IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


වෙඩි උණ්ඩයට දිවි පිදූ සෝමාලියාවේ ඔන්ලයින්

ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන 26

අලි හසන් ඝාතනයට ලක් වූ ස්ථානය

 

ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන පිළිබඳ තවමත් විමර්ශන සිදුවන මෙවැනි මොහොතක සිය මාධ්‍ය මෙහෙවර නිසාම අකාලයේ ජීවිත පූජා කළ ලෝක පූජිත සහෘදයන් පිළිබඳ ලිපි මාලාවක් ගෙන ඒමට අපි සිතුවෙමු. ඒ 2018 වසරේ පමණක් ලොව පුරා සේවයේ යෙදී සිටි ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය ක්‍රියාකාරිකයන් 94 දෙනෙකු මේ වන විටත් ඝාතනයට ලක්ව ඇති බැවිනි. තුවක්කුකරුවන්ගේ වෙඩි පහරට ලක්ව පසුගිය මස 16 වැනිදා මිය ගිය සෝමාලියාවේ අබ්ඩිවලි අලි හසන්ද එවැනි මාධ්‍යවේදියෙකි. 

 


නිතරම සිය ගුවන්විදුලි නාලිකාව සමග සහසම්බන්ධව සිටි හෙයින් (ඔන්ලයින්) යන අන්වර්ථ නාමය ලද අලි හසන්, නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස නිරතුරුවම ජනතාව නියෝජනය කළ සහෘදයෙකි. 'Universal TV' රූපවාහිනි නාලිකාවේ මෙන්ම ‘කුල්මියේ’නම් ගුවන්විදුලි නාලිකාවට සේවය කළ ඔහු මිය යන විට 25 හැවිරිදි වියේ පසුවූයේය. 

 


සිය මාධ්‍ය කටයුතු නිමාකර සවස හයට පමණ නැවතැත් නිවස බලා යමින් සිටියදී රුදුරු වෙඩික්කරුවන්ට මුහුණදුන් ඔහු, එදා ඒ සෑම උණ්ඩයකදීම වෙඩික්කරුවන්ට එරෙහිව නොබියව පපුව සහ හිස කෙළින් තබාගෙන මිය ගොස් තිබීම විශේෂත්වයකි (ඔහුගේ පපු ප්‍රදේශය සහ හිසට එල්ල වී තිබූ වෙඩි ප්‍රහාර ඊට සාක්ෂි දරනු ඇත).   


ඒ අනුව තමා උපන් නගරය වූ සෝමාලියාවේ අෆුගූයේ නගරයට ආසන්නයේදීම එනම් සෝමාලියානු අගනුවර වූ මොගඩිෂු නගරයට කිලෝමීටර් 30ක් තිබියදී මිහිකත සිප ගත් අලි හසන් සම්බන්ධයෙන් සෝමාලියානු මාධ්‍ය සංසද එකමුතුව පැවසුවේ අලි හසන්ට පසුගිය සමයේ නිරන්තරයෙන්ම නිර්නාමික මරණ තර්ජන ලක් වූ බවත්, වෙඩි වැදී රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඔහු මිය ගොස් ඇති බවත්ය.


සෝමාලියානු මාධ්‍ය මණ්ඩලයේ මහලේකම් අබ්ඩලේ අහ්මඩ් මුමින් පැවසුවේ අල් ෂඩාබ් හමුදා කල්ලියට එරෙහිව සෝමාලියානු ජාතික හමුදාව විසින් දිස්ත්‍රික්ක කිහිපයක සිදුකරමින් පැවැති මෙහෙයුම් සම්බන්ධයෙන්  අල් හසන් සිදුකළ අභීත යුද වාර්තාකරණය මෙම ඝාතනයට හේතු වන්නට ඇති බවයි. 'Universal TV' හි සංස්කාරක අබ්දුල්ලාහි අහ්මඩ් නූර් පැවසුවේ තමන්ද ආයතන ප්‍රධානියෙකු ලෙස පසුගිය මාස කිහිපය පුරාවටම අලි හසන්ගේ වාර්තාකරණය හේතුවෙන් මරණ තර්ජනවලට ලක්වූ බවයි. 


හඳුනා නොගත් පිරිස් විසින් අලි හසන්ගේ ඝාතනයට සති දෙකකට පෙර ෆෙස්බුක් පිටුවක ඔහු ඝාතනය වූ බවට විවිධ පණිවුඩ අන්තර්ජාලයට නිකුත් කර තිබූ බවද, පසුව ඒවා ඉවත් කරගෙන තිබූ බවද, පසුගිය වසරේ ජනවාරි මසද අල් ෂඩාබ් කල්ලිය විසින් අලි හසන්ගේ නිවස වටලා ඇති බවද, එහෙත් වාසනාවට මෙන් ඔහු ඒ මොහොතේ නිවසේ නොසිටි බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.


කෙසේ වෙතත් පසුගිය වසරේ ජුලි මසද ඔහුට මෙම නිර්නාමික මරණ තර්ජන හේතුවෙන් සිය මව් නගරය අතහැර යාමට සිදුවූ බවද පැවසූ 'Universal TV' හි සංස්කාරකවරයාගේ අදහස මෙම ප්‍රහාරය අල් ෂඩාබ් කල්ලියේ ඝාතනයක් විය නොහැකි බවයි. 


ෂබීලාලාහා හූස් නගරය තුළ අසාධාරණයට ලක් වූවන් වෙනුවෙන් අලි හසන් ගෙන ගිය මානවවාදී මාධ්‍යකරණය මෙම ඝාතනයට හේතු වන්නට ඇති බවත්, ඔහුට ඝාතනයට ලක් වන්නට සිදුවූයේද එදින ගං වතුරින් විපතට පත්වූවන්ගේ ඛේදනීය ඉරණම වාර්තාකරණයට යාම නිසා බවද සංස්කාරකවරයා මෙහිදී පැවසුවේය.  


මිය යාමට පෙර දින ෂාලාන්බූඩ් දිස්ත්‍රික්කයේ පාසලක සමාරම්භක උත්සවයක මාධ්‍ය කටයුතුද ආවරණය කළ ඔහු පිළිබඳ 'Universal TV' හි සංස්කාරකවරයා තවදුරටත් පැවසුවේ අලි හසන් යනු මාධ්‍යකරණයේදී අතිශයින් සදාචාරාත්මක ලෙස කටයුතු කළ මාධ්‍යවේදියෙකු බවත්, ඔහුට අල් ෂඩාබ් කල්ලිය පමණක් නොව පවතින රජය පිළිබඳව පවා විවේචනයක් තිබූ බවත්ය.   


කෙසේ වෙතත් සෝමාලියානු මාධ්‍යවේදීන්ගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ සංවිධානය පවසන පරිදි මෙම ඝාතනයේ වගකීම මෙතෙක් කිසිවකු භාරගෙන නොමැත. ෂබීලාලාහා හූස් හි ආණ්ඩුකාර ඊබ්‍රහම් අසන් අලී, තොරතුරු පිළිබඳ අමාත්‍ය මොහොමඩ් අබ්ඩි හයිර් මාරියේ මෙන්ම සෝමාලියානු නියෝජ්‍ය පොලිස් කොමසාරිස් ජෙනරල් සාකියා හුසේන් අහ්මඩ් පවා මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට ඇත්තේ විදෙස් මාධ්‍ය මගහැර යමිනි. ඔවුන් සම්බන්ධයෙන්ද මේ වන විට බරපතළ සැක ඉපදී ඇත්තේ මේ හේතුවෙනි.

 

 

මාලන් විදානපතිරණ
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

වෙඩි උණ්ඩයට දිවි පිදූ සෝමාලියාවේ ඔන්ලයින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 508 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17120 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 687 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site