IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


​​ජනතාව අන්දවා රැවටීම

ගුවන් යානයක් ගුවන්තොටුපොළක සිට ඉහළට එසවීම මෙන්ම එය ගොඩබෑම ද අතිශය භාරධූර කටයුත්තක් වන නිසා ස්වයංක්‍රීය තාක්ෂණය දියුණු ලෝකයේ පවා තාමත් එම කාර්ය දෙකම කරනු ලබන්නේ මිනිස් ගුවන් නියමුවකු විසින් ය. මිනිස් ජීවිත සිය ගණනක ජීවිතවලට වගකියන එම ක්‍රියාව ස්වයංක්‍රීය පද්ධතියට බාරදීම නොකරන්නේ නිර්මාණශීලී මිනිස් නායකත්වය එහි දී අත්‍යවශ්‍ය බැවිනි.

කෙසේ වෙතත්, යානය ඉහළට එසවීමෙන් පසු ගොඩබෑම දක්වා වන අතරතුර කාලයේ දී බොහෝ විට එය ධාවනය කරනු ලබන්නේ ස්වක්‍රීය නියමු පද්ධතිය විසින් ය. මිනිස් ගුවන් නියමුවන් එම කාලයේ දී බොහෝ විට නිදා ගන්නා බව කියවේ.

රටක පාලනය හා එහි වර්ධනය සම්බන්ධයෙන් ද ගුවන් යානයේ කතාව අතිශයින් ම අදාළ වේ. රටක් ඉහළට එසවීම ඉතා භාරධූර කටයුත්තකි. එය පැහැදිලි නායකත්වයක මගපෙන්වීම යටතේ සිදුවිය යුත්තකි. ඉදිරි දැක්ම, සැලසුම්සහගත බව හා ක්‍රියාවට නැංවීම යන අංශ තුන මනාව එකතු කරගෙන යා යුතු ගමනකි. ඉහළට ගිය පසු එය බොහෝ විට ස්වයංක්‍රීයව ඉදිරියට යනු ඇත. 

ලොව සියලු‍ම රටවල් පාහේ නැගී ඇත්තේ එවන් ගමනක් යමිනි. යුරෝපා රටවල් ගත්ත ද ආසියාවේ රටවල් ගත්ත ද අපට එය මනාව දැකගත හැකි ය. සිංගප්පූරුව ලී ක්වන් යූ යටතේ අද තිබෙන තැනට නැගුණේ ය. මැලේසියාව මහතීර් මොහොමඩ් යටතේ නැගුණේ ය. චීනය නැගීමට පටන් ගත්තේ ඩෙන් ෂියාවෝ පෙන් යටතේ ය. මේ අතර, මේ සියලු‍ රටවල නැගීම පිළිබඳ මූලික අවදිය ගැන වන කතාන්දර ඉතා දුෂ්කර ඒවාය. නීරස ඒවා ය. එවක එකී සමාජය විසින් ඇතැම්විට විස්වාස නොකළ ඒවාය. ජනතාවගෙන් බොහොමයක් දෙනා බැහැර කළ හා විරෝධය දැක් වූ ඒවා ය. එහෙත් එම කතන්දර අද ඉතා සුන්දර ඒවා වී තිබේ. ඒවා ගැන පොත් හා කවි ද ලියනු ලැබේ. රොමෑන්තික කතාමාලා ගොතනු ලැබේ. ඒවා සමරුනු ලැබේ.

මේ ආශ්‍රයෙන් අපට ඉගෙනගත හැකි පාඩම් බොහොමයකි. අපට යම් අත්දැකීමක් ලබන විට එය නීරස විය හැකි ය. කැපකිරීම් කළ යුතු විය හැකි ය. සමහර අවස්ථාවල අප ඉච්ඡාභංගත්වයට පවා පත්විය හැකි ය. එහෙත් අදාළ කටුක අත්දැකීමෙහි ප්‍රතිඵල පසුකාලීනව මහා ජයග්‍රහණය සැමරුමක් විය හැකි ය.

රටක් ලෙස අප ඉදිරියට යාමට නම් මේ අනිවාර්ය යථාර්ථය අප පිළිගත යුතුව තිබේ. සාර්ථකත්වය සඳහා කෙටි මාර්ග නැත. ඇති සියලු‍ ඒවා අතිශය දුෂ්කර ඒවා ය. සීරුමාරුවෙන් යා යුතු ඒවා ය. කෙටිකාලීන ප්‍රතිඵල මත පමණක් අප විස්වාස තබා තීන්දු ගන්නේ නම් අපට කිසිදු සාර්ථකත්වයක් අත්කරගත නොහැකි ය. කෙටිකාලීන සාර්ථකත්වයක් පෙන්වාදෙනසුළු විජ්ජා අප ඉදිරියේ ප්‍රදර්ශනය විය හැකි ය. එහෙත් ඒවා රුවට පෙනෙන සබන්බෝල සේ පෙනී යළි පිපිරී අතුරුදන් වේ.

අපේ ලංකාවේ වත්මන් දේශපාලන කතිකාවේ පවතින විශේෂිත ස්වභාවයකි. එනම් එය තුළ අප තීන්දු තීරණ ගනිමින් ඇත්තේ සුදු හා කළු වශයෙනි. දේශපාලන බලවේග පිළිබඳ තක්සේරු කරන්නේ ද එසේ ය. මෙහි දුර්වලතාව කුමක්ද? ඒ නම් මේ දෙක මිශ්‍රවීමෙන් සැදෙන අළු පාට ගැන අප නොසිතීමයි. අපට අළු ලෝකයක් ඇත්තේ ම නැත. අපට ලෝකය එක්කෝ සුදු ය, නැතිනම් කළු ය. සුදු පාට තුළ කළු පාට ද, කළු පාට තුළ සුදු පාට ද අපට දැකීමේ හැකියාවක් නැත්තේ ඇයි?

අප ඉතිහාසයේ සිට ම බොරුවලට රැවටී බොහෝ විනාශකාරී තීන්දු ගෙන තිබේ. අපගේ සිංහලයේ අවසන් රජු, ඉංග්‍රීසීන් විසින් බලයෙන් පහ කරන ලදුව මදුරාසියේ වෙල්ලෝරයේ සිර අඩස්සියේ සිට වර්ෂ 1832 ජනවාරි 30 වැනිදා අවසන් හුස්ම හෙළීය. මියෙන විට 52 වැනි වියෙහි පසු වූ ඔහු ගැන අද ද අපට ඇත්තේ ඉංග්‍රීසින් විසින් හා බලලෝභී උඩරට ඇතැම් සිංහල රදලයන් විසින් ගොතන ලද ව්‍යාජ කතන්දර ය. ජෝන් ඩොයිලි නම් කුමන්ත්‍රණකරු විසින් රජුට එරෙහිව තම ප්‍රචාරක යාන්ත්‍රණය තුළ සාර්ථක වීද කිවහොත් උඩරට රාජධානිය තමා සතු කර ගැනීමට ඉංග්‍රීසි ජාතිකයන්ට මහ දෙයක් කරන්නට ඉතිරිව තිබුණේ නැත. එය බන්දේසියක තබා දුන් සේ ය. ඒ තරමට, ඒ තැනට රජු එපා කර තිබුණි. අද ද රජුගේ සියලු‍ යහපත් වැඩ අමතකව අපට සිහිපත් කරවන්නේ ඔහු විසින් කරන ලදැයි කියන ඇහැලේපොළ කුමාරිහාමිට හා දරුවන්ට මරණ දඬුවම ලබා දීමයි. ඇහැලේපොළ විසින් තම බලලෝභය නිසා ඉංග්‍රීසීන් සමග එකතුව රජුට හා සිංහල රාජ්‍යට එරෙහිව කළ කුමන්ත්‍රණ ගැන අපගේ පොදු කතිකාවේ නැත. අපගේ සාහිත්‍ය තුළ පවා ශ්‍රී වික්‍රම නොසණ්ඩාලයකු ලෙස හංවඩු ගසා ඇත. දැඩි ලෙස මතට ලොල් වූවකු ලෙස ප්‍රචාරය කර ඇති රජු, ඉංග්‍රීසින් විසින් අල්ලාගෙන නැවෙන් මදුරාසිය බලා ගිය සති හතරක ගමනේ දී එකදු අවස්ථාවක හෝ නැවේ කාර්ය මණ්ඩලයෙන් මත්පැන් ඉල්ලා නොසිටි බව ඔහු කැටුව ගිය ඉංග්‍රීසි ජාතිකයා ලියා තබා ඇති බව මහාචාර්ය ගණනාථ ඔබේසේකර ස්වකීය The Doomed King කෘතියේ සඳහන් කර ඇත. මතට ඇබ්බැහි වූවකුට එතරම් කාලයක් මතින් තොරව සිටිය හැකි ද?

අපගේ ඉතිහාසයේ අප අන්දවා තිබෙන තැන් ගැන අප විසින් නැවතත් සිතා බැලිය යුතු වේ. මන්ද එම ඇන්දීම පිටුපස තිබෙන්නේ අහිංසක කතාවක් නොවේ. එය සපුරා දේශපාලන ව්‍යාපෘතියක් වෙනුවෙන් කරන ලද තිර පිටපතකි.

2015 වසරේ රාජපක්ෂවරුන්ට එරෙහිව ගෙන ගිය ප්‍රචාරක ව්‍යාපාරය මෙන්ම 2022 අරගල ව්‍යාපාරය ද ශ්‍රී වික්‍රමට එරෙහිව කළ ව්‍යාපාරයේ පොදු ලක්ෂණ ඇත. 2015 වසරේ දී මහින්ද රාජපක්ෂ පරාජය වන්නේ ඔහු විසින් පමණ ඉක්මවා වැඩ කරන ලද නිසාය. එනම් ජනතාව  ඉල්ලූ දෙයට අමතරව රටේ දිගුකාලීන යහපත වෙනුවෙන් කළ සේවය නිසා ය. 2005 දී ජනතාව මහින්දගෙන් ඉල්ලා සිටියේ යුද්ධය අවසන් කරන ලෙස ය. ඒ වන විට සිහිනයක් ව තිබූ එය ඇත්තට කරනු ඇතැයි මෙරට බොහෝ අය සිතුවේ නැත. මහින්ද එය කළේ නොසිතූ ලෙස ය. ඒ මතු නොව, ඔහු  රටේ ආර්ථිකය 4 ගුණයකින් වැඩි කළ අතර රටේ දිළඳුකම අඩකින් අඩූවූවේ ය. රටේ ණයබර දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 2005 වන විට තිබූ සියයට 102 සිට 2014 දී සියයට 71කට අඩු කළේ ය. ඔහු විසින් රටේ දිගුකාලීන යහපත වෙනුවෙන් කරන ලද බොහෝ දේ මෙහි අමුතුවෙන් නොකිය යුතු තරම් ය. එහෙත් මේ සියල්ල තිබිය දී ඔහුට එල්ල කළ චෝදනා ගොන්න අති විශාල ය. බොහෝ අය ඒවාට රැවටී මහින්ද පරාජය කළේ ය.

මේ ගිය සතියේ උමා ඔය ව්‍යාපෘතිය අවසන් කොට රටේ විදුලිබල පද්ධතියට මෙගාවොට් 120ක් එකතු කළ බව වාර්තා විය. මෙම ව්‍යාපෘතියට එරෙහිව එවක ගොඩනැගූ ව්‍යාජ කතිකාව ඔබට අමතකව නැති බව නිසැකය. එය රටට මහා විනාශයක් බව කීමට මාර්ක්ස්වාදී පක්ෂයක් විසින් නොකරන ලද දෙයක් නැති තරම් ය. ඉන් හොරකම් කර ඇති බව ද කීවේ ය. එම බොරුවලට හසුව ව්‍යපෘතිය නැවැත්වූයේ නම් අද රටට මෙගාවෝට් 120ක් නැත. එම ප්‍රමාණය ද ගත යුතු වන්නේ පෞද්ගලික ඩීසල් බලාගාරවලට රුපියල් කෝටි ගණන් මහජන මුදල් වැය කරමිනි. මෙම ව්‍යාපෘතිය රැකගෙන අද ප්‍රතිඵල රටට ලබාගත්ත ද, මීට වඩා රටට ප්‍රතිඵල ගෙන දීමට නියමිතව තිබූ මහින්ද සැලසුම් කළ සාම්පූර් ගල් අඟුරු බලාගාරය නවතා දැමීමට ඉහත දේශපාලන බලවේගයට හැකි විය. සාම්පූර් වෙතින් ලබා ගැනීමට නියමිත ව තිබූ මෙගාවොට් ප්‍රමාණය 500කි. එය ක්‍රියාත්මක වූයේ නම් අපට 2030 වනතුරුවත් විදුලි අර්බුදයක් එන්නේ නැත. ඒවා සියල්ල නැවතූ දේශපාලන කයිවාරුකරුවන් අද රට හැදීමට ජනතාවගෙන් බලය ඉල්ලීම කොතරම් හාස්‍යක් ද?

2022 අරගලයේ දී කළ ප්‍රචාරයක් වූයේ ආර්ථික අර්බුදය ආවේ රාජපක්ෂවරුන් විසින් රටේ ඩොලර් ටික කන්ටේනර්වල පටවාගෙන උගන්ඩාවට ගෙන ගිය නිසා බවයි. එක්තරා නීතිඥවරයකු විසින් ම මෙම ප්‍රකාශය කළේ අලු‍ත්කඩේ සිටය.

මේ අවස්ථා සියල්ලෙන් ම අපට පෙනී යන්නේ මේ රට සෑදීම සඳහා අවංක උත්සාහයක් ගත් සෑම අවස්ථාවකම ව්‍යාජත්වය වපුරා ඒවා බිම ඇද දැමූ බවයි. ඒ නිසා ම අද වනතුරුත් අපට රට ගැන ඉදිරි සැලසුම් ගැන කතා කරමින් සිටීමට පමණක් සිදුව ඇත. ඒ ලැබුණු සියලු‍ ස්වර්ණමය අවස්ථාවලට පයින් ගැසීමෙනි. ඒ අනුව, අප දැන්වත් මේ යථාර්ථයට අවදි විය යූතු ය. ව්‍යාජ දේශපාලන කයිවාරුවලට නොරැවටී ඉදිරි දැක්මක් ඇතිව රට වෙනුවෙන් තීන්දු ගන්නා දේශපාලන නායකත්වයකට මග විවර කොට, ඒ දෙස ඉවසීමෙන් බලා සිටීමට ද විනයක් හදාගත යුතු ය. එසේ නොවන්නේ නම්, අපට මේ සියවස ද ගෙවා දැමීමට සිදුවනු ඇත්තේ අනාගත ක්‍රියාමාර්ග ගැන හෑලි ලියමින් මිස ක්‍රියාමාර්ගවල ගමන් කරමින් නොවේ.

 

(***)
සබරගමුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ



අදහස් (5)

​​ජනතාව අන්දවා රැවටීම

චන්දිම ෆොන්සේකා Friday, 02 February 2024 01:45 PM

අනේ මහින්ද පතිරණ මහත්තයෝ, එහෙමනම් අර සුප්‍රීම් සැට් ව්‍යාපෘතියටත් වුනේ මොකක්ද කියලා ඊළඟ ලිපියෙන් විස්තර කරන්නකෝ...! මොකද එතැනත් ඩොලර් මිලියන තුන්සිය ගානක කතාවක් තියෙනවානේ...

:       4       18

Banda Friday, 02 February 2024 01:51 PM

ශ්‍රී වික්‍රම රාජසිංහ කරපු හොඳ වැඩ ටිකක් කියමුකෝ බලන්න. රටේ මිනිස්සු කවුරුත් දන්නේ නැති නිසා අහන්නේ... නැවේ යනකොට ‌බොන්න ඉල්ලපු නැති එකෙන් කොහොමද බේබද්දෙක් නෙමෙයි කියලා තහවුරු වෙන්නේ? ඔය වගේ මෝඩ තර්ක වලින් හිතන ආචාරියන්ට රාජපක්ෂල හෙන වීරයින් වෙන එක අහන්නත් දෙයක්ද?

:       4       21

sumanasiri Friday, 02 February 2024 05:21 PM

වන්ධිබට්ටාචාර්ය, වියත්මගේ අවියත්තු, රාජපක්ෂලා කරවපු කෙලවිල්ලෙන් ගොඩ එන්න බැරුව ඉඳිද්දී තව බයිලා කියනවා. ඉතිහාසයත් විකුර්ති කරනවා. උමා ඔය ව්‍යාපෘතියෙන් එන විදුලියට වඩා වෙලා තිබෙන පරිසර හානිය නාය යෑම් කියලා නිමකළ නොහැක අනෝරා වැස්ස නිසා විදුලිය නිපදවෙයි ටික දවසක් ඊට පස්සේ වතුර නැහැ විදුලිය කපනවා... ඊපස්සේ තවත් බයිලා කෙලින්න එපා. ඔහෙලා පච කෙලලා කරපු විනාශයට රටේ අහිංසක ජනතාව වන්දි ගෙවන්න වෙලා තිබෙන්නේ...

:       3       17

චන්දිම ෆොන්සේකා Monday, 05 February 2024 08:39 AM

උගතුන්, බුද්ධිමතුන් විදියට පෙනී සිටින සමහරු කරුණු විග්‍රහ කරන්නේ ඒක පැත්තක් වහලා. දැන් ඔය ලී ක්වාන් යූ ගැන කියලා තියෙනවා. ඔහු සිංගප්පුරුව දියුණු කලේ අධික පොලියට ණය අරගෙනද? ඒ වගේම රටේ අදායම වංචා කරන්න තමන්ගේ ගෝල බාලයින්ට ඉඩ ඇරලාද? ඔහු කෝටි ගණන් වියදම් කරගෙන කුලියට ගත්තු ලියර් ජෙට්වල පවුල් පිටින් පටවාගෙන තිරුපති වන්දනාවේ ගියාද? ඔහුගේ අයියලා මල්ලිලා ඇමරිකාවේ ඉඩකඩම් නිවාස අරගෙන සුපිරි ජීවිත ගතකළාද? කථිකාචාර්යය තුමා දන්නේ නැද්ද මේ රටේදී කිසිම විශේෂ ආදායමක් නොතිබිච්ච අපේ රටේ සමහර දේශපාලකයින් සිය දෙමාපියන්ගේ ස්මාරක හැදුවේ කාගේ සල්ලිවලින්ද කියලා? මේ අය ඇමරිකාවේ පවුල් පිටින් මන්දිර හදාගෙන ඉන්නේ බිස්නස් ක්ලාස් ගුවන් ගමන් යන්නේ එන්නේ කාගේ කොහෙන් උපයා ගත්තු ධනයකින්ද කියලා? හොඳට මතක තියාගන්න ලී ක්වාන් යූ කිසිවකුට වංචා දූෂණ කරන්න ඉඩ තිබ්බේ නැති එකයි... ඒ රටේ දියුණුවට මුල්ම හේතුව කියන ඒක. අපේ රට මෙතෙක් පාලනය කළ ඔබ ඔය වර්ණනා කරන දේශපාලකයින් මේ රට දුෂණයෙන් කුණු වුණු රටක් බවට පත් කළ නිසයි මේ රට නිකම් අපරාදේ බංකළොත් වෙලා ගියේ කියන එක ඔබ දැන්වත් දැනගන්න...

:       0       13

අපකීර්ති වර්ණකුලසූරිය Wednesday, 14 February 2024 09:14 AM

ඇයි මේ කට්ටිය මහින්ද පතිරණ මහත්තයාට මේ ජරා විදියට බනින්නේ? රාජපක්ෂවරු බලයේ ඉන්නකොට මෙයා කටු ලෙවකාපු හටි මතක නැද්ද? බැසිල් රටින් පනින කොට, ලන්කට් එක දාලා දුවනකොට මෙතුමාත් රටින් පැන්න බව කට්ටියට අමතකද? එ කටු ලෙවකාපු ඒවා, රටින් පැන්න ඒවා කරේ රට ජාතිය රැකගන්න. ෂිරන්ති වගේ නඩුකාරයෝ රැකියාවෙන් පන්නලා, යුද්දේ දින්න ජෙනරාල් හිරේ යවලා, මාධ්‍යෙව්දීන් මරලා, සීනි විකුණලා, පැට්‍රල්, ඩීසල් නැති කරලා, කැලණි ගඟෙන් නාගයෝ ගෙනැල්ලා, නුවර මාලිගාවේ වටේ රේස් ගිහිල්ලා, රොකට් යවලා, රනිල්ව ජනාධිපති කෙරුවේ කා වෙනුවෙන්ද? යටත් වැසියා වෙනුවෙන් නොවේද?

:       0       7

ඔබේ අදහස් එවන්න

කිවිදා දැක්ම

ජනාධිපතිවරණ සටන් පාඨය කුමක් වේද?
2024 ජුලි මස 26 126 0

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉද


ජාතිකත්වය හිස ඔසවන ලෝකය
2024 ජුලි මස 19 774 1

ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබීම මේ වන විට එරට රහස් සේවයේ පූර්ණ අසමත්කම මත වූවක් බව තහවුරු වී තිබේ. ඒ අනුව රහස් සේවයේ ප්‍රධානී කිම්බලර් ශියැට්ල් වෙත ධුරයෙන


ජනපති අපේක්ෂක අභියෝග
2024 ජුලි මස 12 325 0

මේ රටේ පුරවැසි අප ගත කරමින් සිටින්නේ රටේ දේශපාලනයේ තීරණාත්මක කාලයක්ය. මීළඟ ජනාධිපතිවරණයේ දින වකවානු ප්‍රකාශයට පත් කිරීමේ කාලය ආරම්භ වෙමින් පවතී. ලබන 17


අදට ගැලපෙන බලවේගයක අවශ්‍යතාව
2024 ජුලි මස 05 361 4

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලංකාව නීත්‍යානුකූල නොවන ලෙස බංකොලොත් බව ප්‍රකාශයට පත්කරනු ලැබීමෙන් පසු මතු වූ රට ගොඩ ගැනීමේ සංවාදය අද වන විට දේශපාලනයේ ප්‍


දේශපාලනයේ ආර්ථිකයේ සුබ අසුබ
2024 ජුනි මස 28 267 2

මේ දිනවල රටේ සමහර තැන්වල ප්‍රදර්ශනය වූ පෝස්ටරයකින් කියවුණේ ‘සුබ ආරංචියක්’ එන බවයි. සාමාන්‍යයෙන් ඉතිහාසයේ ‘සුබ ආරංචි’ කතාව තිබුණේ කතෝලික දේවධර්ම ඉගැන


මිහිඳු හිමි ශිෂ්ඨාචාරයෙන් රට යළි පුබුදුවමු
2024 ජුනි මස 21 148 2

මිහිඳු මාහිමියන් ලංකාවට වැඩම වීම මෙරට මිහිඳු ශිෂ්ටාචාරයක් සඳහා පදනම දැම්මේ ය. අප අද සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය බවට හඳුනා ගන්නා අපගේ සියලු‍ භෞතික හා ආධ්‍යා


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 168 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1162 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site