IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


සල්ලාලයාගේ පිට සපා මව බේරාගත් දිරිය දරුවා

සිත තුළ නලියමින් කැකෑරෙමින් තිබූ මෙල්ලකරගත නොහැකි කාමුක ආශාවන් දෙදරු මවකගෙන් බලහත්කාරයෙන් සංතර්පනය කරගැනීමට උත්සාහ කළ සල්ලාලයෙක් අන්තිමේදී සල්ලංවී ගියේ අවුරුදු 3 1/2 ක වයසේ පසුවන දරුවකු ඒ සල්ලාලයාව සපාකෑම නිසාය.

16_PAGE_03_M
සල්ලාලයකුගේ ග්‍රහණයේ සිටි මවගේ ජීවිතය බේරාගත් තුන්හැවිරිදි මේ පුංචි වීරයාගේ නිවහන පිහිටා ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයට අයත් පදියතලාව මරංගල අඹගහවත්ත ගම්මානයේය.


සිය මවට කරන්න යන්නේ කුමක්ද යන්න ගැන හයක් හතරක් නොතේරෙන මේ පුංචි දරු පැටියට වැටහීමක් නොතිබුණත් කිසියම් අනතුරක් කරන්නට යන බව තේරුම් ගොස් ඇත.


ඒ නිසා වැටී සිටි තැනින් නැගිට ඇවිත් මව සමග ඔට්ටු වන සල්ලාලයාගේ ඇඟ මතට නැගුණු පුංචි දරුවා පිට හයියෙන් සපන විට වේදනාව ඉවසාගත නොහැකිව සල්ලාලයා පලා ගොස් ඇත.


පුංචි දරු පැටියා කළ මේ වීර ක්‍රියාව නිසා මව සල්ලාලයාට ගොදුරු කර ගැනීමට නොහැකි විය.


මේ කාන්තාව ඇයගේ අවුරුදු 10 ක දියණිය හා අවුරුදු තුනහමාරක වයසේ පසුවන පිරිමි දරුවාත් සමග අරංගල ඉස්කෝලේ පැවති අවුරුදු උත්සවයකට සහභාගිවී සවස් යාමයේ පාළු පාරක් ඔස්සේ නිවෙස බලා එමින් සිටියදී මෙම අනපේක්ෂිත සිද්ධියට මුහුණපා ඇත.විසි අටවැනි වියේ පමණ පසුවන කාන්තාව සිද්ධිය ගැන පරීක්ෂණ පැවැත්වීමට පැමිණි පොලිස් කණ්ඩායම සමග පවසා ඇත්තේ මෙවැනි කතාවකි.


“අරංගල ඉස්කෝලේ තිබුණ අවුරුදු උත්සවයට මමයි දුවයි පුතයි ගියා. අවුරුදු උත්සවය ඉවරවෙලා අපි තුන්දෙනා එන්න පිටත්වෙද්දි සවස 6.30 ට විතර ඇති. මගේ අවුරුදු 3 1/2 ක් විතර වයසේ පසුවන පුතා වඩාගෙන ආවේ. අරංගල ඉස්කෝලේ ළඟ ඉඳලා අපේ ගෙදරට කිලෝමීටර් 3 ක විතර දුරක් තියනවා. කැලෑ පාරක්. මිනිස්සු නිතර යන එන පාරක් නොවේ. ජංගම දුරකථනයේ තියන ටෝච් එකේ එළියේ ආධාරයෙන් තමා අපි ආවේ.


අපේ පස්සෙන් කවුරු හරි කෙනෙක් එන බව තේරුණා. අන්ධකාරය නිසා ඔහු කවුද කියන එක පස්ස බැලුවත් හඳුනා ගැනීමට නොහැකිවුණා. පිටිපස්සෙන් ආ පුද්ගලයා ළඟට හයියෙන් හයියෙන් ඇවිත් එකපාරටම වැරෙන් මාව තල්ලු කළා. තල්ලු කළ වේගයට මාවයි පුතාවයි විසිවෙලා ගිහින් පාර අයිනේ තිබුණ මාන පඳුරක් උඩ ඇදගෙන වැටුණා. පුතා මගේ අතින් අත හැරුණා. මාව තල්ලු කළ මනුස්සයා මට නැගිටින්න බැරි විදිහට තදින් අල්ලාගත්තා. මට කරන්න දෙයක් ඉතිරිවෙලා තිබුණේ නැහැ. මම ඌත් එක්ක පොර බැදුවා. එතකොට ඌ මගේ සාරි පොට අරගෙන කෑගහන්න බැරි විදිහට බැන්දා. මේ මනුස්සයා ඇස් දෙක පමණක් පෙනෙනසේ කළු පාට රෙද්දකින් ඇස් බැඳගෙන හිටියා.


මේ වෙනකොට දියණිය බයවෙලා දුවලා ගොස් තිබුණා. මාව දැඩි ලෙස ග්‍රහණය කරගෙන හිටිය පුද්ගලයා එක පාරටම අම්මෝ කියාගෙන මාව අතහැර පලා ගියා. මේ විදිහට එක පාරටම මාව අතහැර පලා ගියේ මොකද කියන එක ගැන හිතාගන්නවත් බැරිව ගියා. පස්සෙ මගේ අවුරුදු 3 1/2 ක් වයසැති පුතා කිව්වා මාමා කෙනෙක් අම්මාට ගහන නිසා මම ඒ මාමාගේ ඇඟට ගොඩවෙලා පිට හයියෙන් හැපුවා කියා. පුතා ඒ මිනිහාගේ පිට හයියෙන් හැපුව නිසා තමා මාව අතහැර දමා පලා ගිහින් තියෙන්නේ කියා පුතාගේ කීමෙන් මම දැනගත්තා. මගේ පුංචි පුතා නිසා තමා මට ඒ සල්ලාලයාගෙන් බේරීමට ලැබුණේ යැයි කාන්තාව කියා ඇත්තේ දරු පැටියා සෙනෙහසින් තුරුල් කරගෙන සිප වැළඳ ගනිමිනි.


අම්මා බිම පෙරළාගෙන හිටිය මාමාගේ පිට උඩට නැගලා මම හැපුවා. මාමා දිව්වා යැයි පුංචි දරු පැටියා සුරතල් ලෙස පවසා ඇත්තේ පොලිසිය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.


කාන්තාව මේ සිද්ධිය ඇයගේ සැමියාටද කියා පසුව පොලිස් 119 හදිසි ඇමතුම් අංශයට පවසා ඇති අතර පොලිස් හදිසි ඇමතුම් අංශය මේ බව පදියතලාව පොලිසියට දැනුම්දීමෙන් පසු කාන්තාවට අතවර කිරීමට උත්සාහ කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කරනු ලැබීය.


කාන්තාවට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව කියන පුද්ගලයා ගැන පදියතලාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ඒ.එස්.සී. සතරසිංහ මහතාට ලැබුණු තොරතුරක් මත කරන ලද පරීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන් ඒ ගමේම පදිංචි 18 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගැනීමට හැකිවිය.


අම්මාට ගහද්දී මම ඒ මාමාගේ පිට හැපුවා යැයි අවුරුදු 3 1/2 ක පමණ වයසේ පසුවන දරුවා කියා තිබූ නිසා අනිවාර්යයෙන්ම සැකකරුගේ පිටේ දත් පාරවල් වැදී තිබිය යුතු නිසා පොලිස් නිලධාරීන් ඔහුගේ පිට ප්‍රදේශය පරික්ෂා කර බලා ඇත.


පොඩි එකාගේ හැපීමේ තරම පොලිස් නිලධාරීන්ට පෙනී ගොස් ඇත්තේ සැකකරුගේ පිට ප්‍රදේශය පරික්ෂා කර බැලීමේදීය.


කොළඹට නුදුරු ප්‍රදේශයක පිහිටි සපත්තු නිෂ්පාදනය කිරීමේ ප්‍රසිද්ධ සමාගමක සේවය කරන මොහු මීට සති දෙකකට පමණ ඉහතදී පදියතලාවේ ගමට පැමිණ ඇත.


සැකකාර තරුණයා රැකියාව කරන සමාගමට පොලිසිය කතාකර මොහු ගැන දැනුම්දී වැඩිවිස්තර විමසා සිටි අවස්ථාවේ එහි කළමනාකාරවරයා පවසා ඇති කතාවෙන් පොලිස් නිලධාරීන් විමතියට පත්ව ඇති බව කියති.


ඒ වෙන කිසිවක් නිසා නොව පියා මිය ගිය බව පවසා සමාගමෙන් පවුලේ අයකුගේ මරණය වෙනුවෙන් ගෙවන රුපියල් 80,000 ක පමණ මුදලද රැගෙන පියාගේ අවසන් කටයුතුවලට සහභාගිවීමට යන බව කියා නිවාඩුද ලබාගෙන ඔහු පැමිණ තිබීම නිසාය.


සැකකරු සමාගමට කියා ඇත්තේ පට්ටපල් බොරුවකි. ඔහුගේ පියා තාමත් ජීවතුන් අතරය. පුතා පොලිස් අත්අඩංගුවට ගත් බව අසා පියා පොලිසියටද පැමිණ තිබිණි.


පොලිසිය විමතියට පත්ව ඇත්තේ පියා ජීවතුන් අතර සිටි නිසාය.


සැකකරුගේ එක් අතක සුවවූ තුවාල කැළලක් දක්නට ලැබී පොලිසිය ඒ ගැනද ඔහුගෙන් ප්‍රශ්න කර ඇත.


මම කෙල්ලෙක් එක්ක යහළුවෙලා හිටියා. ටික කාලයකට පස්සේ එයා මගෙත් එක්ක තරහවුනා. මම ආයෙත් එයත් එක්ක යහළුවෙන්න කොච්චර උත්සාහ කළත් හරි ගියේ නැහැ. ඊට පස්සේ මම අත කපාගත්තා. ඒ වෙච්ච තුවාලය තමා ඔය හොඳ වෙලා තියෙන්නේ යැයි සැකකරු පොලිසිය ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කියා තිබේ.


සැකකරුගේ පියා පමණක් නොව මවද ජීවතුන් අතර සිටියි.


අටවැනි ශ්‍රේණිය දක්වා පමණක් පාසල් ගොස් ඇති මොහු පාසල් ගමන කඩාකප්පල් කරගෙන ඇත.


මහඔය රෝහලේ වෛද්‍ය ආර්.එම්. රූපරත්න මහතා සැකකරු පරික්ෂා කර බලා වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.


දෙහිඅත්තකණ්ඩිය වැඩ බලන මහේස්ත්‍රාත් බී.කේ.එස්.කේ. සුමතිපාල මහතා හමුවට සැකකරු ඉදිරිපත් කරන ලදුව මේ මස 19 වැනිදා දක්වා රිමාන්ඞ් බාරයට පත්කෙරිණි.


මෙසේ රිමාන්ඞ් බාරයට පත්කර ඇත්තේ පදියතලාව මරංගල ගම්මානයේ පදිංචිව සිටි ටිකිරි වන්නිමුදියන්සේලාගේ රංජිත් බණ්ඩාර (18) නමැති තරුණයෙකි.


ජාඇල ප්‍රදේශයේ පිහිටි සපත්තු නිෂ්පාදනය කිරීමේ සමාගමක සැකකරු සේවය කර ඇති නිසා මොහු ගැන තවදුරටත් සොයා බලා විස්තර වාර්තාවක් සපයන ලෙස පදියතලාව පොලිසිය ජාඇළ පොලිසියෙන් ඉල්ලීමක් කර ඇත.


සැකකරු කිසියම් මත්ද්‍රව්‍යයකට ඇබ්බැහිවී සිටින අයෙක්ද යන්න සොයා ගැනීමටද පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.


මවට කිසිදු කරදරයක් හිරිහැරයකට ලක්නොවීමට තරම් වාසනාවන්ත වූයේ කටේ කිරි සුවඳවත් නොගිය දරු පැටියාගේ නිර්භීතකම නිසාය.


මේ පුංචි දරු පැටියා සැබෑ වීරවරයෙක් වන්නේද ඒනිසාමය.


අම්පාර කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.ආර්.එල්. රණවීර මහතාගේ උපදෙස් මත අම්පාර සහකාර පොලිස් අධිකාරි කේ.ඩී. චන්ද්‍රපාල මහතාගේ මෙහෙයවීම යටතේ පදියතලාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ඒ.එස්.සී. සතරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පදියතලාව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් නිරංජලා (3615) මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඇත.

m



අදහස් (0)

සල්ලාලයාගේ පිට සපා මව බේරාගත් දිරිය දරුවා

අජිත් Tuesday, 19 April 2016 02:45 PM

වීර පුතා කල වීර ක්‍රියාවට අපගේ උත්තමාචාරය පුද කරමු. (බ)

:       0       0

නිම්මි Tuesday, 19 April 2016 03:00 PM

අනේ අහන්නත් සතුටුයි මේ වගේ දරුවෝ ගැන. අම්මල ගමන් යනකොට මීට වඩා දරුවන්ගේ ආරක්ෂාව ගැන හිතන්න ඕනේ. අවරුදු 10 දුවෙකුත් අරන් යන ගමනද මේවා? (බ)

:       0       0

උපතිස්ස Saturday, 23 April 2016 09:03 AM

වීර පුතුට දෙවි පිහිටයි! (නි)

:       0       0

සමරසිංහ Wednesday, 20 April 2016 08:34 AM

පොඩි දරුවට ඔය නරුමය නිදහස් වෙලා අව දිනයකදී කරදරයක් වෙන්න පුළුවන් ප්‍රබලතාවයක් තියෙනවා .පොලිසිය මොනදේ කලත් වුනාට පස්සේ වෙඩක් නැහැ. එතකොට තවත් අපරාදයක් රැල්ලට අහුවෙනවා විතරයි.,එක නිසා ඒ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න (හේ)

:       0       0

නුවන් Thursday, 21 April 2016 05:31 PM

මෙය හිරෙන් නිදහස් වෙලා අාවහම වෙනදේට කවුද වගකියන්නේ? පොඩි එකාටයි අම්මාටයි දෙවි පිහිටයි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 731 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2392 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site