IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


එහාට මෙහාට පැනිලි

කෝ සාගල 

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණේ වූහ. ජනපති රනිල් තේ පැන් සංග්‍රහය පැවැති ස්ථානය වෙත පැමිණියේ මේ අතරවාරයේ ය. ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලු ප්‍රධාන නිලතල දරන්නන් එහි පැමිණ සිටිය ද කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක එහි නොමැතිවීම ගැන කසුකුසුවක් පැවතියේය.


ජනපති අසලට පැමිණි ඇමති බන්දුල, වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය හා මහාචාර්ය ආශු, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක රටේ තත්ත්වය ගැන කතා කරන්නට වූහ. වැට් බදු ක්‍රියාත්මකවීමත් සමඟ ඉන්ධන ඇතුළු භාණ්ඩයන් හි මිල ඉහළ යෑම එහි ප්‍රධාන මාතෘකාවක් වූයේය.
“මේ වෙලාවේ ජනප්‍රිය තීන්දු ගන්න මට අමාරුයි. මම ගන්නේ රටේ ජනතාවගේ අනාගතය වෙනුවෙන් තීන්දුයි. දැන් බැන්නත් ජනතාව අනාගතයේදි මට හොඳ කියාවි.” ජනපති කීවේ නළල රැළි ගන්වමිනි.


“බජට් සෙමිනා ටික මම කරගෙන යනවා. බදු ගැනත් එතනදි කතා කරලා ජනතාව දැනුම්වත් කරනවා.” සමන් රත්නප්‍රිය කතාව ආරම්භ කළේය.
“ඔව්, බොරු සුරංගනා කතා කියන්නේ නැතුව. ඇත්ත කතාව කියන්න ඕනැ. මේ මාර්ගය හැර වෙනත් මාර්ගයක් නෑ. මේ ගමන කටුක හින්දා තමයි හැමෝම එදා මේ වගකීම ගන්නේ නැතුව පැනලා ගියේ. ගුවන් හමුදා මූලස්ථානය විවෘත කරන තැනදී ආර්ථික තත්ත්වය ගැන මම කියනවා.” කියූ ජනපති, මුදල් අමත්‍යාංශ ලේකම් කැඳවා තොරතුරු විමසන්නට වූයේය.

සාගල සිරිකොතේ 

ජනාධිපතිවරයාට සුබපතන්නට පැමිණි පිරිස අතරට කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල ආවේ ජනපති ඉන් පිටවීමට සූදානම් වෙද්දීය. “ආ සාගල මැතිතුමා කොහෙද ගිහින් හිටියේ.? අපි බැලු‍වා මොකද නැත්තේ කියලා. අපි හිතුවේ වෙන ප්‍රශ්නයක් ද දන්නේ නෑ කියලායි.” එහි සිටි අය නව වසරට සුබ පතන ගමන් ඔහුගෙන් එම ප්‍රශ්නය ඇසීමට ද අමතක නොකළේය.


නව වසරට කිරි උතුරුවා අලු‍ත් අවුරුදු කෑම මේසය වෙත ගිය සාගල රත්නායක, කෑම මේසය ඉඳුල් කරන්නටත් පෙර නොඉඳුලේම පැමිණ සිටියවුන්ට කියා සිටියේ මේ වසර සඳහා මහලේකම් ලෙස රංගේ බණ්ඩාර ජනාධිපතිතුමන් විසින් යළිත් පත් කර ඇති බවය.


ඉතිරි තනතුරු පසුව පත් කරනු ඇති බවද ඔහු කීවේ පැමිණ සිටි පාක්ෂිකයන් දිරි ගන්වමිනි.
මහලේකම් රංගේ නව වසරට වැඩ ආරම්භ කළේ සිරිකොතේ දැනට සිටින පැරණිම සාමාජිකයා වන ධනපාල මාමා වෙත බුදු පිළිමයක් පිරිනමමිනි. එසේම මැලේසියාවේ සිට ගෙනා පිරිත් නූල් ඔහුට දුන්නේ සිරිකොත කාර්ය මණ්ඩලයට දෙන ලෙස කියමිනි. මහලේකම්ගේ කාර්යාලය වෙත ගිය සැමට ඔහු මෙම පිරිත් නූල් හා පිළිම ලබා දුන්නේ නව වසරට ආසිරි පතමිනි.

ශාන් සහ  දයාශ්‍රිත ගැන කතා

බදාදා සවස අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලන්සා, පියංකර ජයරත්න ඇතුළු කණ්ඩායමක් ජනපති හමුවට පැමිණියේ ඔවුන්ගේ නව දේශපාලන කාර්යාලය ගැන දැනුම්වත් කිරීමටය. ජනාධිපතිතුමන්ගේ වැඩපිළිවෙළට සහාය දෙන අතර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු හා එක්වෙමින් කටයුතු කරන බවද ඔවුහු මෙහිදී කියා සිටියහ. ඒ අතර ශාන් විජයලාල් හා දයාශ්‍රිත තිසේරා සජබයට පැමිණිම ගැන ද කතා බහක් ඇතිවිය. මහින්දානන්ද හා ප්‍රසන්න රණතුංග ද ඒ අතරතුරේ ජනපති මුණගැසීමට පැමිණියහ.
“සජිත් කැම්පේන් එක ජනවාරි 01 දාම පටන් ගත්තේ ශාන් විජයලාල් ද සිල්වාව අරගෙන. මේකට අපේ ගොඩක් අය කලබල වෙලා.” නිමල් ලන්සා කීවේය.
“ශාන් විජයලාල්ට ආණ්ඩුව පැත්තේ ඉඩක් තිබුණේ නෑ. අනෙක් පැත්තෙන් ශ්‍රිලනිපය එක්කත් ප්‍රශ්නයක් දා ගෙන හිටියේ. කොහොම වුණත් ආණ්ඩුවෙන් ගාල්ලට රමේෂ් පතිරණ, වජිර අබේවර්ධන, මනූෂ, මොහොන් ද සිල්වා වගේ ප්‍රබල චරිත ඉන්න නිසා එයාට එන්න විදිහක් නෑ.” ඇමති ප්‍රසන්න කීවේය.


“අනෙක, අම්බලන්ගොඩ වැඩිම මනාප ගත්තේ එහේ ප්‍රාදේශීය සභා සභාපති. එයා ඉන්නේ අපිත් එක්ක. මෙයාට යන්න තිබුණ තැන ස.ජ.බ ය. මේක කලින්ම ආණ්ඩුව දැනගෙන හිටියා.” ඇමති ශෙහාන් ද කතාවට එක්වූවේ එලෙසිනි.


“ඡන්දයක් පේන මානයක නැතුව මෙහෙම කට්ටිය අරගෙන ඒක පවත්වාගෙන යන්න පුළුවන්ද? එයා හැමදාම කළේ මේ වගේ වැඩනේ” ඇමති මනූෂ කීවේ සිනහසෙමිනි.
“මෛත්‍රිපාල සිරිසේන ගේ කැම්පේන් එක අපි පටන් ගත්තේ සති තුනෙන්.” වජිර ද කතාවට එක්වූයේ පැරණි මතක සිහිපත් කරමිනි.
“අනෙක ජී.එල් ලා, නාලක ගොඩහේවලා ගත්ත එකෙන් සජබ ඇතුළේ ප්‍රශ්න වැඩි වෙලා. නාලක ගොඩහේවා තමයි ගෝඨගේ ප්‍රතිපත්ති සම්පාදක. වැට් බද්ද 8% කට ගෙනල්ලා ආර්ථිකය කඩා වට්ටන්න උදව් වෙච්ච කෙනෙක් එක්ක සජිත්ට ඉන්න පුළුවන් වුනාට අනෙක් අයට බෑ.” මහාචාර්ය ආශු කීවේ ස්ථිර හඬිනි.
“දයාශ්‍රිතව ගෙනාවේ නිරෝෂන් පෙරේරා පහළට දාන්න කියලා තමයි ආරංචි” මන්ත්‍රී මධුර කීවේ සිනාසෙමිනි.


සියලු‍ කතා අසා සිටි ජනපති රනිල් “ ඔයාලා කලබල නොවී ආසනවලට ගිහින් තම තමන්ගේ ආසනවල වැඩ කරන්න. කලබල වෙලා හදිසි වෙලා කැම්පේන් කරන්න බෑ. ජනාධිපතිවරණ කැම්පේන් එකට වඩා මට තියෙන්නේ රටයි ආර්ථිකයයි ගොඩදාන කැම්පේන් එක.” ජනපති රනිල් කීවේ සිනාසෙමිනි

ශාන් ගිය එක ගැන  ගාල්ලෙන් විරෝධයක්

පසුගිය බදාදා දිනයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව වසරේ වැඩකටයුතු ආරම්භ කළේය. මේ උත්සවයට ඩාර්ලි පාරේ කාර්යාලයට මෛත්‍රී, නිමල්, මහින්ද අමරවීර, ලසන්ත ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු එක්වූහ. මෙදින ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම ආසන සංවිධායකවරුන් පක්ෂ කාර්යාලයට ගෙන්වා තිබීම ද විශේෂයක් විය. වැඩ ඇරඹීමෙන් පසු මෛත්‍රී, සාරතී දුෂ්මන්ත, දුමින්, ලසන්ත ඇතුළු පිරිස ගාල්ල ආසන සංවිධායකයන් සමග සාකච්ඡා කළේය. 
“ශාන් ගිය එක අපට ලොකු පාඩුවක්. ඒක පිරිමහන්න බෑ.” කියමින් චෝදනා කරන්නට වූහ. එසේම ශාන් සහ මෛත්‍රී අතර විරසකයක් හදන්නට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ සිටින ආසන සංවිධායකවරයෙකු කටයුතු කළ බවටද ගාල්ල ආසන සංවිධායකවරු චෝදනා කළහ. මේ වාද විවාද ඔස්සේ සාකච්ඡාව අවසන් කරන්නට කලින් සංවිධායකවරු සාකච්ඡාවෙන් නැගිට ගියහ. 

පැනිලි ඇරඹෙයි 

නත්තල් නිවාඩුවත් වසර අවසානයත් හේතුවෙන් නිවී තිබූ දේශපාලන කරළිය නව වසර උදාවත් සමඟ යළි ගිනියම් විය. මේ පැවැත්වෙන මැතිවරණය කුමක්ද?, පැවැත්වෙන්නේ කවදාද? යන්න සම්බන්ධයෙන් තීන්දුවක් නොමැති වුවද, දේශපාලන පොරපිටිය සූදානම් වෙමින් තිබෙන්නේ මැතිවරණයකට බව පැහැදිලිය. සාමාන්‍යයෙන් දේශපාලනඥයන් පක්ෂ මාරු කරන්නේ මැතිවරණයක් ඔන්න මෙන්න තියාය. එසේ වුවත් මැතිවරණය ගැන හෝඩුවාවක් හෝ නොමැති වුව ද දේශපාලන කරළියේ එහෙට මෙහෙට පැනීම් දැන් සිටම පටන් ගෙන ඇත.


ඉකුත් සතියේ දේශපාලන කරළියේ එහෙට මෙහෙට පැනීම් කිහිපයක්ම වාර්තා විය. ඉන් ප්‍රධාන තැනක් ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු මෙන්ම, දකුණේ ප්‍රබල දේශපාලඥයෙකු වන ෂාන් විජයලාල් ද සිල්වා මන්ත්‍රීවරයා ශ්‍රීලනිපයෙන් ඉවත්ව සමගි ජන බලවේගය සමඟ සම්බන්ධ වීමය. ඔහු බොහෝ කාලයක් දකුණේ මහ ඇමතිවරයා ලෙස කටයුතු කළ අතර, ශ්‍රීලනිපය සමග ඔහුගේ දේශපාලන දීගය අවුරුදු 45ක් පමණ වේ.  ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා සමග හැමදාම සිටියේය. එහෙත් ඔහු නව වසර උදාවත් සමඟ ශ්‍රී ලනිපයේ දේශපාලන ගමනට තිත තබමින්  සජිත් පිල සමග එක්විය. දේශපාලන පොර පිටියේ හැසිරීම් අනුව ඉතිරි මැතිවරණය ඉලක්ක කර ගනිමින් ශ්‍රීලනිපය යම් ස්ථාවරයක් ගත යුතු බව ඔහු දිගින් දිගටම කියා තිබිණි. ඔහු පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට ද මේ බව දිගින් දිගටම දැනුම් දී තිබූ නමුත් පක්ෂයෙන්  ඊට ප්‍රතිචාරයක් නොමැති තැන හිතුවක්කාරී තීන්දුවක් ගත්තේය. ඔහු තම තීන්දුව ගැන කියන්නට ඉකුත් තිස් එක් වැනි දා හැන්දෑවේ ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ගෙන තිබිණ. ඔහු කියා තිබුණේ 2024 දේශපාලන තීන්දුවක් ගන්නා බවය. මෛත්‍රීගෙන් ලැබුණු පිළිතුර වූයේ “මම තුන්වෙනිදා කොළඹට එනවා. ඊට පස්සේ අපි කතා කරමු” කියාය. එහෙත් ඔහුට තුන්වැනිදා තෙක් ඉවසන්නට පුළුවන් කමක් නොවූයේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාගෙන් දිගින් දිගටම ඇමතුම් ලැබීම හේතුවෙනි. ඔහුට සජබ සාමාජිකත්වය ගන්නා ලෙස සජිත් ගෙන් දිගින් දිගටම ඉල්ලීම් ලැබිණ. එමෙන්ම ඔහුට අම්බලන්ගොඩ ආසනයේ සජබ ප්‍රධාන සංවිධායක ධුරය ද එහිදී පිරිනමනු ලැබීය

බන්දුලාල්ගේ කපුකම  සහ පරිත්‍යාගය

ශාන්ගේ පැමිණීම සජබේ මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ විමතියට හේතුවක් වුණේ මෙය සිදුවන තෙක්ම එය රහසක් වීමයි. ශාන් විජයලාල් ද සිල්වා සමගි ජන බලවේගයට එක් කර ගැනීමේ කතාබහ ඇතිවන්නේ මීට මාස 5 කට පමණ පෙරයි. සමගි ජන බලවේගයේ බද්දේගම සංවිධායක හිටපු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මේ කපුකමට මුල් විය.


බන්දුලාල් බණ්ඩාරිගොඩ පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන කාලයේ දී ශාන් විජයලාල් ද සිල්වා  සමඟ පවත්වාගෙන ගොස් තිබුණේ හොඳ සම්බන්ධතාවකි.  ශාන් විජයලාල් ද සිල්වා සමගි ජනබලවේගය සමඟ සම්බන්ධ කර ගැනීමේ වැඩපිළිවලේදී බන්දුලාල් බණ්ඩාරිගොඩට විශාල ශක්තිය වුණේ  සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් සංවිධායක වන ගීගනගේය. ඔවුන් දෙදෙනා ශාන් විජයලාල්ට සමගි ජනබලවේගය සමඟ එකතුවීම සඳහා ආරාධනා කළ සෑම අවස්ථාවක දී බන්දුලාල්ට කීවේ “ඔබ වගේම මමත් පක්ෂය හැර ගිය කෙනෙක් නෙවෙයි. පක්ෂය දාලා යන්නේ නෑ. පක්ෂයෙන් විශාල පිළිගැනීමක් සහ අවස්ථාවක් හැම මොහොතෙම ලැබිලා තිබෙනවා” යනුවෙනි.
නමුත් බන්දුලාල් සහ ගීගනගේ තමන්ගේ උත්සාහය අත්නොහැර දිගින් දිගටම ශාන් විජයලාල්ට කීවේ වර්තමාන දේශපාලන බලය තුළින් යමක් කළ හැකි කම් ජයග්‍රහණය කළ හැකි කණ්ඩායමක් සමඟ එකතුවීම කළ යුතු බවයි. ශාන් විජයලාල්ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය ගැන පැහැදීමක් තිබුණි. සජිත් ප්‍රේමදාස නායකතුමාගේ නිකැලැල් දේශපාලනය ගැන ශාන් විජයලාල්ගේ හැඟීම බන්දුලාල් මෙහිදී ඉස්මතු කරමින් සමගි ජනබලවේගය සමඟ සම්බන්ධ වීමට ඔහුට ගැටලු‍වක් නොවන සාධකය මෙය බව කියා සිටියේය. 


මෙහිදී ශාන් විජයලාල් බන්දුලාල් බණ්ඩාරිගොට කීවේ “මගේ දේශපාලනය ලියවිලා තිබෙන්නේ අම්බලන්ගොඩ මට දේශපාලනය කරනවා නම් ඒ පදනම තිබිය යුතුයි” යන්නයි.  
බන්දුලාල් බණ්ඩාරිගොඩ ශාන් විජයලාල්ට කීවේ “අම්බලන්ගොඩ ආසන සංවිධායක ධුරය ඔබතුමාට ලබා දෙන ලෙස මම නායකතුමාට යෝජනා කරන්නම්.” කියාය.  “එතකොට ආනන්ද අබේවික්‍රම සංවිධායකට මොකද වෙන්නේ? ඔහුට හානියක් වෙනවා නම් මට මේ දෙය කරන්න බෑ ” ශාන් කීවේය.  
“ඒකට උත්තරයක් මම ලබා දෙන්නම් ඔබතුමා කැමතිද? නැද්ද? මට උත්තරයක් දෙන්න” බන්දුලාල් බණ්ඩාරිගොඩ කීවේය.
ශාන් විජයලාල්ගෙන් කොළ එළියක් ලැබුණු මොහොතේම බන්දුලාල් දුරකතනයෙන් විපක්ෂ නායකතුමාට කතා කර ශාන් විජයලාල්ගේ කැමැත්ත පිළිබඳව දැනුම් දුන්නේය. ඒ සමඟම අම්බලන්ගොඩ සංවිධායක ධුරය ගැනත් බන්දුලාල් බණ්ඩාරිගොඩ විපක්ෂ නායකතුමාට කීවේය.
විපක්ෂ නායකතුමා කීවේ “ගැටලු‍වක් නේද බන්දුලාල් එතකොට” කියාය.  බන්දුලාල් බණ්ඩාරිගොඩ කීවේ “ඒක ගැටලු‍වක් වෙන්නේ නෑ සර්. ආනන්ද අබේවික්‍රමට බද්දේගම ආසනය ලබාදෙන්න.” කියාය. එයින්  විපක්ෂ නායකවරයා පුදුමයට පත්විය. “එතකොට ඔයාට මොකද වෙන්නේ” විපක්ෂ නායකවරයා එසේ ඇසීය. 
“ ඔබතුමා රට වෙනුවෙන් දිනන්න ඕන. ඒ සඳහා ශක්තියක් ලැබෙන ඕනෑම පියවරක් වෙනුවෙන් මම කැප කිරීම් කරන්න ලැහැස්තියි. මේ ගැන කතා කරන්න දෙයක් නෑ. අම්බලන්ගොඩ ශාන්ට දීලා බද්දේගමට ආනන්දව පත් කරන්න. අපි සමගි ජනබලවේගය ශක්තිමත් කරමු.” බන්දුලාල් කීවේය. 
බන්දුලාල්ගෙන් දුරකතන අංකය ලබාගත් විපක්ෂ නායකතුමා ශාන් විජයලාල්ට කතා කර ජනවාරි පළමු දා විපක්ෂ නායක කාර්යාලයට පැමිණෙන ලෙස දැනුම් දුන්නේ අලු‍ත් අවුරුද්ද ආරම්භයේදීම පක්ෂයට ශක්තියක් ලබාදෙන වැඩපිළිවෙළ සැලසුම් කරමින්ය. 


ශාන් විජයලාල් ද සිල්වා විපක්ෂ නායක කාර්යාලයට උදෙන්ම පැමිණියේ විපක්ෂ නායකවරයා සමඟ කොලොන්නාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සුදානම් කර තිබූ පක්ෂ ක්‍රියාකාරින්ගේ හමුවකට සහභාගි වීම සඳහාය.


ඒ මොහොතේ ශාන් විජයලාල්ට ලැබුණේ විශාල පිළිගැනීමකි. ඒ හමුවේ කෙටි මොහොතක් ගත කළ විපක්ෂ නායකතුමා ශාන් සමඟ විපක්ෂ නායක කාර්යාලයට පැමිණියේ විපක්ෂ නායක කාර්යාලයේ වැඩ කටයුතු ආරම්භ කරන උත්සවයට සහභාගි වීමටය. ඒ වනවිටත් විපක්ෂයේ ක්‍රියාකාරීන් කිහිපදෙනෙක් විපක්ෂ නායක කාර්යාලයට පැමිණ සිටියහ.
ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක , චන්දිම වීරක්කොඩි, විජයපාල හෙට්ටිආරච්චි සමඟ ජී.එල් පීරිස්. ඩිලාන් පෙරේරා යන මන්ත්‍රීවරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.


කාර්ය මණ්ඩලය හමුවීමට පෙර ශාන්ට පක්ෂ සාමාජිකත්වය සහ අම්බලන්ගොඩ ආසන සංවිධායක ධුරය පිරිනමන ලදි. ඉන්පසුව කාර්යමණ්ඩලය හමුවේ අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කීවේ අප සුළු සංග්‍රහයකින් තෘප්තිමත් වුවද අද රටේ ජීවත් වීමේ අරගලයට මුහුණ දෙන අති විශාල පිරිසක් සිටින බවයි. තම දරුවන් සමඟ ජීවිතය හානි කර ගන්නා මව්වරු, පියවරු සිටින මොහොතක නව වසරට අප පා තබන බවයි. මේ රට දුකෙන් මුදවා ගැනීම සඳහා ජනතාවට අවශ්‍ය කරන හොඳ පිරිස් සමගි ජනබලවේගය සමඟ එක්වන බව සඳහන් කළේ ශාන් විජයලාල් ද සිල්වාගේ පැමිණීම නිවේදනය කරමින්ය.


ඒ අවස්ථාවේ ගයන්ත කරුණාතිලක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කීවේ අප බොහෝ දෙනා පක්ෂයේ ජයග්‍රහනයට කැපවිය යුත්තේ කැප කිරීම් සමග බවයි. විපක්ෂ නායකවරයා අදහස් දක්වමින් කීවේ බන්දුලාල් බණ්ඩාරිගොඩ හිටපු මන්ත්‍රීවරයා සහ ගීගනගේ සංවිධායකවරයා ඉටු කළ සේවය අප සියලු‍ දෙනාගේ ඇගැයීමට ලක්විය යුතු බවය.

දයාශ්‍රිතට එන්න  චිත්‍රාල් තනතුර දෙයි

මේ අතර ඊට දින කිහිපයකට පසුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම  හිටපු ඇමතිවරයකු වන දයාශ්‍රිත තිසේරා ගිය  සතියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී  සජබයට එක්විය. පුත්තලම් දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රීවරයකු, නියෝජ්‍ය ඇමැතිවරයකු සහ ඇමැතිවරයකු ලෙස කටයුතු කළ දායාශ්‍රිත තිසේරා සමගි ජනබලවේගය සමඟ එක්වීම මාස 7 ක 8 ක පමණ පෙර සිට ඇති වූ කතාබහක ප්‍රතිඵලයකි. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාගේ මිතුරකු වන ලක්ෂ්මන් ෆොන්සේකාට ඕස්ට්‍රේලියාවේ සිටින ඔහුගේ මිතුරෙකු වන රජිත ජයවික්‍රමට කතාකර ප්‍රකාශ කළේ දයාශ්‍රිත තිසේරා සමගි ජනබලවේගය සමඟ එක්වීමට කැමැත්තක් තිබෙන බවයි.
ඒ ගැන කතාබහක් ඇතිවුණ ද පසුව එය යටපත් වුණි. ශාන් විජයලාල් සමගි ජනබලවේගය සමඟ එක්වීම සමඟ මෙම කතාබහ යළි ඉස්මතු වුණි. මේ ගැන කතා කරන විට සජිත් ප්‍රේමදාස නායකතුමා කීවේ මේ ගැන පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් වන නිරෝෂන් පොරේරාගෙන් සහ හෙක්ටර් අප්පුහාමි සමග සාකච්ඡා කිරීම වැදගත් බවයි. ඒ ගැන එම මන්ත්‍රීවරුන්ගේ එකඟත්වය ලැබුණු පසුව දයාශ්‍රිත තිසේරා සමගි ජනබලවේගයට සම්බන්ධ කර ගැනීමේ කටයුතු සංවිධානය කෙරිණ.


මෙහිදී ඔහුට ලබාදෙන ආසනය ගැන ප්‍රශ්නයක් මතුවිය. මේ වනවිට නාත්තන්ඩිය සමගි ජනබලවේගයේ සංවිධායක ලෙස ක්‍රියා කළ චිත්‍රාල් ප්‍රනාන්දු සමඟ සාකච්ඡා කර තීරණයක් ගැනීමට භාර දුන්නේ සුජිව සේරසිංහ හිටපු මන්ත්‍රීවරයාටය. ඔහු චිත්‍රාල් සමඟ සාකච්ඡා කළ විට චිත්‍රාල් පැවසුවේ බන්දුලාල් බණ්ඩාරිගොඩ පැවසූ දේමය. මේ මොහොතේ පක්ෂය ශක්තිමත් කර ජයග්‍රහනය කිරීම සඳහා පියවර ගැනීමේ දී තමා අඩියක් පස්සට ගැනීමට පැකිළෙන්නේ නැති බවය.
සුජීව සේනසිංහ හිටපු මන්ත්‍රීවරයා මහලේකම්වරයාට සහ නායකතුමාට මේ ගැන කීමෙන් පසු දයාශ්‍රිත තිසේරා සමගි ජනබලවේගයට ගැනීමට කටයුතු සිදුවිය. පක්ෂක නායක සජිත් ප්‍රේමදාස කීවේ පෞද්ගලිකත්වය සලකා පක්ෂයේ ජයග්‍රහනය සහ උන්නතිය වෙනුවෙන් චිත්‍රාල් ප්‍රනාන්දු ගත් ක්‍රියා මාර්ගය සියලු‍ දෙනා අගය කළ යුතු බවයි.

නිදහසින් භාගයක් සජබේ 

ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාවද මේ වන විට දෙකඩ වී හමාරය. ඉන් සිව් දෙනකු දැනටමත් සජබ සන්ධානයට  නිල නොවන මට්ටමින් සම්බන්ධ වී ඇත.ඒ මහාචාර්ය ජී. එල්. පීරිස්, ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩ හේවා සහ මහාචාර්ය චන්න ජයසුමන යන සිවුදෙනාය. මහනුවර වසන්ත යාපා බණ්ඩාර සහ අනුරාධපුරේ පී. ඩී. එ්.  කුමාරසිරි යන මන්ත්‍රීවරු දෙදෙනාද සජබ සමග හාදකම් පවත්වමින් සිටින බව වාර්තා වේ.ඩලස් කණ්ඩායමේ නියෝජක මන්ත්‍රීවරු ගණන දහතුනකි.ඉන් තව කීදෙනෙකු සජබය  සමඟ එක් වේදැයි දැන්ම කිව නොහැකිය.ඔවුන් කුමන කණ්ඩායම  සමඟ එකතු වන්නේදැයි තවමත් නිශ්චිත  තීන්දුවක් ගෙන නැත. ඔවුන් කියා ඇත්තේ විපක්ෂයේ කණ්ඩායම් සමග සම්බන්ධයෙන් සාකච්ඡා කරමින්  සිටින බවය. ඩලස් කණ්ඩායම  නියෝජනය කරන කිහිප දෙනෙකු ප්‍රකාශ කර ඇත්තේ වැඩපිළිවෙළක් සමග විපක්ෂයේ කණ්ඩායම් සමග එක්වන බවය.ඒත් ඒ කුමන කණ්ඩායම සමග දැයි පැහැදිලි නැත.
මේ අතර එම කණ්ඩායමේ ඉතිරි මන්ත්‍රීවරුන් පිරිස ඩලස්ගේ  ප්‍රධානත්වයෙන් සඳුදා හමුවීමට නියමිතය.ගිය සතියේ මේ පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබුණද එය තවදුරටත් කල් දමා ඇත්තේ ඩලස්ගේ අසනීප තත්ත්වය හේතුවෙනි.

අනුර – ලන්සා  සන්ධානයත්  වැඩ අරඹයි 

මේ අතර අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලන්සලා ඇතුළු කණ්ඩායමේ සන්ධානයේ කටයුතු ද ආරම්භ වී ඇත. රාජගිරියේ පිහිටි ඔවුන්ගේ කාර්යාලයේ දී සන්ධානයේ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම කළේ නව වසරේ කිරි උතුරවමිනි. අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලන්සා, පියංකර ජයරත්න මෙන්ම තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ද ඊට සහභාගි වූහ. එම කණ්ඩායම සන්ධානය සූදානම් කරන්නේ ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීමටය.
මේ අතර ගිය සතියේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පොහොට්ටුවේ මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කර තිබුණේ පොහොට්ටුවේ ජනාධිපතිවරණ  අපේක්ෂකයා තවමත් තෝරාගෙන නැති බවය. මැතිවරණය ප්‍රකාශ කළ පසු ජනාධිපති අපේක්ෂකයා නම් කරන බව ඔහු කියා තිබිණ. ඔහු එසේ කීවද පොහොට්ටුවේ මන්ත්‍රීවරයකු වන ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා කියා තිබුණේ ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් තරග කිරීමට තමා සූදානම් වන බවය. ඒ සඳහා පොහොට්ටුවෙන් තමන්ට කොන්දේසි දහයක් පනවා ඇති බව ද ඔහු මාධ්‍ය හමුවකදී කීවේය.

දේශපාලන  පිම්මකට සාකච්ඡා

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ සාකච්ඡා රැසක් ආරම්භ කර තිබේ. එම සාකච්ඡා හිටපු ජනාධිපති පුද්ගලික ලේකම්, ශ්‍රීලනිප කාර්ය මණ්ඩල ප්‍රධානී මියුරු භාෂිත ලියනගේ විසින් සිදුකරන අතර පුළුල් සන්ධානයක් ගොඩ නැගීමේ කටයුතු මේ වන විත් ආරම්භ කර තිබේ. ඒ අනුව මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක ඇතුළු පක්ෂයේ ප්‍රබලයන් පිරිසක් හිටපු ජනාධිපතිතුමගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡා පවත්වා ඇති අතර එම පුළුල් සන්ධානයට පිරිස් එක් කර ගැනීමේ දී පිරිසිදු දේශපාලනඥයන් එක් කර ගත යුතු බවත්, මේ වන විටත් පොදුජන පෙරමුණේ පිරිසක් ශ්‍රීලනිපය සමඟ සන්ධාන ගතවී කටයුතු කිරීමට කැමැත්ත පළ කර ඇති බවත් එහිදී අදහස් පළ කර තිබේ. එම නව සන්ධානයේ ලකුණ සහ නම එළිදැක්වීම ඉදිරියේ දී සිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට නියමිතය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ශ්‍රීලනිපයට එක් කර ගැනීමේ සාකච්ඡා සාර්ථක වී ඇති අතර එම කටයුතු ලබන සතියේ දී අවසන්කර හිටපු ජනාධිපතිනිය සමග පක්ෂ වැඩකටයුතු ආරම්භ කිරීමට නියමිතය. 


ලබන ජනවාරි 08 වැනිදා ශ්‍රීලනිපයේ විශේෂ තීරණ රැසක් ගැනීමට නියමිත අතර එදින පෙරවරුවේ ගාලු‍ මුවදොර බණ්ඩාරනායක ගුණ සැමරුම පැවැත්වීමට කටයුතු කර තිබේ. ඊට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය සහභාගී වීමට නියමිතය. 

■ රාජ-දූත

 

 



අදහස් (0)

එහාට මෙහාට පැනිලි

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 186 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 414 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 241 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 248 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 334 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 346 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1571 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site