IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


පුරාජේරුව

කෙටිකතාව

වැසිකිළියෙන් එළියට පැමිණි කල්දේරා උපාසක වටපිට බැලුවේ කතාවට කෙනෙක් අල්ලා ගැනීමට ය. උදේ වරුව පුරාම බණ අසන්නට සිදු වීම නිසා ඔහු පසු වූයේ දෙඩවීමේ පිපාසයෙනි. බෝ මළුවේ කෙළවර අහිංසකයකු ලෙස ප්‍රසිද්ධ ඩිංගිරාල උපාසක සිටිනු දුටු කල්දේරා එතනට ගමන් කළේ වේගයෙනි. ඩිංගිරාල නැගිට්ටේ ය.

“දානය හරි නෑ බං. අපේ වලව්වේ කිරි කොස් වගේ දේවල් අවුරුද්දකට වතාවක්වත් හදන්නේ නෑ.”

“මිනිස්සුන්ට අමාරු කාලයේ මෙහෙමවත් දානෙ දෙනව ඇති. මට නම් හොඳයි.”

“පණ්ඩිතකං නැතුව වාඩිවෙයං.” ඩිංගිරාල එසේ කළේ ය. කල්දේරා උපාසක ද වාඩි වූයේ දිගු කතාවකට මුල පුරමිනි. හවස බණ පටන් ගන්ට අඩ හෝරාවක්වත් ඇති බව ඔහු අනුමානයෙන් දැන සිටියේ ය.

“ඩිංගියො උඹට කියන්න අපේ ලොකු පුතා අවුරුද්දට ගෙදර ආවානෙ. ඉතින් ඒ එනකොට ගෙදර බල්ලවත් අරගෙන ආවා. ඌට මේ කබල් පාරවල්වල ගොඩක් දුර ඇවිල්ලා බැහැපු ගමන් වමනේ ගියානේ. උඹ දන්නෙ නෑ ඒකෙ තිබුණ දේවල්… චීස්, සොසේජස්, කුකුළුමස්, ඇපල්, දොඩම්… ආ තව මොනවද… මේ… ඔම්ලට්. උඹට කියන්න ඩිංගියෝ මට කන්නයි හිතුණෙ.” කථාව නතර කළ කල්දේරා උපාසක මොහොතක් ඩිංගිරාල දෙස හොඳින් බැලුවේ ය. ඔහු කතාව අහගෙන සිටියේ පුදුමයෙනි.

“මං මේ කල්පනා කෙරුවේ බං ගෙදර බල්ලගේ කෑම මෙහෙමනං අපේ පුතාලා කොහොම කනවා ඇද්ද කියල. අනික මෙච්චර අමාරු කාලෙක…”

“මහත්තයාටත් තියෙන්නේ කොළඹ යන්න. හොඳට කන්න ලැබෙනවා නම් තව මොනවද…” ඩිංගිරාල කීවේ අවංක හැඟීමෙනි.

“බෑ බං… ඒ ගේ ඇතුළේ මට ඉන්න බෑ.” කල්දේරා උපාසක කීවේ උජාරුවෙනි.

“ඇයි ඒ?”

“ගේ මක්‍ කරල තියෙන්නෙ. මට හීතල ටිකක් අමාරුයිනේ. මං ඒකයි ඔය නිකමටවත් නොයන්නේ. ලොකු පුතයි දුවයි දෙන්නම මට එහෙ ඉන්න කියලා පොර.” කල්දේරා උපාසක පැවසුවේ පෙරටත් වඩා උජාරුවෙනි.

ඩිංගිරාළ අහිංසකව සිනාසෙමින් නැඟිට්ටේ ය.

“ඉඳගනින්. බණ පටන් ගන්න තව ගොඩක් වෙලා තියෙනවා.” කල්දේරා උපාසක ඩිංගිරාල වළකමින් පැවසීය.

“ජේන්ට කිට්ටු වුණොත් බණකතාවක් අහගන්න පුළුවන්. උන්දෑ දන්නවා ලස්සන බණ කථා.”

“පිස්සු නැතුව වාඩිවෙයං. බණ නොවුණත් මේකත් ලස්සන කතාව.” ඩිංගිරාල හිඳ ගත්තේ කැමැත්තකින් නොවේ. කල්දේරා උපාසක අමනාප වෙතැයි සිතූ නිසාවෙනි.

“උඹට මතකද ළඟදි ලොකු හුළඟක් ආවා?”

“ඇයි මහත්තයා ගමේ ගෙවල් කීයක වහලවල් ගැලවිලා ගියා ද. අප්පා එහෙම හුළඟක් ආයෙනම් එන්න එපා.” යි ඩිංගිරාල කීවේ සුළඟෙන් ගම්මුන්ට සිදු වූ විනාශය සිහිපත්ව ශෝක වෙමිනි.

“මෙහෙට ඒක එච්චර තදට අල්ලලා නැහැ බං. කොළඹට තමයි තදේට ඇවිත් තියෙන්නේ. ලොකු පුතා කියනවා මිදුලේ ලයිට් දැම්මා ම මිදුල අඳුරුයිලු. ලයිට් එළිය නවතින්නේ අල්ලපු වත්තෙලු. ඒ තරමට හුළං සැර”

“මගේ අප්පේ එහෙමත් වෙනවද?” ඩිංගිරාල පුරුදු පුදුමෙන් ඇසී ය. කල්දේරා උපාසක සතුටින් සතුටට පත් වූයේ ය.

“වෙච්ච නිසානේ බං කියන්නේ. මොකද මං සිලුත් අරගෙන බොරු කියනව ද?” කල්දේරා උපාසක තරමක් තදින් කීවේ ය. ඩිංගිරාල හිස සල සලා එය පිළිගත් බවක් හැඟවී ය.

“පුදුමෙ ඒක නෙවෙයි බං. එච්චර තදේට හුළං ඇවිල්ලා ලොකු පුතාලගේ ගෙදරටවත්, අඩුම තරමේ වත්තේ තණකොළ ගහකටවත් හානියක් නෑ. ඒක තමයි උසට තාප්ප බැඳ ගත්තම තියෙන වාසිය.” කල්දේරා උපාසක පැවසුවේ තාප්පයේ උස මෙපමණ යැයි කියන්නට මෙන් බුදු මැඳුරේ වහලය දෙසට අත දිගු කරමිනි. එහෙත් ඩිංගිරාලගේ සිතට පිවිසියේ නොසතුටකි.

“අප්පේ මට නම් එපා එහෙම ජීවිතයක්. හරියට හිරේ දැම්මා වගේ.” ඩිංගිරාල කීවේ දෑත් නළලේ තබා වැඳගෙන ය.

“ඇයි උඹ කොළඹ ගිහින් තියෙනව ද?” කල්දේරා උපාසක ඇසුවේ ඒ ගැන සැකහැර දැනගන්නට ය.

“නෑ අහල තියෙනවා.” ඩිංගිරාල ඇත්තම කීවේ ය.

“ඒකනෙ කියන්නේ. උඹලා එක එකාගේ ලණු ගිලලා වමාර ගන්න බැරුව ඉන්නවා. මමනේ දන්න කෙනා. මොන හිරගෙවල් ද බං. හෝටල් වගේ. ටීවී, කැසට්, රේඩියෝ, ප්‍රිජ්, ඒසී, කන්ඩ, බොන්ඩ, බාත්රූම් වෙන මොනවද බං මිනිහෙකුට ඕන.” කල්දේරා උපාසක කුමක් කීවත් කොළඹ ජීවිතය ගැන ඩිංගිරාලගේ හිත පැහැදුණේ ම නැත. කල්දේරා උපාසකට ද ඒ ගැන තේරුණි.

“මොකද උඹ කල්පනා කරන්නේ කොළඹ යන්න ආස හිතිල ද?” ඔහු සිතට ඉඳුරාම වෙනස් දෙයක් ඇසුවේ ය.

“මගේ බල්ලටවත් එපා. කොළඹ ඉන්න. මළකඩ වතුර… මහ ඉස්පිරිතාලෙ හිටිය ටිකට මට එහෙ එපා වෙලායි උන්නේ.”

“ඈ බං ඩිංගියෝ. උඹ හිතන්නේ අපේ ලොකු පුතාලත් බොන්නෙ පයිප්ප වතුර කියලද? යකෝ මෙන්න මේ සයිස් බෝතල් ගේන්නේ. මං හිතන්නේ නාන්නෙත් ඒවායින් ද මන්දා.”යි කල්දේරා උපාසක කීවේ සිය දෑතින් බෝතල්වල විශාලත්වය පෙන්වමිනි.

“මදුරු කරදරය ඔක්කොටම හපන්.” ඩිංගිරාල ද තව දෙයක් පැවසීය.

“මොන මදුරු කරදරයක් ද බං. අපේ ලොකු පුතාලා ඉන්නෙ තුන්වෙනි තට්ටුවේ. මදුරුවන්ට එච්චර උඩට පියාඹන්න බෑ.” ඩිංගිරාල නිහඬ වූයේ තව කියන්නට දෙයක් නොමැති නිසා ය. කල්දේරා උපාසක නිහඬ වූයේ තමන් සිටින දෙසට සිය බාල පුතා වේගයෙන් පැමිණෙනු දැකීම නිසා ය.

“පුංචි මහත්තයා මොකද බං කවදාවත් නැතුව මේ වෙලාවේ…” යි කියාගෙනම කල්දේරා උපාසක නැගී සිටියේ කුමක් හෝ නරක දෙයක් සිදුව ඇති බව ඉවෙන් මෙන් වටහා ගැනීමෙනි.

“කලබලයක් වගෙයි…”

ඩිංගිරාල ද කීවේ ය.

“උඹලගෙ ගෙවල්වල වගේ අපේ වලව්වල කලබල වෙන්නෑ බං. වෙන මොකක් හරි.” යි පැවසූ කල්දේරා උපාසක බාල පුතාගේ ඉදිරියට වේගයෙන් ඇවිද ගියේ ඩිංගිරාල මඟ හැර කතා කිරීම පිණිස ය.

“මොකද මේ යකා වැහිල වගේ?” බාල පුතාගේ ස්වභාවය හැඳින කල්දේරා උපාසක ඇහුවේ තරමක් බියෙනි.

“තාම යකා වැහුනෙ නෑ. අද හෙට වැහෙයි.”

“ඇයි මොකද වුණේ?” කල්දේරා උපාසක සිදුව ඇති දේ වටහා ගැනීමට නොහැකිව ඇසුවේ ය.

“අයියලගෙ ගෙදර අයිතිකාරයො රට ඉඳලා ඇවිත්. ඉන්න තැනක් නැතුව බඩුත් පටවගෙන අන්න ගෙදර ආවා. තාත්තේ මේ එයාලට කියන්න හෙට උදේ වෙනකොට බඩුත් පටවගෙන ඕන දිහාවක යන්න කියලා. මේ ගරා වැටිච්චි ගේ මං හදාගත්තේ අනාථ මඩමක් දාන්න නෙවෙයි.”

බාල පුතාගේ වචන කල්දේරා උපාසකට ඇසුණේ ගෝරණාඩුවක් මෙනි. ඔහු වටපිට බැලුවේ ඩිංගිරාල ළඟ සිටීදැයි දැනගැනීම පිණිස ය.

 



අදහස් (0)

පුරාජේරුව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 106 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2033 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1566 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site