IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


පෝරකයට ගිය හිටපු ජනපති මුෂාරෆ්

 

හදිසි නීතීය පනවා, ව්‍යවස්ථාව අත්හිටුවමින් දිගටම බලයේ රැඳී සිටීමට උත්සාහ ගැනීමේ චෝදනාවට වරදකරුවූ පාකිස්ථානයේ හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම හිටපු හමුදා නායකයෙකු ද වූ පර්වේස් මුෂාරෆ්ට පාකිස්ථාන විශේෂ අධිකරණයකින් මරණ දඬුවම නියම වූයේ වර්තමානයේ බලයේ සිටින සියලු ලෝක නායකයින්ද භීතියට පත් කරවමිනි. ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි ලෙසින් දිගටම බලයේ සිටීමට උත්සාහ කළ පර්වේස් මුෂාරෆ් වෙනුවෙන් අද දියත රාජ්‍ය නායක පිටුව වෙන්වේ.


1999 වසරේ පකිස්ථාන හමුදාපති වශයෙන් සිටි මුෂාරෆ් එම වසරේදීම හමුදා කුමන්ත්‍රණයකින් එරට රාජ්‍ය බලය අල්ලා ගත්තේ කිසිදු ලේ වැගිරීමකින් තොරවය. එවකට අස්ථාවරව පැවති පාකිස්ථානයට ශක්තිමත් නායකත්වයක් දීමට ඔහුට හැකි වූයේය. 2001 සිට 2008 දක්වා පකිස්ථාන ජනාධිපති ලෙස කටයුතු කළ මුෂාරෆ් 2007 වසරේදී එරට ව්‍යවස්ථාව අත්හිටුවා හදිසි නීතිය ක්‍රියාත්මක කළේ දිගටම ජනපති ධුරයේ සිටීමේ බලාපොරොත්තුවෙනි.


එවක හමුදාපතිවරයා වූ ජෙනරාල් මුෂාරෆ් 1999දී පාකිස්තානයේ ජනාධිපති වශයෙන් බලයට පත්වූයේ හමුදා කුමන්ත්‍රණයකිනි. එම කුමන්ත්‍රණයේ දී නවාෂ් ෂරීෆ්ගේ ආණ්ඩුව පෙරළා දැමිණි. ජනාධිපති මුෂාරෆ් 2008 දක්වා බලයේ සිටියේය. ඔහු ධුරයෙන් ඉවත් වූයේ පාලන සභාග ආණ්ඩුව විසින් ඔහුට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කළ පසුබිමකය.
හිටපු ජනාධිපතිවරයා වරදකරු වූ පියවර ඔහු විසින් ගනු ලැබුවේ 2007 වසරේදීය. එහිදී හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීම ද අගවිනිසුරුවරයා ධුරයෙන් පහකිරීමට වෑයම් කිරීම ද සිදුවිණි. ඔහු එම නියෝග පැනවූයේ ව්‍යවස්ථාව අත්හිටුවමිනි. ඔහු තමා ගත් එම ක්‍රියාමාර්ග සාධාරණීකරණය කරන්නේ රටේ ස්ථාවරභාවය උදෙසා මෙන්ම නැඟී එමින් පැවැති ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා එසේ කිරීම අවශ්‍යවූ බව දක්වමිනි.


තරු හතරේ ජෙනරාල්වරයකු වන පර්වේෂ් මුෂාරෆ් පාකිස්තානයේ 10 වැනි ජනාධිපතිවරයා විය. 1943 දී බි්‍රතාන්‍ය යටත් විජිතයක්ව පැවැති සමයේ දිල්ලියේ දී උපත ලැබූ මුෂාරෆ් කරච්චි සහ ඉස්තාන්බුල් නගරවල හැදී වැඩිණි. ලාහෝරයේ ෆෝර්ටන් ක්‍රිස්තියානි පාසලෙන් ගණිතය විෂයය හදාරා එක්සත් රාජධානියේ ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ රාජකීය විද්‍යාලයෙන් ද පාකිස්තාන හමුදා ඇකඩමියෙන් ද පුහුණුව ලැබීමෙන් පසු බලයලත් නිලධාරියකු ලෙස පාකිස්තාන හමුදාවට එක්විය.
ඇෆ්ගන් සිවිල් යුද්ධයේදී මෙන් ඉන්දු - පාකිස්තාන යුද්ධයේදී ද ඔහු ක්‍රියාන්විත සේවයේ යෙදිණි. 2 වැනි ලුතිනන් මුෂාරෆ් මේජර් ජෙනරාල්වරයකු ලෙස උසස්වීම් ලැබුවේ 1990 ගණන්වලදී ය. ඉන් ටිකකලකට පසු නියෝජ්‍ය හමුදා ලේකම් පදවියද අනතුරුව හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරාල් පදවියට පත්විය. ඔහු තරු හතරේ ජෙනරාල්වරයකු ලෙස උසස් කරනු ලැබුවේ 1998 දී අගමැති නවාෂ් ෂරීෆ් විසිනි. එවක් පටන් ඔහු සන්නද්ධ සේවාවන්හි ප්‍රධානියා වශයෙන් කටයුතු කළේය.
අගමැති ෂරීෆ් සහ ජෙනරාල් මුෂාරෆ් අතර ඇතිවූ ගැටුම්කාරීත්වය මත ඔහු ජෙනරාල් ධුරයෙන් ඉවත් කිරීමට අගමැතිවරයා අසාර්ථක වෑයමක යෙදිණි. 1999 දී, හමුදා කුමන්ත්‍රණයකින් ජෙනරාල් මුෂාරෆ් බලයට පත්විය. හිටපු අගමැති ෂරීෆ්ට එරෙහිව අපරාධ චෝදනා යටතේ විමර්ශන ඇරැඹීමට පෙරාතුව ඔහු දැඩි නිවාස අඩස්සියේ රැඳවිණි. මුෂාරෆ්, ඒකාබද්ධ හමුදා ප්‍රධානී ධුරයෙන් විශ්‍රාම ලැබුවේ ජනාධිපති වශයෙන් කටයුතු කරද්දී 2007 වසරේදීය. ඒ ඔහු ජනාධිපති ධුරයෙන් ඉවත්වීමට ආසන්න සමයයි.
සිය පාලන සමය තුළ ආර්ථිකය ලිබරල්කරණයට යොමුකළ ජනාධිපති මුෂාරෆ් පාකිස්තානයේ ආර්ථිකය වර්ධනය කළේය. දළ ජාතික නිෂ්පාදනය සියයට 50 ක වර්ධනයක් පෙන්නුම් කිරීමට සමත් විණි. කෙසේ වුවද ඉතුරුම් පහළ ගිය අතර ආදායම් බෙදීයාමේ විෂමතා වැඩිවිය. ඔහුගේ පාලනයට එරෙහිව මානව හිමිකම් චෝදනා ද එල්ල විය. බලයේ සිටියදී අවස්ථා ගණනාවකදීම ඝාතන ප්‍රයත්නවලින් ජීවිතය ගලවා ගැනීමට ජෙනරාල් පර්වේෂ් මුෂාරෆ් සමත් විය.


මුෂාරෆ්ගේ නායකත්වය යටතේ පාකිස්ථානය එවකට ඇමෙරිකා ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ් ප්‍රකාශයට පත්කළ ත්‍රස්තවාදයට එරෙහි සටනේ හවුල්කරුවකු ද විය. කෙසේ වුවද, හදිසි නීතිය පනවමින් ජනාධිපති මුෂාරෆ් ගත් ක්‍රියාමාර්ග අමෙරිකාවේ හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරීන්ගේ විවේචනයට ලක්ව තිබිණි. ඇමෙරිකාවෙන් මෙන්ම බටහිර රටවලින්ද එල්ලවූ විරෝධය හමුවේ හදිසි නීතිය ඉවත්කිරීමට ඔහු ක්‍රියා කළ අතර, මැතිවරණයක් ද කැඳවීය. ධුරයෙන් ඉවත්වීමෙන් පසු 2008 දී ඔහු රටින් පිට විය. යළි 2013දී පාකිස්තානය බලා පැමිණියේ, මහමැතිවරණයට තරග කිරීමේ අපේක්ෂාවෙනි. නමුත් අධිකරණ ක්‍රියාමාර්ග ඔහුගේ ඒ ගමනට හරස් විය.
හමුදා කුමන්ත්‍රණ සම්බන්ධයෙන් පාකිස්ථානයට ඇත්තේ නුහුරු අත්දැකීමක් නොවේ. ප්‍රජාන්ත්‍රවාදී මැතිවරණවලට වඩා එරට බලය මාරුවී ඇත්තේ කුමන්ත්‍රණවලිනි. කුමන්ත්‍රණයකින් බලයට පත්වූ ආඥාදායක පාලක ජෙනරාල් ෂියා උල් හක්, හිටපු ජනාධිපති අලි බූතෝ එල්ලා මරා දැමීමට නියෝග කළේය. අලි බූතෝ යනු පසු කලෙක පාකිස්ථානයේ රාජ්‍ය නායිකාව ලෙස කටයුතු කළ බෙනාසීර් බූතෝගේ පියාණන්ය.

පාකිස්ථානයේ හමුදා ප්‍රධානියකුට එරෙහිව මෙලෙස නඩු විභාගයක් පවත්වා දේශද්‍රෝහීවීමේ වරදට මරණ දඬුවම නියම කෙරුණේ ඉතිහාසයේ ප්‍රථම වතාවටය. ජෙනරාල් මුෂාරෆ්ට මරණ දඬුවම නියම වීමෙන් පසුව පාකිස්ථාන හමුදාව නිකුත් කළ ප්‍රකාශයකින් කියැවුණේ, එය දැඩි වේදනාකාරී තීරණයක් බවය. පාකිස්තානයේ අන්තර් (ආරක්ෂක) සේවා මහජන සම්බන්ධතා අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ජෙනරාල් මුෂාරෆ් යනු නිසැකවම ද්‍රෝහියකු නොවන බවය. වසර 40 කට වැඩි කාලයක් ඔහු රට වෙනුවෙන් සේවය කර ඇති බව ද එහි දැක්වේ. 


පුද්ගලයකුට ස්වයං ආරක්ෂාව සඳහා ඇති මූලික අයිතිවාසිකම ද උල්ලංඝනය කරමින් සිදුවූ මෙම අධිකරණ ක්‍රියාදාමය ද ඉන් විවේචනය කෙරිණි. ආරක්ෂක හමුදාව වශයෙන් එරට ව්‍යවස්ථාවට අනුව යුක්තිය පසිඳලීම සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බව ද එහි දැක්වේ. එසේ බලන කල පෙනෙන්නට ඇත්තේ හිටපු ජනාධිපතිවරයාට මරණ දඬුවම දීමට ගෙන ඇති තීරණයට එරට හමුදාවේ කැමැත්තක් නැති බවය.


හිටපු අගමැතිනි බෙනාසීර් බූතෝ ඝාතනය සම්බන්ධයෙන් චෝදනාවේදී ජෙනරාල් මුෂාරෆ් දෙසට ද ඇඟිල්ල දිගුවිය. රජය පෙරළීමේ චෝදනා මත ඔහුට මරණ දඬුවම් නියම කළ විශේෂ අධිකරණය හමුවේ මුෂාරෆ් පෙනී සිටියේ දෙවතාවකදී පමණි. මුෂාරෆ්ගේ දේශපාලන පක්ෂය වන සමස්ත පාකිස්තාන මුස්ලිම් ලීගය මෙම තීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත්කරන බව කියා තිබේ. එය ඉක්මනින්ම සිදුකරන බව ඔවුහු පවසති. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත්වනු ඇත.


පාකිස්ථානයේ හිටපු ජනාධිපති ජෙනරාල් පර්වේෂ් මුෂාරෆ්ට මරණ දඬුවම නියම වීමේ නඩුව විභාගයට ගැනීම ආරම්භ වූයේ 2013 දීය. තීන්දුව ප්‍රකාශ වනවිට හිටපු ජනපති මුෂාරෆ් එම විශේෂ අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත. තිදෙනකුගෙන් සමන්විත විනිසුරු මඬුල්ලෙන් දෙදෙනෙක් ඔහුට හිමි දඬුවම මරණ දඬුවම බව ප්‍රකාශ කළ අතර, එක් විනිසුරුවරයෙක් මරණ දඬුවම ලබාදීමට එරෙහි විය. පාකිස්තාන නීතිය යටතේ කුමන්ත්‍රණයකින් රජය පෙරළීමේ වරදට දඬුවම එක්කෝ මරණ දඬුවමය නැතහොත් ජීවිතාන්ත සිරදඬුවමය.


76 හැවිරිදි මුෂාරෆ් තුන්වසරකට වැඩි කලක් තිස්සේ ජීවත්වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි ය. මීට සති කිහිපයකට පෙර රෝහල් ඇඳක් මත සිට ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ තමාට එරෙහි නඩු විභාගයේදී එල්ල කරන චෝදනා පදනම් විරහිත බවයි.

 


තිළිණි ද සිල්වා
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (1)

පෝරකයට ගිය හිටපු ජනපති මුෂාරෆ්

ධම්ම Sunday, 05 January 2020 02:14 AM

බලය විසින් මිනිසුන් නොමගට යවනවා. එවිට ඔවුන් කල හොඳ යටපත් වෙනවා. ජෙනරාල් පර්වේස් මුෂාරෆ් පාකිස්තානය නගා සිටුවීමට බොහෝ දේ කල බව එතුමාගේ මුළු රාජ්‍ය කාලය තුලම එහි සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයේ රාජකාරි කල අයෙකු ලෙස මම හොඳින් දනිමි. මා ලාහෝරයෙන් පිටවන දවසේ ඔය ඉහලින් පෙනෙන පින්තුරයේ ඇති අයුරින්ම මට ආචාර කිරීමට තරම් එතුමා නිහතමානී උනා. ජෙනරාල් පර්වේස් මුෂාරෆ් මහතාට නිදහස ලබා දීමට පාකිස්තානු අධිකරණයට හැකිවේවා! එතුමාට දීර්ඝායු ලැබේවා!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 555 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17347 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 706 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site