IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සරසවි අලුත් පනත බිල්ලෙක්ද?

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් මෙහෙයවන ලද සංකේත වැඩ වර්ජනයක් ඊයේ (30) පැවැත්වුණි. මෙම සංකේත වැඩ වර්ජනයට හේතුව වූයේ, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීම සඳහා ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාවලට විරෝධය දැක්වීමය.

එම සංශෝධන මගින් විශ්වවිද්‍යාලවල පීඨාධිපතිවරුන් පත් කරගැනීම සම්බන්ධව සහ අංශාධිපතිවරුන් පත් කරගැනීම සම්බන්ධව දැනට පවත්නා ක්‍රමය සංශෝධනය කිරීමට යෝජනා කර තිබේ.

දැනට ක්‍රියාත්මක වන විශ්වවිද්‍යාල පනත අනුව විශ්වවිද්‍යාල පීඨයක පීඨාධිපතිවරයකු පත් කරගැනීමේදී ඒ සඳහා ඉදිරිපත් විය හැක්කේ එම අවස්ථාවේදී එම පීඨයට අයත් අධ්‍යයන අංශයක අංශාධිපතිවරයකුට පමණි. අංශාධිපතිවරයකු නොවන ආචාර්යවරයකුගේ ජ්‍යෙෂ්ඨත්වය, සුදුසුකම් සහ නිපුණතාව කවරාකාර වුව ද ඔහුට හෝ ඇයට පීඨාධිපති තනතුරට ඉදිරිපත් වීමට නොහැකිය. එහෙත්, නව සංශෝධන මගින් පීඨයේ සේවය කරන සියලු‍ම ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්ට, මහාචාර්යවරුන්ට, සහාය මහාචාර්යවරුන්ට සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන්ට තමන්ගේ අභිමතය පරිදි පීඨාධිපති තනතුර සඳහා ඉදිරිපත් විය හැකි අතර, ඒ වන විට අංශාධිපතිවරයකු වීම අනිවාර්ය නොවේ.

පීඨාධිපතිවරයා පත් කරගනු ලබන්නේ පීඨ සාමාජිකයන්ගේ ඡන්දයෙන් වන නමුදු දැනට පවත්නා විධිවිධාන අනුව ඒ සඳහා ඉදිරිපත් විය හැක්කේ දැනට සිටින අංශාධිපතිවරයකුට පමණි. උදාහරණයක් ලෙස, කිසියම් පීඨයක අධ්‍යයන අංශ පහක් පවතින්නේ නම් එම අංශාධිපතිවරුන් පස් දෙනාට පමණක් පීඨාධිපති තනතුර සඳහා ඉල්ලු‍ම් කළ හැකි වේ. දැනට පවතින මෙම ක්‍රමය වෙනුවට ආණ්ඩුව හඳුන්වා දී ඇති නව සංශෝධනය මගින් පීඨ සාමාජිකයන් අතරින් ඕනෑම ආචාර්යවරයකුට එම තනතුර සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව සැලසේ. දැනට පවතින ක්‍රමය වෙනුවට පීඨ සාමාජිකයන් වන ඕනෑම ආචාර්යවරයකුට ඉදිරිපත් වීමට ඉඩ ලැබෙන පරිදි පීඨාධිපති තනතුරකට පත් කරගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමයක් නව සංශෝධන මගින් හඳුන්වා දීමට ආණ්ඩුව කටයුතු කර තිබේ.

අනෙක් සංශෝධනය වන්නේ, දැනට පවතින අංශාධිපතිවරුන් තෝරා ගැනීමේ ක්‍රමය වෙනස් කිරීමය. දැනට පවතින ක්‍රමය අනුව ආචාර්යවරුන් අතරින් උපකුලපතිවරයා නම් කරන ආචාර්යවරයකු පාලක සභාව විසින් අංශාධිපති තනතුරට පත් කරනු ලබයි. එම ආචාර්යවරයා ආධුනික කථිකාචාර්යවරයකු නොවන්නේ නම් සහ සේවය ස්ථිර කර තිබේ නම් අංශාධිපති තනතුර සඳහා පත් කිරීමට හැකියාව ලැබේ. එසේ වුව ද නව සංශෝධන මගින් යෝජනා කර ඇත්තේ ජ්‍යෙෂ්ඨතාව අනුව අංශාධිපති තනතුර සඳහා ආචාර්යවරුන් පත් කිරීමටය. ඒ අනුව කිසියම් අංශයක ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු සිටින්නේ නම් එම ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා ද එසේ නොවන විට පිළිවෙළින් මහාචාර්ය, සහාය මහාචාර්ය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය යන අනුපිළිවෙළ ඔස්සේ ජ්‍යෙෂ්ඨතාව දරන ආචාර්යවරුන් ඔවුන්ගේ කැමැත්ත අනුව අංශාධිපති තනතුරට පත් කළ යුතුය.

නව සංශෝධන යටතේ පීඨාධිපතිවරයකුට උපරිම වශයෙන් වසර තුනක කාල සීමා දෙකක් ද, අංශාධිපතිවරයකුට වසර තුනක එක කාලසීමාවක් ද පමණක් තනතුර දැරීමට හැකි බවට වූ සංශෝධන ද ඉදිරිපත් කර තිබේ. පනතේ දැනට පවතින නීති ප්‍රතිපාදන අනුව පීඨාධිපති තනතුර සඳහා පත් කළ ආචාර්යවරයකුට ඕනෑම වාර ගණනක් එම තනතුර දැරීමට හැකි වන නමුදු ආචාර්යවරුන් වැඩි පිරිසකට එම තනතුරුවලට පත්විය හැකි ආකාරයට තනතුරු දැරිය හැකි කාලසීමාව පිළිබඳව මේ ආකාරයට වෙනස්කම් හඳුන්වා දී තිබේ.

මෙම සංශෝධන පිළිබඳව අදහස් දක්වන බොහෝ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අදහස වී ඇත්තේ, දැනට පවතින ක්‍රමයට වඩා ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමයක් නව සංශෝධන මගින් හඳුන්වා දී ඇති බවය. එම තනතුරුවලට පත්වීම සඳහා වැඩි පිරිසකට ඉඩ ප්‍රස්ථා සලසා දී ඇති අතර, ජ්‍යෙෂ්ඨතාව, නිපුණතාව සහ සුදුසුකම් මත සුදුස්සන් තෝරා ගැනීම සඳහා මෙමගින් නව අවස්ථා විවෘත කර තිබේ. එම සංශෝධන ඇති කිරීම සඳහා කැබිනට් මණ්ඩලය රජයේ ප්‍රතිපත්ති අනුව යෝජනාවක් අනුමත කර, නීතිපති දෙපාර්තමේන්තුවේ එකඟතාව ලැබීමෙන් පසු නීත්‍යනුකූල ආකාරයට නව සංශෝධන ඇතුළත් පනත 2025 නොවැම්බර් 21 වැනිදා රජයේ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබීය.

මෙම සංශෝධනවලට විරුද්ධව අදහස් ඉදිරිපත් කරන ඇතැම් ආචාර්යවරුන් ප්‍රකාශ කරන්නේ එම සංශෝධන වඩා හොඳ බවත්, එසේ වුව ද එම සංශෝධන පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ ආණ්ඩුව අතර සාකච්ඡාවක් නොපැවැත්වුණු බවත්ය. දැනට පවත්නා විශ්වවිද්‍යාල පනතේ පීඨාධිපතිවරයා සහ අංශාධිපතිවරුන් සම්බන්ධයෙන් “තනතුරෙන් ඉවත් කරනු ලැබුවහොත්” යනුවෙන් වගන්තියක් ඇතුළත්ව ඇත. නව සංශෝධන මගින් එම වගන්තිය “පාලක සභාව විසින් තනතුරින් ඉවත් කරනු ලැබුවහොත්” යනුවෙන් සංශෝධනය කර තිබේ. ඒ පිළිබඳව විරෝධතා දක්වන ඇතැම් අය ප්‍රකාශ කරන්නේ පීඨාධිපතිවරුන් ඉවත් කිරීමට නව සංශෝධන මගින් පාලක සභාවට ඉඩ ලැබෙන බවයි. එය සම්පූර්ණ අසත්‍යයක් වන අතර, දැනට ද පීඨාධිපතිවරුන් සහ අංශාධිපතිවරුන් ඉවත් කිරීමට පවතින පනත මගින් පාලක සභාවට ඉඩ ලැබී තිබේ. ඒ අනුව, මේ දක්වාම විශ්වවිද්‍යාලවල පීඨාධිපතිවරුන් සහ අංශාධිපතිවරුන් පාලක සභාව විසින් ඉවත් කරනු ලැබූ අවස්ථා කොතෙකුත් තිබේ.

කෙසේ වුව ද, මෙම සංශෝධන පිළිබඳව ආණ්ඩුව සහ ආචාර්ය සමිති සම්මේලනය අතර පැවැති සාකාච්ඡාවකදී අලු‍තින් එකතු කර ඇති “පාලක සභාව විසින්” යන කොටස පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඉවත් කරගැනීමට ආණ්ඩුව විසින් එකඟතාව පළ කර තිබේ. පනත පිළිබඳ ගැසට් පත්‍රය පළ කිරීමෙන් පසු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා සියලු‍ම විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන්ට දන්වා සිටියේ, පීඨාධිපති සහ අංශාධිපති තනතුරුවල පුරප්පාඩු පවතින්නේ නම් ඒ සඳහා සුදුස්සන් පත් කිරීම තාවකාලිකව කල් තබන ලෙසත්, දැනට පවතින විශ්වවිද්‍යාල පනත අනුව එම වැඩ කටයුතු ආවරණය කිරීම සඳහා තාවකාලිකව වැඩ බලන පත් කිරීම් සිදු කරන ලෙසත්ය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ගෙන ඇති එම තීරණයේ නීත්‍යනුකූලභාවය පිළිබඳව ඇතැම් පාර්ශ්ව ප්‍රශ්න කිරීමෙන් පසු දැනට බලාත්මක විශ්වවිද්‍යාල පනතේ තුන් වැනි සහ පහළොස් වැනි වගන්ති යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පැවැරී ඇති බලතල අනුව එම කොමිෂන් සභාව විසින් මෙම තීරණය ගනු ලැබූ බව සභාපතිවරයා සියලු‍ම විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ට ලිඛිතව දන්වා ඇත.

දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සංශෝධන සම්මත කරගන්නා තුරු ඇති වන පුරප්පාඩුවලට නව පත් කිරීම් සිදුකිරීම තාවකාලිකව නතර කරන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම තීරණය කර ඇත්තේ නව සංශෝධනවල ප්‍රතිපාදන සියලු‍ම ආචාර්යවරුන්ට අත්කර දීම සඳහාය. උදාහරණයක් ලෙස, නව පනත සම්මත වීමට පෙර කිසියම් පීඨයක පීඨාධිපති තනතුර හෝ අංශාධිපති තනතුරක් හෝ පුරප්පාඩු වී ඒ සඳහා ස්ථිර පත් කිරීමක් කරනු ලැබුවහොත් නව සංශෝධනවලින් ලැබෙන ප්‍රතිලාභ භුක්ති විඳීම සඳහා එම පීඨ සාමාජිකයන්ට සහ අධ්‍යයන අංශ ආචාර්යවරුන්ට තවත් වසර තුනක් බලා සිටීමට සිදු වේ. පීඨාධිපතිවරුන් සඳහා වාර දෙකක කාලසීමාවක් ද, අංශාධිපති තනතුර සඳහා එක වාරයක කාලසීමාවක් ද නව සංශෝධන මගින් හඳුන්වා දෙන නමුදු, ඊට පෙර ස්ථිර පත්වීමක් කරනු ලැබුවහොත් එම සීමාව ඉක්මවා තනතුර දැරීමට ඇතැම් අයට අවස්ථාව සැලසේ. එහි තේරුම වන්නේ, නව සංශෝධනවල ප්‍රතිලාභ භුක්ති විඳීමට අදාළ පීඨවල සහ අංශවල ආචාර්යවරුන්ට තවත් වසර තුනක කාලයක් බලා සිටීමට සිදුවන බවයි.

එවැනි තත්වයක් යටතේ මෙම සංශෝධනවලට විරුද්ධව එක් දින සංකේත වැඩ වර්ජනයක් පැවැත්වීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ විධායක කමිටුව තීරණය කරනු ලැබුවේ කවර හේතුවක් නිසා ද යන්න සිතා ගැනීම දුෂ්කරය. රට දැවැන්ත ආර්ථික අර්බුදයකට සහ මෑතකාලීනව බරපතළ ස්වාභාවික ව්‍යසනයකට මුහුණ දී සිටින අවස්ථාවක ආචාර්යවරුන්ගේත්, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේත් කාලය විනාශ කර දමමින් රටට පීඩනයක් එල්ල කිරීමට එම සංගමයට පවතින වුවමනාව රටට හෙළි කළ යුතුව ඇත. මෙම සංශෝධන ප්‍රජාතන්ත්‍රවාදි බවත්, ඒ සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ම මීට සෑහෙන කාලයකට පෙර සිටම යෝජනා ඉදිරිපත් කර ඇති බවත්, විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ හිටපු සහ දැනට සිටින නායකයන්ගෙන්ම ප්‍රකාශ වී ඇත.

මීට පෙර සියයට 6ක අධ්‍යාපන වියදම් වැඩි කිරීම සඳහා වූ සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා වූ අරගලයේදී ආචාර්යවරු කණ්ඩායමක් එම අරගලයට එරෙහිව කටයුතු කළහ. මෙවර ද විශ්වවිද්‍යාල පනතේ නව සංශෝධනවලට විරෝධතා ඉදිරිපත් කරමින් කටයුතු කරන්නේත්, ඒ සඳහා මූලික වී ඇත්තේත් එදා ආචාර්යවරුන්ගේ අරගලයට ද්‍රෝහිකම් කළ පිරිස් බව පෙනේ. කිසිදු පදනමක් නොමැතිව හුදෙක් රජයට විරුද්ධ වීම ම අරමුණු විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය කටයුතු කිරීම කනගාටුදායකය. සම්මේලනයේ නායකයන් අතර සහ විධායක සභාවේ සාමාජිකයන් අතර විවිධ දේශපාලන මත දරන අය සිටිය හැකිය. එසේ වුව ද, සියලු‍ දෙනාටම පිළිගත හැකි ආකාරයේ සහ සමස්ත ආචාර්යවරුන්ටම වැඩි ප්‍රතිලාභ හිමි වන නව ක්‍රමයක් ඇති කරන විට එයට සහාය දැක්වීම විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ වගකීම වන්නේය.

දැනට පවතින පනත අනුව උපකුලපති තනතුර, පීඨාධිපති තනතුරු සහ අංශාධිපති තනතුරු එකින් එක පත්වීම් තීරණය කෙරෙන ක්‍රමවේදයක් ක්‍රියාත්මක වේ. උපකුලපතිවරයාට ඊළඟ වාරයට පාලක සභාවේ ඡන්දය ලබා ගැනීමට පීඨාධිපතිවරුන්ගේ සහාය අවශ්‍ය වේ. පීඨාධිපතිවරයාට ඊළඟ අවස්ථාවේදී තමන් සමග තරග නොකරන ආචාර්යවරුන් අංශාධිපතිවරුන් ලෙස පත් කරගැනීමට අවශ්‍ය වේ. ජ්‍යෙෂ්ඨතාවෙන් ඉහළම මට්ටමක සිටිය ද ඉතා කනිෂ්ඨ ආචාර්යවරයකු අංශාධිපති ධුරය දරන අංශයක සේවය කිරීමට එම ජ්‍යෙෂ්ඨ ආචාර්යවරුන්ට සිදු වේ. නව සංශෝධනවලින් එවැනි දුර්වලතා ඇති නොවන බැවින් දේශපාලන මතිමතාන්තර කවරාකාර වුව ද සාධනීය සංශෝධනවලට සහාය දීම සමස්ත විශ්වවිද්‍යාල ප්‍රජාවගේම යුතුකම වන්නේය.

(***)



අදහස් (0)

සරසවි අලුත් පනත බිල්ලෙක්ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 114 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site