IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


යුරෝපීය සංගමයේ සැබෑ නායිකාව ඇන්ජෙලා ඩොරතියා මර්කෙල්

ලොවක් නලවන දේශපාලන කතුන් අතළොස්ස අතරේ ඇයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. එම ස්ථානයට ඇය ළඟා වූයේ බොහෝ කැපකිරීම් මධ්‍යයේ දී. ඒ සියල්ලේම අග්‍රඵලය ඇය දැන් විඳින්නීය. ඇමෙරිකාවේ ටයිම් සඟරාවට අනුව ලොව බලසම්පන්න පුද්ගලයින් සියදෙනාගේ ලැයිස්තුවේ වසර ගණනාවක් තිස්සේම පළමුවැන්නා වූ ඇය නමින් ඇන්ජෙලා ඩොරතියා මර්කෙල් ය. අද දියත වෙන්වෙන්නේ ඇයගේ කතාව ගැන කීමටය.


ජර්මනියේ රාජ්‍ය නායිකාව හෙවත් ජර්මන් චාන්සලර්වරිය වන ඇය බලයට පත් වූයේ මීට හරියටම දහතුන් වසරකට පෙර ය. ඇන්ජෙලා ජර්මනියේ චාන්සලර්වරිය ලෙස 2005 ෆෙඩරල් මැතිවරණයෙන් තේරී පත් වූයේ ජර්මනියේ චාන්සලර් ධුරයට පත්වූ පළමු කාන්තාව බවට පත්වෙමිනි.


දෙදහස වසරේ දී එවකට ජර්මනියේ ප්‍රබල දේශපාලන පක්ෂයක් වූ ඩිමොක්‍රටික් පක්ෂයේ නායකත්වයට පත්වන තුරුම ඇයගේ ජීවිත ගමන සුවපහසු එකක් නොවීය. 1954 දී ජර්මනියේ හැම්බර්ග් හි උපත ලැබූ ඇන්ජෙලා මර්කෙල් පශ්චාත් නාසි පාලනයෙන් නැගී සිටි ජර්මනියේ හැදී වැඩුණු අයෙක් බව සඳහන් වේ. බොහෝ දුෂ්කරතා මත ගොඩනැගෙන ඇන්ජෙලා සිය පාසල් අධ්‍යාපනයෙන් නොනැවතී උසස් අධ්‍යාපනය දක්වාම ඉගෙනුම ලබන්නීය. එම සියලු අධ්‍යාපන කටයුතුවල අග්‍රඵලය වන්නේ ඇය 1986 දී රසායන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය හිමිකර ගනිමිනි. ඉන් පසුකාලීනව පර්යේෂණ විද්‍යාඥවරියක ලෙස සේවයට එක්වීමට ඇන්ජෙලා සමත් වන්නීය.


දෙවැනි ලෝක යුද සමයෙන් පසු මහා විශාල තාප්පයකින් බෙදී වෙන්වී තිබූ නැගෙනහිර ජර්මනිය සහ බටහිර ජර්මනිය ලෙස දෙකට බෙදී වෙන්වී පැවති එකම බිම්කඩ 1989 වසරේ යළි එක්කාසු වූ මහා පෙරැළියත් සමග ජර්මනිය නමැති ඒකීය රාජ්‍යයේ දේශපාලන පොරපිටියට එක්වීමට ඇය තීරණය කරන්නේ දෙවරක් නොසිතාමය. කොමියුනිස්ට් නැගෙනහිර ජර්මනියේ හැදී වැඩුණු ඇයට රුසියන් බස කතා කිරීමේ හැකියාව ද ඇත. 
ඇයගේ දේශපාලන ජීවිතය ආරම්භ වන්නේ එලෙස එක්කාසු වූ රාජ්‍යයේ පළමුවරට පැවති ප්‍රජාතාන්ත්‍රික මැතිවරණයකිනි. 1991 දී ජර්මනියේ චාන්සලර් ලෙස තේරී පත් වන්නේ හෙල්මුට් කෝල් ය. ඇය එම රජයේ කාන්තා සහ තරුණ කටයුතු අමාත්‍යවරිය වශයෙන් තේරී පත් වූවාය. ඉන් පසුකාලීනව එනම් 1994 වසරේ දී එම රජයේම පරිසර සහ න්‍යෂ්ටික ආරක්ෂණ අමාත්‍යවරිය වශයෙන් කටයුතු කරන්නීය. 1998 වසරේ එරට පැවති මහ මැතිවරණයෙන්  හෙල්මුට් කෝල් ගේ නායකත්වයෙන් යුතු ඩිමොක්‍රටික් යූනියන් පක්ෂය අන්ත පරාජයක් ලැබුවේය. නොසිතූ ලෙස පරාජයට පත්වූ පක්ෂයක මහ ලේකම්වරිය වශයෙන් ඇය තේරී පත් වූයේ එම පක්ෂයේ බහුතර සාමාජිකයන්ගේ කැමැත්තෙනි.


භෞත රසායන විද්‍යාව සඳහා ආචාර්ය උපාධියක් ඇති ඇන්ජෙලා මර්කෙල් 2000 වසරේ දී තම පක්ෂයේ නායකත්වයට පත්වන අතර එය එම පක්ෂයේ නායකත්වය කාන්තාවකට හිමිවූ ප්‍ර_ථම අවස්ථාව ද විය. 2009 ෆෙඩරල් මැතිවරණයේ දී එම පක්ෂය විශාල ඡන්ද ප්‍රමාණයක් ලබාගත් අතර 2013 ෆෙඩරල් මැතිවරණයේ දී පක්ෂ කිහිපයක් සන්ධානගත වෙමින් ඇන්ජෙලා මර්කෙල් චාන්සලර් ධුරයට පත්වූවාය. ඒ දක්වාම ඉකුත් මාර්තු මස 14 වැනිදා පැවති මහ මැතිවරණයෙන් යළිත් එරට චාන්සලර්වරිය වශයෙන් තේරී පත් වී සිටින්නීය.


යුරෝපීය සංගමයේ සැබෑ නායිකාව ලෙස සැලකෙන්නේ ද ඇන්ජෙලා මර්කෙල් ය. ලෝකයේ බලවත්ම පුද්ගලයන් පෙළගස්වා ඇති ෆෝර්බ්ස් ලැයිස්තුවේ ලෝකයේ දෙවැනි බලවත් පුද්ගලයා ලෙස 2012 සහ 2015 වසරවල ඇන්ජෙලා මර්කෙල්ගේ නම සටහන් විය. ඉකුත් වසරේ දෙසැම්බරයේ දී ටයිම් සඟරාව වසරේ පුද්ගලයා ලෙස ඇන්ජලා මර්කෙල්ව නම් කළ අතර ෆෝර්බ්ස් සඟරාව නව වතාවක් ඇයව ලෝකයේ බලවත්ම කාන්තාව ලෙස නම් කොට ඇත. ඇය යුරෝපා සංගමයට අයත් රටවල් අතුරින් වැඩිම කාලයක් රාජ්‍ය නායක ධුරයේ සිටින පුද්ගලයා බවට ද පත්ව සිටින්නීය.


ඇන්ජෙලා මර්කෙල් 1977දී භෞතික විද්‍යා සිසුවකු වූ උල්රික් මර්කෙල් සමඟ විවාහ වීමෙන් අනතුරුව ඔහුගේ වාසගම ඇයගේ නමට එකතු කර ගත්තාය. 1982දී එම විවාහය දික්කසාදයෙන් කෙළවර වූ අතර 1998දී ජෝකිම් සොයුර් නම් රසායන විද්‍යා මහාචාර්යවරයා සමග විවාහ වූවාය. එම විවාහයෙන් ඇයට දරුවන් නොමැති වුවත් සැමියාගේ පළමු විවාහයෙන් ඔහුට පිරිමි ළමයි දෙදෙනක් සිටිති.


හැම අවස්ථාවකදී වෙනත් කිසිදු රාජ්‍ය නායකයෙකු නොගන්නා තීන්දු තීරණ ගත් ඇන්ජෙලා මර්කෙල් තරමක් තද ගති ඇති රාජ්‍ය නායිකාවක් ලෙස වර්තමානයේ හංවඩු ගැසී සිටින්නීය. පාලනය කළ නොහැකි මට්ටමින් සංක්‍රමණිකයන් ගලා ඒම නිසා ජර්මනිය ඇතුළු යුරෝපයේ ප්‍රධාන පෙළේ රටවල් සියල්ල මේ වනවිට දැඩි අර්බුදවලට මුහුණ දෙමින් සිටින බව ප්‍රකටය. සංක්‍රමණිකයන් නිසා තමන්ට පෙර පරිදි නිදහසේ සිය එදිනෙදා කටයුතු පවත්වා ගෙන යා නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි එරට ස්වදේශිකයෝ මැසිවිලි නගති. මේ නිසාම ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් එබඳුම විචේනයට බඳුන් වන නායිකාවකි.


එසේම ඉකුත් කාලයේ මාස දහයක් පමණ දික්ගැස්සුණු යුක්රේන අර්බුදය විසැඳීමට සියලු බාධක නොසලකමින් ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් සහ ඇයගේ විදේශ කටයුතු ඇමැතිවරයා නොසැලී ඉදිරිපත් වූහ. ලෝක යුද්ධයෙන් අනතුරුව ජර්මනිය හමුදාමය ගැටුමක් නිරාකරණය කිරීමට නායකත්වය දුන් ප්‍රථම අවස්ථාව මෙයයි. 


මේ අතර සිවු පාර්ශ්වීය සටන් විරාම ගිවිසුමට ඇතුළත් වූ වහාම මේ සම්බන්ධයෙන් නිරාකරණය කරගත යුතුව ඇති තවත් කඩඉම් රැසක් ඇති බවට මුලින්ම ප්‍රකාශ කළේත් ඇන්ජලා මර්කෙල් ය. කෙසේවෙතත් මේවන විටත් බොහෝ යුරෝපීයන් ඇය යුරෝපා සාම දූතිකාව යන අන්වර්ථ නාමයෙන් හැඳින්වීමට පටන්ගෙන ඇතැයි වාර්තා වේ. යුක්රේන අර්බුදය අතරවාරයේ දී එය සමථයකට පත් කිරීමේ අරමුණ ඇතිව ජර්මන් චාන්සලර්වරිය රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ හතළිස් වතාවකට වැඩි වාර සංඛ්‍යාවක් සාකච්ඡා කර ඇතැයි වාර්තා විණි. වරෙක ඇය ෆ්‍රැනන්කෝ - ජර්මන් ගිවිසුම ඇතිකර ගැනීමට මර්කෙල් ප්‍රංශ හිටපු ජනාධිපති ප්‍රන්සුවා හොලන්දෙ සමග උරෙන් උර ගැටී කටයුතු කළාය. 


මේ අතර ජර්මනිය අද වනවිට මුහුණදෙන සංක්‍රමණික අර්බුදය වැනි ගැටලු හේතුවෙන් චාන්සලර් ඇන්ජලා මර්කල්ගේ ජනප්‍රියත්වය ශීඝ්‍රයෙන් පහත වැටී ඇතැයි වාර්තා වේ. එරට පසුගියදා පැවති බැවේරියා ප්‍රාන්ත මැතිවරණයෙන් යළිත් වරක් ඒ පිළිබඳව තහවුරු වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. පසුගියදා පැවති ජර්මනියේ බැවේරියා ප්‍රාන්ත මැතිවරණයෙන් චාන්සලර් ඇන්ජලා මර්කල්ගේ සහෝදර පක්ෂය ප්‍රබල පසුබෑමකට ලක්ව තිබේ. එහි ප්‍රතිඵල අනුව එරට ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වී යාමෙන් දැඩි අර්බුදයකට මුහුණපෑමට සිදුවනු ඇති බව වාර්තා වේ.


ලොව බලසම්පන්න රාජ්‍ය නායිකාවට හිමි තැන ඇය සලසා දුන්නේ ඇයගේම රටේ ජනතාව විසිනි. ලෝකය තුළ බලවත් වුවද, ඒ සියල්ල සැණින් වෙනස් කිරීමේ පරමාධිපත්‍යය ජනතාවට මිස ඇයට හිමි නොවන යථාර්ථය ඇය විසින් සිහියට නගා ගත යුතුය.

 

 

තිළිණි ද සිල්වා
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.



අදහස් (0)

යුරෝපීය සංගමයේ සැබෑ නායිකාව ඇන්ජෙලා ඩොරතියා මර්කෙල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 492 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 302 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site