IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සමාජ මාධ්‍ය හතුරෙක්ද? මිතුරෙක්ද?

අන්තර්ජාලය පුද්ගලාන්තර සන්නිවේදනයේ ප්‍රතිඵලයක් බවට පත්ව ඇති යුගයකට අපි පිවිස සිටිමු.. එම සන්නිවේදන ක්‍රියාවලිය පුද්ගලයන් දෙදෙනකුගෙන් ඇරඹි, ප්‍රාදේශීය, ජාතික තලය අබිබවනය කරමින් ජාත්‍යන්තර තලයට පිවිසීම තුළ සමාජ ජාල නමින් හඳුන්වන සන්නිවේදන ජාලාව විවිධ මුහුණුවරින් හඳුනා ගත හැකිය. සරලව දැක්වුවහොත් නූතන ඩිජිටල් මිනිසා මෙහෙයවනු ලබන ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය ලෙස හඳුනාගත හැක්කේ මෙම සමාජ මාධ්‍යයයි.

නූතනයෙහි සමාජ මාධ්‍යවල පුළුල් ව්‍යාප්තිය බලතොත් එය විශ්ව මට්ටමෙන් ද ජාතික මට්ටමෙන් ද කැපී පෙනෙන සන්නිවේදන සලකුණක් බව කිව යුතුය.. ලෝක ජනගහනයෙන්  බිලියන 5 ක් පමණ සමාජ මාධ්‍යය භාවිතයට යොමු වී ඇති අතර ජනගහනය මිලියන 21 ක් පමණ වූ මෙරටේ මිලියන 12 ක් තරම් විශාල සංඛ්‍යාවක් සමාජ මාධ්‍ය ඇසුරු කරන බව සොයාගෙන ඇත. සමාජ මාධ්‍යවල වර්ගීකරණය ඔස්සේ සලකා බලතොත් ජනකාන්ත සමාජ මාධ්‍යවලට බැඳී සිටින ජනකාය කොතරම්දැයි තේරුම් ගැනීමට අපහසු නොවේ. ලෝක මට්ටමෙන් බිලියන 3.7 ක් ෆෙස්බුක් ද, බිලියන 2.78 ක් වට්ස්අප් ද, බිලියන 2.5 ක් යූ ටියුබ් සමාජ මාධ්‍යයට ද නතු වී සිටින තත්වයක් යටතේ තවත් බිලියන 2 ක් ඉන්ට්‍රොගෑම් ද, බිලියන 1.6 ක් ටික්ටොක් ද, බිලියන 1.3 ක් වීචැට් ද, බිලියන 1 ක් ටෙලිග්‍රෑම් ද, තවත් බිලියන 1 ක් මැසෙන්ජර් ද යන සුප්‍රකට සමාජ ජාලාවලට ආසක්ත වී ඇති බව නවතම සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.

මෙයින් පැහැදිලි වන්නේ සමාජ මාධ්‍ය ව්‍යාප්තිය පුළුල් මට්ටමක විස්තාරණය වී ඇති බවයි. කෙටියෙන් කිවහොත් සමස්ත ලෝකයම එකම සමාජ ජාලකරණයකට ලක්වී ඇති බවයි.

සැබවින්ම මෙම සමාජ මාධ්‍ය නව සමාජයේ ඉටු කරන කාර්යභාරය කුමක්ද? නව සමාජයේ ඩිජිටල් මිනිසාගේ ජීවිතයට සමාජ මාධ්‍යය කෙසේ සම්බන්ධ වී ඇත්ද ? යන්න විවිධ දෘෂ්ටි කෝණ ඔස්සේ පුළුල්ව විමසා බැලිය යුත්තකි. සමාජ මාධ්‍ය පුද්ගල සංවර්ධනය සහ සමාජ ප්‍රගතිය විෂයයෙහි කොතෙක් දුරට වැදගත් ද යන කරුණ එබඳු පුළුල් හැදෑරීමකින් නිශ්චය කරගත හැකිය. ඉහතින් පෙන්වා දුන් පරිදි අප ජීවත්වන මෙම යුගයේ ඩිජිටල් බලපෑම බලන විට එය භෞතික ලොව හෙවත්, තථ්‍ය ලෝකයට වඩා අභෞතික ලෝකය හෙවත් අතථ්‍ය සයිබර් අවකාශයට මූලිකත්වය දෙන යුගයක් බව මුලින්ම තේරුම් ගත යුතුය. මෙහි විශේෂත්වය වනුයේ දේශ සීමා විරහිත අපරිමිත නිදහසක් පැවැතීමයි. සමාජ මාධ්‍යයේ ක්‍රියාකාරීත්වය තේරුම් ගැනීමේ දී මේ කරුණ පළමු කොට තේරුම් ගත යුතුය. මෙම අසීමිත අවකාශය තමන්ට අභිමුඛ වන දේ සමග විවිධ අපගාමී ක්‍රියාවලට යොමුවීමේ අලු‍ත් දොරටුවක් ලෙස ද එක් පැත්තකින් තර්ක කළ හැකිය. දැනුම ගලා ඒමත් සමග එම දැනුම කෙසේ භාවිත කළ යුතු ද යන මග පෙන්වීමත් ඉන් නොලැබීම ඊට හේතුවයි.

මෙම කරුණ වඩාත් ගැඹුරින් විමසීමේ දී පැහැදිලි වන්නේ එක් දෙයකි.. එනම් නූතන සමාජ මාධ්‍යය තුළ පුද්ගල අනන්‍යතාව වසන් කිරීමට හෝ සඟවා තැබීමට නැත්නම් විකෘති කර පෙන්වීමට ශිල්පීය ඉඩ ප්‍රස්ථාවක් පැවැතීමය. එනම් පුද්ගලයාට එම පුද්ගලයා නොවී වෙනත් කෙනකු ලෙස පෙනී සිටීමේ අවකාශය පැවැතීමයි. මෙම අනන්‍යතාව සැඟවීමට ඇති ශිල්පීය ඉඩ ප්‍රස්ථාව නිසා විවිධ සමාජ අපගාමී ක්‍රියාවලට පෙළැඹීමට සමාජ මාධ්‍යයෙන් ඉඩ සැලෙසෙන බව නොරහසකි.

ජනකාන්ත සමාජ මාධ්‍යයක් වූ මුහුණු පොත පිළිබඳව කරනු ලැබූ ආනුභවික අධ්‍යයන රැසකින්ම මෙම කරුණු සනාථ කර ඇත. එක් පුද්ගලයකුට මුහුණු පොත් 400 ක් පමණ පැවැති තත්වයක් පසුගිය කාලයේ වාර්තා වී තිබුණි.. වෛද්‍යවරුන්, නීති විශාරදයන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, වැනි පොදු ජන සමාජයට අත්‍යවශ්‍ය ඉහළ වෘත්තිකයන් ලෙස ව්‍යාජව පෙනී සිටිමින් නිර්ධය සූරාකෑම්වලට පොදු ජනතාව ගොදුරු කරන පිරිස් පිළිබඳ පැමිණිලි රැසක් පිළිබඳ වාර්තා නිරන්තරයෙන් අපට කියවන්නට ලැබෙන බව පැහැදිලිය. පරිගණක සාක්ෂරතාව තවමත් මෙරටෙහි සියයට 40කට පමණ අඩු මට්ටමක පැවැතීම මෙම එකම පුද්ගලයකු බහු අනන්‍යතාව ප්‍රදර්ශනය කිරීමේ ගැටලු‍ව වඩාත් ප්‍රබලව නැගී සිටීමට ආධාරයක් වී ඇත.

දෙවැනුව සමාජ මාධ්‍යයේ සමාජ බලපෑම හඳුනාගත හැකි තවත් පැත්තක් වනුයේ දිගු කලක් මෙරට සමාජයට පුරෝගාමී නායකත්වයක් දුන් වැඩිහිටි පරපුර නියෝජනය කරනු ලබන අගනාකම් සහ ධර්මතා පද්ධතිය බරපතළ ලෙස නිෂ්ප්‍රභවීමේ තත්වයක් පැවැතීමය. අප දන්නා පරිදි වැඩිහිටි පරපුර උගත්කමින් එයටත් වඩා අත්දැකීම්වලින් පිරිපුන්ව සමාජයට මග පෙන්වන පරිණත තත්වයේ සිටින පිරිසක් බව පොදුවේ පිළිගැනේ. දාරක සමාජානුයෝජනයේ දී වැඩි වැඩ කොටසක් කරනු ලබන්නේ මෙම වැඩිහිටි පරපුර බව පැහැදිලිය. එහෙත් අද ඔවුන්ගේ එම කාර්යය බරපතළ ලෙස වෙනස් වී ඇත. එයට හේතුව අද අප රටේ දක්නට ලැබෙන තාක්‍ෂණික මෙවලම් සංස්කෘතියයි. එයට මූලික වී ඇත්තේ පරිගණක ජංගම දුරකතන වැනි යාන්ත්‍රිය මෙවලම් හා බැඳුණු ක්‍රියාකාරකම් අනුසාරයෙන් ගොඩ නැගුණු සිතුවිලි සමුදායකි. මේ ඇසුරෙන් උපන් තාක්‍ෂණික දැනුම දිගුකලක් මෙරට සමාජයට මග පෙන්වූ වැඩිහිටි පරපුර වෙත නොමැති බව සත්‍යයකි. එදා වැඩිහිටි පරපුර මඟ පෙන්වූ, දැන නුවණ කියා දුන් තරුණ බාල පිරිස, අද මෙම නවීන උපාංග ආශ්‍රයෙන් සමාජය හසුරුවමින් නොසිටිත්ද? එහිදී වැඩිහිටි පරපුරට සිදු වී ඇත්තේ ජීවිත අත්දැකීම් අඩු පරිණත ආකල්පවලින් තොර වූ එහෙත් තාක්‍ෂණික දැනුමෙන් යුතු පිරිසක් මත යැපෙමින් නව තාක්‍ෂණය විසින් හසුරුවනු ලබන මෙම සමාජයේ යල් පිරුණ චරිත බවට පත්වීමය. ඕනෑම සමාජයක ධර්මතා ගොඩනැගෙන්නේ මෙම සමාජයේ දක්නට ඇති සංස්කෘතික පසුබිම මත බව පැහැදිලිය. වෙළෙඳාම හෝ යන්ත්‍ර සූත්‍ර මූලික කරගත් උපකරණ විසින් හසුරුවනු ලබන සංස්කෘතියක ධර්මතාමත පැහැදිලි වෙනසක් අපේක්‍ෂා කළ හැකිය. දිගු කලක් ධර්මතා රැකගත් ඒවා නව පරපුරට පෙන්වා දුන් වැඩිහිටි පරපුර මෙම නව වෙනස ඉදිරියේ යල් පිරූ චරිත බවට පත්වීම නොවැළැක්විය හැක්කකි..

තුන්වැනුව සමාජ මාධ්‍යවල සමාජ බලපෑම පුද්ගලයාගේ මානසික සෞඛ්‍යයට කෙසේ සම්බන්ධවේ ද යන්න පිළිබඳ හාවර්ඩ් සරසවිය කළ පර් යේෂණයකින් සොයාගත් වැදගත් කරුණක් අවධාරණය කළ හැකිය. එනම් සමාජ මාධ්‍යයට නිරන්තරයෙන්ම යොමු වූවකු තුළ හට ගැනෙන, “මානසික ඇබ්බැහියයි” දිනකට පැය දෙකහමාරකට වඩා අඛණ්ඩව දිනපතා මෙම භාවිතාවේ යෙදීම ඇබ්බැහියක් ලෙස සැලකිය හැකි බවත්, එහි දිගුකාලීන ප්‍රතිඵල ලෙස කාන්සාව, විශාදය, තමා පිළිබඳ හීනමානීය අදහස් ජනිත වීම ආදිය සිදුවන බවත්, එම පර් යේෂණවලින් විග්‍රහාත්මකව පෙන්වා ඇත.

පොදුවේ බලතොත් සමාජ මාධ්‍යය පුද්ගලයන් සමීප කිරීමට මෙන්ම බෙදා වෙන් කිරීමේ කාර්යයට ද යොදාගත හැකි බව මේ සමග අවධාරණය කළ යුතු තවත් කරුණකි. අනෙක් අතට සමාජ මාධ්‍ය යම් යම් සමාජ මත නිර්මාණය කිරීමටත්, පුද්ගල ප්‍රතිරූපයන් ගොඩනැංවීම පිළිබඳවත්, විශාල බලපෑමක් කළ හැකි බැව් නොරහසකි. මෙරට සහ අසල්වැසි රටවල සිදු වූ දේශපාලනික අරගල එහිදී අපට සිහිපත් වේ. මේ පිළිබඳව ජනමාධ්‍ය විචාරකයන් නිරන්තරව පෙන්වා දෙන උදාහරණයක් වන්නේ අරාබි වසන්තය නමින් 2010 වසරේ ටියුනීසියාවේ සිදුවූ මහජන නැගිටීමයි..

සමාජ මාධ්‍ය මෙම නැගී සිටීම අර්ථ දැක්වූයේ දරුණු පාලකයකුට එරෙහිව සිදුවූ ජනතා නැගී සිටීමක් ලෙසය. මෙයට අවශ්‍ය ශක්තිය ලබා දුන්නේ ද සමාජ මාධ්‍යයයි. ඒ නිසාම මෙය සයිබර් විප්ලවය නමින් ද හඳුන්වනු ලැබේ. මෙලෙස ටියුනීසියාවෙන් ඇරඹුණ මෙම මහජන නැගිටීම අනතරුව ලිබියාව, ඊජිප්තුව හා යේමනය දක්වා පැතිර ගිය බව පැහැදිලිය. ඊජිප්තුවේ මෙම නැගිටීම සිදු වූයේ සරසවි සිසුන් හා සෙසු සමාජ ක්‍රියාකාරීත්වයේ මූලිකත්වයෙනි. මෙහිදී අන්තර්ජාලය මූලික කරගත් සමාජ මාධ්‍යය මෙම නැගිටීම්වල ප්‍රධාන බලවේගය වූ නිසාම ඊජිප්තුවේ මුබාරක් රජය විසින් 2011 දී ඊජිප්තුව ගෝලීය අන්තර්ජාල සබඳතාවලින් කපා දැමීම සිදු කරන ලදී. මෙය සමාජ මාධ්‍යයේ බලය සහ බලපෑම පැහැදිලිවම පෙන්නුම් කරන අවස්ථාවකි.

සමාජ මාධ්‍ය ලෙස අප හඳුනාගන්නා මාධ්‍යය නව සමාජ මාධ්‍ය ලෙස පෙරට එන්නේ කෘත්‍රිම බුද්ධිය නම් සුවිශේෂී මාධ්‍ය ඔස්සේ බව පැහැදිලි කරුණකි. මෙහි වර්ධනය සහ ප්‍රයෝජන පිළිබඳව අද බොහෝ දෙනෙක් කතා කරති. එහෙත් මෙහි සිදුවන ක්‍රමානුකූල වර්ධනය සහ මිනිසාගේ ශිෂ්ටාචාරයට සිදුවන අගතිය, මානව සම්බන්ධතාවලට සිදුවන බරපතළ පසුබැසීම පිළිබඳව කිසිවකු ප්‍රසිද්ධියේ කතා කරන බවක් නොපෙනේ. එහෙත් තත් ක්ෂේත්‍රය පිළිබඳ කරනු ලැබූ යම් විශ්ලේෂණවලින් මෙම තත්වය පැහැදිලි කර ඇත. කෘත්‍රිම බුද්ධියේ විශාලතම දියුණුවක් පෙන් වූ වසරක් ලෙස සැලකෙන 2023 දී පුද්ගලයකුගේ පාලනයෙන් තොරව අජීවි යන්ත්‍රයකට බොහෝ දෑ කළ හැකි බව ඔප්පු කරමින් කරනු ලැබූ නිරීක්‍ෂණයක දී පෙනී ගියේ යන්ත්‍රය විසින් අසනු ලැබූ ගැටලු‍වකට වෙනත් යන්ත්‍රයකින් පිළිතුරු ලබාදිය හැකි බවයි.. කිසිම විඥානයක් නැති, ජීවයක් නැති, යන්ත්‍රයකට සමස්ත මානව වර්ගයාගේ සියලු‍ ක්‍රියාකාරකම් පාලනය කිරීමට හැකි බව මින් සනාථ කර පෙන්වා ඇත.. තවත් ලෙසකට දැක්වුවහොත් පණ ඇති පුද්ගලයකු විසින් සිතාමතා බුද්ධියෙන් කරනු ලැබු කාර්ය කොටස නැවත හැරවිය නොහැකි පරිදි යන්ත්‍රයක් විසින් නතුකර ගෙන සිටීමයි.

මෙයින් පැහැදිලි වන්නේ ඩිජිටල් සමාජයේ ප්‍රධාන ධාරාවේ සමාජ මාධ්‍යය සැබෑ සමාජය තුළ අති දැවැන්ත විපර්යකාරකයක් ලෙස ක්‍රියාත්මක වන බවයි. එසේ නම් එම ක්‍රියාකාරකම් නියාමනය කිරීමේ අවශ්‍යතාව ද නූතන සමාජයෙන්ම පැන නැගිය යුතුය. නූතන සමාජය අප සලකන්නේ 4 වැනි කාර්මික විප්ලවයේ බලපෑමට හසුවූ යුගය නිසයි. මෙම යුගයේ දැකිය හැකි මෙබඳු බලපෑම් පිටුපස සිටින මිනිස් ශ්‍රමයෙන් තොර වූ රොබෝවරුන්, යන්ත්‍ර සූත්‍ර මිනිසාට අවශ්‍ය පරිදි හසුරුවා ගත නොහැකි නම් ක්‍රියාත්මක කළ නොහැකි නම් එහි බලපෑම මානව සමාජය වෙත දැනෙන්නේ කෙලෙස ද යන්න ඉදිරි පරම්පරාව හමුවේ නිවරැදිව තේරුම් ගත හැකි සමාජ ගැටලු‍වකි. ඒ පිළිබඳව දැනුවත්වීම අද දවසේ සමාජ ක්‍රියාකාරීන්ගේ යුතුකමකි.

 

(***)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ

සම්මානිත මහාචාර්ය - දයා අමරසේකර



අදහස් (0)

සමාජ මාධ්‍ය හතුරෙක්ද? මිතුරෙක්ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site