
සිල්වා රාගම දුම්රියපොළෙන් කෝච්චියට ගොඩ වී මැදිරියක හිස්ව තිබුණු ආසනයක වාඩි විය. මහත් සේ කලකිරුණු වේදනාත්මක ඉරියව්වකින් සිටි ඔහු ඉක්මනින්ම බර කල්පනාවකට වැටුණි. කෝච්චිය හෙලවි හෙලවී ගමන් කරනවිට තමන්ට ඉදිරි ආසනයේ තමන් මෙන්ම හෙලවි හෙලවී සිටි මගියෙකු තමන් දෙස වුවමනාවෙන් බලා සිටින බව, කල්පනාවෙන් මිදුණු සිල්වාට දැකගත හැකි විය. සිල්වාද ඔහු දෙස ́ඕනෑකමින් හොඳට බැලුවේය. ඉදිරියේ සිටි මිනිහා සිනාසී,
“මුදලාලිට මාව මතකද?” ඇසුවේය.
“දැකලා පුරුදුයි වගේ…….. එ්ත් එකපාරටම කියන්න නිච්චියක් නෑ”. එසේ කියූ සිල්වා තවමත් නෑකමින් ඔහු දෙස බලා සිටිමින්ම මේ කවුදැයි කල්පනා කරන්නට විය.
“ඇයි මතක නැද්ද? මුදලාලිගෙ ගම්පහ කඩෙිට අල්ලපු බෝතල් පත්තර කඩෙි දාගෙන හිටියෙ. මම නඩරාජා.”
“අම්මපා! මේ නඩා නේන්නං.”
සිල්වා උතුරා යන මහත් සතුටින් නඩරාජාගේ දෑතම අල්ලා ගත්තේය. මහලු වියට පත් තමාට එතරම් සමීපව සිටි නඩරාජා අමතක වීම ගැන සිල්වාට ලජ්ජාවක් ද දැනුණි. එතැන් සිට නඩරාජා කුරුණෑගලින් බසිනතුරු ඔවුන් දෙදෙනා යෙදුණු සුහද සංවාදයෙහි කොටසකි මේ.
සිල්වා – කොච්චර කාලෙකට පස්සෙද නඩාව දැක්කෙ?
නඩා – පනස් අටේ කෝලහලෙට පස්සෙ අදනෙ දැක්කෙ. (කාලය ගණන් බලා) අයියෝ කඩවුලේ
අවුරුදු තිහක් ! පුඃ !!
සිල්වා – මොන තරම් සන්තෝසද සෑහෙන කාලෙකින් දැකගන්න ලැබුණාට.
නඩා – මටත් හුඟාක් සන්තෝසයි තමා. දැන් අපි නාකි වෙලා.
සිල්වා – දැන් ඉතිං කොහෙද මේ යන්නෙ?
නඩා – මම යනවා මගෙ ගේනි බලන්න කුරුණෑගල.
සිල්වා – මොකද එයා එහෙ කරන්නේ?
නඩා – ලොකු බංගලාවක වැඩ. ඉතින් මුදලාලි තමුසෙ කොහෙද යන්නෙ?
සිල්වා – මම යනවා අනුරාධපුරේටත් එහා, සේනපුර අනාථ කඳවුරට මගෙ නංගිව බලලා එන්න.
නඩා – එයා එතන මොකද?
සිල්වා – ඒගොල්ල අනාථ වෙලා. පවුල පිටින්ම ඉන්නෙ එතැන. තමුසෙලාග් කොටි ඒගොල්ලන්ගෙ ගෙවල් ගිනි තියලා එලෙව්වානෙ.
නඩා – අයියෝ ෂාමි…….. පව්……. (මොහොතක නිහැඬියාවක්) …….. ඉතිං ඇයි එ්ගොල්ලන්ව මුදලාලිගෙ ගෙදරට එක්ක එන්නෙ නැත්තෙ?
සිල්වා – මස්සිනා කැමති නෑ උපන් ගම දාලා එන්න. තත්වෙ හොඳ වුණාම කොහොමහරි හිටපු තැනට කවදාහරි යන්න තමයි එ්ගොල්ල බලාපොරොත්තුවෙන් ඉන්නෙ. එ්ත් ඉතින් කවදා නම් තත්වෙ හොඳ වෙයිද කවුද දන්නෙ. මම යං කියලා අඬගැහුවා එ්ත් එන්නෙ නෑ. මොනවා කරන්නද?
………ඈ ́යි ඇයි තමුසෙලාගෙ ඔය කොටි ඔය වගේ දරුණු විදියට හැසිරෙන්නෙ?
නඩා – ඒ තරුණ කොල්ලො කියනවා ඒගොල්ලො කොටි වුණේ කවදාවත් දෙමළුන්ගෙ ප්‍රශ්න විසඳෙන්නෙ නැති හින්දා කියලා. ඒගොල්ලො ඉගෙන ගත්තාට වැඩක් නෑ ̈. ජොබ්ස් නෑ ̈.
අනාගතේ නෑ ̈. ඒගොල්ලන්ට සලකන විදිය අසාධාරණයි ̈. ඉතිං බැරිම තැන රටක් හදන්න තමයි එ්ගොල්ලන්ට ́වෙලා තියෙන්නෙ.
සිල්වා – ඉතිං ́ අපේ සිංහල කොල්ලොත් කියන්නෙ ඔය ටිකමනෙ.
නඩා – ඇත්තට? හරිම ප්‍රශ්න තමයි.
සිල්වා – කොහොම වුණත් තමුසෙලාගෙ කොටි අපේ මිනිස්සුන්ව අනාථ කඳවුරුවල ලග්ගෝපු එක හරිය කියලා හිතනවද?
නඩා – වැරදියි……. සම්පූණයෙන්ම වැරදියි ! (නිහඬතාවක්) මුදලාලි, අපිත් හිටියනෙ අනාථ කඳවුරක.
සිල්වා – ඇත්තට? එ්කොහොමද?
නඩා – ඇයි මුදලාලි, අපි වඩමරච්චියෙ ඉන්නකොට සිංහල ආමි එක අපේ ගෙවල් කැඩුවනෙ. උඩින් ඇවිල්ලාත් බෝම්බ දැම්මා. පොළොව දිගේ ඇවිල්ලාත් ෂෙල් ගැහුවා. අපි හිටියෙ ගේනිගෙ තාත්තාගෙ ගෙදර. ඉතිං ඒ ගේත් කැඩිලා ඉන්න තැනක් නැතුව කෝවිලේ අනාථ කඳවුරක හිටියා. අපි විතරක් නෙවේ මුදලාලි, තමුසේ දන්නවාද ඉන්ඩියන් ආමි ආවාට පස්සෙ තවත් දෙමළ අනාථයො ඉන්නවා. අදත් ඉන්නවා.සිල්වා – නඩා කොච්චර කල් හිටියාද අනාථ කඳවුරේ?
නඩා – ඉඳලා ඉඳලා බැරිම තැන එකෙන් පැනලා අපි මෙහෙ ආවා, ගිය මාසෙ. ගේනි බංගලාවක
රස්සාවකට ගියා. මම කොළඹ හෝටලේක වැඩ. ගේනිගෙ අම්මලා තාත්තලා තාම යාපනේ.දැන් මැරිලාද දන්නෙ නෑ. දැනගන්න විදියකුත් නෑ.
සිල්වා – තමුසෙට දැන් දරුවොත් ඇතිනෙ?
නඩා – කොල්ලො දෙන්නෙක් හිටියා මුදලාලි.
සිල්වා – ඉතිං ඒ දෙන්නා?
නඩා – දෙන්නාම ටයිගර්ස්ලාට එකතු වුණා. එක්කෙනෙක් මැරුණා. අනිකා ඉන්නව ̈……… කොහෙ ඉන්නවද දන්නෙ නෑ. (නිහැඬියාවක ) …….මුදලාලිගෙ ළමයි?
සිල්වා – ඔව්. දුවයි, පුතයි.
නඩා – දෙන්නාට වරදක් නැතුව ඇතිනෙ?
සිල්වා – දුව උගන්නනවා අම්පාර පැත්තෙ. දැන් හරිම භයානක පැත්තක්. අපි එයා ගැන හරිම බයෙන් ඉන්නෙ.
නඩා – එතකොට පුතා?
සිල්වා – පුතා විශ්ව විද්‍යාලෙට ගියා ගියාමයි. (දිග සුසුමක් හෙළයි)
නඩා – ඇයි මුදලාලි?
සිල්වා – ඌ ජේ.වී.පී. එකට එකතුවෙලා ̈. ඉන්නවාද මැරිලාද දන්නෙ නෑ. කිසිම ආරංචියක් නෑ.
නඩා – හරි වැඩෙිනෙ, මට වෙච්ච දේමයි.
(දෙදෙනාම බොහෝ වේලාවක් නිහඬව සිටිති.)
නඩා – මුදලාලි, පොලීසියයි ආමි එකයි අපේ කොල්ලො හොය හොයා අපේ ගෙවල් කඩලා
ගිනි තිබ්බනෙ. දෙමළ මිනිස්සුත් මැරුවනෙ. දැං එ්ගොල්ලො සිංහල මිනිස්සුන්ගෙ ගෙවලුත්
කඩනවා ගිනි තියනවා ̈, ඉස්කෝලෙ යන දරුවොත් විනාශ කරනව ̈, නේද?
සිල්වා – ඒක නේන්නං බලනවකො.
නඩා – අපිටත් කළේ ඔය ටිකමයි මුදලාලි…… ඉතිං මුදලාලි, ඔය සිංහල පොලීසියයි, ආමි එකයි අපේ කොල්ලො එක්ක යුද්දෙ කරනකාට සිංහල මිනිස්සු, අම්මලා තාත්තලා පන්සලේ පූජා තිබ්බා නේද, “අපේ ආමි පොලිස් ආරක්ෂා කරන්න”, කියලා?
සිල්වා – ඔව් ́
නඩා – අන්න හරි ! බෝති පූජා! (නඩරාජාට මහ හඬින් සිනා නැගෙයි.)
සිල්වා – මළ ඉලව්ව !
(සිල්වා නොරුස්නා කේන්ති ඉරියව්වකින් ඉවත බලා සිටියි.)
නඩා – ඔය ආමි එක, පොලීසිය තමු සෙලාගෙත් නෙවෙයි, අපෙත් නෙවෙයි මුදලාලි…… අයියෝ ෂාමි!
දෙමළ මිනිහත් මැරෙනවා, සිංහල මිනිහත් මැරෙනවා. ඉවර නෑ. නරක කාලෙ තමයි.
(සිල්වා සහ නඩරාජා නැවතත් නිහඬව සුසුම් හෙළති.)
සිල්වා – ඈ නඩා, තමුසෙ පනස් අටේ කෝලහලෙදි තමුසෙගේ ගම්පහ කඩෙි නැති වුණාට පස්සෙ මොනවද කළේ? කොහොමද ජීවත් වුණේ?
නඩා – කඩෙි කඩාපු දවසෙ තමුසෙ මාව හංගාගෙන හිටියානෙ. එ්ක හින්දා මං බේරුනා. මට ඒක අමතක වෙන්නෙ නෑ. තමුසෙ එදා දෙයියො වගේ මට බැලුවා.
සිල්වා – මම ඒක කළේ මනුස්සකමට.
නඩා – එ්කෝලාලෙ ඉවරවෙලා මම කොච්චියෙ ආවා යාපනේ. ඇවි යාපනේ මාකට් එකේ මාළු ලෑල්ලක් දැම්මා. ටිකක් ටිකක් ෂල්ලි ආවාම සිල්ලර කඩයක් දැම්මා, ටවුමෙ පොලීසිය කිට්ටුව. ටික ටික මට හොඳ වුණා. මම කසාද බැන්දා. ළමයි හම්බ වුණා. ඔහොම ඉන්නකොට තමයි එයිටිවන් අවුරුද්දෙ පොලිස් රාලහාමිලාට කවුද වෙඩි තියලා මැරුවා කියලා පොලීසිය ඇවිත් ටවුමෙ කඩ කැඩුවා. අපේ කඩෙත් කැඩුවා. මම මොනවා කරන්නද මුදලාලි? මම අහිංසක මිනිහා. මගෙ කඩෙි ඉවරයි. ආයිත් පාරක් මගෙ ඔක්කොම සුරුස් ගානකොට ඉවරයි. (ඔහු හඬ නොනැගෙන සේ, දුම්රියේ ජනේලයට හිස තබාගෙන සිල්වාට හැර වෙනත් අයට නොපෙනෙන සේ අඬයි.)
සිල්වා – අපොයි දෙයියනේ !
(නඩරාජා ඇඬීම අවසන් වූ පසු සුසුමක් ඇර රහසින් කඳුළු පිසගෙන නැවතත් කෙළින් වෙයි.)
සිල්වා – බලනවකො ́මගෙ කඩෙත් කැඩුවනෙ.
නඩා – මොනවා? ගම්පහ කඩෙි?
සිල්වා – ඔව්. එච්චරමනෙ මට ආදායමකට තිබුණේ.
නඩා – කවුද කැඩුවෙ? පොලිස්ද? ආමිද?
සිල්වා – දෙගොල්ලන්ගෙන් කවුරුහරි.
නඩා – මොකද එ් කැඩුවෙ?
සිල්වා – දොළොස්වැනිදා කඩ වහන්න කියලා කොල්ලො කඩෙිට ඇවිත් ලියුමක් දුන්නා. ඉතිං නොවහා පුළුවනැ. මම කඩෙි වහලා ගෙදරට වෙලා හිටියා. හදිසියෙ මට ආරංචි වුණා ටවුමෙ වහපු කඩ කඩනවා කියලා. ඉතිං මම දුවගෙන ආවා. ඇවිත් බලනකොට කඩෙි කඩලා ඇරලා. බාගයක් විතර බඩු අඩුයි. ඇදලා.
නඩා – තමුසෙගෙ බඩු බාගෙද නැති වුණේ? මගෙ ඔක්කොම තමයි නැති වුණේ. තුන් පාරක්ම
ඔක්කොම නැති වුණා. පනස් අටේ ගම්පහදි. එයිටි වන් යාපනේදි. එයිටි සික්ස්
වඩමරච්චියෙදි. ඔක්කොම නැති වුණා ඔහොම යනකොට, තව ටික දවසකින්
තමුසෙලාගෙත් ඔක්කොම නැතිවෙයි.
සිල්වා – එ්කොහොමද?
නඩා – මම පොඩි ජාතියෙ එකා හින්දා ඔක්කොම එකපාරටම නැති වුණා. තමුසෙලා ලොකු
ජාතියනෙ. එක හින්දා ටික ටික හෙමින් හෙමින් තමයි නැති වෙන්නෙ. බලනවා මං
කියන්නෙ බොරුද කියලා.
සිල්වා – හැබෑමයි.
නඩා – ඉස්සර සිංහල පොලීසියයි ආමි එකයි යාපනේ හිටියා. අපි බයෙන් හිටියා. අපි විනාශ
වුණා. දැන් ඉන්නවා ඉන්ඩියන් ආමි. අපි තවත් විනාශ යි. ඉන්න තැනුත් නැතිවෙලා. කන්න
නැතිවෙලා. අපිට වගේ කවදාහරි ඉන්ඩියන් ආමි හරි ඇමෙරිකන් ආමි හරි ආවොත් සිංහල
මිනිහාට තව හොඳට තේරෙයි.
සිල්වා – ඇත්තටම එහෙම වෙයිද නඩා?
නඩා – එ්ක දෙයියො තමයි දන්නවා.
(සිල්වා නළලේ නැගුණු ඩා බිඳු පිසීමට බැනියම් සාක්කුවෙන් ලේන්සුව ගනිද්දී ඔහුගේ අතින් වේදනාවක නැගෙන බවත්, අතේ මැණික් කටුව තෙල් තැවරුණු රෙදි පටිවලින් වෙලා ඇති බවත් නඩරාජා දකියි.)
නඩා – ඇයි මුදලාලි මොකද අත?
සිල්වා – එදා දොළොස් වැනිදා මට සිද්ධ වෙච්ච දෙයක් තමයි.
නඩා – ආමිද? පොලිස්ද?
සිල්වා – සිවිල් ඇඳලා හිටියෙ. කවුද දන්නෙ නෑ.
නඩා – තමුසෙගෙ පුතා ජේ.වී.පී.යට ගියා කියලා එයාලා දන්නවද?
සිල්වා – ඒක හුඟක් අය දන්නවා.
නඩා – අයියෝ ෂාමි! මුදලාලි ඔය අතිනුත් අර බෝති පූජාවලට මල් ගත්තා නේද? පාන පත්තු කළා නේද?
(සිල්වා නිරුත්තරව අසරණව බලා සිටියි. ටික වේලාවකින් දෙදෙනා යළි කතාබහ අරඹති.
දුම්රිය පණ අදිමින් ඇදි ඇදී යද්දී නඩරාජා කුරුණෑගලින් බසිනතුරුම ඔවුහු තවත් බොහෝ දේ කතා කළහ.)
COMMENTS