සමහර විට ඔබ මෙම ලිපිය කියවන මොහොත වනවිට පරණ කෙනකු ලංකාවේ අලු‍ත් අගමැති ලෙස පත් වී සිටින්නට පුළුවන. එසේම පරණ මන්ත්‍රීන් අලු‍ත් ඇමතීන් ලෙස පත් වී සිටින්නටත් පුළුවන. එහෙත් පරණ ජනතාව පරණ සහ අලු‍තින් එකතුවෙන දහසකුත් එකක් වූ ප්‍රශ්න ගැටලු සහ පීඩාවට කිසිදු වෙනසකින් තොරව මුහුණ දෙමින් සිටිනවා ඇත. සිදුවෙන වෙනස්කම් මහා ජනකායකගේ යහපැවැත්ම සඳහා උපකාරී වන්නේ සහ ගළපා ගන්නේ කෙසේ ද යන්න අප සියල්ල ඉදිරියේ ඇති ප්‍රමුඛ අභියෝගය ය.

අන්තර්කාලීන ආණ්ඩුවක් මිස තවත් ආණ්ඩුවක් අපේක්ෂා නො කරන මෙරට සිතන මතන පුරවැසියන්ගේ අභිලාෂ යටපත් වන්නේ නම් ප්‍රශ්නවලට සහ අර්බුදයට උත්තරත් විසඳුමුත් නැතිව රට නැවත පරණ පාරටම වැටෙනු ඇත. අයාලේ යනු ඇත. මහජන පීඩාව දෙගුණ තෙගුණ වනු ඇත. දේශීයවත් ජාත්‍යන්තරවත් මේ රටේ රාජ්‍යය අසමත් නොව කඩා වැටුණු ලැයිස්තුවලට එකතුවනු ඇත. විවිධ ධනකාමී සහ බලකාමී න්‍යාය පත්‍රවල ගොදුරක් වනු ඇත. අන්තර්කාලීන ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ ඒ ඉරණමෙන් රට රාජ්‍යය ගලවා ගැනීමට මිස වළපල්ලට තල්ලු‍ කර දැමීමට නොවේ ය.

රට තුළ සිදුවෙන තීරණාත්මක කතාබස්වලින් පැහැදිලිවනුයේ ආණ්ඩුවක් මිස අන්තර්කාලීන ආණ්ඩුවක් පිළිබඳව අරමුණක් සහ විධිමත් අදහසක් බොහෝ දේශපාලකයන්ට නොමැති බවය. ඒ තත්ත්වය ජනසමාජයටත් අදාළ ය. ඒ නිසා ඊට අදාළ පැහැදිලි කිරීමක් සමාජගත කළයුතු බව මගේ අදහස ය. මෙවර ‘කිවි දා දැක්ම’ ඒ සඳහා යොදා ගනිමි.

ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික, දේශපාලන සහ සමාජ අස්ථාවරත්වය සහ අර්බුදය විසඳා ගැනීමේ එක මූලෝපායක් ලෙස යෝජනා වී තිබුණේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමය. එය, දිවයිනෙහි දේශපාලන පක්ෂ, කණ්ඩායම්, සිවිල් සමාජ සංවිධාන, ආගමික සංවිධාන, බුද්ධිමතුන් සහ මත සකසන්නන් වෙතින් ඉදිරිපත්ව සංවාදයට බඳුන් ව ඉදිරිපත්වුණ ප්‍රබල යෝජනාවකි. බලයේ සිටින ජනාධිපති සහ හිටපු ආණ්ඩුව ද කල් පසුවී හෝ මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමේ ලා සිය කැමැත්ත සහ මැදිහත්වීම ප්‍රදර්ශනය කළේය. ඒ 2022 අප්‍රේල් මුල සිට රට පුරා මතුවුණ ආණ්ඩු සහ පාලක ප්‍රභූ විරෝධී උද්ඝෝෂණ ව්‍යාපාරවලට ප්‍රතිචාරයක් වශයෙනි. එහෙත් පසුගිය මැයි 9 වැනිදා සිදුවීම් මාලාවත් සමඟ අන්තර්කාලීන ආණ්ඩුවක් පිළිබඳ අදහසට වඩා අලු‍ත් අගමැති කෙනකු සහිත අලු‍ත් ආණ්ඩුවක් පිළිබඳ අදහස ප්‍රබල වී ඇත.

මෙය මුළුමනින් ම වෙනස් එළඹුමකි. ව්‍යවස්ථානුකුල රාමුවට අනුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගත හැකි යැයි ජනාධිපතිට හැඟෙන මන්ත්‍රීවරයකු අගමැති ලෙස පත් කළ හැකි බව ඇත්තකි. එසේම ඒ අගමැතිගේ අනුදැනුම ද සහිතව ඇමති මණ්ඩලයක් ද පත් කරගත හැකිය. සර්ව පාක්ෂික වුවත් එය බල දේශපාලන ආකෘතියක් වීම අනිවාර්ය කරුණකි. ඒ ඒ පක්ෂ, ඇමතිකම්, නියෝජ්‍ය ඇමතිකම්, රාජ්‍ය ඇමතිකම්, ලේකම්කම්, සභාපතිකම්, තානාපතිකම්, ආණ්ඩුකාරකම් සහ විෂයපථ වැනි දේවල් සඳහා කේවල් කිරීම්, මෙවැනි ආණ්ඩුවක සාමාන්‍ය තත්ත්වයක් ය. එනම් පරණ පක්ෂ, කල්ලි සහ තනතුරු ගැටුම් අලු‍ත් ආණ්ඩුවටත් පොදු කාරණා ය. එසේම පැරණි සටකපට බල ක්‍රීඩාව අලු‍ත් ආණ්ඩුවේත් බලවත් වෙනු ඇත. ජාතික අභිලාෂ වෙනුවට තම බලය තහවුරු කරගැනීමේ සහ ඊ ළඟ වතාවේ බලය ලබාගැනීම සඳහා වන උපක්‍රම සහ කූටෝපායන් ප්‍රබල වෙනු ඇත. ඒ බල අරගලවලට නොදෙවෙනි ආකාරයෙන් ධන අරගලත් බලවත් වෙනු ඇත. එසේ වුවහොත් අලු‍ත් ආණ්ඩුව පරණ වැඩේටම බසිනු ඇත. එහිම ගොදුරක් වනු ඇත. 

එහෙත් අන්තර්කාලීන ආණ්ඩුවක් යනු ඊට වෙනස් එකකි. එය ජාතික අභිලාෂ මිස බල-දේශපාලන අරමුණු කේන්ද්‍ර කරගත යුතු එකක් නොවේ. අන්තර් කාලීන ආණ්ඩුවකට එළඹෙන සියලු‍ පාර්ශව ජාතික අරමුණු සහිතව ජාතික අර්බුද, ව්‍යසන, අස්ථාවරතා පිටුදැකීමේ අවංක ජාතික අරමුණු සහිතව එය පිහිටුවා ගත යුතු ය. අන්තර්කාලීන ආණ්ඩු සංකල්පය සහ ක්‍රියාවලිය ගෝලීය සන්දර්භය තුළ දීර්ඝ ඉතිහාසයක් ඇති සුලබ ප්‍රපංචයක් වුව ද ශ්‍රී ලාංකීය සමාජ - දේශපාලන සම්භාෂණය තුළ එය එතරම් ජනප්‍රසිද්ධ නැත. මෙම පැහැදිලි කිරීම වඩාත් වැදගත් වනුයේ ඒ නිසාය. අවබෝධයක් නැති නිසා පරණ අනුපාන සහිත අලු‍ත් ආණ්ඩුවකට අන්තර් ආණ්ඩුවක් කියා රැවටෙනු ඇත. ඉන් වැළැක්වීම මේ ලිපියේ අරමුණ ය.

අන්තර්කාලීන ආණ්ඩුවක් යනු සාමාන්‍ය කාලයක් සඳහා සාමාන්‍ය ජනවරමක් සහිත නව ආණ්ඩුවක් තේරී පත්වන තෙක්, පවතින කෙටි කාලයකට ආණ්ඩුවේ කටයුතු මෙහෙයවීම සඳහා කෙටි කාලීන ජනවරමක් සහිතව විධිමත් ලෙස පිහිටුවන ලද තාවකාලික ආණ්ඩුවකි. පාලන තන්ත්‍ර බිඳවැටීම, සාකච්ඡා මත එළඹෙන ගිවිසුම්, විශේෂ මැතිවරණ හෝ ජාත්‍යන්තර මැදිහත්වීම ඇතුළු විවිධ තත්ත්වය යටතේ අන්තර්කාලීන ආණ්ඩු නිර්මාණය වේ. ඒවා ජාතික හෝ උපජාතික මට්ටමින් පැන නැගිය හැකි අතර, සංයුති අසංඛ්‍යාත ප්‍රමාණයක් තිබිය හැක. එනම් ජාතික, ජාත්‍යන්තර හෝ මිශ්‍ර, එක් පක්ෂයක් හෝ බලය බෙදාගැනීමක්, සිවිල්, හමුදා හෝ දෙමුහුන් යනාදී වශයෙනි. මූලික රාජ්‍ය සේවා සැපයීමේ හෝ ප්‍රතිෂ්ඨාපනය කිරීමේ සිට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම හෝ ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම වැනි විශේෂ කාර්යයන් දක්වා ඔවුන්ගේ අභිනියෝග (mandate) නැතහොත් කාර්ය පරාසය  හෝ කාර්ය වපසරිය පවතී.

ෂේන් සහ ලින්ස් (Shain and Linz, 1995) දක්වන ආකාරයට අන්තර්වාර ආණ්ඩු වර්ග හතරක් වේ. එනම් 1. විපක්ෂයේ නායකත්වයෙන් යුත් තාවකාලික ආණ්ඩු, 2. බලය බෙදාගැනීමේ අන්තර්කාලීන ආණ්ඩු, 3. බලයේ සිටින භාරකාර ආණ්ඩු සහ 4. එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අන්තර්වාර ආණ්ඩු වශයෙනි.

අන්තර්කාලීන ආණ්ඩු පිළිබඳ පැරණි උදාහරණ කීපයක්ම තිබුණ ද 1946 සැප්තැම්බර මස ඉන්දියාවේ පිහිටුවන ලද අන්තර්කාලීන ආණ්ඩුව පශ්චාත් දෙවැනි ලෝක සංග්‍රාම අවධියේ වැදගත් සංසිද්ධියක් ලෙස දැක්විය හැකිය. එම අන්තර්කාලීන  ආණ්ඩුව යනු ඉන්දීය ජාතික කොංග්‍රසය, සමස්ත ඉන්දීය මුස්ලිම් ලීගය සහ කොංග්‍රස් නොවන, ලීගවලට අයත් නොවන දේශපාලන චරිතවල අද්විතීය සභාගයකි. එහි මුලසුන් හෙබවූයේ යටත් විජිත ඉන්දියාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර මවුන්ට් බැටන් සාමිවරයා ය. උපසභාපති වූයේ ජවහර්ලාල් නේරු ය. 1946 සිට මාස එකොළහක් පැවති එම ආණ්ඩුවේ තාවකාලික පැවැත්ම අධිරාජ්‍යයේ විධිමත් පිටවීම සහ වෙන්ව යාමේ අපේක්ෂාව එසේම නිදහස් ඉන්දියාවක ආරම්භය සමඟ බොහෝ සෙයින් සම්බන්ධ වී තිබිණ.

රොබර්ට් ෆොස්ටෙර් (2020) දක්වන ආකාරයට අන්තර්කාලීන ආණ්ඩුවක් යනු ප්‍රජාතන්ත්‍රවාදී පාලමකි. අන්තර්කාලීන ආණ්ඩුකරණ විධිවිධාන සැලසුම් කිරීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී අංග කීපයක් තීරණාත්මකය. ඒ අනුව අන්තර්කාලීන ආණ්ඩුවක් යනු රටක පවතින  දේශපාලන හෝ ප්‍රචණ්ඩකාරී අර්බුදයෙන් වඩාත් සාමකාමී, ඇතුළත් සහ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් කරා ‘පාලමක්’ නිර්මාණය කිරීම සඳහා පිහිටුවා ගනු ලබන ආයතනික රාමුවකි.  හැබැයි ඒ පාලම මත අධික බරැති පරණ වාහන නොපැටවිය යුතුය. එසේම වැඩි බර නොපැටවිය යුතු ය. මන්ද පාලම කඩා වැටීමට ඉඩ ඇත. 

අන්තර්කාලීන විධිවිධාන සැලසුම් කිරීම තුළ සංරචක තුනක් අඩංගු වේ. එනම්, (අ) ප්‍රධාන පාර්ශවකරුවන් අතර බලය බෙදාගැනීමේ ආණ්ඩුවක් පිහිටුවීම (ආ) පසමිතුරුකම්/සතුරුකම් අත්හිටුවීමට කැපවීම සහ (ඇ) සාමාන්‍ය මැතිවරණයක් හරහා පශ්චාත් සංක්‍රාන්ති ආණ්ඩුවක, එනම් අන්තර් කාලීන ආණ්ඩුවකට පසු  මැතිවරණයකින් තේරීපත්වන ආණ්ඩුවකට බලය පැවරෙන යාන්ත්‍රණයක් සකස්කිරීම යන ඒවාය.

එසේම අන්තර් කාලීන ආණ්ඩුවක ප්‍රමුඛ ක්‍රියාමාර්ග නැතහොත් ගමන් මාර්ග හතරක් තිබිය යුතුය. එනම් දේශපාලන ගමන්මඟ, ආරක්ෂක ගමන්මඟ, ව්‍යවස්ථා ගමන්මඟ සහ ආර්ථික ගමන්මඟ වශයෙනි. මේ ගමන් මාර්ග තුන එක්තරා ආකාරයකට අන්තර්කාලීන ආණ්ඩුවක සීමාමායිම් ලකුණු කරන්නකි. මන්ද අන්තර්කාලීන ආණ්ඩුවකට වැඩි කාර්යභාරයක් පවරන්නේ නැත. පවරන්නේ කාර්යයන් අඩු ගණනකි. එනම් හතරක් හෝ පහක් වැනි ප්‍රමාණයකි.

 එහෙත් ඒ හතර හෝ පහ රටේ 1. ප්‍රජාතන්ත්‍රීය යහආණ්ඩුකරණයට සහ යහපැවැත්මට, 2. ආර්ථික ස්ථාවරත්වයට, 3.දේශපාලන ස්ථාවරත්වයට සහ 4. නෛතික ස්ථාවරත්වයට  අතිශයින්ම වැදගත් අතිශයින්ම අදාළ අතිශයින්ම තීරණාත්මක කාර්යයන් ය. එකී කාර්යයන් වෙනුවෙන් ජාතික අරමුණු සහගතව කැපවීමෙන් වැඩකිරීම අන්තර් කාලීන ආණ්ඩුවක වගකීමය.

එම වගකීම් ඉටුකිරීම සඳහා අවශ්‍ය වැදගත්ම කොන්දේසියක් වන්නේ ජනසමාජය තුළ අන්තර්කාලීන ආණ්ඩුව සම්බන්ධයෙන් වන විශ්වාසය ගොඩනැගීමය. ආර්ථික දේශපාලන නෛතික සහ සමාජයීය වශයෙන් වූ පිපුරුම් සහ අස්ථාවරතා සහිත සමාජයක එය ලෙහෙසි පහසු නැත. විශේෂයෙන්ම පැරණි දේශපාලක පන්තිය හෝ ප්‍රභූන් කෙරෙහි වන අවිශ්වාසය සහ ප්‍රතික්ෂේපිත හැඟීම ඊට හේතුවක් විය හැකිය. එබැවින් අන්තර්කාලීන ආණ්ඩුවක පැරණි දේශපාලකයන් සිටීනම්, ඔවුන්ට අවංක ජාතික හැඟීමක් තිබේ නම්, කළ යුත්තේ තමන්ලා අලු‍ත් ප්‍රජාතන්ත්‍රීය ජනතා න්‍යාය පත්‍රයකට අනුව වැඩ කිරීමට සූදානම් බව භාවිතාවෙන් ඔප්පුකර පෙන්වීමය. ඒ සඳහා කිසිම අයුරකින් ඊ ළඟ මැතිවරණයේ දී පෞද්ගලික හෝ කණ්ඩායම් වාසි ලබාගැනීම සඳහා අන්තර්කාලීන ආණ්ඩුව පාවිච්චි නොකරන බවට වූ විශ්වාසයක් ගොඩනගා ගත යුතුය. එසේම අන්තර්කාලීන ආණ්ඩුවේ සාමාජිකයන් ඊ ළඟට පැවැත්වෙන මැතිවරණය සඳහා තරග නොකරන බවට වූ පොරොන්දුවක් සමාජය හමුවේ තැබීමට හැකිනම් එය ජන විශ්වාසය ගොඩනැගීම සඳහා වන ප්‍රබල හේතුවක් වනු නො අනුමානය. එක්කෝ සිදුවිය යුත්තේ ඉහත කී ක්ෂේත්‍ර අරබයා වූ ප්‍රයෝගික සහ විශේෂඥ දැනුම ඇති අය අන්තර් කාලීන ආණ්ඩුවේ සැලකිය යුතු පිරිසක් බවට පත් කිරීමය. ලිවීමට බොහෝ දේ ඇතත් අවසාන වශයෙන් කිව යුත්තේ දැනගෙන කතරගම යන ලෙසය. අලු‍ත් ආණ්ඩුවකට පෙර අන්තර් කාලීන ආණ්ඩුවක් ආ යුතු බවය. ඒ සඳහා වූ බුද්ධිමය අවබෝධයක් සහ අවංක ජාතික අරමුණක් තිබිය යුතුම බව ය. මේ රට මගෙ රට මා ඉපදුන රට හැදෙන වැඩෙන රට මගේ ම මවු රට.

 

(***)
කොළඹ විශ්වවිද්‍යාලයේ
දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශ​යේ,
ධම්ම දිසානායක