IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


ජනපති කිරුළ කටු ඔටුන්නක් කර ජීවිතයෙන් වන්දි ගෙවූ ඊජිප්තුවේ මොර්සි

 

එක දිගට දශක ගණනාවක් තිස්සේ බලයේ හුන් ඒකාධිපතියන් එළවීමේ මහා විරෝධතා රැල්ල හෙවත් අරාබි වසන්තයෙන් ලෝක දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක් වූයේ ඊජිප්තුවේ හිටපු ජනපති මොහොමද් මොර්සිය. ඒකාධිපතියෙකුවූ හොස්නි මුබාරක් එළවීමේ ජන අරගලයට උරදී රටක් පාලනය කළ රාජ්‍ය නායකයෙකු බවට පත්ව පසුව රාජ්‍ය ද්‍රෝහියෙකු ලෙස හංවඩු ගැසුණු මොර්සිට සිදු වූ අවාසනාවන්ත මරණය ගැන ඉකුත් සතියේ අපට අසන්නට ලැබුණු තවත් ලෝක දේශපාලන ඛේදාන්තයකි. මෙවර දියත වෙන්වන්නේ ඔහුගේ අටුවා ටීකා වෙනුවෙනි.


මොහොමද් මොර්සි යනු දීර්ඝ කාලයක් ඊජිප්තුව පාලනය කරමින් ඒකාධිපති පාලන රටාවක් අනුගමනය කළ හොස්නි මුබාරක්ගෙන් පසු ඊජිප්තුවේ ජනපති ධුරයට පත් ජනාධිපතිවරයාය. බටහිර රටවල් විසින් “අරාබි වසන්තය” යනුවෙන් හැඳින්වූ විරෝධතා 2010 සහ 2011 වන විට ඊජිප්තුවේ පැතිරෙන්නට විය. එම විරෝධතා හේතුවෙන් වසර 30 කට ආසන්න කාලයක් ඊජිප්තුවේ පාලනයා වූ හොස්නි මුබාරක්ට ජනාධිපති ධුරයෙන් සමුගැනීමට සිදුවිය. මුබාරක් සහ ඔහුගේ පුතුන්ට දූෂණ වංචා චෝදනා එල්ල වූ අතරම, ඒවා සම්බන්ධයෙන් මේ වනවිටත් නඩු විභාග පැවැත්වෙයි.


67 හැවිරිදි හිටපු ජනපති මොර්සි, කටාර් රාජ්‍යය වෙනුවෙන් ඔත්තු බැලීමේ කටයුතුවල නියැළුණා යැයි චෝදනා මත ඔහුට එරෙහි නඩු විභාගය අතරතුරේදී සිර මැදිරියක මියගිය බව ඊජිප්තු මාධ්‍ය වාර්තා කරනු ලැබුවේ ඉකුත් 17 වැනිදාය. මොර්සි වරදකරු යැයි විනිසුරු මඬුල්ල තීරණය කළ අතර, එම අවස්ථාවේදී මොර්සි විත්ති කූඩුව තුළ සිහිසුන්ව ඇදවැටුණු බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඒ, සවස 4.50 ටය. බන්ධනාගාර නිලධාරීන් වහා මොර්සි කයිරෝ රෝහලට ඇතුළත් කළ ද ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව වෛද්‍යවරු පසුව පැවැසූහ. මොර්සි සිහිසුන්ව ඇදවැටී ඇත්තේ හෘදයාබාධයකට ලක්වීමෙන් බව ඔවුහු පසුව පැවැසූහ.


ජනතා විරෝධය මැද මුබාරක්, බලයෙන් ඉවත් වූයේ විශේෂ හමුදා පාලක මණ්ඩලයකට බලය පවරමිනි. ඉන්පසු මුබාරක් විසින් මර්දනය කරනු ලැබ තිබුණු “මුස්ලිම් සහෝදරත්වය” :ඵමිකසප ඊරදඑයැරයදදා* නමැති දේශපාලන කණ්ඩායම ජනතාව සමඟ එක් වෙමින්, ඊජිප්තුවේ ජනාධිපතිවරණයක් පැවැත්වීය.


2012 වසරේ පැවැති එම ජනාධිපතිවරණය ඊජිප්තුවේ පළමු නිදහස් හා සාධාරණ මෙන්ම, පළමු ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයද වූයේය. “මුස්ලිම් සහෝදරත්වය” පක්ෂයට නායකත්වය දෙමින් මොර්සි ඊජිප්තුවේ ජනාධිපති ධුරයට පත්වූයේය. එය ඇමෙරිකාව ප්‍රමුඛ අරාබි වසන්තය අගය කළ සියලු බටහිර රාජ්‍යයන්හි ඒකායන අරමුණක් සඵල වීමක්ද වූ බව සඳහන් කළ යුතුමය. සිය ධුරයේ කටයුතු කළ වසරක කාලය තුළ එම වසරේ ජනපති මොර්සි ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වී සැසිය ද ඇමතීමට තරම් වාසනාවන්ත වූයේය. පාකිස්තාන රජයේ විද්‍යා සහ තාක්ෂණ විශ්වවිද්‍යාලයෙන් මොර්සිට ගෞරව ආචාර්ය උපාධියක් හිමි වී තිබුණි.
කෙසේ නමුත් මොර්සිගේ ජනපති ධුරය එක් වසරක් සහ මාස කීපයකට පමණක් සීමා විය. මොර්සි සහ ඔහුගේ මුස්ලිම් සහෝදරත්වයට ජනතා විරෝධයක් එල්ල වූයේ මොර්සි ද හොස්නි මුබාරක්ගේ අඩිපාරේ යන බවටත් ඒකාධිපති පාලන රටාවක් අනුගමනය කරන බවටත් චෝදනා එල්ල වීමෙනි. මොර්සිට එරෙහිව ද ඊජිප්තුව පුරා විරෝධතා හටගත්තේය. ඒ අතරේම ඔහු කටාර් රාජ්‍යය වෙනුවෙන් ඔත්තු බැලීමේ කටයුතුවල නියැළුනා යැයි චෝදනාද එල්ල විණි. කයිරෝ නුවර ජනාධිපති මන්දිරය ඉදිරිපිට විරෝධතා පැවැත්වූ විරෝධතාකරුවන්ට පොලිසිය වෙඩි තැබුවේ මෙම අවස්ථාවේදීය. එම වෙඩි තැබීම කළේ ජනාධිපති මොර්සිගේ අණ පරිදි යැයි චෝදනා එල්ල විය. මොර්සිට එරෙහි විරෝධතා උත්සන්න වූ අතර, ඊජිප්තුව මුළුමනින්ම අස්ථාවර විණි. ඊජිප්තුවට සිදුවූයේ ඉඟුරු දී මිරිස් ගත්තා වාගේ වැඩක්ය.


මෙම අවස්ථාවේ හොස්නි මුබාරක් බලයෙන් ඉවත් වෙද්දී බලය පවරා දුන් හමුදා පාලක මණ්ඩලය සහ හමුදාපති ලෙස කටයුතු කළ අබ්දෙල් ෆාටා අල් සීසී, හමුදා කුමන්ත්‍රණයකින් ඊජිප්තුවේ බලය අල්ලා ගත් අතර, ජනපති මොර්සි අත්අඩංගුවට ගත්තේය. ඒ අනුව, 2013 වසරේ ජූලි මාසයේ සිට මොර්සි මියගිය ඉකුත් 17 වැනිදා දක්වාම ගතවූ පසුගිය වසර 6 පුරාවට මොර්සි කයිරෝ බන්ධනාගාරයේ වධ බන්ධනයන්ට ලක් කෙරුණි.


2012 වසරේ විරෝධතාකරුවන්ට වෙඩි තැබීමට පොලිසියට අණ දීම සහ ඊජිප්තුවේ රහස් කටාර් රාජ්‍යයට දෙමින්, කටාර් රාජ්‍යය වෙනුවෙන් ඔත්තු බැලූ බවට ද මොර්සිට චෝදනා එල්ල වී ඇත. මියයන අවස්ථාවේදී තවත් චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් නඩු විභාග හයක් මොර්සිට එරෙහිව පැවැත්වෙමින් තිබුණි. 2012 විරෝධතාකරුවන් මරා දැමීමට අණදීම සම්බන්ධයෙන් වසර 20 ක සිර දඬුවමක් මොර්සිට හිමිවී තිබුණි. කටාර් රාජ්‍යය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනා සම්බන්ධයෙන් මොර්සිට ජීවිතාන්ත සිරදඬුවමක් ද නියම වී තිබුණි. වසර 6 ක් බන්ධනාගාරගතව සිටිද්දී මොර්සිට ඔහුගේ පවුලේ අය හමුවන්න ඉඩ ලැබී ඇතැයි පැවැසෙන්නේ අවස්ථා 3 කදී පමණි. 2013 නොවැම්බරයේ මොර්සිගේ බිරිඳට පමණක් මොර්සි හමුවන්න ඉඩ ලැබී ඇති අතර, 2017 මොර්සිගේ බිරිඳටත් එක් දියණියකටත් මොර්සි හමුවන්න අවසර ලැබුණි.


2018 සැප්තැම්බරයේ දී මොර්සිගේ බිරිඳටත් දරුවන් සැමටත් මොර්සි බැලීමට අවස්ථාවක් ලැබුණි. මොර්සිට දරු දැරියන් 5 කි. දරුවන් පස් දෙනාගෙන් දෙදෙනකු උපත ලබා ඇත්තේ ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේය. මොර්සිට මුනුබුරු මිනිබිරියෝ තුනක් වෙති.


මොර්සි අත්අඩංගුවට ගනිමින්, බලය අල්ලා ගත් හමුදාපති අල් සීසී, ඊජිප්තුවේ ජනාධිපතිවරයා විය. වර්තමානයේ ජනාධිපති ධුරය හොබවන්නේ ද අල් සීසීය. අද වනවිට අල් සීසී හමුදා ධුරය අතහැර සිවිල් ජනපතිවරයකු ලෙස රටට නායකත්වය දෙයි. අල් සීසීගේ දෙවැනි ධුර කාලය ද ආරම්භ වී ඇති අතර, එය වසර 2030 තෙක් දීර්ඝ කර ගැනීමට අල් සීසී ඊජිප්තු ව්‍යවස්ථාව පවා වෙනස් කරගෙන ඇත.


මොර්සි අත්අඩංගුවට ගැනීමත් සමඟ මුස්ලිම් සහෝදරත්වය පක්ෂය ද ඊජිප්තුවේ තහනම් කෙරුණි. මුස්ලිම් සහෝදරත්වය පක්ෂයට සම්බන්ධ නායකයන්ට මරණ දඬුවම ලබා දුන් අතර, පක්ෂ ක්‍රියාකාරීන් බොහොමයකට ජීවිතාන්ත සිරදඬුවම් හිමි විය.


අවසානයේ ඒකාධිපතියෙකු එළවන්නට ගොස් ජනපති කිරුළ පැළඳ, පසුව එම කිරුළ කටු ඔටුන්නක් බවට පත්ව මොර්සිට ජීවිතයෙන් වන්දි ගෙවන්නට වීමද අවාසනාවකි.

 

 

තිළිණි ද සිල්වා
ඡායාරූපය අන්තර්ජාලයෙනි



අදහස් (0)

ජනපති කිරුළ කටු ඔටුන්නක් කර ජීවිතයෙන් වන්දි ගෙවූ ඊජිප්තුවේ මොර්සි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 555 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17347 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 705 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site