අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව තරමක නිහැඬියාවක පැවැති දේශපාලන කරළිය ගිය සතියේ ගිනියම් විය. ඒ කාරණා කීපයක් හේතුවෙනි. කොළඹ වරාය නගර පනත් කෙටුම්පත, පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර දෙකක් සම්පූර්ණ වීම සහ කොරෝනා යළි හිස එසවීම එම කාරණා අතර විය. කොළඹ වරාය නගරය ගැන දේශපාලන කරළියේ වාද විවාද මතුවෙද්දී එය මේ වනවිට අධිකරණය හමුවේ සලකා බැලෙන කටයුත්තක් බවට පත්වී තිබේ.


පාස්කුදා ප්‍රහාරයට වසර දෙකක් පිරුණේ ගිය බදාදාටය. එදින රට පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වූ නමුත් පාර්ලිමේන්තුව එකම ගාල ගෝට්ටියක් බවට පත්වන්නට ද එම කාරණය හේතු වූ බව පැහැදිලිය. පාස්කු ප්‍රහාරයට විරෝධය පළකරමින් විපක්ෂය කළු ඇඳගෙන ආ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කළු පටියක් බැඳගෙන පාර්ලිමේන්තුවට පැමිණියහ. එදින විපක්ෂය පාර්ලිමේන්තුව තුළ විරෝධතාවක් කරන්නට යන බවට ආණ්ඩු පක්ෂයට දැන ගන්නට ලැබී තිබිණි. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ කාර්යාලය ඒ බව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබුණේ දුරකථන හා එස්.එම්.එස්. පණිවුඩ මගිනි. විපක්ෂය කිසියම් හෝ උද්ඝෝෂණයකට සූදානම් වන බැවින් එදින උදේ දහයට පාර්ලිමේන්තුවේ රැඳී සිටින්නැයි ආණ්ඩු පක්ෂය මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබිණි.


විපක්ෂය එවැනි උද්ඝෝෂණයකට සූදානම් වන්නේ නම් ආණ්ඩුව ද ප්‍රතිචාර දක්වන්නට කල්තියාම ලෑස්ති වී සිටියේය. ආණ්ඩු පක්ෂය ද සටන් පාඨ සහිත පෝස්ටර් රැගෙන විත් තිබූ අතර ඒවා රැගෙන යනු ලැබුවේ ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් විසිනි. සභාව තුළ ගුටි බැට හුවමාරුවක් සිදු නොවූ නමුත් සභාවම කාල ගෝට්ටියක් බවට පත්වූයේ දෙපාර්ශ්වයම එකිනෙකාට චෝදනා කර ගැනීම හේතුවෙනි.


සභාවේ ගුටි බැට හුවමාරුවක් සිදු නොවූ නමුත්, සභාවෙන් පිටත දී මන්ත්‍රීවරුන් දෙදෙනකු ගුටි බැට හුවමාරුවක යෙදුණු බව දැන ගන්නට ලැබිණි. ඒ සමගි බලවේගයේ හරීන් ප්‍රනාන්දු සහ ආණ්ඩුවේ ජානක තිස්ස කුට්ටිආරච්චි යන මන්ත්‍රීවරුන් දෙදෙනා අතරය. හරිනුත් තිස්ස කුට්ටි ආරච්චිත් කලක දී හොඳම යාළුවෝය. දෙදෙනාම එකම පක්ෂයෙන් ඡන්දය ද ඉල්ලූහ. එහෙත් තිස්ස කුට්ටි ආරච්චි පසුව පොදුජන පෙරමුණට සම්බන්ධ විය. කලින් යාළුවෝ නිසා දෙදෙනාගේම පැටිකිරිය දෙදෙනාම දනිති. එදින සභාව ඇතුළේ ද දෙදෙනා සභාවට නොගැලපෙන වචන කියමින් බැණ අඬගසා ගත් බව රහසක් නොවේ. හරීන් පාර්ලිමේන්තුවෙන් පිටව යන්නට විදුලි සෝපානයෙන් පහළට බැස්සේය. තිස්ස කුට්ටි ආරච්චි වැසිකිළියට ගොස් එළියට ආවේය. දෙදෙනාම මුහුණට මුහුණ හමුවූයේ ගුටි බැට හුවමාරුවකට මඟ විවර කරමිනි. හරීන් කළු ඇඳුමක් හැඳගෙන සිටි අතර තිස්ස කුට්ටි ආරච්චි සිටියේ සුදු ඇඳගෙනය. හරින් විදුලි සෝපානයෙන් එළියට බහිද්දි ඔහුට තිස්ස කුට්ටි ආරච්චි මුණ ගැසුණේය. මම උඹ අල්ලගන්නයි හිටියේ. හරීන් කීවේ තිස්සකුට්ටි ආරච්චි දෙස බලමිනි. ‘උඹ මොනවා මගේ අල්ලගන්නද?’ තිස්ස කුට්ටි ආරච්චි ද කීවේය.’ දෙන්නා ගහගන්නට අර අඳිද්දී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයා ෆෝටෝ කොපියක් ගන්නට පහළට පැමිණ සිටියේය. සිද්ධිය දුටු ඔහු මැදට පැන දෙන්නාගේ ගැටුම බේරන්නට විය. සිද්ධිය දුටු ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද දුවගෙන ආවේ ගැටුම බේරන්නටය. දෙන්නා බදාගෙන පොරකද්දී පොලිසිය ද ආවේය. දෙදෙනා ගහගත්තේ හරියට මරියකඩේ වගේය. විශේෂත්වය වන්නේ දෙදෙනා ගුටි ඇන ගත්තේ සී සී ටී වී කැමරාව ඉස්සරහ වීමය. හරීන් එළියට රැගෙන ගියේ පොලිසිය මැදිහත්වීමෙනි. ආණ්ඩුවේ මන්ත්‍රීවරු තිස්ස කුට්ටි ආරච්චි අල්ලාගෙන පිටතට රැගෙන ගියහ. තිස්ස කුට්ටි ආරච්චි මේ ගැන පොලිසියට පැමිණිලි කර ඇත. පහුවදා හරීන් රෝහල් ගත විය. ඒ මේ ගැටුම නිසා දැයි දැන ගන්නට නැත. සිද්ධිය ගැන හොයන්න කතානායකවරයා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් හත් දෙනකුගේ කමිටුවක්ද පත්කර ඇත.


පසුපෙළ මන්ත්‍රීවරු සීඅයිඩී යති 


විපක්ෂයේ හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දී පාස්කු ප්‍රහාරය ගැන විවිධ දේ කියන්නට වූහ. ඔවුන් කතා කළේ ආණ්ඩුවට චෝදනා එල්ල කරමිනි. ඔය මන්ත්‍රී වරප්‍රසාදවලට මුවාවෙලා මෙතන කියන් නැතුව ගිහින් පොලිසියට කියන්න? පසුපෙළ මන්ත්‍රීවරු ඔවුන්ට කීහ. පසුපෙළ මන්ත්‍රීවරුන් පසුව කීවේ ‘මේ ගොල්ලෝ පොලිසියට යන්නේ නෑ. අපි ගිහිල්ලා කියමු’ මේ ගොල්ලෝ කියන ඒවා ගැන පරීක්ෂණ කරන්න කියලා යනුවෙනි. පසුපෙළ මන්ත්‍රීවරයකු මන්ත්‍රී වරප්‍රසාද ගැන කතා කළේය. මන්ත්‍රීලාට වරප්‍රසාද තියෙන බව ඇත්ත. හැබැයි රටේ ආරක්ෂාව වරප්‍රසාදවලට වඩා උත්තරීතරයි. ඒ නිසා අපි මේක පොලිසියට පැමිණිලි කරමු, ප්‍රමිත තෙන්නකෝන් මන්ත්‍රීවරයා කීවේය. ඒ අනුව මන්ත්‍රීවරුන් හතළිස් දෙනකුගේ අත්සන සහිත පෙත්සමක් සකස් කළේය. පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ මැදිහත්වීමෙනි. ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා පෙත්සමට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළ බව වාර්තා විය. කෙසේ හෝ පෙත්සම රැගෙන පසුපෙළ මන්ත්‍රීලා 14 දෙනෙක් පොලිසියට ගොස් පැමිණිල්ලක් කළහ.


විමල් උදය වාසුලා
වර්ජනය කළ පක්ෂ නායක හමුව


පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් ඇතිව තිබෙන අර්බුදය විසඳා ගැනීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවේ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් ගිය සඳුදා අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණේ පක්ෂ නායකයන් ගේ ඉල්ලීමකට අනුවය. මේ රැස්වීමට පක්ෂ නායකයින්ට අමතරව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසකට ද ආරාධනා කර තිබිණි. එය දැනගත් වාසු, විමල්, උදය ගම්මන්පිල ඇතුළු පක්ෂ නායකයන් රැස්වීම වර්ජනය කරන්නට තීරණය කළේ පක්ෂ නායකයින්ගේ රැස්වීමට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ද කැඳවීමට විරෝධය පළ කරමිනි. පක්ෂ නායකයන් 16 දෙනා වෙනුවට මන්ත්‍රීවරුන් ද ඇතුළුව පනස් එක් දෙනකු කැඳවා ඇතැයි ඔවුන්ට දැනගන්නට ලැබුණේ ඉරිදා දිනයේ ය. එබැවින් ඔවුන් මෙම රැස්වීමට සහභාගි නොවන බව අගමැතිවරයාට ඉරිදා හවසම දුරකතනයෙන් දන්වා තිබිණි. එතැනින් නොනැවතුණු ඔවුහු සඳුදා උදේ විජේරාම නිල නිවසට ගොස් අගමැතිවරයාට දන්වා සිටියේ පක්ෂ නායක රැස්වීමට මන්ත්‍රීවරුන් ද ඇතුළුව විශාල පිරිසක් කැඳවීමෙන් සාකච්ඡාව සාර්ථකව කළ නොහැකි බවය. එබැවින් පක්ෂ නායක හමුවට එදින සහභාගි නොවන බව දැනුම් දුන් ඔවුහු ඒ සඳහා වෙනත් දිනයක් ලබා දෙන්නැයි ඉල්ලීමක් කළහ. අගමැතිවරයා කීවේ ඔවුන්ගේ ඉල්ලීම පරිදි වෙනත් දිනයක් ලබාදෙන බවය.


පළාත් සභා පනත ගැන බැසිල්ගෙන් පැහැදිලි කිරීමක්


කලින් යොදාගත් පරිදි ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සඳුදා උදේ 10.30ට අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.


පක්ෂ නායකයින් කිහිප දෙනකු හමුව වර්ජනය කළ නමුත් තවත් පක්ෂ නායකයෝ පිරිසක් ඊට සහභාගි වූහ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, ජීවන් තොන්ඩමන්, සෙන්දිල් තොණ්ඩමන්, රාජා කොල්ලු‍රේ, මහාචාර්ය ජී.එල්. පීරිස්, සාගර කාරියවසම්, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් ඊට සහභාගි වූහ මීට අමතරව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් ද ඊට එක්ව සිටියහ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ දී කොට්ඨාසයකට එක් පක්ෂයකින් අපේක්ෂකයන් තිදෙනකු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පක්ෂ නායකයන් කිහිප දෙනකුගේ විරෝධයක් මතුවී තිබිණි. එක් ආසනයකට එකම පක්ෂයෙන් අපේක්ෂකයින් තිදෙනකු ඉදිරිපත් කිරීමට යෝජනා කළේ ඇයි ද යන්න ගැන බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා දීර්ඝ පැහැදිලි කිරීමක් කළේ ය. සමහරුන් මේකට කියනවා සුළු පක්ෂවලට අසාධාරණයක් වෙනවා කියලා. කවුරුත් කතා කරන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයට වෙන අසාධාරණය ගැන. අපි තුන් දෙනෙක් දාන්න යෝජනා කළේ ඡන්දදායකයින්ට කැමැති කෙනෙක් තෝරගන්න. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය ඡන්දදායකයන්ට විකල්පයක් දෙන්න ඕන නිසා තමයි අපි මේ යෝජනාව ඉදිරිපත් කළේ බැසිල් කීවේ දීර්ඝ පැහැදිලි කිරීමක් කරමිනි. අනතුරුව තවත් පක්ෂ නායකයෝ කිහිප දෙනෙක් ද ඒ ගැන අදහස් දක්වන්නට වූහ. එහෙත් අවසන් තීරණයකට ආවේ මේ ගැන තවදුරටත් සාකච්ඡා කළ යුතු බව කියමිනි.


ඊළඟට සාකච්ඡාවට ගැනුණේ මැයි දිනය පැවැත්වීම සම්බන්ධයෙනි. පොදුජන පෙරමුණේ යෝජනාව වූයේ සියලු‍ පක්ෂ එක්ක මැයි දිනය පැවැත්විය යුතු බවය. පොදුජන පෙරමුණ මැයි දිනය පැවැත්වීම සඳහා කොළඹ නගර සභා පිටිය ඒ වනවිටත් වෙන්කර තිබිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බොරැල්ල කැම්බල් පිටිය වෙන්කර තිබිණි. මෛත්‍රී කීවේ මේ සම්බන්ධයෙන් පක්ෂය තුළ තවදුරටත් සාකච්ඡා කර තීන්දුව එදින හවස දැනුම් දෙන බවය. කොමියුනිස්ට් පක්ෂය හා ලංකා සමසමාජ පක්ෂය වෙනම මැයි දිනය පවත්වනට කල්තියාම තීරණය කර තිබිණි. කෙසේ වුවද පක්ෂ නායක හමුව අවසන් වූයේ තීරණයකින් තොරව ය. කොළඹ වරාය නගර පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පක්ෂ නායක හමුවේ දී කිසිවක් සාකච්ඡා නොවූයේ එය ද ඒ වන විට අධිකරණය හමුවේ පැවැති කටයුත්තක් බැවිනි.


මේ අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් එදින සවස හයයි තිහට අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවැත්විණි. සතියේ පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව පළාත් සභා මැතිවරණ පනත සම්බන්ධයෙන් ද සාකච්ඡාවට ලක්විය. උදේ පක්ෂ නායක රැස්වීමට සහභාගී නොවූ පක්ෂ නායකයෝ ද ආණ්ඩු පක්ෂ රැස්වීමට සහභාගි වී සිටියහ. විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහාචාර්ය තිස්ස විතාරණ, වීරසුමන වීරසිංහ ඇතුළු පක්ෂ නායකයන් සහභාගි වූ අතර, වාසුදේව නානයක්කාර මන්ත්‍රීවරයා සහභාගි නොවීය. පළාත් සභා පනතේ කොට්ඨාසයකට එක් පක්ෂයකින් අපේක්ෂකයන් තිදෙනකු ඉදිරිපත් කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ මිලාන් ජයතිලක මන්ත්‍රීවරයා අදහස් දැක්වීය. එක් කොට්ඨාසයකට පක්ෂයකින් තිදෙනෙකු ඉදිරිපත් කිරීමේ අදහස ක්‍රියාත්මක කළ යුතු යැයි ඔහු යෝජනා කළේය. ඔහුගේ යෝජනාව ස්ථිර කළේ සම්පත් අතුකෝරල මන්ත්‍රීවරයාය. සම්පත් අතුකෝරල මන්ත්‍රීවරයා කීවේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බවය. අතුකෝරලගේ අදහස අනුමත කරමින් ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ද කතා කළේය. ‘‘අගමැතිතුමනි, මේ කාරණය මමත් අනුමත කරනවා. අපි මැතිවරණ කල් දැමීමට විරුද්ධව පෙනී සිටි අය ඒ නිසා මේ මැතිවරණය කඩිනමින් පවත්වන්න ඕන” ප්‍රසන්න රණතුංග කීවේය. ඒ සම්බන්ධයෙන් විරුද්ධව අදහසක් ඉදිරිපත් කරන බවක් පෙනෙන්නට නොතිබිණි.


මේ අතර ජගත් කුමාර මන්ත්‍රීවරයා කතා කළේය. ඔහු කීවේ මන්ත්‍රීවරුන්ට ගම්වලට යන්න බෑ කියා විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා ඇති බවය. විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා කියන කතාවලට පදනමක් නැති බව ඔහු කීවේය. ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමක දී තමාට විරෝධය පළ කළේ පොහොට්ටුවේම ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන් පිරිසක් බව ජගත් කුමාර කීවේය. ඒ පිළිබඳ පරීක්ෂණයක් කරන්නැයි ඔහු අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.


අගමැතිවරයා කීවේ පක්ෂයේ මට්ටමින් ඒ ගැන පරීක්ෂණයක් කරන බවය.


ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයාගේ උපන්දිනය ද එදිනට යෙදී තිබිණි. ආණ්ඩු පක්ෂ රැස්වීම අවසානයේ කපන්නට උපන්දින කේක් ගෙඩියක් ගෙනැවිත් තිබුණේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා ය. ඒ අනුව අගමැතිවරයාත් මැති ඇමැතිවරුනුත් ඩිලාන්ට සුබ පතමින් ‘‘හැපී බර්ත්ඩේ’’ කියද්දී ඩිලාන් උපන්දින කේක් කපා පළමු කෑල්ල අගමැතිවරයාට කැවී ය.


ඇමතිලා ජනපති හමුවෙති


අලු‍ත් අවුරුද්දේ ජනාධිපතිවරයාට සුබ පතන්නට මැතිඇමතිවරුන්ට සඳුදා අවස්ථාව ලබාදී තිබිණි. ඒ අනුව ආණ්ඩුවේ මැති ඇමතිවරු ජනාධිපති කාර්යාලයට ගොස් ජනාධිපතිවරයාට බුලත් දී සුබ පැතූහ. ඔවුන් වෙනුවෙන් විශේෂ තේ පැන් සංග්‍රහයක් ද ජනාධිපති කාර්යාලයේ සූදානම් කර තිබුණි. ජනාධිපතිවරයා හා රාජ්‍ය අමාත්‍යවරුන් අතර හමුව මසකට වරක් සිදුවන්නක් විය. ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා ද මෙවර රැස්වීමට පැමිණ සිටියේය. එහිදී අලු‍ත් අවුරුද්ද සමයේ බඩු මිල අඩු කරන්නට රජය ගත් උත්සාහය පිළිබඳව කතා බහට ලක් විය. බැසිල් රාජපක්ෂ මහතා බඩු මිල අඩු කිරීමට සතොස ගත් උත්සාහය ගැන සිහිපත් කළේ බන්දුල ගුණවර්ධනගේ සහන මල්ල ගැන ද අගය කරමිනි. ඔහු කීවේ බන්දුලගේ සහන මල්ල හඳුන්වාදීම පාරිභෝගිකයන්ට වැදගත් වූ බවය.


කොළඹ විශාඛා විද්‍යාලයේ අලුතින් ඇති කළ සුහුරු පන්ති කාමරය විවෘත කරන්නට අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ගිය සතියේ ගියේය. ජී.එල්.ගේ පැමිණීම ගැන සඳහන් කරමින් විදුහල්පතිනිය ජී.එල්.ට විශාකා විද්‍යාලය සමග ඇති සම්බන්ධතාව ගැන කීවේය. විශාකා විද්‍යාලය ආරම්භ කළේ ජී.එල්. පීරිස් ඇමතිවරයාගේ මිත්තණියගේ මිත්තණිය බව විදුහල්පතිනිය කීවාය. සිය කතාවේ දී සඳහන් කළේ මිත්තණියගේ මිත්තණිය ආරම්භ කළ පාසලට සිව්වන පරම්පරාවේ සාමාජිකයකු වන තමන් අධ්‍යාපන ඇමැතිවරයා ලෙස පාසලට පැමිණීමට ලැබීම ගැන සතුටු වන බව ය.


සජබ කළු ඇඳගෙන


සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වීම මේ සතියේදී පැවැත්වුණේ පාර්ලිමේන්තු කමිටු ශාලාවකදීය. පාස්කු ඉරිදා ප‍්‍රහාරයට වසර දෙකක් ගතවීම, ආණ්ඩුව හොර රහසේම කොළඹ වරාය නගරය සඳහා පාලන රාමුවක් ඇති කිරීමේ පනත් කෙටුම්පත සම්මත කරගැනීමට උත්සාහ ගැනීම වැනි කරුණු නිසා අලු‍ත් අවුරුදු සමය අවසන්වූ වහාම කොළඹ පැමිණීමටත්, මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගිවීමටත් කටයුතු කරන ලෙස මන්ත‍්‍රීවරුන්ට දැනුම් දී තිබුණි.


‘‘ආණ්ඩුව වේගයෙන් අර්බුදයට යමින් තියෙනවා. මේකට අවුරුදු පහක්වත් දුවන්න බෑ. මේ වෙලාවේ විපක්ෂයේ කාර්යභාරය අපි නිවැරදිව ඉටු කරන්න අවශ්‍යයි. ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක්‍රියාකලාපයට රුචි අරුචිකම් පැත්තකට දාලා කටයුතු කරන්න අවශ්‍යයි’’ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස පැවසුවේය.
‘‘එහෙම කැපවෙන අපිට සමහර බංකොලොත් කණ්ඩායම් මඩ ගහනවා.‘‘ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.


‘‘කලින් විපක්ෂය වගේ මගේ ඩීල් නෑ. අනික අතීතයේ වගේ කාගේවත් සිරකරුවෙක් වෙලා වැඩ කරන්නත් මම සූදානම් නෑ’’ සජිත් කීවේය.


‘‘මේ වගේ වෙලාවට රංජන් රාමනායක වගේ අය අපිට අවශ්‍යයි. බය නැතිව කතා කරන අය ඕනෑ’’ ගයන්ත කරුණාතිලක මන්ත‍්‍රීවරයා පැවසුවේය.


‘‘රංජන් නිදහස් කරගැනීම ගැන මම කතා කළා. ජනාධිපති සමාවක් ඉල්ලන්න කියලා ඔහු කියපු නිසා මම ඒ ගැනත් කටයුතු කරගෙන යනවා’’ සජිත් රංජන් නිදහස් කරගැනීමේ ක්‍රියාදාමය ගැනත් පැහැදිළි කළේය.
අනතුරුව සජිත් කළේ පාර්ලිමේන්තුවේදී හරින් සහ මනූෂ කළ කාර්යභාරයට ස්තුති කිරීමය.
‘පාස්කු ප්‍රහාරයේ ඇත්ත කතාව රටට කීවේ හරිනුයි මනූෂයි. තර්කානුකූලව, නිවැරැදිව ඒ දෙන්නා කරපු කතාවලට ආණ්ඩුව වියරු වැටුණා. ඒ දෙන්නා කරපු කාර්යභාරයට ස්තූතියි”‍.


සජිත් එහෙම කියනවිට මන්ත්‍රී කණ්ඩායම මේසවලට තට්ටු කරමින් ඔවුන්ට ස්තූති කළහ.
‘දැන් හරීන්ලා මනූෂලා පස්සේ සී.අයි.ඩී. පන්නන්න අරගෙන. මේ මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද? දිගින් දිගටම ආණ්ඩුව අත තිබ්බේ අපේ මන්ත්‍රීවරුන්ට. මේ නාඩගමට අපි ඉඩ දෙන්නේ නෑ”‍ සජිත් කීවේය.


හරින් - මනුෂ කරපු කතාව


පාස්කු ඉරිදා ප‍්‍රහාරයට වසර දෙකක් පිරෙන දිනට පෙර දිනයේදී පාර්ලිමේන්තුවේදී විශේෂ කතාවක් කිරීමට හරින් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයාත්, මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයාත් සූදානම් වූහ. පාස්කු ප‍්‍රහාරය ගැන ඔවුන් දෙදෙනා පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කිරීමට නියමිත කරුණු සොයා ගත්තේ පාස්කු කොමිසමේ සාක්ෂිවලින්මය.


විපක්ෂයේ මුල්ම කතාව කළේ හරින්ය. දෙවැනි කතාව කළේ මනුෂය.


‘‘පුළුවන් නම් මේවා ගිහින් එළියේ කියන්න. පාර්ලිමේන්තු වරප‍්‍රසාදවලට මුවා වෙලා කියන්න එපා’’ ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමැතිවරයා මනුෂට අභියෝගයක් කළේය.
‘‘අපි මේ කොහෙන්වත් හොයාගනිපු දේවල් නෙමෙයි කියන්නේ. පාස්කු කොමිසම හමුවේ ලබාදුන් සාක්ෂි තමයි අපි කියන්නේ’’ මනුෂ කීය.


මේ අතර ආණ්ඩුවේ මන්ත‍්‍රීවරු පිරිසක් ගොස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කර තිබුණේ හරින් හා මනුෂගෙන් මේ ගැන ප‍්‍රකාශ ලබාගන්නා ලෙස ඉල්ලීම් කරමිනි.
‘‘මේ අය හරිනුයි මනුෂයි හිර කරන්න හදන්නේ’’ මන්ත‍්‍රීවරු සජිත්ට කීහ.


‘‘හරිනුයි මනුෂයි පාර්ලිමේන්තුවේදී කියපු දේවල් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්න දෙන්න බැහැ. පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන්ගේ වරප‍්‍රසාද උල්ලංඝනය කරන්න මම කිසිම අවස්ථාවක් දෙන්නේ නෑ’’ සජිත් මන්ත‍්‍රීවරුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේය.


මේ ගැන හරීන්ටත් කතා කරමින් ඔහු විමසා සිටියේය.


පාස්කු ප‍්‍රහාරයට වසර දෙකක් ගතවීමට පෙර දිනයේදී සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරුන්ගේ තවත් කණ්ඩායම් රැස්වීමක් පැවැත්විණි. පාස්කු ප‍්‍රහාරයේ මහ මොළකරුවන් අත්අඩංගුවට නොගැනීම ගැන ආණ්ඩුවට විරෝධය දැක්වීමට සබා ගැබ තුළ විරෝධයක් දැක්වීමට විපක්ෂයට අවශ්‍ය වී තිබුණි.
ඒ අනුව හරින් එහි සංවිධාන කටයුතු කරට ගෙන තිබුණි. එහි වැඩ කටයුතු නිසා ඔහුට කණ්ඩායම් රැස්වීමට සහභාගීවීමට නොහැකි විය. මේ නිසා සජිත් දුරකතනයෙන් ඔහු සම්බන්ධ කරගෙන සංවිධාන කටයුතු ගැන විමසා සිටියේය


‘‘හෙට අපි හැමෝම කළු ඇඳගෙන පාර්ලිමේන්තුවට එමු. 8.45 ට අපි පාස්කු ප‍්‍රහාරයෙන් මියගිය අය සිහි කරලා පාර්ලිමේන්තුවට යන්න ඕනෑ’’ සජිත් කීවේය.


උදෑසන 8.30 වන විට සජිත් පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ වැඩ කටයුතු සිදුවන ආකාරය ගැන සොයා බැලු‍වේය.


හරින් විරෝධතා පුවරු සකස් කිරීමේ කටයුතු කරමින් සිටියේය. මේ අතර කළු පැහැති ඇඳුම් නොමැතිව මන්ත‍්‍රීවරු දෙදෙනෙක් පැමිණ සිටියහ. ඒ මොනරාගල ධර්මසිරි සහ රත්නපුර වරුණ ලියනගේය.
‘‘මම කළු ඇඳුම් බැලු‍වා. කොහෙන්වත් හොයා ගන්න තිබුණේ නෑ’’මොනරාගල දිස්ත‍්‍රික්කයේ ධර්මසිරි මන්ත‍්‍රීවරයා කීවේය.


‘‘එහෙනම් ඉතිං අද රටේ හැමෝම කළු වෙන්න ඇති අඳින්නේ. ඒකනේ කළු ඇඳුම් නැතිව ඇත්තේ’’ මරික්කාර් සිනාවෙමින් කීය.


‘‘කළු ඇඳුමක් නැතිනම් කළු ඉටි කොළයක් හරි ඇඳගෙන තමයි යන්න වෙන්නේ’’ ජේ.සී. අලවතුවල මන්ත‍්‍රීවරයා සිනාසෙමින් කීය.


අවසානයේදී ධර්මසිරි මන්ත‍්‍රීවරයා කළු පැහැති ඇඳුමක් සොයාගෙන පැමිණියේය. හරින් ළඟ තිබූ තවත් කළු පැහැති ඇඳුමක් වරුණ මන්ත‍්‍රීවරයාට දුන්නේය. ඔහු සභා ගැබට ගියේ හරින්ගේ ඇඳුම ඇඳගෙනය.


මැයි දිනයට වෙන දේ


විපක්ෂ නායක කාර්යාලයට පසුගිය බ‍්‍රහස්පතින්දා සවස මන්ත‍්‍රීවරු පිරිසක් පැමිණ සිටියේ දේශපාලන තත්‍ත්වය ගැන සජිත් සමග සාකච්ඡා කිරීමටය.


‘‘අපි හොඳට මැයි දිනය කරන්න හැදුවත් ආණ්ඩුව මැයි දිනය තහනම් කළානේ’’රාජිත සේනාරත්න මන්ත‍්‍රීවරයා කීය.


‘‘එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය සිරිකොතේ තියනවා කියලා ආණ්ඩුවට කියලා. අනෙක් පැත්තෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් වෙනම මැයි දිනයක් කරන්න හැදුවානේ. ආණ්ඩුවට මේ ප‍්‍රශ්න දෙකටම උත්තරයක් දෙන්න ඕනෑ වෙලා තිබුණා. ඒ නිසා තමයි මැයි දිනය තහනම් කරලා තියෙන්නේ‘’නලින් බණ්ඩාර මන්ත‍්‍රීවරයා තමන්ට ලැබුණ තොරතුරක් කීවේය.


‘‘හරින් දැන් අත්අඩංගුවට ගන්න හදනවා. ජනතාව මන්ත‍්‍රීවරු පත් කරලා තියෙන්නේ ආණ්ඩුවේ වැරදි පෙන්නලා දෙන්න. පාර්ලිමේන්තුවේ කතා කරන්නවත් අවස්ථාවක් නැතිනම් මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තුවට යවන එකෙන් තේරුමක් නැහැනේ’’ රෙහාන් ජයවික්‍රම හරින් ගැන කතාවක් ඇද ගත්තේය.
‘‘ආණ්ඩුව දවසින් දවස විපක්ෂයට කතා කරන්න මාතෘකා හදලා දෙනවා. මෙහෙම අසමත් ආණ්ඩුවක් රටේ තිබුණේම නැහැ’’ මුජිබර් රහුමාන් කීය.


එජාප නියෝජ්‍ය නායක
බියගම දී වැඩ අරඹයි


එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සිංහල අලුත් අවුරුද්දෙන් පසු වැඩ ආරම්භ කළේ බියගම කාර්යාලයේදීය. දියතලාවේ දී සිය පවුලේ සාමාජිකයන් සමග සිංහල අලුත් අවුරුද්ද ගත කළ ඔහු බියගම කාර්යාලයේ දී සිය පාක්ෂිකයන් සමග වැඩ ආරම්භ කළේය.


සිංහල අවුරුදු කෑම මේසයක් ද පිළියෙල කර තිබූ අතර රුවන් විජයවර්ධන මහතා පැමිණ සිටි පිරිස සමග එක්ව කතා බහ කරමින්ම ආහාර ගත්තේය.


අඟහරුවාදා සිරිකොත මන්දිරයේදී පැවැති පක්ෂයේ කළමනාකරණ කමිටු රැස්වීමට රුවන් විජයවර්ධන මහතා ද සහභාගි විය. එම සාකච්ඡාව අතරතුර ඔහුගේ ඥාතියකු දුරකතනයෙන් කතා කර දේවින්ද සේනානායක මහතාගේ අභාවය පිළිබඳව දැනුම් දුන්නේය. දේවින්ද සේනානායක මහතා රුවන් විජයවර්ධන මහතාගේ මවගේ සොහොයුරාය.


අභාවය දැනගත් වහාම වුඩ්ලන්ඩ්ස් නිවසට ගිය ඔහු අවමංගල කටයුතු සූදානම් කළේය. සේනානායක මහතාගේ අවසන් කටයුතු සිකුරාදා බොරැල්ල කනත්තේ දී සිදු කෙරුණි.

 

-ගජබා-