IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


හේමාකට් විරුවනි මැයි දිනය සමරන්න වැළළුන තැනින් නැඟිටින්න

 කාංචන කුමාර ආරියදාස  

 සීත සෘතුවෙහි අවසානය සනිටුහන් කරමින් ඇමෙරිකාවට වසන්තයේ හිරු උදාවන්නට විය. ඒ 1886 වසරේ මැයි මස මුල් දිනයයි. කාර්මික විප්ලවයෙහි ප්‍රතිඵල ලෙසින් ඇරඹී ඇමෙරිකාව පුරා ඉදිවෙමින් තිබූ කර්මාන්ත ශාලා බොහෝමයකගේ   උදෑසනින්ම ඇන හිටින්නට වූයේ සුළු සේවකයනගේ සුළු වැඩ වර්ජනයක් නිසාවෙනි. හාම්පුතුන්ට එය හිසරදයක් නොවූයේ තණ බිම් මත පතිතව තිබූ තුහින කෙමෙන් කෙමෙන් දියවන්ට පටන් ගන්නා තුරු පමණි. ඔරලෝසුව උදෑසන නවයේ කණිසම පසුකරන විට චිකාගෝ නුවර හේමාකට් චතුරස්‍රය අසලට එක්ව සිටි කර්මාන්ත ශාලා සුළු සේවකයිනගේ පිරිස 10,000කටත් අධික වූහ.

එකම ඉල්ලීමකි. ඉල්ලීම් ක්‍රම බොහෝමයකි. බහුතරයක් දෙනා අත් ඔසවාගෙන කෑ මොර දෙද්දී තවත් පිරිසක් ඉල්ලීම් ලියූ විසල් පුවරු ඔසවා ගනිමෙන් ප්‍රදර්ශනයෙහි යෙදුනහ. ''සේවා මුරය පැය අටකට සීමා කරනු'' එහි ලියා තිබුණි. හාම්පුතුන්ගේ තාඩන පීඩන යටතේ ගෙවූ වහල් කම්කරු දිවිය තවදුරටත් ඉවසා දරා සීටීම ඇමෙරිකානු කම්කරුවෝ ප්‍රතික්ෂේප කොට තිබුණි. මොහොතින් මොහොත හේමාකට් චතුරස්‍රය අසලට එක්වන පිරිස වැඩි වූවා මිස විප්ලවය හැරගිය කෙනකු පිළිබඳව නම් අසන්නට නොලැබුණි.

මැයි මස තෙවන දින උදාවිය. කුළුඳුල් හිරු කිරණ චිකාගෝ නුවර පුබුදු වන්නට පැමිණියද කර්මාන්ත ශාලා හිමිවරුන් වූයේ නිදි නොමැති රාත්‍රියක අසුන්දර පහස විඳිමිනි. වැඩ කටයුතු සියල්ල පාහේ ඇනහිටිමින් පවතිද්දී සුළු සේවකයන් 65,000කට අධික පිරිසක් තම අඛණ්ඩ විප්ලවයෙහි ජයග්‍රාහී තෙවන දිනය සමරමින් සිටියහ. හාම්පුතුන් නීචයෝ යැයි සනාථ කිරීමට තවත් කුමන උපහැරණයන්ද?  ගිනි මද්දහනය උදාවත්ම චතුරස්‍රය අසලට පැමිණියේ කොහෙත් කොතනත් හාම්පුතුනගේ කටු කන බල්ලන් වූ පොලිස් කාරයෝය.

කම්කරුවනුත් පොලිසියත් අතර බහින්බස්වීමක් ඇතිවීමට එතරම් වේලාවක් ගත වූයේ නැත. එහි ප්‍රතිඵලය වූයේ කම්කරුවන් 4 දෙනකුට දිවි අහිමි කල් ගැටුමක ආරම්භයයි. විප්ලවයෙහි හතර වන දින උදාවන විට කම්කරුවන්ද 'ඕනෑම දෙයකට' මෙන් සූදානම්ව සිටියහ. එදිනද ගැටුම් උත්සන්න විය. බෝම්බ ප්‍රහාරයක් හමුවේ පොලිස් නිලධාරීන් 6 දෙනෙකුට දිවි අහිමි කළ දෙවන ගැටුම අවසානයේදී මියගිය කම්කරුවන් ගණන කෙතෙක් දැයි අදටද කවුරුත් ගණන් බලා නැත. හේමාකට් චතුරස්‍ර භූමිය ලෙයින් තෙත්ව යද්දී ඉරී සුණු විසුණුව ගිය පුවරු වෙනුවට විප්ලවකාරයින් අත වූයේ මියගිය සහෝදරයන්ගේ ලෙයින් තෙත්ව වර්ණ ගැන්වුණු ඉරුණු කමීස පමණි.

විප්ලවය තිඹිරිගෙයිම මරා දැමෙද්දී ඔගස්ටස් ස්පයිස්, ඇල්බට් පාර්ඩ්න්ස්, ඇඩොල්ෆ් ෆීෂර්, එන්ගල්ස්, සැමුවෙල් ෆීල්ඩන්, ලුයිස් ලන්ග්, මයිකල් ස්ට්වැච් හා ඔස්කා නිබේ යන විප්ලව නායකයින් පොලිස් අත් අඩංගුවට පත්වූහ. පසුව ඔවුන්ට එරෙහිව පැවරුණු නඩු විභාග කොට ඔස්කා නිබේට වසර 15ක සිර දඬුවමක් නියම කෙරුණු අතර සැමුවෙල් ෆීල්ඩන්, මයිකල් ස්ට්වැච් යන නායකයින් දෙදෙනාට ජීවිතාන්තය තෙක් සිර දඬුවම් නියම වූහ. ඒ අතරතුර ඉතිරි විප්ලවීය නායකයින් පස්දෙනා එල්ලා මරන්නට තීරණය කෙරුණේ වැඩවසම් නීතියෙහි සාහසික භාවය මනාව පිළිබිඹු කරමිනි.

සමාප්ත වූ විප්ලවයට ගරු බුහුමන් ලැබූනේද තුන් වැනි පන්තියේ ජනතාවගෙන් පමණක් වුවද ඒ වන විටත්, එතුවක් කල් හාම්පුතුන්ගේ කෘරත්වය හමුවේ පෑගි සිටි කම්කරුවන්ගේ කොඳු නාරටි විප්ලීවීය අත් දැකීමෙහි ආභාෂයෙන් සෘජුව ශක්තිමත් වී හමාරය. එම ශක්තිය හමුවේ විප්ලවයෙහි ‍තෙවන වසර සමරන 1889 වර්ෂයේ ජුනි මාසයේ, 'ෆෙඩ්‍රික් එංගල්ස්' ගේ නායකත්වය හමුවේ පැරීසියේදී පැවති දෙවන ජාත්‍යන්තර කම්කරු සමුළුවේදී සෑම වසරකම මැයි මස පළමු දින 'හේමාකට්' විරුවන් සැමරීමට තීරණය කෙරිණි. 

ඉදින් පසු වර්ෂයේ එනම් 1890දී  පංශ නියෝජිත 'ලැව්ටනි' විසින් ජාත්‍යන්තර කම්කරු සමුවවේදී යෝජනා කළ 'ලෝක කම්කරු දිනය'ද සමුළු සාමාජිකයන් අතින් ඒකමතිකව සම්මත කොට ගත්තේ මැයි මස පළමු දිනට බැවින් ලොව ප්‍රථම කම්කරු දිනය එම වසරෙහිදීම පැවැත්විණි. නමුදු සිරිලකට මෙම ජාත්‍යන්තර රැල්ල ආගමනය වූයේ 1900න්ද පසුවය. ඒ අනුව අප රට තුල පැවති ප්‍රථම කම්කරු දින සැමරුම 1927 වර්ෂයේ දී එවකට කම්කරු නායකයකුව සිටි ඒ. ඊ. ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැළියක් ද සහිතව පැවැත්විණි. තවද රැළිය අවසානයේ කම්කරුවනට ක්‍රීඩා භාණ්ඩ බෙදා දීමේ උත්සවයක් පැවැත් වීමත් එම උත්සවය මුළු මනින්ම මත්පැනින් තොර වීමත් සුවිශේෂී කරුණකි.

ඒ ආභාෂයෙන් ඇරඹි ලාංකීය කම්කරු ව්‍යාපාරයද 1947 පමණ විට ඉතා බල සම්පන්න වූ අතර වැඩ වර්ජන සහ උද්ගෝෂණ හමුවේ නෙරපූ  කම්කරු නායකයින් බවට පත් වූහ. මැයි දිනයට අනන්‍ය වූ රතු වර්ණයට නිල් වර්ණය මුසු වූ ඉතිහාසයක්ද අප සතුව ඇත. ඒ 1956 දී අගමැති එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පිලිප් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් වූ සම සමාජ පක්ෂයත් එකමුතුව පිහිට වූ මහජන එක්සත් පෙරමුණු රජයේ ප්‍රථම කම්කරු දිනයයි. පක්ෂ දෙකෙහිම වර්ණයන් කැටිව පැවැත්වුණු මෙම කම්කරු දිනයත් සමඟ මැයි පළමු දින රජයේ නිවාඩු දිනයක් බවටද ප්‍රකාශ විය. ඒ එවකට කම්කරු ඇමතිව සිටි ටී. බී. ඉලංගරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

නමුදු ඊට ප්‍රථම 1940 වර්ෂයේදී විජයානන්ද දහනායක මහතා ගාල්ල නගර සභාවෙහි නගරාධිපතිව සිටියදී, මැයි පළමු දින ගාල්ල නගර සභාව තුළ නගර සභා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කරමින් පැවැත් වූ කම්කරු දිනය වර්තමාන නිවාඩු දිනයෙහි පූර්වතම ආදර්ශය බැව්ද නිසැකවම කිව යුතුය. 1933 වර්ෂයේදී පැවැත්වූ කම්කරු දිනය ඉතිහාස ගත වූයේ මැයි පෙළපාලියක් ගමන් කළ සිරිලක ප්‍රථම කම්කරු දින සැමරුම ලෙසිනි. එය ගුණසිංහපුර ප්‍රයිඩ් පිටියෙන් ආරම්භ ව ගාලු මුවදොර පිටියෙන් අවසන් වූ තරමක් කුඩා පාගමනක් විය. 

කෙසේ වුවද අදටත් කැනඩාවෙහි සහ ඇමරිකා එක්සත් ජනපදයෙහි කම්කරු දිනය සමරුනුයේ සැප්තැම්බර් මස මුල්ම සඳුදා දිනයෙහි දීය. එය යුරොපීය සහ ඇමරිකානු රටවල් තුළ ගිම්හාන සෘතුවෙහි අවසානය සනිටුහන් කිරීමක් ලෙසින්ද සලකනු ලබයි. මෙලෙසින් වන කම්කරු දිනයෙහි ජාත්‍යන්තර 130වැනි කම්කරු දිනයත් අපගේ ම වූ 88 වැනි කම්කරු දිනයත් සමරන එළඹෙන සති අන්තයේ එදා 'හේමාකට්' විප්ලවයේ ලේ හැලූ විරුවන් හටද නිසි ගරු බුහුමන දැක්වනුයේ නම් එය නිතැතින්ම ආදර්ශවත් අවංකත්වයක් වනු නිසැකය.



අදහස් (0)

හේමාකට් විරුවනි මැයි දිනය සමරන්න වැළළුන තැනින් නැඟිටින්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 247 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 77 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site