IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


කෙනඩිගේ සාම බළකාය බිහිවෙයි

ඉතිහාසයේ මෙවන් සතියක...

 

 

 

ලෝක ඉතිහාසයේ මෙවන් සතියක 1961 මාර්තු 01 වැනිදා ඇමෙරිකාවේ ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි අතිවිශේෂ නියෝගයක් නිකුත් කරමන් ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නව ඒකකයක් ලෙස ''සාම බළකාය" පිහිටුවන ලදී.  ඔහු එදිනම කොන්ග්‍රසයට පණිවිඩයක් යවමින් කියා සිටියේ මෙම ඒකකය සඳහා අරමුදල් ලබාදිය යුතු බවයි. 


කෙනඩි ප්‍රකාශකර සිටියේ ඇමෙරිකානු පුරවැසියන් නිශ්චිත පුහුණුවක් ලබා විදේශ රවටල සංවර්ධනය සඳහා සහායවීමට යොමු කිරීම මෙම සාම බළකායේ අරමුණ බවයි. 


මෙම සාම බළකාය ස්ථාපිත කරන බව දැනගැනීමත් සමගම පළමු සතියේ දී ම එක්සත් ජනපදයේ වැසියන් තමන් ද විදේශ රටවල සංවර්ධන කටයුතු සඳහා දායක වීමට කැමැත්තක් දක්වන බව පවසමින් ලිපි දස දහස් ගණනක් වොෂිංටන් වෙත ලැබී තිබිණි. ඇමෙරිකානුවෝ මේ සඳහා ඒ තරමටම උනන්දුවක් දැක්වූහ.


මෙවැනි සාම බළකායක් බිහිකිරීම සඳහා යෝජනාවක් මුලින්ම ඇමෙරිකාවේ ඉදිරිපත් කර තිබුණේ හෙන්රි රවුස් විසිනි. ඔහු 1950 දශකයේ අගභාගයේ දී ''පොයින්ට් ෆෝ යූත් බළකාය" නම් ඒකකයක් බිහිකළ යුතු බවට අදහසක් දක්වා තිබිණි. මෙය ඇමෙරිකානු පාර්ලිමේන්තුවේ සාකච්ඡා වූ බව සෙනට් සභිකයකු වූ කෙනඩි දැන සිටියේය. 


1960 පැවැත්වූ ජනාධිපතිවරණයේ දී රවුස් ගේ මේ යෝජනාව දැඩි කතා බහට ලක්වූ අතර එම අදහස කෙරෙහි ජනතාව වැඩි උනන්දුවක් දක්වන බව ද කෙනඩිට දක්නට ලැබිණි. මහජන උනන්දුව වැඩිවෙමින් පැවති මේ යෝජනාව තමන් ජනාධිපතිවරයා වූ වහාම ක්‍රියාත්මක කරන බව ජෝන් එෆ්. කෙනඩි පොරොන්දු වූයේය. 1960 මුල් භාගයේ දී තරුණ ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායම්වලට පණිවිඩයක් යැවූ කෙනඩි ''තරුණ සාම බළකායක්" පිහිටුවන ලෙස ඉල්ලා සිටියේය. ඔක්තෝබර් 14 වැනි දින මිචිගන් විශ්වවිද්‍යාලයේ දේශනයකට සහභාගී වූ කෙනඩි එහි දී සාම බළකායක් පිහිටුවා එය ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ ප්‍රසිද්ධියේ සිය අදහස් ප්‍රකාශ කළේය. 


විශ්වවිද්‍යාලයට පැමිණෙන විටත් තම කතාව ඇසීමට සිසුන් 10,000ක් පමණ රැස්ව සිටිනු දැක කෙනඩි පුදුමයට පත්වූයේය. ඔවුන්ගෙන් කිහිප දෙනෙක් වසර ගණනාවක් සංවර්ධනය වෙමින් පවතින රටවල ජීවත්වීමෙන් හා වැඩ කිරීමෙන් අත්දැකීම් ලබා තිබිණි. 


සාම බළකාය පිළිබඳ යෝජනාව සමගින් කෙනඩි තම උද්වේගකර කතා පැවැත්වූ අතර ඉන් පසු නොවැම්බර් 08 වැනි දින ඔහු එක්සත් ජනපදයේ 35 වැනි ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූයේය. 


1961 ජනවාරි 20 වැනි දින ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු පැවැත්වූ සමාරම්භක දේශනයේ දී කෙනඩි කියා සිටියේ තමන් ලෝකය පුරාම දුප්පතුන්ට ආධාර ලබාදීමේ ප්‍රතිපත්තියක් පවත්වාගෙන යන බවයි. 

 

දරුවා සහ බිරිඳ සමග

 


''ලෝකයේ දුප්පත්කම පරාජය කිරීමට පොර බදිමින් සිටින මේ ලොව ජනගහනයෙන් අඩක් දුෂ්කර හා දුප්පත් ගම්මානවල පැල්පත්වල වාසය කරනවා. ඔවුන්ට අවශ්‍ය ඕනෑම කාල පරිච්ඡේදයක් සඳහා ඔවුන්ට උදව් කිරීමට අපි අපගේ උපරිම උත්සාහය දරමු. අපි ප්‍රතිඥා දෙමු. අපි මෙය කළ යුතු වන්නේ අප කොමියුනිස්ට්වාදීන් විය හැකි නිසා නොවේ. එමෙන්ම අපි ඔවුන්ගේ ඡන්දය බලාපොරොත්තුවෙන් ද නොවේ. එය නිවැරදි නිසාම පමණයි."


"ඔබ ඔවුන් අතරට ගොස් ඔබේ රට වෙනුවෙන් ඔබ වෙනුවෙන් අපට කුමක් කළ හැකිදැයි විමසන්න." කෙනඩි ජනාධිපතිවරයා පැවසීය. 


1961 මාර්තු 01 වැනි දායින් පසු තරුණ ඇමෙරිකානුවන් දහස් ගණනක් සාම බළකායට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී මෙම කැඳවීමට පිළිතුරු දුන්හ. ඇමෙරිකානුවෝ අති විශාල පිරිසක් තමන්ගේ දැනුම හැකියාව සහ ශ්‍රමය ලබාදීම සඳහා තුන්වැනි ලෝකයේ දියුණු වෙමින් පවතින රටවලට ගොස් ස්වේඡ්ඡාවෙන් සේවය කරන්නට වූහ. 
1961 සැප්තැම්බර් 22 වැනි දින කෙනඩි ඉලක්ක තුනක් ඔස්සේ ලෝක සාමය හා මිත්‍රත්වය ප්‍රවර්ධනය කරන ස්ථිර සාම බළකායක් නිර්මාණය කරමින් කොංග්‍රස් ව්‍යවස්ථාවට අත්සන් තැබුවේය. ඒ අනුව තමන්ගේ අවශ්‍යතා සපුරාලීමට උනන්දුවක් ඇති නමුත් සහායක් අවශ්‍ය රටවල ජනතාවට උපකාර කිරීම, සේවය කළ රටවල ජනතාව අතර ඇමෙරිකානුවන් පිළිබඳ වඩා හොඳ අවබෝධයක් හා ප්‍රතිරූපයක් බිහිකිරීම, ඇමෙරිකානුවන්ට ද ලෝකයේ රටවල් හා ජනතාව සම්බන්ධයෙන් අවබෝධයක් ලබාදීම ඔහුගේ ඉලක්කය විය. 

 

ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි ජවහර්ලාල් නේරු තුමන් සමග

 


කෙනඩිගේ මේ කාර්යයේ ප්‍රතිඵල කඩිනමින් ලැබිණි. 1963 අවසන් වනවිට ස්වේච්ඡා සේවකයෝ 7,000ක් තුන්වන ලෝකයේ රටවල් 44ක සේවය කරමින් සිටියහ. රටවල් 52ක ස්වේච්ඡා සේවකයන් 15,000කට වැඩි පිරිසක් සමග 1966 සාම බළකායට බඳවා ගැනීම ඉහළ මට්ටමකට පත්විය. කෙසේ වෙතත් පසුකාලීනව ආර්ථිකයේ ඇතිවූ කඩාවැටීම් හේතුවෙන් අයවැය කප්පාදුව හේතුවෙන් ස්වේච්ඡා සාම බලකායට බඳවාගැනීම අඩු කරන ලදී. එසේ වුව ද අද වනවිට රවටල් 60කට අධික සංඛ්‍යාවක සාම බළකායේ ස්වේච්ඡා සේවකයෝ 7,000කට වැඩි පිරිසක් සේවය කරති. 1961 සිට රටවල් 142ක සේවය කරන ලද ඇමෙරිකානුවන් සංඛ්‍යාව 240,000කට අධිකය. 


ඔවුන් මෙලෙස ලෝකය පුරා රටවල ජනතාව අතර ඇමෙරිකාව පිළිබඳ යහපත් ප්‍රතිරූපයක් ගොඩනැගීමට කටයුතු කරන අතරම ඒ ඒ රටවල් පිළිබඳ විශාල අත්දැකීම් ප්‍රමාණයක් ද උකහා ගැනීමට කටයුතු කරති. ලෝකයේ දේශපාලන විචාරකයන් සඳහන් කරන්නේ ඇමෙරිකාවේ ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි මහතා විසින් නිර්මාණය කරන ලද සාම බළකාය ලෝ වැසියන් පිළිබඳ අනුකම්පාවෙන් නිර්මාණය කරන ලද්දක් නොව දේශපාලන න්‍යායපත්‍රයක් අනුව බිහිකළ දැවැන්ත ජාලයක් බවයි.

 

සජීව විජේවීර
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

කෙනඩිගේ සාම බළකාය බිහිවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 508 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17120 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 687 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site