IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


කියුබාවේ ඉරණම...

 

අධිරාජ්‍යවාදීන් සහ ඔවුන්ගේ දේශීය ගැත්තන්ටද එරෙහිව අවි ඔසවා දියත් කරන ලද විප්ලවයෙත් අනතුරුව තම මාතෘ භූමියේ ලක්ෂ සංඛ්‍යාත වූ නිර්ධන පංති ජනතාවට විමුක්තිය උදා කළ ලෙනින්, මාඕ සේතුං, හෝචිමිං සහ කිම් ඉල් සුං වැනි ශ්‍රේෂ්ඨ නායක පරපුරේ අවසන් සාමාජිකයා වූ පිදෙල් කස්ත්‍රෝ පසුගියදා මෙලොවින් සමුගත්තේය.


ඔහු සිය දිවියේ 90 වැනි සැතපුම පසු කළ මොහොතේ ලොව පුරා රටවල් 100කට ආසන්න ගණනක් ඔහුට දීර්ඝායු පතා උත්සව රැස්වීම් ආදිය සංවිධාන කෙරිණි. ලොව වෙනත් නායකයකු වෙනුවෙන් මෙතරම් උපන් දින සැමරුම් පැවැත් වූ අවස්ථාවක් පිළිබඳව සිතා ගත නොහැකිය. ඉන් තෙමසකට පමණ පසු පිදෙල් මිය යන්නේ ලොව පුරා විමුක්තිකාමී, ප්‍රගතිශීලි ජනතාවගේ හදවත් සසල කරමිනි.
ජයග්‍රාහී විප්ලවයෙන් අනතුරුව 1959 දී කියුබාවේ අගමැති තනනතුරට පත්වූ හෙතෙම 1976 දී  එරට ජනපති පදවියට පත් විය. අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා ඔහු 2008 පෙබරවාරියේ දී ජනපති ධුරයෙන් සමුගත් අතර ඔහුගේ අනුප්‍රාප්තිකයා වශයෙන් කියුබානු කොමියුනිස්ට් පක්ෂය විසින් නම් කරනු ලබන්නේ පිදෙල්ගේ සොයුරු රාවුල් කස්ත්‍රෝය. ඒ අනුව පිදෙල් කස්ත්‍රෝ විසින් කියුබාවේ සුක්කානම මෙහෙය වූ කාලය අඩ සියවසකට ආසන්න වෙයි. එතරම් දීර්ඝ කාලයක් තිස්සේ සිය ජනප්‍රියතාව රැක ගෙන සිටීම මහත් අභියෝගයකි. ආශ්චර්යයකි. එම අභියෝගය පිදෙල් ඉතා සාර්ථකව ජය ගත්තේය. ඔහු ජනප්‍රියත්ව හිණි පෙළේ සැමදා ඉහළම පුවරුවේ රැඳී සිටියේය. ලොව පුරා ඔහුගේ ජනප්‍රියභාවය, ඔහුට දක්වන සෙනෙහස, කිසිදා අඩු වූයේ නැත.


පිදෙල්ට සතුරන් නොසිටියා නොවේ. ඔහුගේ අංක එකේ සතුරා වූයේ ඇමෙරිකාවය. ඒ ඔහු ලොව මහ බලවතාට අතේ දුරින් විප්ලවයේ රතු ධජය එසැවූ නිසාය. ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වෙසෙන කියුබානුවන් නිතර ප්‍රාර්ථනා කළේ පිදෙල් කස්ත්‍රෝගෙන් තොර කියුබාවක් දැක ගැනීමය.


පිදෙල්, ඕනෑම තීරණාත්මක බැරෑරුම් අවස්ථාවක ඉන්ද්‍රඛීලයක් සේ නැගී සිටියේය. කුමන තර්ජන, ගර්ජන, කුමන්ත්‍රණ, කඩාකප්පල්කාරී ප්‍රතිවිප්ලවීය ක්‍රියාකාරකම් ඝාතන ප්‍රයත්න ඉදිරියේදී වුවද මදකුදු නොසැලී තම මාතෘ භූමිය විප්ලවය සහ ජනතාව වෙනුවෙන් සුපුරුදු පෞරුෂයෙන් යුතුව නැගී සිටියේය. තමා යන මග පිළිබඳ ඉතා නිවැරදි දැක්මක් ඔහුට තිබිණි. ඒ පිළිබඳව දැඩි විශ්වාසයක් ඔහුට තිබිණි. තම නායකයා ආදරණීය පිදෙල් කෙරේ මෙන්ම ඔහුගේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කියුබානු ජනතාව අඛණ්ඩවම දැඩි විශ්වාසයක් තැබුවේය. පිදෙල් කිසිදු අවස්ථාවක එම විශ්වාසය පළුදු කළේ නැත. එබැවින් සෑම දුෂ්කර අවස්ථාවකදීම කියුබානු ජනතාව ඔහු සමගම රැඳී සිටියේය. දිනාගත් විප්ලවය රැක ගැනීම සඳහා පිදෙල් පෞද්ගලිකව තමාම සටන් බිමට පිවිස සතුරාට එරෙහිව ප්‍රහාර දියත් කළ දුර්ලභ ඝණයේ නායකයෙකි.


තම ගමනට දිගින් දිගටම සහෝදරත්වයෙන් අතදුන් සෝවියට් දේශය බිඳ වැටී ක්‍රෙම්ලිනයේ මහත් අභිමානයෙන් ළෙල දුන් ඔක්තෝබර් විප්ලවයේ ධජය පහත හෙළන විට ද ලෙනින්ග්‍රෑඞ් නගරය නැවත පීටර්ස්බර්ග් යනුවෙන් නම් කරන විටද පිදෙල් නොසැලී සිටියේය. ලිතුවේනියාව, ලැට්වියාව වැනි බෙදී වෙන්ව ගිය ප්‍රාන්තවල ලෙනින්ගේ දැවැන්ත ප්‍රතිමා මහ පොළොව සිපගන්නා මොහොතේ ද පිදෙල් කියුබාවේ නොවැටී සිටියේය.


කෙසේ වෙතත් සෝවියට් දේශය ඇතුළු නැගෙනහිර යුරෝපීය සමාජවාදී රටවල් තුළ සිදු වූ පීලි පැනීම් කියුබානු ආර්ථිකයට වැදුණු මරු පහරක් විය. එම අවධියේ එරට ආර්ථිකය 40% කින් පමණ පසු බැස්සේය. මෙම අසීරු වාතාවරණය හමුවේ කියුබාව කුමන මොහොතක හෝ ඇද වැටෙනු ඇතැයිද දණ නමනු ඇතැයිද බටහිර බලවත්තු දෑස් දල්වා බලා  සිටියහ. ඒ ඉන් අනතුරුව කියුබාව නැවත තම කෙළිබිමක් කර ගනු ලැබීමේ ආත්මාර්ථකාමී අදහසිනි. එහෙත් සමාජවාදී කියුබාව නිවට ලෙස දණ නැමුවේ නැත. සුපුරුදු පරිදි රටේ ජනතාව පිදෙල් සහ විප්ලවය සමග රැඳී සිටියහ. එය පිදෙල්ට මහත් ශක්තියක් විය.


ස්වශක්තිය කෙරෙහි විශ්වාසය තබමින් කියුබානු රජය අපනයන අංශයේ නව මං මාවත් ඔස්සේ රට මෙහෙයවමින් ආර්ථිකය ක්‍රමානුකූලව වර්ධනය කර ගැනීමට සමත් විය. ඒ අනුව ආර්ථිකයේ පැහැදිලි වර්ධනයක් දැක ගැනීමට හැකි විය.


කියුබාව යනු සුරපුරක් නොවේ. එරට ඇත්තේ බහුභාණ්ඩික වෙළෙඳපොළක් නොවේ. එහෙත් තම රටේ ජනතාවගේ මූලික අවශ්‍යතාවත් නොඅඩුව සැපයීමට කියුබානු රජය කටයුතු කර ඇත. එරට සිය රාජ්‍ය ආදායමෙන් 13%ක් අධ්‍යාපනයට වැය කරයි. සෞඛ්‍ය ක්‍ෂේත්‍රය සඳහා 16%ක් වැය කරයි. සෞඛ්‍ය සේවාව නොමිලයේ ලැබෙන අතර පෞද්ගලික රෝහල්, පෞද්ගලික චැනල් සේවා එරට ක්‍රියාත්මක නැත. පෞද්ගලික පාසල්, ටියුෂන් පන්ති ආදිය නොමැති නිසා කියුබාවේ අධ්‍යාපනය මෙන්ම සෞඛ්‍ය සේවාවද සැබවින්ම නිදහස් සේවාවන් වෙයි. කියුබාවේ සෞඛ්‍ය සේවාව ලෝකයේ ඉහළම මට්ටමේ ඇත. අධ්‍යාපනය ද එසේමය. භූමි ප්‍රමාණයෙන් අප රට මෙන් දෙගුණයක් තරම් වන කියුබාවට මේ සියලු ජයග්‍රහණ ලබා දුන්නේ විප්ලවය විසිනි. එහි නායක පිදෙල් කස්ත්‍රෝගේ මග පෙන්වීම යටතේ.


අපේ යුගයේ ඒ ශ්‍රේෂ්ඨ මිනිසා කියුබානුවන්ගේ ආදරණීය පිදෙල් දැන් කියුබාව හැර ගොසිනි. ඔහු මෙලොවින් සමුගත්තේ ඔහුගේ ප්‍රතිවාදීන්ට අවශ්‍ය වූ ඔවුන් ප්‍රාර්ථනය කළ අවස්ථාවේදි නොවේ. දීර්ඝායුෂ භුක්ති විඳීමෙන් අනතුරුව සිදු වන ස්වභාවික මරණයකිනි. තම මාතෘ භූමියට පමණක් නොව ජගත් සමාජවාදී ව්‍යාපාරයට සිය යුතුකම් මැනවින් ඉටු කළ නායකයකු වශයෙනි. ඔහු බලාපොරොත්තු වූ ආකාරයටම ඉතිහාසය විසින් නිදොස් කොට නිදහස් කරනු ලැබූ නායකයෙකු වශයෙනි.


2016 වසර අගදී පිදෙල් මිය යන්නේ සිය ආදරණීය සොයුරාට රටේ පාලන වගකීම් භාර දී වසර 8කට පසුවය. එහෙත් 2011 වසර වනතෙක්ම පිදෙල් කියුබාවේ පාලක කොමියුනිස්ට් පක්ෂයේ බලගතු ප්‍රධාන ලේකම් තනතුර තමා විසින්ම දැරීය. ඉන් අනතුරුව වුවද ඔහු සියලු දේ අත්හැර දමා සිටියේ නැත. අතිශයින් ක්‍රියාකාරී මිනිසකු වූ පිදෙල් අතීතයේ දිනකට පැය 18-20ත් පමණ වැඩ කටයුතු කළ අයෙකි. තනතුරුවලින් නිල වශයෙන් ඉවත් වුවද ඔහු දේශීය සහ විදේශීය දේශපාලන ආර්ථික ප්‍රවණතාවන් පිළිබඳව නිරන්තර විමසිල්ලෙන් පසුවිය. ඒ පිළිබඳව නොපැකිළ තම අදහස් ප්‍රකාශ කළේය. ඒ අනුව තනතුරුවලින් ඉවත් වුවද පිදෙල් කියුබාවේ නව නායක රාවුල් කස්ත්‍රෝ හට ඉමහත් ශක්තියක් විය. ඔහුගේ ගමනට පහන්ටැඹක් විය.


සැබවින්ම රාවුල් කියුබාවේ හුදෙකලා වන්නේ 2016.11.25 දින සිදු වූ සිය සදාදරණීය සහෝදරයාගේ මරණයෙන් පසුවය. පිදෙල්ගේ මරණයෙන් රාවුල්ට සිදු වූ පාඩුව කිසිසේත්ම පිරිමැසිය නොහැකිය. වර්තමානයේ රාවුල්ට කටයුතු කිරීමට සිදුව ඇත්තේ තමා පිටුපස නිරන්තරයෙන්ම තිබූ ඒ අයෝමය ශක්තිය නොමැතිවය. එබැවින් මේ ගෙවී යන්නේ කියුබාවේ ඉදිරි ගමන්මග එහි අනාගතය පිළිබඳව වැදගත් කාල පරිච්ජේදයකි.

මතු සම්බන්ධයි.

බණ්ඩාගම පුල්ලපෙරුම



අදහස් (0)

කියුබාවේ ඉරණම...

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 599 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17498 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 715 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site