IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


සම්මාන මේනියාවෙන් රෝගී අපේ ප්‍රභූවරු

‘සම්මාන මේනියාව’ අප රටේ බොහෝ දෙනකුට වැළඳෙන රෝගයකි.  එය බොහෝ දේශපාලනඥයන්ට වැළඳෙන ‘රථගාය’ බඳු ය. ධනය ලැබූ පසු බොහෝ දෙනෙක් බලය පසුපස හඹායති.  ඒ ගමනට සම්මාන ලබා තිබීම පහසුවකැයි ඔවුහු සිතති. සම්මාන දොළ සංසිඳුවන ජාවාරම්කාරයන් ද සංවිධාන ද බිහිවන්නේ ඒ අනුව ය. කිසිම ලෙසකින් ප්‍රහසනයකින්, නාඩගමකින් වෙනස් නොවන මෙම ක්‍රියාදාමය නොනැවතී සිදුවන්නේ සම්මාන දෙනවුන්ගේ මෙන්ම ගත්තවුන්ගේ ‘‘ලජ්ජා නහර’’ කැපී ඇති හෙයින් බවට සැක කළ හැකි ය.

නිත්‍යනුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරවනාම පුද්ගලයන්ට ලබාදීම සහ එසේ ගෞරව නාම ලබාගැනීම සහ භාවිත කිරීමට එරෙහිව නිත්‍යනුකූල  පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අදාළ විෂය පිළිබඳව කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. මෙවැනි ආකාරයේ අසංවිධිත සම්මාන ප්‍රදාන හේතුවෙන් ගෞරව ප්‍රණාමයට පත් ශ්‍රී ලාංකිකයන්ට අසාධාරණයක් හා අගෞරවයක් සිදුවන බව පෙන්වා දෙන ජනාධිපති ලේකම්වරයා එවැනි ක්‍රියාවට එරෙහිව නීතිය කඩිනමින් ක්‍රියාත්මක කරන බව සඳහන් කළ බව ද අප ප්‍රවෘත්තියේ සඳහන් ය.

ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇති ජාතික සම්මාන පිරිනැමීම සඳහා තේරීම් කමිටුවේ නිර්දේශ මත සුදුසුකම් ලත් ශ්‍රී ලාංකිකයන්ගෙන් අයැදුම්පත් කැඳවීමට නව ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කර ඇති බවත් ජනාධිපතිවරයාගේ එකඟතාව අනුව ජනාධිපති ලේකම් විසින් පත් කරනු ලබන විද්වත් තේරීම් කමිටුවක් මගින් සම්මානලාභීන් තෝරා ගැනීමට නියමිත බවත් අප ප්‍රවෘත්තියේ සඳහන්ය. තෝරාගන්නා ලද එම සම්මානලාභීන්ගේ නාම ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධියට පත් කරනු ලබන අතර පසුව නියම කර ගන්නා දිනයක දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සම්මාන ප්‍රදානය සිදු කරන බවද සඳහන් ය.

‘පූජාච පූජනීයං’ හෙවත් පිදිය යුත්තන් පිදීම ඉතා ඉහළ සත්පුරුෂ මානව ගුණයකි. එමෙන්ම එය ගරු සරු බවින් සමන්විත විය යුතුය. පිදුම් ලබන්නා තමන් එම පිදුමට සුදුස්සකු ද යන්න අවකංවත්, අව්‍යාජවත්, නිහතමානීවත් විමසා බැලිය යුතුය. එමෙන්ම තමන් සම්මානයට පාත්‍ර කරන පුද්ගලයා හෝ සංවිධානය එයට කෙතරම් සුදුසු ද යන්න කෙරෙහිත් අවධානය යොමු කළ යුතුය. ඉහත කාරණා දෙක සම්බන්ධයෙන් අවධානය යොමු නොකරන්නේ නම් සම්මානය, අවමානයක් වීම කිසි ලෙසකින් හෝ වෙනස් කළ නොහැකි ය.

සම්මාන ප්‍රදාන අප රටේ බරපතළ ජාවාරමක් බවට පත්වී තිබේ. බොහෝ සම්මාන ප්‍රදාන සිදුවන්නේ මුදලට ය. සම්මානයක් පිරිනැමීමට තෝරා ගැනීමට මුදල් ගෙවිය යුතුය. සම්මානය මෙන්ම සම්මාන උළෙල සඳහා ද මුදල් පිරිනැමිය යුතුය. එසේ මුදල් පිරිනමන්නේ නම් ලංකා පුත්‍ර, දේශ පුත්‍ර, ජාති මාමක ආදි බර වචන ටොන් ගණනින් දමා සම්මානයක් ලබාගත හැකිය. ආචාර්ය, මහාචාර්යකම් පිරිනමන ආයතන ද අප රටේ වේ. තමන්ට ආචාර්ය, මහාචාර්ය වැනි ගෞරවනීය නාම නොගැළපෙන බව දැන දැනත් ඒවා සාඩම්බර පදක්කමක්ව පළඳිති. තමන් මොනර රැඟුමක් රඟන බව ඔවුහු නොදනිති. එමෙන්ම මෙම ක්‍රියාදාමය නිසා එම සම්මාන අවිරෝධිතව සුදුසුකම් ලැබ තිබෙන ශ්‍රී ලාංකිකයන් පවා අපහසුතාවට පත්වීම වැළැක්විය නොහැක. එහෙයින් මෙම ක්‍රියාදාමය පාලනය කිරීම සඳහා නීතිරීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාව ඉතිහාසයේ අන් කවරදාටත් වඩා වැඩියෙන් මතුවී තිබේ.

(***)



අදහස් (0)

සම්මාන මේනියාවෙන් රෝගී අපේ ප්‍රභූවරු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 425 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16818 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 649 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site