IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ව්‍යාපාරික පුතා පැහැරගෙන කෝටි දෙකක් ඉල්ලූ කප්පම්කරුවන් අල්ලාගත් හැටි

21_PAGE_16_T

 

මොහොමඞ් ආසික්ගේ පියා වාරියපොළ නගරයේ තොග වෙළඳ සලක් පවත්වාගෙන යන ධනවත් ව්‍යාපාරිකයෙකි.


පියාගේ තොග වෙළඳ සලේ වැඩවලට ආසික් තරුණයා සහ ඔහුගේ අයියා මොහොමඞ් ඉජාස් ද උදව් පදව් කරති.


වෙළෙඳසැලේ සේවය කිරීමට සේවකයෝ දෙදෙනෙක් ද සිටිති. මේ සේවකයන් දෙදෙනාට දවල්ට රෑට දෙකටම කෑම-බීම ලබාදෙන්නේ මොහොමඞ් ආසික්ගේ ගෙදරින්ය.


සේවකයන් දෙදෙනාට රෑට කෑම ගේන්න හැමදාමත් පා පැදියෙන් යන්නේ ආසික් තරුණයාය. ආසික් තරුණයාගේ ගෙදර තියෙන්නේ වාරියපොළ නගරයේ සිට මීටර් 350ක පමණ දුරකිනි. එය පිහිටා ඇත්තේ මැල්වත්ත පාරේ 3 වැනි පටුමගේය.


පසුගිය 12 වැනිදා රෑ ද ආසික් තරුණයා පාපැදියේ නැගී ගෙදර බලා පිටත්ව ගියේ සේවකයන් දෙන්නාට රෑට කෑම ගෙනවිත් දෙන්නටය.


මැල්වත්ත පාරේ තුන්වැනි පටුමගේ පිහිටි නිවසක පදිංචිව ඉන්නා කෙනෙකුට කිසියම් කෙඳිරිලි හඬක් ඇසී ගෙයින් එළියට බැස ඇත්තේ ඒ කෙඳිරිලි හඬ මොකක් ද කියා විපරම් කර බැලීමටය.


සුදු පාට හයිබි්‍රඞ් වර්ගයේ කාර් එකක් වේගයෙන් වාරියපොළ ටවුන් එක පැත්තට යනවා ඔහු දැක තිබේ.


තුන්වැනි පටුමගේ පා පැදියක් පෙරළී තිබෙන අයුරුත් සෙරෙප්පු ජෝඩුවක් ඒ ළඟම වැටී තිබෙන අයුරුත් දුටු විගස මෙතන මොකක් හෝ භයානක දෙයක් සිදුවී ඇති බව ඔහුට තේරුම් ගොස් ඇත.


මේ බයිසිකලයෙන් නිතර යන්නේ වාරියපොල නිව් සිටි ස්ටෝර්ස් මුදලාලිගේ පුතා ආසික් බව හඳුනාගැනීමට ඔහුට වැඩි වෙලාවක් ගතවී නොමැත. කෙඳිරිලි හඬ මොකක්ද කියා විපරම් කර බැලීමට ගෙදරින් එළියට ආ කෙනා ඇසූ දුටු සියල්ල අනෙක් අයටද කියා සිටියේ ආසික්ට මොකක් හෝ අනතුරක් සිදුවී ඇති බව ඉවෙන් මෙන් දැනී ගිය නිසාය.

 

fgj 

 


මේ වනවිට වෙලාව රෑ 8.15 පමණ වී තිබිණි. මැල්වත්ත පාරේ 3 වැනි පටුමගේ අය කඩි ගුලක් සේ ඇවිස්සී ගියේ මේ ආරංචිය සැලවීමත් සමඟය.
සේවකයන් දෙදෙනාට රෑට කන්න කෑම ගේන්න ගෙදර ගිය පුතා තාමත් පරක්කු මොකද කියා ආසික්ගේ තාත්තා සහ අයියා ඉජාස් සිටියේ තරමක චකිතයකිනි.


ආසික්ගේ තාත්තාගේ ජංගම දුරකථනයට කෝල් එකක් ආවේ ඔහු පුතාගේ ජංගම දුරකථනයට කතාකර මොකද පරක්කු කියා දැන ගැනීමට සූදානම් වනවාත් එක්කම වගේය.


ෆෝන් එකේ නම්බර් එක පුතාගේ වුණත් කතා කළේ වෙනත් කෙනෙක් බව නිව් සිටි මුදලාලිට තේරුම් ගියේය.


“මුදලාලි කිසිම දෙයකට බයවෙන්න එපා. පුතා කිසිම කරදරයක් නැතිව අපි ළඟ ඉන්නවා. පුතාව පණපිටින් දකින්න ඕනෑනම් අපිට කෝටි දෙකක් ඕනෑ. අපි ඉල්ලන ගාණ නොදුන්නොත් හරි මේ ගැන පොලිසියට හරි කියලා තිබුණොත් පුතාගේ ජීවිතය ගැන තියෙන ආශාව අතහැර ගන්නවා. සල්ලි ගෙනත් දෙන්න ඕනෑ තැන අපි පස්සේ කියන්නම්.


පුතාගේම හෑන්ඞ් ෆෝන් එකෙන් කතා කළ කෙනා නිව් සිටි මුදලාලිට පැවසුවේ තර්ජනාත්මක ස්වරූපයකිනි.


මේ කතාව අසා මුදලාලි භය බිරාන්ත වී ගියේය. ඔහු ඉජාස් පුතාට දුරකතනය දුන්නේ එතැනින් එහාට වචනයක්වත් කතා කිරීමට තරම් හැකියාවක් නොතිබූ නිසාය.


“උඹේ මල්ලි අපි ළඟ ඉන්නවා. මල්ලිව ආපහු පණ පිටින් ඕනෑනම් කෝටි 02ක් අපිට දීපං” දුරකථනයෙන් කතා කළ පුද්ගලයා පැවසීය.


“මට මල්ලිත් එක්ක කතා කරන්න දෙන්න” කියා ඉජාස් කී විට දුරකථනයෙන් කතා කළ පුද්ගලයා ආසික්ගේ අතට දුර කථනය ලබා දී ඇත.


“අනේ අයියේ කවුදෝ කට්ටියක් මාව පැහැරගෙන ඇවිත් ගෙදරක හිර කරගෙන ඉන්නවා. ඒ කොහේද කියන්න දන්නේ නැහැ”


ආසික්ට කතා කරන්න ලැබුණේ ඒ වචන කිහිපය පමණකි. කතාකළ පුද්ගලයා දුරකථනය ආසික්ගෙන් උදුරාගත් බවක් ඉජාස්ට තේරුම් ගියේය.


පිය - පුතු දෙදෙනාගේම හිස ගිනිගත්තේ මේ කතාව ඇසීමෙනි.


නිව් සිටි මුදලාලිට එකවරම මතකයට නැගී ඇත්තේ ජනාධිපති කාර්යාලයේ සේවය කරන හිතවතෙකි.


මුදලාලි ඒ මොහොතේම ජනාධිපති ලේකම් කාර්යාලයේ වැඩ කරන තම හිතවතාට තමන්ට වූ කරදරය ගැන අකුරක් නෑර කියා ඇත්තේ  මෙයට කුමක් කළ යුතු දැයි දැන ගැනීමටය.


ජනාධිපති ලේකම් කාර්යාලයේ වැඩ කරන මුදලාලිගේ හිතවතා කුරුණෑගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න මහතාගේ ජංගම දුරකථන අංකය ලබාදී කියා ඇත්තේ මේ දැන්ම ඔහුට කතා කරන ලෙස පවසමිනි.


ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සේනාරත්න මහතාට මේ සිද්ධිය ගැන මුදලාලි දැනුම් දුන් පසු ඔහු  සිය උසස් පොලිස් නිලධාරීන් දැනුම්වත් කර වාරියපොල බලා පිටත්ව යාමය.


ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කියනතුරු වාරියපොළ පොලිසියේ නිලධාරීන් මේ ගැන හාංකවිසියක්වත් දැන සිටියේ නැත.


වාරියපොළ පොලිසියට ද මේ ගැන දන්වා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා නිව් සිටි මුදලාලි හමුවට ගියේ ඉදිරි පරීක්ෂණ මෙහෙයවීම සඳහාය.


මුලින්ම පවුලේ අයගේ බිය තුරන් කිරීමට පියවර ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පුතා පණපිටින් බේරාගන්නා බවට සහතිකයක් දුන්නේය.


කෝටි දෙකේ කප්පම් මුදල දෙනකම් අපි කොල්ලාව නිදහස් කරන්නේ නැහැ. කප්පම්කරුවෙක් කියා සිටි අවස්ථාවේ ඉජාස් කියා සිටියේ එපමණ මුදලක් මේ තරම් ඉක්මනට සොයා ගත නොහැකි බවය.


සල්ලි හොයාගෙන මල්ලි බේරාගන්නකම් අපේ වියදමට ලක්ෂ 2ක් විතර ඕනා. උඹේ මල්ලිට කන්න දෙන්න වියදම් කරන්නවත් අපේ ළඟ කීයක්වත් නැහැ.


කප්පම්කරුවෙක් කීවේය.


සල්ලිවලින් දැනට අපි ළඟ තියෙන්නේ ලක්ෂ 1 1/2ක් විතරයි. ඉතිරි ඒවාට රත්තරන් බඩු ටිකක් දෙන්නම්. සල්ලියි රත්තරන් බඩු ටිකයි අරගෙන එන්න ඕනෑ තැන කියන්න.


ඉජාස් පවසනවිට කප්පම්කරු කියා ඇත්තේ ඒවා රැගෙන ඔහුට පමණක් තනියම මහකෙළිය ප්‍රදේශයේ ස්ථානයකට එන ලෙසය.


මේ කතා බහ සියල්ල සිදුවූයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් ඉදිරිපිටදීය.


උතුරු මැද හා වයඹ පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන සහ වයඹ පළාත බාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න මහතා කප්පම් කල්ලිය කොටුකරගෙන පැහැරගත් 20 හැවිරිදි තරුණයා නිරුපද්‍රිතව මුදා ගැනීමට මෙහෙයුමක් ආරම්භ කළේ රහසිගතවය.


ඉජාස් තම සහෝදරයා මුදාගෙන ඒම සඳහා සිය කාර් එකට ගොඩවූයේ කප්පම්කරු ඉල්ලූ මුදල හා රත්තරන් බඩුද රැගෙනය.


නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාද වාරියපොල ප්‍රදේශයට පැමිණ තිබුණේ ඉදිරි පරීක්ෂණ මෙහෙයවීම සඳහාය. පරීක්ෂණ කණ්ඩායම්වලට අවශ්‍ය මග පෙන්වීම් හා උපදෙස් ලබාදීමටය.


වාරියපොළ පොලිසියේ පොලිස් කොස්තාපල් වන මිලින්ද (58135) සහ හේරත් (60949) යන මහත්වරුන් දෙන්නා ද ඉජාස් විසින් පදවාගෙන යන කාර් එකේ ඩිකියට ගොඩවී පැති දොර වසාගත්තේ අවිවලින් සන්නද්ධවය.


කොස්තාපල්වරුන් දෙන්නෙක් කාර් එකේ ඩිකියේ සැඟවී ගමන්කරන බව දැන සිටියේ ඉජාස් හා ඔහුගේ පියා වන නිව් සිටි මුදලාලි පමණකි.


ඉජාස් කාර් එක පදවාගෙන කෙළින්ම ගියේ මහකෙළිය ප්‍රදේශය බලා ය.


මහකෙළිය ප්‍රදේශයට ගියාට පසු කප්පම්කරුවන් කතාකර පවසා ඇත්තේ නැවතත් හත්අමුණ වැව ළඟට එන ලෙසය.


කප්පම්කරුවන්ගේ අණට කීකරුවෙමින් හත්අමුණ වැව ළඟට ගිය අවස්ථාවේ ඔහු නැවතත් කතාකර අණකර ඇත්තේ ආයෙත් හතමුණ ප්‍රදේශයේ තිබෙන බස් හෝල්ට් එක ළඟට ගොස් මුදල් හා රත්තරන් බඩු බෑගය තබන ලෙසය.


ඔහු නැවතත් හත්අමුණ ප්‍රදේශය බලා ගොස් කාර් එකෙන් බැස බස්හෝල්ට් එකේ මුදල් හා රන්බඩු සහිත බෑගය තැබීමට ගිය අවස්ථාවේ කාර් එකේ ඩිකියේ මෙච්චර වෙලාවක් සැඟවී සිටි කොස්තාපල්වරුන් දෙන්නා අඳුරේම එළියට පැන අසල තිබූ කාණුවකට බැස සැඟවුණේ සිය ගිනි අවි අවශ්‍ය වුණොත් පාවිච්චි කිරීමට සූදානම් කරගෙනය.


ඉජාස් මේ කිසිවක් නොදන්නා අයෙක් ලෙස කාර් එක පණ ගන්වාගෙන මඳ දුරක් එද්දී කප්පම්කරු කතාකර කියා ඇත්තේ කවුරුන් හෝ කෙනෙක් කාර් එකෙන් පැමිණ සැඟවී සිටින බවය.


ඒ නිසා මුදල් හා ආභරණ බෑගය රැගෙන ආපසු යන ලෙසත් කෝටි දෙකේ කප්පම් මුදල සොයාගෙන ඒ මුළු මුදල රැගෙන තාත්තාට අපි කියන තැනකට ඒමට පසුව දැනුම්දෙන බවත් කප්පම්කරු ඉජාස්ට කියා ඇත.


ඉජාස් ගැන කිසිම විශ්වාසයක් නොමැති බවද කප්පම්කරු ඔහුට පවසා ඇත්තේ හොඳ හැටි බැණ වදිමිනි.


මේ නිසා කාණුවකට බැස සැඟවී සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාට ආපසු ඒමට සිදුවූයේ තව දුරටත් එතන සැඟවී සිටීම තේරුමක් නැති නිසාය.
වාරියපොල ප්‍රදේශයේ සිට කුරුණෑගල දක්වා තැනින් තැන රාජ්‍ය බුද්ධි අංශයේ සහ පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන් යෙදවූයේ ප්‍රදේශයේ සැකකටයුතු පුද්ගලයන් සැරිසරන්නේ නම් ඔවුන් අල්ලා ගැනීම සඳහාය.


ආසික්ගේ පියාට කතා කළ කප්පම්කරු කියා ඇත්තේ කෝටි දෙකේ කප්පම් මුදල් රැගෙන සාරගම ප්‍රදේශයේ තැනට පැමිණෙන්න කියාය.


ආසික්ගේ තාත්තා කප්පම්කරු සමඟ ඒ මුදල අඩුකර ගැනීමට කතා කර ඇත.


කෝටි දෙකේ කප්පම් මුදල ලක්ෂ 120 දක්වාත් පසුව ආයෙත් කතාකර කෙසේ හෝ කප්පම් මුදල ලක්ෂ 85 දක්වා අඩු කර ගැනීමට ආසික්ගේ පියාට හැකි විණි.


ආසික්ගේ පියා මේ විදිහට කප්පම් මුදල අඩුකර ගැනීමට කතා කළේ පොලිසියේ උසස් නිලධාරීන්ගෙන් ලැබුණු උපදෙස් මතය.


කප්පම් මුදල රැගෙන මාස්පොත ප්‍රදේශයේ තැනකට පැමිණෙන ලෙස කප්පම්කරුවෙක් ආසික්ගේ පියාට දැනුම් දී තනියම මේ ගමන ආ යුතු බව කියා ඇත.


රෝගී තත්ත්වයෙන් පසුවන නිසා කාර් එක පැදගෙන ඒමට හැකියාවක් නොමැති බව කී විට රියැදුරෙකු සමග ඒමට කැමැත්ත ලබා දී තිබේ.


ආසික්ගේ සීයා නිව් සිටි මුදලාලිගේ පියා කප්පම්කරුවන් මුණගැසීම සඳහා යන අතරවාරයේ සාරගම ප්‍රදේශයේදී රෝගාතුරවී ඇති අතර පසුව ඒ ප්‍රදේශයේ තිබෙන පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට ගොස් වෛද්‍ය ප්‍රතිකාර පවා ලබා ගත්තේය.


කප්පම්කරුවෙක් නැවත කතා කර කියා ඇත්තේ ආපසු යන ලෙසය. කප්පම් මුදල රැගෙන ආ යුතු තවත් තැනක් පසුව දැනුම් දෙන බවය.


“පුතා මුදාහරින්නේ කප්පම් මුදල හරියටම තියනවාද කියා දැනගත්තාට පස්සේ. අපිට හොර නෝට්ටු දෙන්න පුළුවනි. ඒ හින්දා අපිට ඒවා සැබෑ මුදල් නෝට්ටුද කියා චෙක්කර බලාගන්නත් කාලයක් යනවා.”


ආසික්ගේ පියාට කතා කළ කප්පම්කරු එහෙම පවසා දුරකථනය විසන්ධිකර ඇත්තේ ඔහුට වචනයක්වත් කතා කිරීමට ඉඩ නොතබමිනි.


ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන මහතා නිරන්තරයෙන් සිය උසස් පොලිස් නිලධාරීන්ට කතා කරමින් පරීක්ෂණවල ප්‍රගතිය විමසමින් අවශ්‍ය උපදෙස් ලබාදුන්නේ කඩිනමින් කප්පම්කරුවන් අල්ලාගෙන පැහැරගත් තරුණයා නිරුපද්‍රිතව මුදාගැනීමේ අරමුණ ඇතිවය.


පොලිසිය ‘සුදා’ නමින් හැඳින්වෙන පුද්ගලයෙක් පසුපස පන්නන්නට පටන්ගත්තේ ඔහුට නොදැනෙන ආකාරයටය.


සුදා නමැත්තා පසුපස පොලිසිය පන්නන්නට පටන්ගත්තේ ඔහු අපරාධ කිහිපයක් සම්බන්ධ කාලයක් රිමාන්ඞ් බාරයේ පසුවී ඇප ලබා පැමිණි අයෙකු නිසා ය.


පොලිසිය සුදා ගැන පමණක් නොව ඔහු ළඟින් ඇසුරු කරන අයගේ පැටිකිරිය පවා සොයන්නට පටන්ගත්තේ තරුණයා පැහැරගෙන කප්පම් ඉල්ලන කල්ලිය ගැන මොනයම් හෝ හෝඩුවාවක් සොයා ගැනීමේ අපේක්ෂාවෙනි.


ආසික්ගේ පියාට හා ඔහුගේ තවත් පුතෙකු වන ඉජාස්ට කප්පම් මුදල් ඉල්ලා මුල සිටම කතා කර තිබුණේ ආසික්ට අයත් ජංගම දුරකථනය මගින්ය.
ඒ වගේම මුල සිට ආසික්ගේ පියා සහ අයියාට කතාකර තිබුණේද එක් කප්පම්කරුවෙකි.


මේ හේතූන් නිසා කප්පම්කරුවන් ගැන හෝඩුවාවක් සොයා ගැනීම පොලිසියට ලෙහෙසි පහසු කාර්යයක් නොවීය. ඒත් එහෙම කියා පොලිසිය නිකම් හිටියේ නැත.


සුදා කියන තැනැත්තා ගැන සොයන්නට පටන්ගත්තේ ඒ අනුවය.


සුදා නමැත්තා මේ තරුණයා පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලීමට කිසිම සම්බන්ධයක් නොමැති බව තහවුරු කරගත්තත් ඔහු සමග කිට්ටු ඇසුරක් පවත්වන අයෙකුගේ සම්බන්ධයක් තිබෙන බව පරීක්ෂණ කණ්ඩායම හෙළිකරගෙන ඔහුගේ ජංගම දුරකථන අංකයද සොයා ගත්තේය.


කුරුණෑගල මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාදී කාර් එකට පුද්ගලයෙක් ගැටී තුවාල ලබා සිටින බවට පැමිණිල්ලක් ලැබී තිබෙන බව පවසා ඒ ගැන පරීක්ෂාකර බැලීමට මාවතගම පොලිසියට කාර් එකත් අරගෙන පැමිණෙන ලෙස පවසා සිටියේ කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත ය.


අනතුරක් සම්බන්ධයෙන් එන්න කියා දැනුම් දුම් නිසා ඔහු කාර් එකේම මාවතගම පොලිස් ස්ථානයට පැමිණියේ කිසිම චකිතයකින් තොරවය.


සිය කාර් රථයට පුද්ගලයකු ගැටුණේ නොමැති බව දන්නා නිසා ඔහු පොලිසියට පැමිණීමට බියවීමට කිසිදු හේතුවක් නොමැති බවද දැන සිටියේය.


“පොලිසියට වැරදීමක් වෙලා ඇති” කියා ඔහු සිතන්නට ඇත.


මෝටර් රථයෙන් පැමිණ මාවතගම පොලිසියට පැමිණි පසු අත්අඩංගුවටගත් මොහු වාරියපොල පොලිසියට කුදලාගෙන ආවේ මෝටර් රථයත් සමඟය.
තමා පොලිසිය යෙදූ උගුලකට අසුවූ බව තේරුම් යද්දී ප්‍රමාද වැඩිය.


මෙසේ අත්අඩංගුවට ගත්තේ චානක නමැත්තෙකි.


තරුණයා පැහැරගෙන යාමට යොදාගෙන තිබුණේ චානක නමැත්තාට අයත් සුදුපාට මෙම හයිබි්‍රඞ් වර්ගයේ මෝටර් රථය බව පරීක්ෂණවලින් හෙළිවිණි.
මොහොමඞ් ආසික් නමැති තරුණයා පැහැරගෙන ගොස් ඔහු මුදාහැරීම සඳහා රුපියල් කෝටි දෙකක කප්පම් මුදලක් ඉල්ලීමට සැලසුම් කිරීමේ මහමොළකරු චානක බව පොලිසිය හෙළිකරගත්තේ ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී ය.


කප්පම් කල්ලියට නායකත්වය ලබාදී ඇතැයි කියන්නේද මේ චානක නමැත්තාය.


ඌරුබොක්ක පොලිස් වසමේ වලලියද්ද ප්‍රදේශයේ පදිංචි චානක මොරටුව විශ්වවිද්‍යාලයෙන් 2013 වසරේ ඉංජිනේරු උපාධිය ලබාගත් අයෙකි.


මීට මාස කිහිපයකට පෙර  කුරුණෑගල ප්‍රදේශයේ කාමරයක් කුලියට ගෙන එහි පදිංචිවී කොළඹ ප්‍රදේශයේ පිහිටි එක්තරා ආයතනයක් යටතේ නීතිවිරෝධී පිරමීඞ් ජාවාරමක් පවත්වාගෙන ගොස් ඇත.


මොහුගෙන් හෙළිකරගත් තොරතුරු මත ආශික් නමැති තරුණයා පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලීමට සම්බන්ධ වූ තවත් අයෙක් පොලිසිය අත්අඩංගුවටගත් අතර ජයකොඩි නමැති මොහු වැල්ලව ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක වැඩ පරීක්ෂකවරයෙකි.


මොහු වාරියපොළ පොතුවැව ප්‍රදේශයේ පදිංචි අයෙකි.


ජයකොඩි නමැත්තා පොලිස් අත්අඩංගුවට පත්වන විට ඔහුගේ බිරිඳ සිටියේ සිය තුන්වැනි දරුවා ප්‍රසූත කිරීම සඳහා රෝහල්ගතවය.


මේ දෙදෙනාගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමේදී කප්පම් ගැනීම සඳහා තරුණයා පැහැරගෙන යාමට හවුල්වූ තවත් හතර දෙනෙක් ගැන තොරතුරු අනාවරණය වී ඇත.


මේ හතර දෙනාගෙන් එක් අයෙක් මහනුවර ප්‍රදේශයේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන ගිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලබාගෙන ඇති අයෙකි.


අධ්‍යාපන ආයතනය මීට මාසයකට පමණ ඉහතදී වසා දමා ඇති අතර දිමුතු නම් මේ පුද්ගලයා පසුව මෙරට පිහිටි විදේශීය සමාගමක උසස් තනතුරක් දරන අයෙකි.


අත්අඩංගුවට ගැනීමට සොයන හතර දෙනා අතරේ සිටින තවත් අයෙක් විශ්‍රාමික ග්‍රාමනිලධාරියකුගේ පුතෙක් බවට හෙළි වී ඇත.


අත්අඩංගුවට ගත් දෙදෙනා සහ අත්අඩංගුවට ගැනීමට සොයන හතරදෙනා නීතිවිරෝධී පිරමීඞ් ජාවාරම්වලට සම්බන්ධ වූවෝ වෙති.


මොවුන්ගෙන් හතර දෙනෙක් කප්පම් ඉල්ලා සිටීමට පැහැරගෙන ගිය තරුණයාගේ පියා හොඳින් දන්නා හඳුනන අය වෙති.


මොහොමඞ් ආශික් හැම දවසකම රෑට කෑම ගෙන ඒමට ගෙදර යන බවද මොවුන් දැන සිට ඇත.


පිරමීඞ් ජාවාරමට සම්බන්ධවීම නිසා ලක්ෂ ගණනින් හතර අතේ ණයවී සිටීම නිසා ඒ ණය බරින් ගොඩඒම සඳහා චානක නමැති ඉංජිනේරු උපාධිධාරියා කප්පම් ගැනීම සඳහා ව්‍යාපාරිකයාගේ පුතා පැහැරගෙන යාම සැලසුම්කර ඒ සඳහා අනෙක් අයගේ සහාය ලබාගෙන තිබෙන බව පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී කරුණු කාරණා අනාවරණය විය.


මොහොමඞ් ආශික් තරුණයා පැහැරගෙන ගොස් කප්පම් මුදල ලබාදෙන තෙක් රඳවාගෙන සිටින්නේ මහව පොලිස් වසමේ කිරිඳිගල්ල ප්‍රදේශයේ පිහිටා තිබෙන පාළු නිවසක බව හෙළිකරගත් වාරියපොළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත බණ්ඩාර මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් ඒ ප්‍රදේශය බලා පිටත්ව ගියේ එම නිවස වැටලීම සඳහාය.


පොලිස් කණ්ඩායම කිරිඳිගල්ල ප්‍රදේශය බලා ගියේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගේ මගපෙන්වීම යටතේය.


පොලිස් කණ්ඩායම ඒ නිවස වටලා සෝදිසි කළත් කිසිවෙකු සිටියේ නැත.


කප්පම් කල්ලියේ නායකයා හා තවත් සගයෙක් පොලිසියට කොටුවූ බව දැනගත් සෙසු සගයන් ආශික් තරුණයා ද රැගෙන නිවසින් බැහැරට ගෙනගොස් තබාගෙන සිටි බව පොලිසියට පසුව දැන ගන්නට ලැබිණි.


කෙසේ වෙතත් කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගිය තරුණයා නිකවැරටිය ඇළවක ප්‍රදේශයේ අතහැර දමාගොස් සිටියදී පොලිසිය සොයාගෙන තිබුණේ පසුගිය 15 වැනිදා අලුයම් කාලයේය.


මොහු හමුවී තිබුණේ කප්පම් කල්ලිය අල්ලාගැනීමේ මෙහෙයුමට සම්බන්ධවී සිටි පොලිස් කණ්ඩායමකටය.


මොහොමඞ් ආශික් පැහැරගෙන ගොස් රඳවා තබාගෙන සිටි කිරිඳිගල්ල ප්‍රදේශයේ පාළු නිවස මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන අරුණෝදය නමැත්තාගේ මිත්තණිය කාලයක් පදිංචිව සිටි ඇයට අයත් නිවසකි.


අරුණෝදය නමැත්තා චානක සමඟ දැනට සිය මිත්තණිය පදිංචිව සිටින නිවසට ගොස් ඒ නිවසේ යතුර ඉල්ලාගෙන පැමිණ ඇත්තේ බොරුවක් කියා ඇය රවටාය.


චානක පෙන්වා ඔහු දැදුරු ඔය ව්‍යාපෘතියේ ඉංජිනේරුවරයෙක් බව කියා ඔහුට නවාතැන් ගැනීමට නිවස ලබාදෙන ලෙස ඉල්ලීමක් අරුණෝදය සිය මිත්තණියගෙන් කර ඇති  යතුර ලබා ගෙන ඇත.


කප්පම්කරුවන් කප්පම් මුදල් ලබා නොගෙන මුදාහැරිය මොහොමඞ් ආශික් නමැත්තා සමඟ කතාබහ කිරීමට සම්බන්ධකර ගැනීමට ඉරිදා ලංකාදීපයට හැකිවිය.


මොහු කී කතාව මෙසේ පෙළගස්වන්නෙමි.


“මාව පැහැරගත් කල්ලිය මුලින්ම මගේ කටේ ගම්ටේප් පටි අලවා ඇස් දෙක වැහෙන්නත් ගම්ටේප් ඇලෙව්වා. මාව ගෙදරකට අරගෙන ගිය බව තේරුණා. මෙට්ටයක් බිම දමා මට නිදාගන්න දුන්නා. මගේ අත් දෙකයි කකුල් දෙකයි ගැට ගැහැව්වා. කටට අලවා තිබූ ගම්ටේප් පටි ගලවා මගෙන් තාත්තාට සල්ලි හොඳට තියෙනවා නේද කියා ඇහැව්වා. මම කිව්වා තාත්තාට ලොකු සල්ලියක් නැහැ කියා. බොරු කියන්න එපා කියා එකෙක් මට කුණුහරුපයෙන් බැණලා කම්මුලට පහරක් ගැහුවා. ඔහු මගේ කට ඇතුළට ඇඟිලි දෙකක් දාලා හයියෙන් දෙපැත්තට ඇද්දා. මම හිතුවේ මගේ කට ඉරිලා යයි කියා. තවමත් මගේ කට රිදුම් දෙනවා. පුදුම වේදනාවක් මට දැනුණේ.


මාව පැහැරගත් දවසේ ඉඳලා මුදාහරින තෙක් ඇස් දෙකයි කටයි ගම් ටේප් පටිවලින් ඔතා වසා තිබුණ. කන්න බොන්න දෙන වෙලාවට විතරක් කටට අලවා තිබෙන ගම්ටේප් පටි ගලවා ඉවත්කරනවා කාලා බීලා ඉවර වුණාම ආයෙත් අලවනවා. මගේ කකුල් දෙකයි අත්දෙකයි බැඳලා තිබුණේ. මරා දමයි කියන බයට මට නින්ද ගියේ නැහැ. මගේ බෙල්ලට පිහියක් තබා මරලා පුච්චලා දානවා කියා කිව්වා. කප්පම් මුදල නොදුන්නොත් එහෙම කරනවා කියා ඔවුන් මට කිව්වා.


මාව මුදාහරින්න කලින් දවසේ මාව ඔසවාගෙන කැලෑවකට අරගෙන ගියා කියලා තේරුණා. මාව මරන්න එපා කියා කිව්වා. අපි උඹව මරන්නේ නැහැ කියා කප්පම්කරුවන් කිව්වා. උඹලාගේ ගෙදර එවුන් මේ ගැන පොලිසියට කියලා. අපේ දෙන්නෙක් අල්ලාගෙන ඉන්නවා කියා ඔවුන් මාත් එක්ක කිව්වා. මේ සිද්ධිය පුවත්පත් හා රූපවාහිනී නාලිකාවලින් ප්‍රචාරය වී තිබූ නිසා කට්ටිය හොඳටම බය වෙලා හිටියේ කියා ඔවුන්ගේ කථා බහින් මට තේරුම් ගියා. එහෙම බය වුණ නිසා තමා උන් මාව මේ විදිහට මුදාහැරියේ.


කැලෑවක තියාගෙන හිටිය මගේ කකුල් අතපය පමණක් ලිහා යතුරුපැදියක් ස්ටාට් කළා. ඇස් දෙකට උඩින් අලවා තිබූ ගම්ටේප් මතින් මට අව් කණ්ණාඩියක් දැම්මා. එහෙම කරන්නට ඇත්තේ යම් තරමකින් හෝ මම ඉන්නා ප්‍රදේශය හඳුනා ගනීවි යැයි කියා විය යුතුයි. දෙන්නෙක් මාව මෝටර් බයිසිකලයක මැද වාඩිකරවාගෙන ඇවිත් බස්සවා පලා ගියා. මගේ ජීවිතය බේරුණේ පොලිසියේ මහත්වරු නිසයි”


කප්පම්කල්ලියේ නායකයා සහ තවත් සගයෙක් පොලිසියට කොටුවීම නිසාත් තමන්ද කොයි මොහොතක හෝ පොලිසියට කොටුවේ යැයි බියට පත්ව පැහැරගත් තරුණයා මුදාහැර ඇති බව මේ අනුව පැහැදිලි වේ.


ව්‍යාපාරිකයාගේ පුතා පැහැරගත් මොහොතේ සිටම වාරියපොළ නගරයේ ව්‍යාපාරික ප්‍රජාව ආශික්ගේ පවුලේ අය සමඟ සිටීම ඔවුන්ට මහත් ශක්තියක් වී ඇත.


වාරියපොල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත බණ්ඩාර, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක නිමල් කරුණාතිලක, උපපොලිස් පරීක්ෂක ජයසුන්දර, පොලිස් සැරයන්වරුන් වන දිසානායක (55011), විජේරත්න (27358), කොස්තාපන්වරුන් වන සඳුන් (23819), ගාමිණී (58079), වාසල (58118), ප්‍රදීප් (78511), සිසිර (35136), රාජපක්ෂ (55036) සහ කුමාර (66701) යන මහත්වරුන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණවලට හවුල් වී ඇත.


කුරුණෑගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින් සහ අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ (සොකෝ) ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ළහිරු කසුන් විජේසේකර යන මහත්වරුන්ද මෙම පරීක්ෂණවලට හවුල් වී තිබේ.


මෙම පරීක්ෂණ කටයුතු මුල සිටම සිදුකෙරී ඇත්තේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේය.


අත්අඩංගුවට ගත් සැකකරුවෝ දෙදෙනා රිමාන්ඞ් බාරයේ පසුවෙති.


සෑම අපරාධයකට කෙළවරම දඬුවමක්ද තිබෙන බව යම් අපරාධයක් කිරීමට කලින් සිතන්නේ නම් අපරාධ සිදු කිරීමට කෙනෙක් ලෙහෙසියෙන් පෙළඹෙන්නේ නැත.


අපරාධයක් සිදුකර කවදාවත් සැඟවී සිටිය නොහැක.

m



අදහස් (0)

ව්‍යාපාරික පුතා පැහැරගෙන කෝටි දෙකක් ඉල්ලූ කප්පම්කරුවන් අල්ලාගත් හැටි

දිනෙත් Tuesday, 24 May 2016 12:56 PM

පව් කොලුවට විස්කෝතුලු කන්න දුන්නේ හිර කරගෙන හිටපු දවස් වල! (බ)

:       0       0

ජමල්ඩීන් Wednesday, 25 May 2016 06:44 AM

ශ්‍රී ලංකා පොලිසියට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

අයිරාංගනී Saturday, 04 June 2016 02:54 PM

මේ වගේ අපරාධකරුවන් කොටුකර ගන්නා විඳීය නොකියනවා නම් තමයි හොඳ. මොකද අපේ රටේ අපරාධකරුවන්ගෙ අඩුවක් නම් දකින්න නැහැ. මෙහෙම කිව්වහම අපරාධකරුවන් සුක්ෂම ලෙස අපරාධ කරන්න පෙළඹෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 210 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මැතිවරණ ප්‍රතිඵල පුරසාරම්
2025 මැයි මස 10 162 0

ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.


පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 133 1

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 242 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 405 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 1031 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 932 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1419 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 368 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site