IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


රුවක් ඇදෙනවා

ගී විනිස 126

මහින්ද දිසානායකයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද මාලාවෙන් ද ගුණදාස කපුගේ සහ කරුණාරත්න දිවුල්ගනයන්ගේ සුගායනයෙන් ද ගුණදාස කපුගේ සූරීන්ගේ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ මානවබන්ධුත්වය සහ ප්‍රේමයේ අයථාර්ථවත් බව විශද කරයි.

මෙි ගීතය අවිශදතාව හෙවත් අදහසේ නො පැහැදිලිකම නමැති දෝෂයෙන් යුක්ත යයි ඇතැමෙක් කියති.තවත් සමහරු මෙි ගීතයට සමලිංගිකත්වය ද ආරෝපණය කරති.  එහෙත් මෙය ශ්‍රාවකයා ග්‍රහණයට ගන්නා ගීතයකි.⁣ඊට හේතු කවරේ ද?ඊට හේතු නම් මෙහි ගැබ් වන අපූරු වූ රමණීය යෙදුම් කීපයකි.

රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇඳිරිය දෑස වසනවා
හද පොදි බැඳි දුක දියකර පා කර
ඔබේ ලොවට මා මොහොතින් එනවා


මෙි ගීතයට කථකයෝ දෙදෙනෙක් වෙති.මෙි වූකලී පිරිමි යුග ගායනයකි.එහෙත් පළමු කථකයා ගීතයේ ස්ථායි කොටසින් ප්‍රකාශ කරන්නේ කුමක්දැයි පැහැදිලි නැත.කිසියම් මිනිස් රුවක් තමා සිටින මානයට ඇදෙන බවත් මීවිතකින් සප්පායම් වී සිටින තමාට බමන මත හේතුවෙන් එම දසුන පැහැදිලි නැති බව ද කථකයා අපට ඒත්තු ගන්වයි.දෙවැනි කථකයාගේ පළමු ප්‍රකාශය ද අපැහැදිලි ය.එය ප්‍රේමයෙන් පැරදී දුක සමනය කරගැනීම සඳහා කරන ප්‍රකාශයක් ද යන්න නිශ්චිත නැත.හදවත පොදි ගසාගෙන සිටි දුක පාකර ඔහු එන්නේ කා ළඟට දැයි  විනිශ්චය කරගැනීමට රසිකයාට ද අපහසුය.මෙි වනාහි පෙම් බැඳුමක බිඳුමක් ද සම්ප්‍රයෝග විප්‍රයෝයක් ද යන්න නිර්ණය කරගැනීමටද නොහැකිය.දෙවැනි පදය නිසා මෙි සැකය මතුවෙයි."මීවිත ඇඳිරිය දෑස වසනවා"යන්න අපූර්වතම යෙදුමකි.මීවිත ඇඳිරිය යන්නෙහි ඇත්තේ බමන මතින් දෑස් නිලංකාර වී ඇති බව නො වෙි ද? "හද පොදි බැඳි දුක දියකර පාකර " යන්න ද රමණීය කාව්‍යමය පදවැළකි.

සොඳුරු යොවුන්විය මල් මඟ මුලහිඳ
කිම තොල මීවිත පොඟවන්නේ
නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරා විතින් මා දෙතොල තෙමන්නේ

ගීතයේ පළමු අන්තරා කොටසින් යටකී අවිශදතාව තරමක් දුරට සුවිශද වෙයි.මෙහිදී වැඩිහිටියකු සහ තරුණයකු අතර දෙබසක් සිදුවන බව ගම්‍යමාන ⁣නො වෙි ද? මෙහි එන කථකයන් දෙදෙනාගේ සම්මුඛ වීම සිදුවී ඇත්තේ අවන්හලක දී බව දැන් සැකහැර දැන ගත හැකිය.එහෙත් වැඩිහිටියා තරුණයාට බීමෙන් වළකින ලෙස කිසියම් දැනමුතුකමක් ද දෙයි.මෙහිදී  තරුණයා ප්‍රේමයෙන් බැටකෑ පුද්ගලයකු බව ද පෙනී යයි.එහෙත් ඔහු විරහ වෙිදනාව නිවා ගැනීමට තෝරාගෙන ඇත්තේ වැරදි මාවතක් බව වැඩිහිටි කථකයා කියයි.ප්‍රේමය බිඳීම විප්‍රලම්භ ශෘංගාරය නම්,ප්‍රේමය විඳීම සම්භෝග ශෘංගාරය නම්,මෙි ගීයේ රසය යටකී රස දෙවර්ගයෙන් කුමකට අයත්වෙිද යන පැනය රසිකයාට මතු නො වෙි ද?

නැගුණු නුරාගිනි මීපොද වැටිලා
හතර අතින් දළුලා එනවා
අවන්හලේ මීවිත තනි කරලා
වරෙන් මලේ පියවර නගලා

මෙි ගීතයේ අවිශදතාව තව දුරටත් පැහැදිලි කරන පදවැළක් අවසන් අන්තරා කොටසෙන් ද ඇසේ.

නැගුණු නුරාගිනි මීපොද වැටිලා
හතර අතින් දළුලා එනවා

මෙයින් කියැවෙන්නේ සම්භෝග ශෘංගාරරසය හෙවත් පෙම්වතුන් උනුන්ගේ රසපහස විඳි අතීත මතකය මීවිත පහසින් නැවත තීව්‍ර වී සපැමිණි බවක් ද?එහෙත් මෙි අවිශද භාවය තිබුණ ද ගීතයට දී ඇති ව්‍යංග්‍යාර්ථ හේතුවෙන් රමණීය සංකල්පරූප පොකුරක් අප හදව⁣ත්හි ඇඳෙයි." මෙනයින් බලන කල මෙි වචන සමූහයේ නිශ්චිතාර්ථ නැත.එහෙත් එයින් කිසියම් අද්භූත හැඟීමක් උපදී.අද්භූතයෙන් විස්මය උපදී.විස්මය චමත්කාරයේ පදනමයි.චමත්කාරය නම් සිත පිරී ඉතිරී විස්මය මුසු හැඟීම නො වෙි ද?මෙි විස්මයට හේතුව කථකයන් දෙදෙනාගේ අරුමැසි දෙබස් හා හැසිරීම නො වෙි ද? මෙබඳු අසාමාන්‍ය, සුදුර්ලභ හැඟීම් දනවන ගීමිණක් අපූර්ව රසයෙන් අනූන නො වෙි ද?



අදහස් (0)

රුවක් ඇදෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1506 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1340 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 477 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site