IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


දිට්වාට ඉඩදී ආණ්ඩුව කර ඇරියාද?

මේ ව්‍යසනය සපුරාම නිර්මාණය කළ එකක් මිස ස්වාභාවික එකක් නොවේ. අහිමි වූ ජීවිත සහ දේපළවල වගකීම අදාළ පුද්ගලයන් පෞද්ගලිකව දැරිය යුතු නොවේද? එසේ කියන්නේ හුදු දේශපාලන චෝදනාවක් ලෙස නොවේ. දිට්වා සුළි කුණාටුව එන බව නොවැම්බර් 12 වැනි දා සිට විවිධ ක්‍රම ඔස්සේ අනතුරු අඟවා තිබුණි.

ඒ සියල්ල එසේ තිබිය දී ආණ්ඩුවක් ලෙස ගත හැකිව සහ ගත යුතුව තිබූ කිසිදු ක්‍රියාමාර්ගයක් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව විසින් නොගනු ලැබීය. මෙරට පුරවැසියන් දහස් ගණනකට නිදි පැදුරේම මෙලොව හැර යන්නට සිදු වූයේ ඒ ඛේදනීය නොසලකා හැරීම නිසාය.

මෙය පාස්කු දා ප්‍රහාරයේ අනතුරු ඇඟවීම් නොසලකා හැරීමට සමාන සිදුවීමකි. වෙනසක් තිබේ නම් ඒ ජීවිත සහ දේපළ විනාශයේ ප්‍රමාණයෙන් සහ පාස්කුදා ප්‍රහාරය සම්බන්ධ තොරතුරු වසර දෙක තුනක් තිස්සේ බුද්ධි අංශවලට වාර්තා වෙමින් පැවැතීම නිසායි. කෙසේ වෙතත්, සුළි කුණාටුවක් වැනි ස්වාභාවික සංසිද්ධියක් ත්‍රස්ත ප්‍රහාරයක් සේ දිගුකාලීනව පුරෝකථනය කළ නොහැකි ය.

එහෙත්, දිට්වා පිළිබඳ පළමු අනාවැකිය එන්නේ නොවැම්බර් 12 වැනිදා තරම් වේලාසනින් ය. ඒ පෞද්ගලික නාලිකාවක දී කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක විසින් ය. එහි දී ඔහු පැහැදිලිවම කියා සිටින්නේ, බෙංගාල බොක්ක ප්‍රදේශයේ පහළ වායු ගෝලයේ අඩුපීඩන කලාපයක් වර්ධනය වෙමින් තිබෙන බවත්, එය ඉදිරි දින කිහිපය තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් තිබෙන බවත් ය. ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ, එය මේ ආකාරයට වර්ධනය වුවහොත්, දැනට පවතින වාර්ෂාවේ රටාව අනිවාර් යෙන්ම වෙනස් වන බවයි.

ඉහත අනතුරු ඇඟවීම අනාගතයේ එන සැහැසි සුළි කුණාටුව පිළිබඳ ප්‍රශස්ත නිශ්චිතභාවයකින් යුතුව ඉදිරිපත් කරන ලද්දකි. ඊට වඩා දෙයක් නොවැම්බර් 12 වැනි දුරක දී කිව නොහැකි තරම් ය. පෞද්ගලික නාලිකාව තුළ මෙම සාකච්ඡාව යොදා ගන්නේ ම මෙම පැමිණෙන අනතුර දැනුම් දීම සඳහා ම විය යුතු ය. නැතිනම් කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්වරයා හදිසියේ මෙසේ රූපවාහිනියකට ගොස් සාකච්ඡාවක් කරනු ඇතැයි සිතිය නොහැකි ය.

මේ අතර කුණාටුව පැමිණි දින එනම් 27 වැනිදා ඉහත පෞද්ගලික නාලිකාවම හෙළිකර සිටියේ, කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්වරයා යට කී තොරතුරු රජයේ සෙසු කාලගුණ සංවේ දී ආයතනවලට ද ලබා දුන් බවයි. සාමාන්‍යයෙන් මෙම තොරතුරු වාරි මාර්ග, කෘෂිකර්ම, ආරක්ෂක සහ තවත් කාලගුණ ස්වභාවය මත යැපෙන ආයතන සමග බෙදා ගැනීම රීතියකි. මේ සියලු‍ තොරතුරු අනිවාර් යෙන්ම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතට ද පත්වන්නට ඇත.

මේ නොවැම්බර් 12 අනතුරු ඇඟවීමෙන් පසු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වර්ධනය වෙමින් තිබූ අතිවිශේෂ කාලගුණ තත්වය ගැන අවධියෙන් සිටි බව පෙනී යයි. ඒ අනුව නොවැම්බර් 22 සහ ඉන් පසු 25 යන දිනවලදී ඉතා නිශ්චිත කාලගුණික අනාවැකි කීපයක්ම නිකුත් කර ඇත. එහි දී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පමණක් නොව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ද ප්‍රකාශයට පත්කළ නිවේදන මෙම ලියුම්කරු විසින් පරිශීලනය කරන ලදී. එම නිවේදනවලට අනුව පැහැදිලි අනතුරක් පිළිබඳ අනාවැකි ප්‍රකාශයට පත්ව තිබේ. ඇරත් ඒවා රතු නිවේදන ය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් තම නිවේදන වර්ණ තුනකට වර්ග කර තිබේ. කොළ, ඇම්බර් සහ රතු වශයෙනි. ඉහත නිවේදන රතු ය. රතු යනු අනතුරේ උපරිමය දක්වන්නකි. මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තු නිවේදනය තුළ විශේෂයෙන් සටහන් කර ඇත්තේ, දැනටත් ලංකාවේ ගංගා ඇළ වේලිවල ජලය එහි සාමාන්‍ය උපරිමය තුළ තිබෙන නිසා ඉහත සුළි කුණාටු තත්වය ඇති වුවහොත් ක්ෂණික ගංවතුරක් ඇති වීමේ හැකියාව තිබෙන බවයි.

මෙම දේශීය නිවේදනවලට අමතරව පසුගිය දෙසතිය තුළ අන්තර්ජාතික මාධ්‍ය ආයතන සියල්ලේම පාහේ වර්ධනය වෙමින් පැවැති අනතුර ගැන නිශ්චිතව, චන්ද්‍රිකා ඡායාරූප ඔස්සේ කරුණු දක්වා තිබුණි. ඒ අතර බීබීසි ලෝක සේවය, අල්-ජසීරා සහ අක්කුවෙදර් නම් ආයතන කැපී පෙනේ. නොවැම්බර් 14, 16 සහ අවසන් වශයෙන් නොවැම්බර් 22, 24 යන දිනවල ඉහත ආයතන මගින් නිකුත් කෙරුණ නිවේදන අතිශය තීරණාත්මක ය. මෙම නිවේදනවලින් පෙන්වා දුන්නේ ඉහත සුළි කුණාටුව නිසා ලංකාවේ සියලු‍ ප්‍රදේශවලට ඉතා තද වැසි ඇතිවීමේ අනතුරක් තිබෙන බවයි. චන්ද්‍රිකා මගින් ලබාගත් වීඩියෝ දර්ශන ප්‍රදර්ශනය කරමින් බිබීසිය නිවේදනය කළේ ඉදිරි දිනවල දී ලංකාවට මිලිමීටර් 500 සහ ඇතැම් විට 600 ඉක්මවා වැසි පතිත විය හැකි බවයි.

සාමාන්‍යයෙන් ලංකාවට ලැබෙන වර්ෂාපතනය දිනකට මිලිමීටර් 5 කි. ඇතැම් ප්‍රදේශවල එය උස් පහත් වීමේ හැකියාව තිබේ. කාලගුණික කලාප වශයෙන් ද වර්ෂාපතනයේ උච්ඡාවචන තිබේ. කෙසේ වෙතත් ලංකාවටම මිලිමීටර් 500ක වර්ෂාපතනයක් යනු අපට සිතාගත නොහැකි තරම් සංසිද්ධියකි.

උදාහරණයක් ලෙස මිලිමීටර් 100ක වර්ෂාපතනයක් යනු පැය 24ක් තුළ හතරැස් මීටරයකට වැටෙන ජලය ලීටර් 100කි. අපගේ නිවෙසේ ජල ටැංකියේ ප්‍රමාණය හතරැස් මීටරයක් උසින් සහ පළලින් යුතු නම්, අපගේ නිවෙස තිබෙන ප්‍රදේශයට මිලිමීටර් 100ක වැස්සක් වැටුණහොත් පැය 24ක් තුළ එම ටැංකිය පිරී යනු ඇත. දැන් මිලිමීටර් 500ක් යනු කුමක්දැයි ඔබට සිතාගත හැකි ය. පැය 24ක් තුළ මීටරයේ ටැංකි 5ක් පමණ පිරවිය හැකි ජලයකි. දැන් මෙවැනි ජල ප්‍රමාණයක් කිලෝමීටරයක් තුළ වැටුණහොත් ඉන් එකතුවන ජල ප්‍රමාණය ගැන සිතන්න. ලංකාව යනු වර්ග කිලෝමීටර් 65,610කි. දැන් ඔබට මේ වර්ෂාවේ පරිමාව සිතාගනු හැකිවනු ඇත.

පසුගිය සුළි කුණාටුව තුළ ලංකාව පුරා මිලිමීටර් 500ක වර්ෂාපතනයක් ආවේ නැත. මාතලේ වැනි ප්‍රදේශවලට මිලිමීටර් 540ක පමණ වර්ෂාවක් ඇද වැටුණු බව වාර්තා විය. කෙසේ වෙතත්, ලංකාවේ ගංගා පෝෂණය වන මධ්‍යම සහ ඌව වැනි කඳුකර පළාත්වලට අවම වශයෙන් මිලිමීටර් 200ක වර්ෂාවක් ඇද වැටුණේ ය.  ඒ වන විටත් ඇළ දොළ ගංගා පිරී තිබිය දී ඉහත ජලය අහසින් වැටුණහොත් අපට සිදුවන විපත සාමාන්‍ය පුරවැසියකුට වුව අනුමාන කළ හැකි ය.

මේ සියල්ල මෙසේ තිබුණ ද දරුණු කුණාටුව රටට කඩා වැටීමට පෙර ආණ්ඩුව මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කිසිදු පූර්ව සූදානමක් ගෙන තිබුණේ නැත. එය සිතාගත නොහැකි තත්වයකි. සාමාන්‍යයෙන් මෙවැනි ව්‍යසනකාරී තත්වයක් උදාවන විට ජාතික ආපදා කළමනාකරණ ආයතනය රටේ දිස්ත්‍රික්ක 25 ම ඊට මුහුණ දීම සඳහා සූදානම් කරයි. උපදෙස් යවයි. මුදල් වෙන් කරයි. මුදල් වියදම් කරන සීමා ලිහිල් කරයි. එමෙන්ම ආරක්ෂක හමුදා සහ පොලිසිය අදාළ ප්‍රදේශවලට යවා හදිසියක දී මැදිහත්වීමට සීරුවෙන් තබයි. ඒ සියල්ල සම්බන්ධීකරණය කරමින් ජාතික ආපදා මධ්‍යස්ථානය පැයෙන් පැය වෙනස් වන තත්වයන් පිළිබඳ දිසාපතිවරුන් හරහා සහ සෙසු නියෝජිතයන් හරහා භූමිය දැනුවත් කරයි. ඊට අනුව, අදළ ප්‍රදේශවල ජනතාව ඉවත් කිරීම, ආරක්ෂිත ස්ථානවලට රැගෙන යාම, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම ආදි කටයුතු යුහුසුළුව සංවිධානය කරයි.

මෙවර ඒ කිසිවක් කර තිබුණේ නැත. ඊට අමතරව ඉතාම භයානක නොසලකා හැරීමක් ද කර තිබුණේ ය. ඒ නම්, ඒ වන විටත් සැලකිය යුතු ලෙස පිරී තිබූ ජලාශවල ජලය කුණාටුවෙන් හටගන්නා වර්ෂාපතනය දරාගත හැකිවන ලෙස අඩු කර නොතිබීමයි. මෙය සාමාන්‍යයෙන් කරන රාජකාරියකි. එසේ කිරීමෙන් පතිත වන අධික වර්ෂාපතනය සැලකිය යුතු කාලයක් දරාගෙන සිටිය හැකි ය. මෙම දිට්වා කුණාටුව ඉන්දියාවේ තමිල්නාඩුවට ද බලපෑ අතර, එම ප්‍රාන්තයේ තිබෙන සියලු‍ ජලාශවල ජලය කුණාටුව එන විට හිස් කිරීමට කටයුතු කර තිබුණි. මෙම ලියුම්කරු එම වර්තා පරීක්ෂා කළේ ය.

ලංකාවේ එවැන්නක් නොකිරීමෙන් සිදුවූ ජීවිත සහ දේපළ හානිය තාමත් ගණන් බලා නැත. බොහෝ ප්‍රදේශවලට ගංවතුර පැමිණියේ හුදු වර්ෂාව නිසාම නොවේ එහෙත් ජලාශ තිබෙන ප්‍රදේශවලට පතිත වූ වැසි නිසා ක්ෂණිකව පිරුණු ජලාශවල වාන් දොරටු එකවර විවෘත කිරීමෙනි. බොහෝ ප්‍රදේශවල ජනතාවට කර කියාගත හැකි දෙයක් නොතිබුණේ මේ හේතුවෙනි. ඇතැම් අය නිදිපැදුරේ ම ගසාගෙන ගියෝය. තමන්ට සිදුවන්නේ කුමක්ද කියා ඔවුන්ට සිතා ගැනීමට පවා නොහැකි විය.

ඇතැම් ජලාශවල වාන් දොරවල් සියල්ල එහි උපරිම උසට විවෘත කිරීම නිසා පහළ ප්‍රදේශවල තිබෙන ගම්මාන සහමුලින් යට වුණා පමණක් නොව, ඇළ වේලී, මහාමාර්ග, පාලම් ආදී සියල්ල ද ක්ෂණිකව විනාශ කර දැම්මේ ය. මොරගහකන්ද ජලාශයේ පාලම, එමෙන්ම දැදුරු ඔයට ආශ්‍රිත මාර්ග කැඩී බිඳිගොස් තිබුණේ මේ හේතුවෙනි.  මේ සිදුවීම් දාමය සැලකිල්ලට ගත් විට ඉතා පැහැදිලිව පෙනී යන්නේ මෙම ස්වාභාවික අනතුරින් සිදුවූ ජීවිත සහ දේපළ හානි සියයට 60කින් හෝ ඇතැම්විට සියයට 75කින් අඩුකර ගැනීමට හැකියාව තිබුණ බවයි. කෙසේ වෙතත් ජනාධිපතිවරයා මේ ව්‍යසනය ගැන පෙර සූදානම් වනු තබා, මේ ගැන ක්‍රියා කිරීමට රැස්වීමක් හෝ කැඳවා තිබුණේ නොවැම්බර් 28 වැනිදා ය. ඒ ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ය. මන්ත්‍රීවරු කැඳවා කුමක් කරන්න ද? ඒ වන විට කුණාටුවෙන් නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලට බැට දෙමින් තිබුණි.

මේ සුළුපටු නොසලකා හැරීමක් නොවේ. මේ ජීවිත දහස් ගණනක් අහිමි කළ නොසලකා හැරීමකි. අනුර කුමාර දිසානායක නම් ජනාධිපතිවරයාගේ සුරතෙහි තමා සුරක්ෂිත බව සිතමින්, තම ආරක්ෂාව ගැන ඔහු බලනු ඇති බව අපේක්ෂා කරමින් එදින නින්දට ගිය සිය ගණන් පුරවැසියන් සදාතනිකව පස් යට හෝ ජලයේ සැඟව ගියේ එම අපේක්ෂාවේ නිරර්ථක බව ගැන හෝ හාංකවිසියක් නොදැන ය.

(***)



අදහස් (0)

දිට්වාට ඉඩදී ආණ්ඩුව කර ඇරියාද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 154 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 365 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site