙන රවුම් ඔරලෝසුවේ ටික් ටික් හඩ විතරයි නිහඬතාවය බින්දේ.
හිටි හැටියෙම වහපු කාමරය ඇතුලෙන් ගෑණු ළමයගේ ලතෝනියක් ඇහෙන්නට වුණා.කලබල වූ හෙදියන් එහෙ මෙහෙ දිව්වා.මැදිවියේ කාන්තාව දුවන ගමන් ඇමතුමක් ගෙන කාටද
" ඉක්මනට එන්න"
යැයි කිව්වා.
"යමු "
අජිත් නැගිට්ටේ,වසන්තිවත් නැගිට්ටවාගෙන.කියන පරක්කුවෙන්ම වසන්තිත් අජිත් පිටුපස වැටුණා.දෙන්නා නැවතුනේ ප්‍රධාන පාරට පැමිණියායින් පසුවයි.වසන්තිගේ නලල දෙපැත්තෙන් දහඩිය බේරෙනවා.මහ පාර කියලා බලන්නෙවත් නැතිව සාක්කුවෙන් ලේන්සුවක් ගත්ත අජිත් වසන්තිව එක අතකින් තුරුළු කරගෙන අනිත් අතින් දාඩිය පිසදැම්මා.
" ඕන දෙයක් වෙච්චාවේ
අපි දරුවා හදාගමු"
අජිත්ගේ කටහඬ වෙව්ලුවා.
වැඩි කතාබහක් නැතිව දෙන්නා ගෙදර ආවා.දෙන්නම හිටියේ තමන්ගෙම කල්පනා ලෝකවල.
වසන්තිට නිදාගන්න කියලා අජිත් රෑට ඉව්වා.රූපවාහිනියේ අටහමාරේ කතාව බල බල පස්දෙනාම කෑම කෑවා.
" මහන්සී "
කියාගෙන ලොක්කි නැගිට්ටෙ කාමරයට යන්න.
" අමතක වුණා
අම්මට බෙහෙත් ගත්තද?
මොකද කිව්වේ"
ලොක්කි ඇහුවේ දොර රෙද්ද අතින් අල්ලගෙන.
" සුබ ආරංචියක් තියනවා කියන්න "
අජිත් කිව්වේ තප්පර දෙක තුනක නිහඬතාවයකින් පස්සේ.
" අම්මා චූටි බබෙක් ගේන්නයි යන්නේ"
" ආව් ,මල්ලියෙක්ද ?"
චූටි ඇහුවා
" නෑ ,නෑ
මට ඕන නංගියෙක්ව
මද්දු ,චූටිව බදාගත්තා "
" ඔව්,ඔව් නංගියෙක්
මගේ ෆ්ලවර් ගර්ල්ටත් ගන්න පුළුවන්නේ".
ලොක්කි කිව්වා.
ඒ හඬෙි ගැබ්වෙලා තිබුණේ මොන වගේ හැඟීමක් දැයි හිතාගනු බැරිව අජිතුයි,වසන්තී මූණට මූණ බලාගත්තා.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
වැලේ ගෙඩි