IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටේද?

ඉරාන - ඊශ්‍රායල් යුද්ධය එන්න එන්නම උත්සන්න වන බවක් පෙනී යමින් තිබේ. මේ වන විට ඇමරිකාව ද ඊට ප්‍රවේශ වන සෙයක් ජනාධිපති ට්‍රම්ප්ගේ ඇතැම් ප්‍රකාශවලින් පැහැදිලි වෙමින් ඇත. ඒ කුමක් වුවද මෙම අර්බුදය දුරදිග යාම යනු ලංකාව වැනි රටකට කිසිසේත්ම දරාගත නොහැකි ප්‍රතිවිපාක ගෙන එන්නකි. මෙම ලිපිය තුළ අපි මෙම අර්බුදය පිළිබඳ මූලික කාරණා සහ එය ලෝකයට සහ අපට බලපාන ආකාරය සාකච්ඡා කරමු.

ඉරාන - ඊශ්‍රායල් ගැටුම දශක 8ක් පමණ තිස්සේ පවතින විවිධ ස්වරූප ගනිමින්, ජීවිත දහස් ගණනක් සහ දේපළ ඩොලර් ට්‍රිලියන ගණනින් විනාශ කළ අර්බුදයකි. මෙම අර්බුදයට පෙනෙන තෙක් මානයේ විසඳුමක් තාමත් නැත. අධිරාජ්‍යවාදී බ්‍රිතාන්‍ය 1917 බැල්ෆොර් ප්‍රකාශය තුළ වෙනම යුදෙව් රාජ්‍යයක් නිර්මාණය කිරීමට පොරොන්දු වුව ද, අරාබි විරෝධය නිසා එය කරගත නොහැකි විය. කෙසේ වෙතත්, පසුව ඇති වූ සිදුවීම් දාමය මත, අරාබි විරෝධය මැද 1948 වසරේ ඊශ්‍රායලය නම් රට ප්‍රකාශයට පත් කරනු ලබයි. ඒ එවක යුදෙව් ඒජන්සියේ ප්‍රධානියා වූ ඩේවිඩ් බෙන් ගුරියන් විසිනි. ඊට ඇමරිකාවේ පූර්ණ අනුග්‍රහය ලැබුණි. ඇමරිකා එක්සත් ජනපදයේ එවක ජනාධිපති හැරී ටෘමන් එදිනම නවතම රට පිළිගැනීමට කටයුතු කරයි.

එතැන් පටන් ඇමරිකාවේ නොමද ආර්ථික සහ මිලිටරි සහාය ඇතිව ඊශ්‍රායලය විසින් මැදපෙරදිග කලාපයේ ප්‍රබලතම මිලිටරි රාජ්‍ය පිහිටුවනු ලබන්නේ මේ සමගම ය. ඇත්ත වශයෙන් ම ඇමරිකාව විසින් ඊශ්‍රායලට ලබාදෙන මූල්‍ය සහ අවි ආයුධ, ඇමරිකානු නීතිය තුළටම ඇතුළත් කර තිබේ. මේ සම්බන්ධයේ ප්‍රතිඵලයක් ලෙස එක් අතකින් ඊශ්‍රායල් යුදෙව්වන්ට රටක් ලැබෙන අතර, ඇමරිකාවට තම මැදපෙරදිග බලය පවත්වාගෙන යාමට සහ ව්‍යාප්ත කිරීමට මගක් පෑදේ. දෙරටේ මේ අන්‍යෝන්‍ය පැවැත්ම, එම රටවල් දෙකටම පමණක් ආවේණික එකකි. කොටින්ම ඇතැම් විශේලේෂකයන්ට අනුව ඊශ්‍රායලය යනු ඇමරිකානු සමූහාණ්ඩුවේ ම තවත් ප්‍රාන්තයකි. ඒ තරමට සම්බන්ධය ගැඹුරු සහ පුළුල් එකකි.

අර්බුදයේ නවතම අදියර පටන් ගත්තේ, 2023 ඔක්තෝබර් 7 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලය තුළට අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල කිරීමත් සමගය. හමාස් යනු තම භූමිය මත ඊශ්‍රායලය පිහිටුවීමට එරෙහි වූ ප්‍රතිරෝධයේ වත්මන් පෙනී සිටින සංවිධානයයි. ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ 1200ක් පමණ හමුදා සහ සිවිල් වැසියන් මියගිය බව කියැවෙන අතර, හමාස් සංවිධානය විසින් 251 පමණ ඊශ්‍රායල් සහ තවත් රටවල් කීපයකට අයත් පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස තම පාලනය යටතේ තිබෙන ගාසා තීරය තුළට රැගෙන යනු ලබති. ඔවුන් එසේ කරනු ලබන්නේ, ඊශ්‍රායලය සමග සටන් විරාමයකට යාමේ දී මෙම සිවිල් වැසියන් තුරුම්පුවක් ලෙස භාවිත කිරීමට සහ ඊශ්‍රායල් සිරමැදිරිවල සිටින පලස්තීනුවන් නිදහස් කර ගැනීමට ය.

ඊශ්‍රායල් බුද්ධි සේවා මෙන්ම ආරක්ෂක අංශ වික්ෂිප්ත කළ සහ ලජ්ජාවට පත් කළ ඔක්තෝබර් 7 ප්‍රහාරයේ අරමුණ ලෙස හමාස් සංවිධානය කියා සිටින්නේ, මූලික වශයෙන් තමන්ගේ නිජබිම වන පලස්තීන භූමිය තමාට අහිමි කිරීම සහ පලස්තීන වැසියන් මිලියනයක් පමණ වෙසෙන ඊශ්‍රායලය යටතේ පාලනය වන ගාසා තීරයේ ජනයා අනේකවිධ දුකට පත් කරමින් විවෘත සිරගෙයක් ලෙස එය පවත්වාගෙන යාමය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලෝක සංවිධාන ඊශ්‍රායලයේ ගාසා සැහැසිකම් හෙළා දකින අතර, තම අවි බලය, ඇමරිකාව විසින් දෙනු ලබන මූල්‍ය සහ රාජ්‍ය තාන්ත්‍රික බලය හමුවේ ඊශ්‍රායලය සෙසු පාර්ශ්වවල ඉල්ලීම් ගණනකට ගන්නා බවක් නොපෙනේ. ඒ පසුබිමේ, වෙනම පලස්තීන රාජ්‍යයක් සඳහා වන ඉල්ලීම යථාර්ථයක් කර ගැනීමේ අරමුණින් හමාස් සංවිධානය, ඊශ්‍රායලයට එරෙහිව ප්‍රචණ්ඩකාරි කටයුතු සිදුකරයි. හමාස් සංවිධානයේ ඔක්තෝබර් 7 ප්‍රහාරය ද ලොව විවිධ පාර්ශ්ව හෙළා දකිනු ලැබ ඇත.

ප්‍රහාරයෙන් පසු අවස්ථා කීපයකම පැවති සාකච්ඡා සහ සෙසු එකඟතා මත ඉහත 251න් 200 ඉක්මවූ පිරිසක් නිදහස් කර ගනු ලැබූහ. තවත් පිරිසක් ඊශ්‍රායල් බෝම්බ ප්‍රහාරවලින් මියගිය අතර මේ වන විටත් 30කට ආසන්න පිරිසක් හමාස් සංවිධානය භාරයේ සිටින බව වාර්තා වේ.

මේ අතර, සටන් විරාම සඳහා පසුගිය දෙවසර තුළ විවිධ උත්සාහ ගනු ලැබූ අතර, ඒ සියල්ල තාවකාලික විය. අලු‍ත්ම සටන් විරාමය මීට මසකට පෙර සාකච්ඡා වූ අතර, දෙපාර්ශ්වයේ ඉල්ලීම් නොපෑහීමෙන් එය ද ඇණහිටියේ ය. මේ පසුබිම මත ඊශ්‍රායලයේ නෙතන්යාහු පාලනය කියා සිටින්නේ තමන් හමුදා බලය යොදවා තම ප්‍රාණ ඇපකරුවන් මුදාගන්නා බවය. කෙසේ වෙතත්, වර්ග කිලෝමීටර් 365 පමණ වන සම්පූර්ණ ගාසා තීරය තුළ ක්‍රියාත්මක වන හමාස් සංවිධානයේ මිලිටරි ඒකකය වන අල් ඛසාම් බළකාය පරාජය කිරීමට ඊශ්‍රායලයට නොහැකි වී තිබේ. ඒ සඳහා වන ඊශ්‍රායලයේ අනවරත බෝම්බ ප්‍රහාරවලින් ගාසා තීරයේ අහිංසක සිවිල් වැසියන්-විශේෂයෙන්ම ළමයින් සහ කාන්තාවන්-ඇතුළුව 50000ක් පමණ මියගොස් ඇත. ඊශ්‍රායලයේ හමාස් සංවිධානයට එරෙහි සටනට ඇමරිකාව විසින් මේ වන විට ඩොලර් බිලියන 40 පමණ අවි සහ මූල්‍යාධාර ලබා දී තිබෙන බව අන්තර්ජාතික මූලාශ්‍රවල සඳහන් වෙයි.

පසුගිය කාලය පුරා හමාස් සංවිධානයට එරෙහිව සටනක් කළ ද ඊශ්‍රායලය කල්පනා කරන්නේ, මේ සියල්ලට ම යටින් සිටින්නේ ඉරානය බවයි. හමාස්, හිස්බුල්ලා සහ හූදි වැනි සංවිධාන සඳහා ආධාර සහ අනුබල දෙන්නේ ඉරානය බව ඊශ්‍රායලය නිතර කියන්නකි. කෙසේ වෙතත්, මෙම සංවිධානවල මතය වන්නේ. ඉරානය තමාට සදාචාරමය සහාය ලබා දුන්න ද තමන් තමන්ගේ අරමුණු වෙනුවෙන් පිහිටුවාගත්, එම අරමුණු ස්වාධීනව හඹායන සංවිධාන බවය.

මෙම පසුබිම තුළ ඉරානය තම මිලිටරි බලය මැදිපෙරදිග අන් සියලු‍ රටවල් ඉක්මවා වර්ධනය කර ගැනීමට කටයුතු කර ඇත. විශේෂයෙන්ම ඔවුන්ගේ දිගු සහ මැදි දුර මිසයිල ඉරානයට කලාපය තුළ විශාල මිලිටරි බලයක් ලබාදෙයි. එවන් තත්වයක් යටතේ ඔවුන්ගේ තවත් මිලිටරි තුරුම්පුවක් වී ඇත්තේ න්‍යෂ්ටික බලයයි. ඉරානයේ න්‍යෂ්ටික හැකියාව දෙස ඊශ්‍රායලය මෙන්ම ඇමරිකාව සහ යුරෝපා රටවල්ද බලන්නේ දැඩි සැකයෙනි. තම න්‍යෂ්ටික වර්ධනය හුදු බලශක්ති වැනි සිවිල් අවශ්‍යතා වෙනුවෙන් බව ඉරානය ප්‍රකාශ කළ ද ඊශ්‍රායලය එය පිළිගන්නේ නැත. කෙසේ වෙතත්, නවතම ඇමරිකානු බුද්ධි තොරතුරුවලට අනුව පවා ඉරානය න්‍යෂ්ටික බෝම්බයක් සෑදීමට කටයුතු කර නැත. අන්තර්ජාතික පරමාණුක බලශක්ති අධිකාරිය විසින් පවා එය පසුගිය දා තහවුරු කරනු ලැබීය. කෙසේ වෙතත්, ඉරානය සතුව සියයට 60 දක්වා බලගැන්වූ යුරේනියම් තිබෙන බව අනියමින් ඉරානය පවා පිළිගෙන ඇත. එසේ කිරීමට තමාට සිදුවූයේ තම රට, ඇමරිකාව සහ බටහිර රටවල් සමග අත්සන් කළ න්‍යෂ්ටික නිරීක්ෂක ගිවිසුමෙන් ඇමරිකාව 2019 දී ඒක පාර්ශ්විකව ඉවත් වී ඉරානයට අසාධාරණ ලෙස සම්බාධක පැනවීමය.

ඊශ්‍රායලය විසින් පසුගිය 13 වැනිදා ඉරානය වෙත ප්‍රහාර එල්ල කරනු ලබන්නේ ඉහත බලගැන්වූ යුරේනියම් විනාශ කිරීම සඳහා බව කියමිනි. කෙසේ වෙතත්, ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාර හමුවේ දැන් දෙරට නොනිමි යුද්ධයක පැටළී සිටියි. ඊශ්‍රායලය දැන් කියන්නේ තමන්ගේ ප්‍රහාරවලින් පමණක් ඉරාන න්‍යෂ්ටික පහසුකම් විනාශ කළ නොහැකි බවය. ඒ අනුව, ඊට සුදුසු යානා සහ බෝම්බ තිබෙන ඇමරිකාවට සටනට එක්වන ලෙස ඊශ්‍රායලය ඉල්ලා සිටියි. එහෙත් තාමත් ඇමරිකාව මේ සඳහා තීන්දුවක් ගෙන නැත. ඇමරිකාව විසින් මේ වන විට මේ සම්බන්ධ මිත්‍ර සංඥා දෙ‌මින් ඇත.

යම් හෙයකින් ට්‍රම්ප් පාලනය යුද්ධයට මැදිහත් වීම යනු අර්බුදය එහි භයානකම අඩියට ගමන් කිරීමයි. ඇමරිකාව ඊට සම්බන්ධවීමත් සමග ඉරානය මැදපෙරදිග කලාපයේ-විශේෂයෙන් ම පර්සියානු බොක්කේ බටහිර අත තිබෙන කඳවුරුවලට පහර දෙනු ඇති අතර, එහි දී කටාරය, එක්සත් අරාබි එමිර් රාජ්‍යය, බහරේනය සහ සෞදි අරාබිය ද ඉරාන ඉලක්ක වේ.

එවන් යුද්ධයක පළමු ප්‍රතිවිපාකය වන්නේ ඉරානය ආශ්‍රිතව තිබෙන අතිශයින් වැදගත් මුහුදු මාර්ගයක් වන හෝර්මුස් සමුද්‍ර සංධිය වැසීමය. ලෝකයේ තුනෙන් එකක් පමණ ඉන්ධන සහ ගෑස් ප්‍රවාහනය කෙරෙන්නේ මේ හරහාය. දිනකට ඉන්ධන බැරල් මිලියන 20ක් පමණ ඒ හරහා ගමන් කරයි. එවන් වැදගත් බලශක්ති මර්මස්ථානයක් අවහිර වීම යනු ලෝක තෙල්මිල බැරලයක් ඩොලර් 300 ඉක්මනු ඇති බවට අනාවැකි පළව තිබේ. එවන් මිලකට අප දන්නා අතීතයේ බොරතෙල් මිළ ඉහළ ගොස් නැත. අනිත් අතින් ගෑස්වලට ද එම විපාකය හිමි වේ.

මෙය ලෝකයට දරාගත නොහැකි තත්වයකි. වර්තමාන ශිෂ්ටාචාරය සපුරා පවතින්නේ මේ බලශක්තීන් මත වන අතර, නැගෙන තත්වය තුළ ශිෂ්ටාචාර කඩා වැටීමකට ලක්වීමේ විශාල අවදානමක් ඇත. දේශපාලන අරගල සමාජ කැළඹිලි සහ සෙසු අර්බුදවලින් ලොව ගහන වනු ඇති අතර, කෝවිඩ් වැනි අර්බුදවලට වඩා තත්වය බෙහෙවින් වෙනස් වනු ඇත. ලංකාව මේ තත්වයට වහ වහාම සූදානම් විය යුතු අතර, විදේශ සංචිත බරපතළ හිඟයකට මුහුණ දී සිටින අපට තෙල් බැරලයක් ඩොලර් 300කට නැගි පසුබිමක තෙල් ආනයනය ප්‍රායෝගිකව නොකළ හැකි තැනට පත්වනු ඇත. කෝවිඩ් සමයේ ද එය උපරිම ලෙස ගියේ ඩොලර් 140ට ය.

තවත් අර්බුදයකට අපට මුහුණ දීමට සිදුවනු ඇත. ඒ මැදපෙරදිග සේවයේ නියුතු ශ්‍රමිකයන්ට රැකියා අහිමිවීම් වැනි අවදානම් ය. ඉන් පෞද්ගලිකව එම සේවකයන්ටද පොදුවේ රටට ද ප්‍රතිවිපාක විඳීමට සිදුවන්නේ ලංකාවට එන ඩොලර් ප්‍රමාණය තවදුරටත් සීමාවීමෙනි.

මේ සියලු‍ තත්ව සලකා බලන විට අප මේ කල් ගෙවමින් සිටින්නේ මේතාක් නොවූ විරූ අර්බුදයකට වැටෙන්නට ඔන්න මෙන්න කියා තිබෙන තැනක ය. එසේම, මේ ගැන අවධානයෙන් සිට ඊට භෞතිකව මෙන්ම මානසිකව ද සූදානම් විය යුතු මොහොතක ය.

(***)



අදහස් (2)

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටේද?

randil dunuwille Saturday, 21 June 2025 02:05 PM

ලොව පහළ වූ සියලුම ශාස්තෘෘන් වහන්සේලාගේ සහ නොපෙනෙන දෙවිවරුන්ගේ ආනුභාවයෙන් රුදුරු යුද ගිනි නිවේවා..!

:       0       5

chandima Tuesday, 24 June 2025 08:24 AM

දැන් සංචාරකයෝ දිහා බලන් ඉන්නේ නැතිව යුද්ධයට ඕන කරන දේවල් හදලා පැටෙව්වනම් ඔන්න යුද්ධෙනුත් ගාණක් හොයා ගන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 286 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 70 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 247 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site