IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


අභියෝග ජයගත් දකුණු කොරියාවේ මූන් ජේ. ඉන්

හිටපු ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා හමුවී.

වර්තමාන ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමග.

චීන ජනාධිපති ෂී ජින්පින් සමග

උතුරු කොරියානු ජනාධිපති කිම් ජෝන් උන් හමුවූ අවස්ථාවක්.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවී...

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමග

 

 

ගෙවී ගිය 2017 වසර සමස්ත දකුණු කොරියානු ජනතාවගේ වාසනාවන්තම දේශපාලන වසර යැයි කීවාට වරදක් නැත. මන්ද දියුණු කාර්මික රටක් ලෙස ලොව තහවුරු වෙද්දී බලයට පත් වූ ජනාධිපතිවරයකු යටතේ රට දැඩි අස්ථාවරභාවයක් ඇති වී තිබෙද්දී රටේ ජනාධිපතිවරයා ලෙස ලිබරල් අපේක්ෂක මූන් ජේ. ඉන් ඉතා ඉහළ ඡන්ද ප්‍රතිශතයකින් තෝරා පත්කර ගැනීමට ජනතාව සමත් වීමත් සමගය. මෙවර දියත රාජ්‍ය නායක ලිපි පෙළට එක්වන්නේ අභියෝග ජයගත් ජනාධිපතිවරයෙකු ලෙස වඩාත් ප්‍රසිද්ධ මූන් ජේ. ඉන් ය.

 

එම ප්‍රකාශිත ඡන්දවලින් සියයට 41.4 ක් මූන් ජේ. ඉන් වෙත හිමි වෙද්දී ඔහුගේ ප්‍රධානම ප්‍රතිවාදියා වූ කොන්සර්වේටිව් අපේක්ෂක හොන්ග් ජුන්-පිව් හිමි කරගෙන ඇත්තේ සියයට 23.3 ක ප්‍රතිශතයක් ලෙසින් සඳහන් වීම මූන් ජේ. ඉන් ලැබූ ජයග්‍රහණයක්ම විය.


මූන්ට පෙර බලයේ සිටි දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනි පාක් ගුන් හෙයිට එල්ල වූ මහා පරිමාණ දූෂණ චෝදනා හමුවේ ඇයට එරෙහිව දෝෂාභියෝගයක් පැවැත්විණි. ඒ හමුවේ හිටපු ජනාධිපතිනියට සිය ධුරයෙන් ඉවත් වීමට සිදු වූ අතර නිසි කාලයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමට සිදු වූයේ ඒ සමගය.


දකුණු කොරියාවේ විශේෂ හමුදා බළකායක හිටපු සාමාජිකයෙකු වූ මූන් ජේ. ඉන් පසුව මානව හිමිකම් නීතිවේදියකු වශයෙන් කටයුතු කළ අයෙකු වූහ. ඔහු විසින් තමන් හඳුන්වා ගනු ලබන්නේ පැවති පාලන සමයේ සිදු වූ අක්‍රමිකතාවලට තිත තබා රට ඉදිරියට රැගෙන යා හැකි පුද්ගලයකු වශයෙනි. 2012 වසරේ පැවති ජනාධිපතිවරණයේ දී හිටපු නායිකා පාක් ගුන් හෙයිට එරෙහිව ඩිමොක්‍රටික් පක්ෂයෙන් තරග කළ ඔහු ඉන් පරාජයට පත් විය.


දකුණු කොරියාවේ වත්මන් විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් වෙනස් මතයක් දරන මූන් ජේ. ඉන් අසල්වැසි උතුරු කොරියාව සමග සමීප සංවාදයක් පැවැත්වීම වෙනුවෙන් පෙනී සිටී. එකිනෙකාට අවි අමෝරා ගනිමින් සිටි යුගය අවසන් කරමින්, කොරියා අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමට කිම් ජොන් උන් යෝජනා කළේය.
දකුණු කොරියා ජනාධිපති මූන් ජේ. ඉන් එම යෝජනාවට එකපයින් කැමැත්ත පළ කළේය. ඒ අනුව, උතුරු කොරියා නායකයා ගත් මෙම තීරණය මුළුමහත් රුසියාව, චීනය පමණක් නොව, බි්‍රතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය වැනි බටහිර බලවතුන්ගෙත්, ලෝකයට ලොක්කා වන ඇමෙරිකාවේත් පැසැසුමට හේතුවක් වී ඇත.


මූන් ජේ. ඉන් දකුණු කොරියානු ජනපති ධුරයට පත් වූයේ පසුගිය වසරේදීය. ඔහු එම ධුරයට පත්වූයේ ද උතුරු කොරියාව සමග පවතින අර්බුදයට සාමකාමී විසඳුමක් ලබා දෙන බවට ඡන්ද පොරොන්දුවක් දෙමිනි. ජනපති මූන් ජේ. ඉන්, පසුගිය පෙබරවාරියේ පැවැත්වුණු සීත ඔලිම්පික් උලෙළට උතුරු කොරියාවට ඇරැයුම් කළේය. උතුරු කොරියා නායක කිම් ජොන් උන් එම ඇරැයුම එකපයින් පිළිගත්තේය.


කොරියා යුද්ධයෙන් පසු උතුරු සහ දකුණු කොරියාව ලෙස වෙන්වීමෙන් පසු, දෙරට දේශසීමාවේ කාටවත් අයත් නොවන කලාපයක් පවතී. එය යුද මුක්ත කලාපයකි. එහි බිම් බෝම්බ සහ මර උගුල් අටවා ඇති අතර, වසා දැමුණු දේශසීමා පිවිසුම් ඇත්තේ දෙරටටම පොදු සාම ගම්මානය යන නමින් හැඳින්වෙන කලාපයේය. උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ දකුණු කොරියා ජනාධිපති මූන් ජේ. ඉන් සහ දෙරටේ නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වුණු සාම මන්දිරය පිහිටා ඇත්තේ දේශසීමාවට නුදුරින් දකුණු කොරියානු භූමියේය.


උතුරු කොරියා නායකයා සිය ආරක්ෂක නිලධාරීන් ද පිරිවරාගෙන සිය රථයෙන් දේශසීමාව අසලට පැමිණියේය. ඉන්පසු උතුරු සහ දකුණු කොරියා වෙන් කෙරෙන මායිමට පයින් ම ආවේය. දකුණු කොරියාව දෙසින් එරට ජනාධිපති මූන් ජේ. ඉන්, කිම් ජොන් උන් පිළිගැනීමට දේශසීමාව අද්දරට පැමිණ සිටියේය. අතට අත දෙමින් දෙදෙනා අතර සුහද වචන හුවමාරුවක් සිදුවිය. “ඔබ හමුවන්න ලැබීම සතුටක් ” කිම් ජොන් උන් කීවේය. එහෙනම් ඔබ ආවා. ඒක අමාරු වුණේ නැහැනේ. ඔබ හරි නිර්භීතයි” යැයි මූන් ජේ. ඉන් පිළිතුරු දුන්නේය.


අතට අත දීමෙන් පසු “අපේ පැත්තට යමු” යැයි දකුණු කොරියා ජනපතිවරයා, උතුරු කොරියා නායකයාට ඇරැයුම් කළේය. ඒ අනුව, කිම් ජොන් උන් ඔහුගේ අත අල්ලා ගෙන, දේශසීමාව හරහා දකුණු කොරියාවට පය තැබුවේය. කොරියා යුද්ධයෙන් වසර 65 කට පසු, උතුරු කොරියා නායකයකු දකුණු කොරියාවට පය තැබූ පළමු අවස්ථාව මෙයයි.
අතට අත දී ඡායාරූපවලට ද පෙනී සිටීමෙන් පසු “ඔබත් අපේ පැත්තට එන්න” යැයි යෝජනා කරමින්, උතුරු කොරියා නායකයා, දකුණු කොරියා ජනපතිගේ අතින් අල්ලා ගනිමින් දේශසීමාව පැන උතුරු කොරියාව පැත්තට රැගෙන ගියේය. ලෝකයේ වඩාත් අනතුරුදායක දේශසීමාව ලෙසින් මෙතෙක් කල් හඳුන්වනු ලැබූ ඒ දේශ සීමා රේඛාව උඩින් එහාට මෙහාට පැනීමෙන් පසු දෙදෙනා අත් අල්ලාගෙන දකුණු කොරියාවට ඇතුළු වූයේ සාකච්ඡා සඳහා සාම මන්දිරය වෙත පිය නගමිනි. දේශසීමා රේඛාවෙන් එහාට මෙහාට පනිමින් සිදුවුණු ජවනිකාව පෙර සූදානමකින් සිදුවූවක් නොවිණි. කෙසේ නමුත් පළමු හමුවේදීම එසේ සුහදශීලීත්වයක් පෙන්නුම් කිරීම, සාකච්ඡා සාර්ථක වීමට මඟ පෑදුණු බව පැහැදිලිය. උතුරු කොරියා නායක කිම් ජොන් උන්, දකුණු කොරියා නායක මූන් ජේ. ඉන් හමුවීමට පැමිණියේ ද බොහොම සුහදශීලීවය. සිහහවකින් මුව සරසාගෙනය. 


2000 වසරේදීත්, 2007 වසරේදීත් උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර සාකච්ඡා පැවැත්වුවත් ඒවා සාර්ථක නොවුණි. 2007 වසරේ සාකච්ඡා යම් ප්‍රගතියක් පෙන්නුම් කළ ද එය දෙරට අතර සාමය ස්ථාපිත කිරීමට ප්‍රමාණවත් නොවුණු බව පැවැසෙයි. කෙසේ නමුත්, අතීතයේ පැවැති රාජ්‍ය  නායකයන්ගේ හමුවීම් මෙන් නොව, මූන් ජේ. ඉන්ගේ සහ කිම් ජොන් උන් හමුව මුළුමනින්ම වෙනස් එකක් විය. එය හරියට අවුරුදු ගණනාවක් තිස්සේ හොඳින් දැන හඳුනගෙන සිටි මිතුරන් දෙදෙනකුගේ හමුවක් වැනිය. එම හමුව සුහදශීලී වූවා පමණක් නොව, අතිශය සංවේදී හමුවක් ද විය. ඒ සියල්ලේ වැඩි ලකුණු ලැබිය යුත්තේද දකුණු කොරියා ජනාධිපතිවරයා වෙත බව බොහෝ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

 

 


තිළිණි ද සිල්වා
ඡායාරූප : අන්තර්ජාලයෙනි.



අදහස් (0)

අභියෝග ජයගත් දකුණු කොරියාවේ මූන් ජේ. ඉන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 515 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 475 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site