IMG-LOGO

2024 ජුනි මස 24 වන සඳුදා


කළුවරට බය කාමරේ ඇතුළෙ

කෙටිකතා - 10

 

මම කසාද බඳින්න තීරණය කළේ රෑට කළුවරේ තනියම නිදාගන්න තියෙන බය නිසා. ඒ බය පොඩි කාලේ ඉඳං මට අම්මලාගෙන් ලැබුණ දායාදයක්. මට විතරක් නෙවෙයි, මං දන්න - නොදන්න ගොඩක් අයට ලැබෙන තෑග්ගක් ඒක. හබුං කන්නෙ නැති වුණාම බිල්ලො අල්ලගෙන යයි කියන එකේ ඉඳල තව හොල්මන් - අවතාර කතා අටෝරාසියකින් ඒගොල්ලො මුලදිම අපිව බය කරනව. ඉතිං අපි බයටම හබුං කනව. හැබැයි බඩ පිරුණට වැඩිහිටියො වුණාට පස්සෙත් ඒ සමහර දේවල් වෙනුවෙන් ලොකු ලොකු වන්දි ගෙවන්න සිද්ධ වෙනව.

මගේ කතාවත් එහෙම එකක් තමයි. මං පොඩි කාලෙ ඉඳං කළුවරට බයයි. බයයි කියන්නෙ ගූ බයයි. හැබැයි පොඩි ළමයෙක් හරි කමක් නෑ, තව කවුරු හරි එක්කෙනෙක් ඉන්නව නම් බය නෑ. කවුරුවත් නැත්නම් අර අසූචි බර මතුවෙන්නෙ 'චිරි චිරි' ගාල. අයියා කසාද බැඳල වෙන ගෙදරකට පදිංචියට යනකං ඒක ලොකු ප්‍රශ්නයක් වුණේ නෑ. මොකද පොඩි කාලේ ඉඳලම අයියයි මමයි නිදාගත්තෙ එක කාමරේ. ඒත් මිනිහ කසාද බැඳල මධු සමයට ගිය දවසෙ ඉඳල මට යන්න වුණා මරු සමයට. අම්මයි තාත්තයි ඉන්නෙ යට තට්ටුවෙ. අයියයි මමයි තමයි උඩ තට්ටුවෙ හිටියෙ. දැන් කාමරේට විතරක් නෙවෙයි මුළු උඩ තට්ටුවටම ඉන්නෙ මම විතරයි. ඉතිං කොහොමද නිදාගන්නෙ?
මුල් දවස් ටිකේ ලයිට් ඕෆ් නොකර නිදාගන්න ට්‍රයි කළා. ම්හු ! ඒක හරි යන වැඩක් නෙවෙයි. එළිය තියෙද්දි මට නින්ද යන්නෙ නෑ. කවුරුත් නැතුව කළුවරේ නින්ද යන්නෙත් නෑ. ඉතිං මං තීරණය කළා අඩියක් පස්සට ගන්න. ඇත්තම කියල යට තට්ටුවට ගිහිං නෝන්ඩි වෙනවටයි, අම්මලාට වාතයක් වෙනවටයි වැඩිය හොඳයි එහෙම කරන එක. මෙච්චර දවසක්, කසාද බඳින්නෙ නෑ කියල හිටපු දැඩි තීන්දුව වැඩි දවසක් යන්න ඉස්සෙල්ල මං වෙනස් කළා. ඒ වෙනස් කරපු තීරණේ අම්මලාට දැනුම් දුන්නා. අම්මට සතුට වැඩිකමට එදා රෑ නින්ද ගියෙත් නැතිලු. මටත් නින්ද ගියේ නෑ. හැබැයි සතුට නිසා නම් නෙවෙයි. කොහොමත් ඒ වෙනකොටත් මං දවස් ගාණක් රෑට හරියට නිදාගෙන තිබුණෙ නෑ.
ඒත් අම්මලා ගෙනාපු එක යෝජනාවක්වත් මට සෙට් වුණේ නෑ. අර හණමිටි කපුවෝ අරගෙන එන මෙලෝ රහක් නැති යෝජනා. කාටද පුළුවන් ඒවට කැමති වෙන්න? බැරිම තැන මම තීරණය කළා මගේ ළඟම යාළුවො කීප දෙනෙකුට ඇත්තම කතාව කියන්න. ඇත්තටම මට ඕනෙ වුණේ පවුල් කන්න ගෑනියෙක් නෙවෙයි. රෑට බය නැතුව නිදාගන්න ගෑනියෙක්.

"උඹට පිස්සුද බං? එහෙම ගෑනු කොහොම හොයන්නද? හැම ගෑනියකුටම ඕනෙ සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න." යාළුවෝ හැමෝගෙම පොදු ප්‍රතිචාරය වුණේ ඔන්න ඕක.

හැබැයි අපිට එහෙම ගෑනියෙක් හම්බ වුණා. ගෑනියෙක් කිව්වට කෙල්ලෙක්. ස්ත්‍රී ප්‍රාණියෙක්. මගේ හොඳම යෙහෙළියකගේ ළඟම යෙහෙළියක්. අපේ පොදු යාළුවගේ ගෙදරදිම අපි මුණ ගැහුණා. කෙල්ල කෙළින්ම කතාවට බැස්සා.

"මෙහෙමයි ! මම කසාද බඳින්නෙ මට ඕනෙවට නෙවෙයි. අපේ ගෙදර මිනිස්සුන්ට ඕනෙවට. කසාද බැඳල, ළමයි හදල පවුල් ජීවිතයක් ගත කරන්න ආසාවක් මට නෑ. මගේ ලයිෆ් එක වෙන එකක්. ඔයාට මං කියන දේ තේරෙනවද?"
"අපොයි ඔව් ! මටත් ඕනෙ පවුල් ජීවිතයක් ගත කරන්න නෙවෙයි. රෑට ලයිට් නිවල හොඳට නිදාගන්න. ඔයාට හොඳටම ෂුවර් නේද ඔයා කළුවරට බය නෑ කියල."
"පොඩ්ඩක්වත් බය නෑ. හැබැයි මම කැරපොත්තන්ට බයයි."
"අහ්... මං උන්ට බය නෑ. කැරපොත්තො මරණ එක මගේ එක විනෝදාංශයක්. මං ඒ ගැන බලාගන්නම්."
"හරි, එහෙනම් මේක ඇග්‍රිමන්ට් එකක්. වැඩේ තීන්දුයි."
"ඔව්, තීන්දුයි ! මේ, ඒක නෙවෙයි ඔයාගේ නම මොකක් කියලද කිව්වෙ?"
"මොකක් කියලවත් මම කිව්වෙ නෑ. දැන් කියන්නම්. මං වරුණි."
"හෙලෝ වරුණි ! මම විකුම්."

අපි කසාද බැන්ඳා. අම්මලාට නම් ඕනෙ වුණේ ලොකුවට උත්සවේ ගන්න. ඒත් මට ඕනෙ වුණේ බැඳල ඉක්මනට හොඳට නිදාගන්න. ඒක නිසා පොඩියට, චාම් උත්සවයක් ගත්තෙ. වරුණි කැමති වුණෙත් එහෙමයි. රෑත් අපි පිට කොහේවත් නොගිහින් ගෙදරම නතර වුණා. දැන් අපේ වුණ මගේ කාමරේ. මං කාලෙකට පස්සෙ කාමරේ ලයිට් ඕෆ් කරල, ඇඳට පැනල, පොරවගෙන හොඳට නිදාගත්ත. වරුණි ගොඩක් රෑ වෙනකං චේතන් භගත්ගෙ නවල් එකක් කියෙව්ව කියල පහුවදා උදේ මට කිව්ව. එයා අසාමාන්‍ය භගත් රසිකයෙක්.
අපි මුල් කාලේ නිදාගත්තෙ කොට්ට කීපයකින් හදපු සීමා ඉරකින් ඇඳ බෙදාගෙන. වරුණි බිත්තිය පැත්තෙ. මං අනිත් පැත්තෙ. වරුණි ඇඳුම් මාරු කරන වෙලාවට මම කාමරෙන් එළියට යනවා. එහෙම ගියේ වරුණි මට එහෙම යන්න කියල කියපු නිසා. මම ඇඳුම් මාරු කරන වෙලාවට වරුණි එළියට යනවා. හැබැයි මම නම් කිව්වෙ නෑ එහෙම යන්න කියල. ඒත් එයාම හිතල එළියට යනවා. කොහොම හරි සති කීපයක් යද්දි කොට්ට එකින් එක ගැලවිලා ගිහින් අපි අතරෙ තිබුණ සීමා ඉර මැකිල ගියා. ඊට පස්සෙ අපි පහසු විදියට අත පය ඕනෙ දිහාකට දාගෙන සනීපෙට නිදා ගත්තා. හැබැයි වැරදිලාවත් ඒ අත පය අනවශ්‍ය විදියට එකට ගැටුණෙ නෑ. අපේ ගිවිසුම තිතටම ක්‍රියාත්මක වුණා. අපි හොඳට නිදා ගත්තා. වරුණි දිගටම චේතන් භගත්ගෙ පොත් කියෙව්ව.
මාස දෙකකට විතර පස්සෙ රෑ වැස්ස දවසක්. අකුණු ගහනවා ! ගොරවනවා ! වහිනවා ! අකුණු ගහනවා !! ගොරවනවා !! වහිනවා !! අකුණු ගහනවා !!! ගොරවනවා !!! වහිනවා !!! පට්ට හීතලක්. අපි දෙන්නටම නින්ද යන්නෙ නෑ. වරුණි බිත්තිය අයිනෙ ඇඹරෙනවා. මම ඇඳ අයිනෙ දඟලනවා. අයිස්ලන්තෙ ගියා වගේ. සමහර විට එළියෙ හිමත් වැටෙනව ඇති.
"මාර හීතලක්නෙ. අද නම් නිදාගන්න වෙන්නෙ නෑ." වරුණිගෙ කට හඬ පවා වෙව්ලනවා.

"අපි තුරුළු වෙලා නිදගමුද? එතකොට පොරෝන රෙදි දෙකම අපිට එකට පාවිච්චි කරන්න පුළුවන්. හීතලත් අඩු වෙයි." මම එහෙම කිව්වෙ විහිළුවට වගේ.

විහිළුවට කිව්වට විහිළුවටමත් නෙවෙයි. ඇත්තටමත් නෙවෙයි. ඒක විහිළුවයි ඇත්තයි අතර ක්ෂණික, අහඹු යෝජනාවක්. එක පාරටම තව අකුණක් ගැහුවා. වරුණිගෙ තොල් අස්සෙ හීං හිනාවක් මැවිල, මැකිල යනව මං දැක්කෙ ඒ අකුණ ඇති කරපු තත්පර කීපයක ආලෝකයෙන්. ඊටත් තත්පර කීපයක් යනකං මොකුත් නොකිය හිටපු වරුණි එක පාරටම පෙරළිලා ඇවිත් මගේ ඇඟට තුරුළු වුණා. ඇඳ 'කිරි කිරි' ගෑව. ජීවිතේ පළවෙනි වතාවට වරුණිගෙ ස්පර්ශය නිසා මගේ මුළු ඇඟම හිරි වැටිල ගියා. මාත් එයාට තව තව තුරුළු වුණා. හැබැයි අපේ ගිවිසුම බිඳුණෙ නෑ. අපි තුරුළු වෙලා රෙදි දෙකම පොරවගෙන එළි වෙනකං හොඳට නිදාගත්තා. පොරොවන්න තව රෙදි ඕනෙ නම් අල්මාරියෙ ඕනෙ තරම් රෙදි තියෙන විත්තිය මට මතක් වුණේ පහුවෙනිද උදේ ඇහැරිලත් ගොඩක් වෙලා ගියාට පස්සෙ.
පහුවෙනිද ඉඳං ඇඳුම් මාරු කරද්දි මට එළියට යන්න කියල වරුණි කිව්වෙ නෑ. මම ගියෙත් නෑ. මං ඇඳුම් මාරු කරන කොට වරුණි ගියෙත් නෑ. හැබැයි බලං ඉන්න තහනම් ! අහක බලාගෙන ඉන්න ඕනෙ. එදා ඉඳං හැම රෑකම අපි තුරුළු වෙලා නිදා ගත්ත. වැස්සත් නැතත්, හීතල වුණත්, රස්නෙ වුණත් අපි තුරුළු වෙලා නිදා ගත්ත. එහෙම තුරුළු වෙලා විතරක් වැඩි දවසක් නිදාගන්න ඕනෙ වුණේ නෑ. කොට්ටෙන් එහා පැත්තට පනින්න බැරි වුණ මිනිහා සීගිරි ගලෙන් පනින්නෙ කොහොමද කියල අහන විහිළු කතාවක් තියෙනවා. මං ඒ වගේ විහිළුවලට වැඩිය කැමති නෑ. විහිළුවක් වෙන්නත් කැමති නෑ. වරුණි වුණත් එහෙම විහිළුවක් වෙන්න කැමති කෙල්ලෙක් නෙවෙයි කියල මට ඒ වෙනකොට තේරිලා තිබුණෙ. ඉතිං එක්තරා දවසක රෑ අපේ අතින් ගිවිසුම බිඳුණා. අපිම ඇති කරගත්ත ගිවිසුම අපිම කඩල, බිඳල, කීතු කීතු කරල දැම්ම. ඒක හරි ශෘංගාරාත්මක විනාශයක්. මාරයි කියල බය නැතුව කට ඇරල කියන්න පුළුවන් රාත්‍රියක්.
මම මීට කලින් එහෙම ගෑනුත් එක්ක ඉඳල නෑ කිව්වොත් ඒක බොරුවක්. හැබැයි එදා රෑ අත්දැකීම හරිම අපූරුයි. වරුණි නම් කිව්වෙ ඒක එයාගෙ පළවෙනි අද්දැකීම කියල. ඇත්තද දන්නෙ නෑ. බොරු වුණත් මට කමක් නෑ. හැබැයි මේ වගේ දේවල් සම්බන්ධයෙන් ගෑනු කියන කතා නම් හාරල, පාරල, තෝරල තමයි ගන්න ඕනෙ කියල මං දන්නවා. මොකද කළුවරට බය වුණාට මම මෝඩයෙක් නෙවෙයි.
ගිවිසුම කැඩුවට අපි දෙන්නා ඒකමතිකව තීරණය කළා දරුවො හදන්නෙ නැතුව ඉමු කියල. මට නිදාගන්න තියෙනවා. වරුණිට භගත්ගෙ පොත් කියවන්න තියෙනවා. ඉතිං දරුවෝ හදල කොහොමද? ඒ නිසා අපි තීරණය කළා ආරක්‍ෂිත ක්‍රියා මාර්ග අනුගමනය කරන්න. ඒකට අපි උපදෙස් ගත්තෙ වෛද්‍යවරයෙක් වුණ මගේ යාළුවෙකුගෙන්. මිනිහ ක්ෂේත්‍රයෙ ප්‍රවීණයෙක්. අපිට උපදෙස් තොගයක් දීල අන්තිමට ඇඟ හිරිවැටෙන කතාවකුත් කිව්වා.

"මචං ! මේ එකක්වත් සීයට සීයක් විශ්වාස කරන්න එපා. හැම වෙලාවෙම දශම ගාණක හරි අවදානමක් තියෙනවා."

වරුණි එක දවසක් උදේ නැගිටලා වමනෙ දාන්න පටං ගන්නකොටම මට තේරුණා දශම ගාණෙ අවදානම ඵල දරල කියල. කරන්න දෙයක් නෑ. අපේ ගිවිසුමේ අන්තිම වාක්‍යත් ඔන්න මෙතැනින් ඉවරටම ඉවරයි. මම හෙමින් සීරුවෙ වරුණිගෙ පිට අත ගෑව. සද්දෙ ඇහිල අපේ අම්ම උඩ තට්ටුවට දුවගෙන ආවෙ මූණ මල් වත්තක් කරගෙන. ඒ වත්තෙ පාට පාට මල් පිපිල දිලිසෙනවා. වරුණිත් මමත් මූණට මූණ බලාගත්ත.
ඊට මාස අටහමාරකට පස්සෙ මම හොස්පිටල් එකේ ඉඳන් වරුණිවයි අපේ පුතාවයි ගෙදර එක්කරගෙන ආවා. ඒ කාලෙ අතරතුර මං වරුණිව හොඳට බලාගත්ත. වික්ෂිප්තකම මැද වුණත් හිත ඇතුළෙ මතු වුණ අමුතු ජවයකින් මං වැඩ කළා. වරුණි හැමදාම රෑට මාව තුරුළු කරගෙන නිදාගත්ත. මහ පුදුම කාලයක් ඒක !
දැන් පුතා අපි දෙන්නා මැද්දෙන් නිදාගන්නවා. ඌ හැමදාම මහ රෑට ඇහැරෙන්නෙ මර හඬ දීගෙන. මට නිදාගන්නත් නෑ. වරුණිට භගත්ගෙ පොත් කියවන්නත් නෑ. හැබැයි ඒකට කමක් නෑ. මට දැන් පවුලක් කියල දෙයක් තියෙනවා. ඒකෙ තව දෙන්නෙක් ඉන්නවා. ඒ කියන්නෙ ආපහු කවදාවත් මම මේ කාමරේ ඇතුළෙ කළුවරට බය වෙන්න ඕනෙ නෑ. ඉස්සර වගේ නිතරම නිදාගන්න බැරි වෙයි තමයි. ඒත් ඒ නිදාගන්න ටික මට දැන් කිසි බයක් නැතුව නිදාගන්න පුළුවන්.



අදහස් (3)

කළුවරට බය කාමරේ ඇතුළෙ

රෝයි ෆෙඩ්රික්ස් Wednesday, 12 June 2024 01:25 PM

මහ ගොන් කතාවක්... මේ ලෝකේ සිද්ධවෙන දෙයක් නොවේ.. මෙවැන්නක් සිදුවිය හැක්කේ මංඥං කාරයෙක්ගේ මනසේ පමණි.

:       3       6

LakviduMonday, 17 June 2024 02:32 PM

ඔයාට ඕන සත්‍ය සිද්ධියක වාර්තාවක්ද?

:       0       0

Cisco Thursday, 13 June 2024 05:18 PM

හාස්‍ය රසය පිරුණු කතාවක්. අභව්‍ය ගතියක් තිබුණාට කම්මැලිකමක් නැතිව කියවන්න පුළුවන්. ළමයි පොඩිකාලේ කතා කියා දෙනකොට පරිස්සමින් කරන්න ඕනි.

:       1       0

ඔබේ අදහස් එවන්න

කෙටිකතා

සුන්නද්දූලි
2024 ජුනි මස 18 430 0

ඉපිටහ ෆැක්ටෙිරිය තවමත් හුචු හුචු ගානවා. මේ තට්ටු ගෙදර ඔළු පන්සීයක මොළයේ උඩම තට්ටුවේ වුණත් අපි ඉන්නේ හැමදාම උදේට ඇහැට කපුටු කාක් කාක් එක වගේ මට ඕක දැනටම


කළුවරට බය කාමරේ ඇතුළෙ
2024 ජුනි මස 11 709 3

මම කසාද බඳින්න තීරණය කළේ රෑට කළුවරේ තනියම නිදාගන්න තියෙන බය නිසා. ඒ බය පොඩි කාලේ ඉඳං මට අම්මලාගෙන් ලැබුණ දායාදයක්. මට විතරක් නෙවෙයි, මං දන්න - නොදන්න ගොඩ


ලොකු දෙයක් සිද්ධ වෙන්නයි යන්නේ..!
2024 ජුනි මස 04 415 0

මිනිහා ලේ විලක් මැද පාවෙමින් හිටියේ. කුණු ලේ පාට විලේ මිනිහ පීනන්න ට්‍රයි එකක් දෙමින් හිටියේ. ඉහ මත්තට ඝන ඇළෙන ලේ; අතත් පයක් හොල්ලගන්න බෑ හොල්ලන්න හිතුව


මිනිස් වටය
2024 මැයි මස 28 362 0

ගොඩබිමටත් මුහුදටත්, අහසටත් එකවර ඇසෙන තරම් හයියෙන් නැගුණු ඒ හඬ ශ්‍රී පල්ලි තොටුපළේ අබලන් ධීවර යාත්‍රාවල භූ දෝංකාර දුන්නේ ය.


වෙසක් පහන
2024 මැයි මස 21 282 0

විශාල අට පට්ටම් කූඩුවක් සෑදීමේ අදහස පළමුවෙන් ඇති වූයේ අයියාගේ සිතෙහි ය. එවැනි වෙසක් පහනක් සෑදීමට අම්මා අනුබල නුදුන් නමුත් නංගීත් මමත් අයියා ඊට මෙහෙයවූ


කරත්තය
2024 මැයි මස 14 373 0

කටුකම්බි ගසා වැලි ගෝනි දමා ආරක්ෂක වලල්ලකින් වටකරන ලද පොලීසියට කරත්තය දක්කාගෙන එනු ලැබුවේ පොලිස් රියදුරාය.පොලිස් නිල ඇඳුම පැළඳ කරත්තය දක්කාගෙන එනු ලැ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 149 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1427 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3201 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site