IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


විශ්‍රාමිකයන්ගේ කඳුළු කතාව

රාජ්‍ය සේවයට ඇතුළු වන සියලු‍ දෙනාගේ අරමුණ අවසාන කාලය විශ්‍රාම වැටුපක් ලබමින් කිසිවකුට බරක් නොවී ජීවත් වීමය. රාජකාරිය උදෙසා අපරිමිත කැපකිරීම් සිදුකළ එවැනි නිලධාරීන් විසිදහසක් පමණ වාර්ෂිකව විශ්‍රාම ගනිති. විශ්‍රාම වැටුප් ලබාදීමේ මූලික තේමාව වන්නේ ‘‘තෘප්තිමත් විශ්‍රාම ප්‍රජාවක්’’ යන්නයි. එහෙත් විශ්‍රාමිකයන්ට සැබෑම විශ්‍රාම සුව විඳීමට හැකි වී තිබේ දැයි යන්න ගැටලු‍වකි.

තමාට හිමි විශ්‍රාම වැටුප සකස් කර ගැනීමට විශ්‍රාමිකයන්ට රාජ්‍ය ආයතනවල කල්මැරීමට සිදුව ඇත. එසේම අහිමි වූ වැටුප යළි සක්‍රිය කර ගැනීමට බොහෝ කාලයක් බලා සිටීමට ද සිදු වේ. පවතින ආර්ථික ගැටලු‍ මධ්‍යයේ සහනයක් අපේක්ෂාවෙන් සිටින එවැනි විශ්‍රාමිකයන් දහස් ගණනකි. විශ්‍රාමික දිවිය සැහැල්ලු‍වෙන් ගත කිරීම විශ්‍රාමිකයන්ගේ අරමුණ වුවත් ඔවුන්ගේ විශ්‍රාම වැටුප නිසි පරිදි හිමි නොවීම හේතුවෙන් විශ්‍රාමිකයන් අපහසුතාවට ලක්ව ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ විශ්‍රාමිකයන්ගේ හිමිකම් සුරකීමේ ජාතික සංවිධානයේ ප්‍රධාන ලේකම් සරත් ලාල් පෙරේරා මහතා:

ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එනම් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් ලක්ෂ 30 කට අසන්න පිරිසක් සිටිනවා. ඒ අය අතරින් රජ්‍ය සේවයේ නියළී විශ්‍රාම ගත් පිරිස 700500 පමණ වෙනවා. මොවුන්ගෙන් බහුතරය යම් යම් වූ අසාධරණකම්වලට මුහුණ පෑ අය. පෞද්ගලික අංශයේ විශ්‍රාමිකයන් සඳහා ලැබෙන සේවක අර්ථ සාධක අරමුදල ලැබෙනවා. රාජ්‍ය සේවයේ වීශ්‍රාමිකයන් හට මාස පතා විශ්‍රාම වැටුපක් ලැබෙන අතර ඊට අමතරව සේවා පාරිතෝෂිත මුදලක් ලැබේ. රාජ්‍ය සේවක විශ්‍රාමිකයන් මුහුණපානු ලබන ගැටලු‍ 12ක්. ඒ අතරින් ප්‍රධාන ගැටලු 05 ක් තිබෙනවා.

රජයේ මෙන්ම පෞද්ගලික විශ්‍රාමිකයන් එම මුදල් බැංකුවක ස්ථාවර තැන්පතුවක තැන්පත් කර ලැබෙන පොලී මුදල මගින් ජීවත් වෙන්නේ. එලෙස පොලී මුදලින් ජීවත් වූ විශ්‍රාමිකයන් විශාල පිරිසක් විශාල ගැටලු‍වකට පසුගිය දිනවල දී මුහුණ පෑවා. එනම් පසුගිය වසරවල ස්ථාවර තැන්පතු සඳහා ලබාදුන් පොලිය සියයට 15 සිට සියයට 8% දක්වා අඩු වුණා. අඩු වූ පසුව ලැබෙන පොලී මුදලටත් සියයට 5ක බදු මුදලක් අය කෙරුණා. මෙම හේතුව නිසා විශ්‍රාමිකයන් මහත් වූ ආර්ථික අර්බුධයකට මුහුණ පෑවා.

 2016 වසරේ සිට 2019 වසර දක්වා විශ්‍රාම ලැබූ පුද්ගලයන් එක් ලක්ෂ පනස් දහසක් (150000) කට විශ්‍රාම ගැනීමේ දී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මගින් ප්‍රදාන පත්‍රයක් ලබා දෙනවා. එම ප්‍රදාන පත්‍රය අවසානයේ සටහන් කර ඇත්තේ 2020 ජනවාරි 1 වන දා සිට ගෙවිය යුතු විශ්‍රාම වැටුප යනුවෙනි. එය පසුගිය ආණ්ඩුව අත්හිටෙව්වා. එම අත් හිටුවීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම, විරෝධතා දැක්වීම්, උද්ඝෝෂණය කිරීම් සිදු කළ ද කිසිදු විසඳුමක් ලැබී නෑ.

1997 දී වී.සී වැටුප් කොමිසම මගින් වැටුප් වැඩි කිරීමේ දී ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ට බරපතළ අසාධාරණයකට මුහුණ දීමට සිදු වුණා. විශ්‍රාමගත් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ට 1997.2.7 යන චක්‍රලේඛය පදනම් කර ගනිමින් විශ්‍රාම වැටුප් විසමතාවක් ඇති වුණා. 1997 සිට විවිධ නීතිමය ක්‍රියාමර්ග, උද්ඝෝෂණ සිදු කළා. එහි ප්‍රතිඵලයක් ලෙස 2022 ජනවාරි 1 එයට විසඳුමක් ලබා දුන්නා. ඒත් එම විසඳුම වලංගු වූයේ 2022 සිට විශ්‍රාම ලබා ගන්නා අයට පමණි. 1997 සිට 2022 දෙසැම්බර් දක්වා විශ්‍රාම ගත් අය සඳහා ඒ විසමතාව ඉවත් කළේ නෑ.

රාජ්‍ය සේවයේ වයස අවුරුදු 45න් පසු පත්වීම් ලැබූ 15000 ක් පමණ විශ්‍රාමිකයන් සිටිනවා. එනම් රාජ්‍ය සේවයේ ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීම් වයස අවුරුදු 45 පසු වූ අයට ලබාදීම සිදු කර තිබෙනවා. ස්ථාවර මෙන්ම විශ්‍රාම වැටුප් සහිත බව සඳහන් වූ පත්වීම් ලිපියක් ද ඔවුන් සතුව තිබෙනවා. රාජ්‍ය සේවය තුළ පවතින නීතියක් වන්නේ වයස අවුරුදු 45 ඉකුත් වී රාජ්‍ය සේවයට බැඳුණු අය සඳහා විශ්‍රාම වැටුපක් හිමි නොවන බවයි. ඒත් එම සේවකයන් විශ්‍රාම වැටුපක් බලාපොරොත්තුවෙන් අවුරුදු 15 ත් 20 ත් අතර කාලයක් රාජ්‍ය සේවයේ යෙදෙනවා. පත්වීම ලිපියේ පවා පැහැදිලිව විශ්‍රාම වැටුපක් හිමි බවට සඳහන් වුවද ඔවුන්ට විශ්‍රාම වැටුපක් හිමි වන්නේ නෑ.

රජයේ විශ්‍රාම ගිය අය හත් ලක්ෂ අට දහසක් පමණ සිටිනවා. මෙම පිරිස කොටස් දෙකකට වෙන් කර තිබෙනවා. එනම් 2016 ට පෙර විශ්‍රාම ගිය සහ පසු විශ්‍රාම ගිය අය ලෙස. 2016 පසුව විශ්‍රාම ගිය අය සඳහා විශ්‍රාම වැටුපෙන් රුපියල් දෙසීයක මුදලක් ලබාගෙන අග්‍රහාර රක්ෂණ ක්‍රමය මගින් ප්‍රතිලාභ ගෙවනු ලබනවා. 2016 පෙර විශ්‍රාම ගිය විශ්‍රාමිකයෝ ලක්ෂ පහක පමණ පිරිසට එලෙස රුපියල් දෙසීයක් ලබා ගනිමින් අග්‍රහාර ප්‍රතිලාභය ලබා නොදීම සිදු වෙනවා. එය ගැටලු‍වක්.

මෙම ගැටලු‍ 5 ගැන අපි සංගමයක් ලෙස ආණ්ඩුව දැනුවත් කරලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඉක්මන් විසඳුමක් ලැබෙයි කියලා. විශ්‍රාමිකයන් කියන්නේ දවසින් දවස වියපත් වෙන අය. විශ්‍රාමිකයන්ගේ ප්‍රශ්න කල් දාන්න බෑ. ඉක්මනින් විසඳන්න ඕන. විවිධ හේතු නිසා විශ්‍රාම වැටුප් හිමි නොවූ අය පනස් හතර දහසක් (54000) පමණ ඉන්නවා. මෙම ගැටලු‍වට විශ්‍රාම අටුප් දෙපාර්තමේන්තුවේ අකාර්යෂමතාව, ආයතනික බලපෑම් සහ විශ්‍රාමිකයන්ගේ දුර්වලතා ද බලපානවා.

විශ්‍රාම ගිය අයගෙන් බොහෝ අය විශ්‍රාම වැටුප බැංකුවේ ඇපේට තියලා ලෝන් ගත්ත අය. විශ්‍රාමිකයන්ට ලක්ෂ 15 සිට 30 දක්වා විශ්‍රාම වැටුප අනුව ණය ලබා ගන්න පුලු‍වන්. එහෙම ණය ලබා ගත්ත අය මුහුණ දෙන ගැටලු‍වක් තමයි පසුගිය කාලයේ තිබූ ආර්ථික අර්බුදයෙන් පොලී අනුපාතය වැඩි කිරීම. ඒ වගේම මාසික වාරිකයත් වැඩි කරලා. ඒ නිසා ණය ලබාගත් විශ්‍රාමිකයන් විශාල ලෙස අර්බුදයන්ට මුහුණ දී ඇත.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ්‍ය් සහ විශ්‍රාමික වැටුප් දෙපාර්තමේන්තුව යන ආයතන තමයි විශ්‍රාමිකයන් වෙනුවෙන් වගකිවයුතු ආයතන. මේ ආයතන දෙකේම පරිපාලනය අකාර්යක්ෂමයි වගේම දුර්වලයි. විශ්‍රාමිකයකුට යම් ගැටලු‍වක් වූ විට එය දන්වමින් ලිඛිතව දැනුවත් කළාම දින 7 ක් ඇතුළත පිළිතුරු ලිපියක් එවන්න ඕන. ඒත් මාස ගණනක් යනකන් පිළිතුරු ලිපියන් එවන්නේ නෑ. විශ්‍රාම ගියාම විශ්‍රාම වැටුප් ලබා ගන්න මාස 6 ත් අවුරුද්දත් අතර කාලයක් යනවා. එතකොට ඒ කාලය තුළ කොහොම ද විශ්‍රාමිකයන් ජීවත් වෙන්නෙ කියන ගැටලු‍ව තියනවා. ඒ වගේම විශ්‍රාමිකයන්ට ලබාදෙන සේවා පාරිතෝෂිතය පවතින නීති රෙගුලාසිවලට අනුව විශ්‍රාම ලබා මාසයකින් ගෙවන්න ඕන. ඒත් පසුගිය කාලේ එම සේවා පාරිතෝෂිතය ගෙවන්න අවුරුද්දක් වගෙ කල් ගියා. ඒකෙනුත් විශ්‍රාමිකයන් පීඩා වින්දා. මෙම ගැටලු‍වලට විසඳුම් ලබා දෙන්න.

විශ්‍රාමික ගුරුවරියක් වූ ග්‍රේස් වසන්ති පැට්‍රික් බාලරාජා මහත්මිය දැක්වූයේ මෙවන් අදහසකි.

මම උපාධිධාරී ගුරුවරියක මුලින්ම මම පෞද්ගලික පාසලක ගුරුවරියක් ලෙසයි සේවය කළේ. 2007.02.07 නිකුත් කළ ගැසට් එකට අනුව උපාධිධාරින්ට රජයේ ගුරුවෘත්තීය සඳහා ඇතුළත් වීමට හැකියාව තිබ්බා. ගැසට් එකට අනුව ගුරු වෘත්තිය සඳහා ඉල්ලු‍ම් කළ හැකි උපරිම වයස මට්ටම වූයේ 2007 මාර්තු මස 7 දිනට උපරිම වයස 45 විය යුතුයි යන්න යි. ඒ වෙනකොට මගේ වයස එතකොට 43 යි. ඒ නිසා මට ඉල්ලු‍ම් කිරීමේ හැකියාව තිබුණා. මම ගුරු විභාගය ලිව්වා. මම විභාගෙන් පාස් වුණා. 2008 දෙසැම්බර් මස සම්මුඛ පරීක්ෂණය කොළඹ පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, රට තුළ පැවති යුදමය වාතාවරණය නිසා කොළඹ යාමට හැකියාවක් තිබුණෙ නෑ. පසුව යාපනයේ දී අපි සම්මුඛ සාකච්ඡාවට ගත්තා. 2009 මැයි 1 පත්වීම් ලැබුණා.

ගැසට් එකට අනුව අපගේ පත්වීමට විශ්‍රාම වැටුපක් හිමි බව සඳහන් වුණා. අපේ පත්වීමේ ලිපියෙත් විශ්‍රාමික වැටුප හිමි බවට සඳහන් වුණා. මට පත්වීම ලැබුණේ මන්නාරම පාසලකට. මම වසර 15 ක් සේවය කළා. 2023 දී වයස අවුරුදු 60 න් මම විශ්‍රාම ගත්තා. පසුව මම විශ්‍රාම වැටුප් ලබා ගැනීමට අවශ්‍ය ලියකිවිලි සකස් කරලා වගකිවයුතු ස්ථානවලට යොමු කළා. ඒත් එම ලියකියවිලි අවලංගු වුණා. අවලංගු වෙන්න හේතුව වුණේ මට පත්වීම ලැබෙද්දී මගේ වයස අවුරුදු 45 යි, මාස 9 ක් වීම. මම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට ආදි වගකිව යුතු ආයතනවලට මේ ප්‍රශ්නේ යොමු කළා. අගමැතිට පවා ප්‍රශ්නය යොමු කළා. ඒත් පිළිතුරු ලැබුණේ නෑ. මම වයස අවුරුදු 43 න් ගුරු වෘත්තියට ඉල්ලු‍ම කළේ. සම්මුඛ පරීක්ෂණයේදීත් උප්පැන්න සහතික ලබා ගත්තා. මගේ වයස ගුරු සේවයට ගැටලු‍වක් නම් ඒ අවස්ථාවෙ දී ඒක දැනුවත් කරන්න තිබ්බා. මම යාපනේ ඉඳලා මන්නාරමට ගිහින් අවුරුදු 15 ක් සේවයක් කළා. දැන් විශ්‍රාම වැටුප් නොදී ඉඳීම සාධාරණ නෑ. මට මේ වෙනකන් කිසිම විශ්‍රාම වැටුපක් සහ සේවා පාරිතෝෂිතයක්  ලැබිලා නෑ.

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වැලිසර ළය රෝහලේ සේවය කළ විශ්‍රාමික කේ. ජී. හේමමාලා මහත්මිය මෙසේ අදහස් දැක්වීය.

මම 2018 විශ්‍රාම ගත්තේ. 2016 අවුරුද්දේ හිටපු රජය අපේ මූලික වැටුපට යම් දීමනාවක් එකතු කළා. එම දීමනාව වැටුපට එකතු කළේ කොටස් වශයෙන්. එය 2016 සිට 2020 වසර දක්වා කොටස් වශයෙන් එකතු කරන බවට රජයෙන් කිව්වා. 2016 ඉඳලා 2018 වෙනකන් මටත් ඒ දීමනාව එකතු වුණා. හැබැයි මම 2018 විශ්‍රාම ගත්තට පස්සේ මට ඒ ඉතිරි දීමනාව එකතු වුණේ නෑ. හිමිකම් පත්‍රයට අනුව 2020 01.01 වන දිනට හිමිවිය යුතු වැටුප යනුවෙන් සඳහන් කර තිබුණත් එකවරම චක්‍ර ලේඛයක් ගහලා ඒ දීමනාව නැවැත්තුවා ඊළඟට ආපු රජය. 2020 01.01 ඉඳන් අපිට ඒ දීමනාව හිමිවුණේ නෑ. 2016 විශ්‍රාම ගිය අයට 2016 ඉදන් 2020 වෙනකම්ම එම දීමනාව නෑ. 2017 විශ්‍රාම ගිය අයට 2017 ඉදන් 2020 වෙනක් නෑ. 2018 විශ්‍රාම ගිය අයට 2018 ඉදන් 2020 වෙනකන් නෑ. 2019 විශ්‍රාම ගිය අයට 2019, 2020 නෑ. ඒත් 2020 විශ්‍රාම ගිය අයට 10000 දීමනාවම ලැබුණා. රුපියල් 10000 ක් 2016 ඉඳන් 2020 වෙනකන් කොටස් වශයෙන් ගෙවන්න තමයි හිමිකම් පත්‍රයට අනුව තිබ්බේ. මගේ මූලික වැටුපට සම්පූර්ණම 10000 ම එකතු වෙන්න 2020 වෙනකන් ගෙවීම කරන්න ඕන. ඒත් 2018 න් පස්සේ මට ඒ දීමනාව ලැබුණේ නැති නිසා මගේ මූලික වැටුපට රුපියල් 3000 යි එකතු වුණේ. මට රුපියල් 7000 ක මුදලක් මාස 24 ක ලැබුණේ නෑ. එතකොට ඔක්කොම රුපියල් 168000 ක හිඟයක් තියනව මට. එක එක වසරවල විශ්‍රාම ගිය අයට එක එක ගණන් ගන්න තියනවා. 2016 විශ්‍රාම ගිය අයට අවුරුදු 5 ක සල්ලි ගන්න තියනවා. අපි මේකට විසඳුමක් ඉල්ලලා උද්ඝෝෂණ කළා. නීතිමය ක්‍රියාමාර්ග ගත්තා. හැබැයි අද වෙනකන් අපිට කිසිම සාධාරණයක් වෙලා නෑ.

බලංගොඩ මහජන පුස්තකාලයේ විශ්‍රාමික වැඩබලන පුස්තකාලායාධි පතිනියගේ අදහස:මෙසේය

මම බලංගොඩ මහජන පුස්තකාලයේ පුස්තකාල සහයක තනතුරට සේවයට එක්වුණේ. විශ්‍රාම යන විට වැඩබලන පුස්තකාලයාධිපති තනතුර හිටියේ. මම විශ්‍රාම ගත්තේ 2021 වසරේ. දැන් අවුරුදු 3 ක් වෙනවා විශ්‍රාම ගිහින්. හැබැයි තාම මගේ විශ්‍රාම වැටුප ලැබුණේ නෑ. ඒකට හේතුව තමයි මාව සේවයේ ස්ථිර කළේ වයස අවුරුදු 45 ඉක්මවලා. මම සේවයට බැඳෙද්දී අවුරුදු 38 යි. අවුරුදු 10 කට පස්සේ මාව ස්ථීර කළේ. මාව ස්ථිර වෙද්දී මාගේ වයස අවුරුදු 48 ක්. එතකොට මගේ සම්පූර්ණ සේවා කාලය අවුරුදු 21 ක්. අවුරුදු 45 ට පසු රාජ්‍ය සේවයට බැඳෙන අයට විශ්‍රාම වැටුප හිමි නොවේ යන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට අනුව මට විශ්‍රාම වැටුප හම්බෙන්නේ නෑ. අපි දන්නේ නෑ ඔය වගේ චක්‍ර ලේඛ තියනවා කියලා. අපිව දැනුවත් කළෙත් නෑ. එහෙම ගැටලු‍වක් තියනවා නම් අපිව ස්ථිර නොකර ඉන්න තිබ්බා. අඩුම ගානේ දැනුවත් කරන්න හරි තිබ්බා. එතකොට අපිට අර්ථසාධකය හරි හදාගන්නවා. දැන් ඒ මොකුත් නෑ.

මගේ සේවා කාලය තුළ මම මගේ උපරිමයෙන් වැඩ කරපු කෙනෙක්. මම අවශ්‍ය කරන සුදුසුකම් සපුරාගන්න සල්ලි වියදම් කරලා පාඨමාලා හදාරලා මේ තනතුරට ආවේ. මගේ සේවා කාලය තුළ ලංකාවේ හොඳම පුස්තකාලය බවට බලංගොඩ පුස්තකාලය පත් කිරීමටත් කැපවෙලා වැඩ කළා. ඒත් ඒ කරපු සේවාව රජයෙන් ශත පහකටවත් ගණන් ගත්තේ නෑ. මම හොඳට සේවය කරපු සේවකයෙක් නිසා විශ්‍රාම යද්දි ආයතනයෙන් ප්‍රශංසා සහතික තෑගි ලැබුණා. ඒ මොන දේ ලැබුණත් මට විශ්‍රාම වැටුප ලැබුණේ නෑ.

 විශ්‍රාම ගිහින් අවුරුදු 3ක් වුණත් අද වෙනකන් මට සතයක්වත් ලැබිලා නෑ. මට කිසිම ආදායම් මාර්ගයක් නැති නිසා ජීවත් වෙන්න විදියක් නෑ. මම හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ. මගේ ස්වාමියා 2022 අප්‍රේල් මාසේදී මියගියා. මට දරුවෝ නෑ. ඒ නිසා මට සලකන්න කෙනෙක් නෑ. මට කියල තියෙන්නේ හදාගත්ත ගේ විතරයි. ඒ ඇරෙන්න වෙන කිසිම ආදායම් මාර්ගයක් මට නෑ. සැමියා මිය ගියාම දරුවන් නොමැති නම් වැන්දඹු අනත් දරු වන්දිය ගෙවනවා. මට ඒක ලැබුණෙත් නෑ. මම මගේ සහෝදර සහෝදරියන්ගේ ළමයින්ගේ ගෙවල්වල ඉන්නේ. ඒ ළමයි දෙන දේකින් තමයි මම ජීවත් වෙන්නේ. සතියක් දෙකක් එක ගෙදරක ඉන්නවා. තව සතියක් තව ගෙදරක ඉන්නවා. ඔය වගේ තමයි මගේ ජීවිතේ ගෙවෙන්නේ. මට හැමදාම ඒ දරුවන්ට කරදර කරන්නත් බෑ.

මම මේ ගැටලු‍ව ගැන පුළුවන් හැම තැනටම වාර්තා කාළා. ජනාධිපතිට වාර්තා කළා. මානව හිමිකම් කොමිෂන් සභාවට ගියා, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ්‍යට ගියා. මට තව යන්න තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට. ඒත් මට ඒකට සල්ලි නෑ. මම මේ මොන දේ කළත් මට කිසිම සාධාරණයක් අද වෙනකන් ඉටු වෙලා නෑ. රත්නපුර පළාත් සභාව තමයි මේකට වගකියන්න ඕන. අපිව ස්ථිර කරන්න කියල ආපු ලියුම්වල සේවයේ යෙදී සිටියදී අවුරුදු 45 ඉක්ම වූවන්ට චක්‍රලේඛය බල නොපාන බව සඳහන් වුණා. ඒත් දැන් පළාත් සභාව කියන්නේ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය පළාත් සභාව මගින් අරන් නැති නිසා සල්ලි වෙන් කරන්න බෑ කියලා. අපිට ඒකට කරන්න දෙයක් නෑ. පළාත් සභාව වගකීමෙන් තොරව වැඩ කිරීම තමයි මේකට හේතුව. මනුස්සයෙක් විශ්‍රාම ගන්නේ වියපත් වුණාම. මමත් අවුරුදු 21 ක් රාජ්‍ය සේවය කරලා අද මේ විදියට අසරණ වෙලා ඉන්නේ. මට හරිම වේදනයි. රාජ්‍ය සේවය ගැන කලකිරිලා ඉන්නේ.

විශ්‍රාම ගනු ලබන්නේ තවත් රැකියාවක් කර ජීවත් වීමට හැකි අය නොව වයස අවුරුදු 60 ඉක්ම වූවන් ය. ඒත් මෙරට රාජ්‍ය සේවකයන් වසර ගණනක් රාජ්‍ය සේවය කර විශ්‍රාම ගිය පසුවද තවත් රැකියාවක් කර මුදල් ඉපයීමට සිදු වී තිබෙන්නේ නිසි පරිදි විශ්‍රාම වැටුප් ක්‍රියාවලිය ක්‍රියාත්මක නොවන නිසාය. මෙය මෙරට විශ්‍රාමිකයන් බහුතරයක් මුහුණ දෙන ගැටලු‍වක් බවට පත් වී තිබේ. විශ්‍රාමිකයන්ගේ හිමිකම් සුරකීමේ ජාතික සංවිධානය වැනි සංවිධාන මේ වෙනුවෙන් අරගල කළද තවමත් නිසි විශ්‍රාම සුවය ලැබිය නොහැකි විශ්‍රාමිකයන් සිටී. විශ්‍රාමිකයන්ගේ ගැටලු‍ යනු කල් මැරීමෙන් විසඳුම් ලබා දිය හැකි ගැටලු‍ නොවන නිසා ඉක්මන් විසඳුම් ලබා දීම බලධාරීන්ගේ වගකීමකි.

(*** ශෂිකා අබේරත්න)



අදහස් (1)

විශ්‍රාමිකයන්ගේ කඳුළු කතාව

W.s. jayasiri Wednesday, 08 January 2025 09:24 AM

හැකි ඉක්මණින් කොටුවේ දුම්රිය ස්ථානය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් සංවිධානය කරලා ජනාධිපති ලේකම් කාර්යාලය තෙක් යමු

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 33 0

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 24 0

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 45 0

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 12 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 441 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


ඉන්දු - ලංකා ගිවිසුම් රටටත් කියනු
2025 අප්‍රේල් මස 30 231 0

නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 352 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 92 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1116 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site