නිරුක්ති විද්‍යාවට අනුව ‘ගුරුවරයා’ යනු ‘‘නොදැනීම නමැති අන්ධකාරය දුරුකරන්නා’’ යන්නය. ගුරුවරයාගේ සමාජ භූමිකාව එමගින් මනාව නිරූපිත ය. එහෙයින් ඔහු අත්‍යන්තයෙන්ම දැනුමෙන් සන්නද්ධ විය යුතුය. ආදර්ශයෙන් පරිපූර්ණ විය යුතු ය. දරුවා ගුරුවරයා ඉදිරිපිට අඩදැණිව නමස්කාර කරන්නේ එහෙයිනි.
කරුණු කාරණා එමතු වුවද අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තියකින් කියැවුණේ එයට හාත්පසින්ම වෙනස් ගුරුවරයකු සම්බන්ධව ය. එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ පාසලේ සේවයට වාර්තා කර උපකාර පන්තියක සිසුන් පිරිසකට ඉගැන්වීමට ගියැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර, නිවන්තකචේතිය මහ විදුහලේ උසස් පෙළ සංයුක්ත ගණිතය ගුරුවරයකුගේ වැඩ තහනම් කර ඇතැයි උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එම්.ඩබ්ලිව්. සමරකෝන් මහතා ප්‍රකාශ කළ බව ය.
උසස් පෙළ සංයුක්ත ගණිත ගුරුවරයාගේ කෙරුවාව කිසි ලෙසකින් හෝ ගුරු වෘත්තියට නොගැළපෙන්නකි. තමන් ඉගැන්වීම් කටයුතු සිදුකරන පාසලේම ඉගෙන ගන්නා ළාබාල සිසුවියන් අපයෝජනයට ලක් කරන ඉහ නිකට පැසුණු ගුරු කාමාතුරයන් ගැන ද නිරන්තරයෙන් අසන්නට ලැබේ. උසස් පෙළ සංයුක්ත ගණිතය ගුරුවරයාගේ ක්‍රියා කලාපය ද එලෙසින්ම පිළිකුල් ය. රටේ අනාගතය බාර ගැනීමට සිටින අනාගත පරම්පරාව නිර්මාණය කිරීමේ වගකීම දෙවුරට ගත් ගුරුවරයකුට කිසි ලෙසකින් හෝ නොගැළපෙන තුච්ඡ ක්‍රියාවකි.
පොදුවේ ගත් කල්හි මෙරට රාජ්‍ය සේවයේ දෙවර්ගයක සේවකයෝ සිටිති. එක් කොටසක් වන්නේ නියමිත වේලාවට සේවයට වාර්තා කර තමන්ට නියමිත වැඩ කොටස නිමකර නියමිත වේලාවට සේවයෙන් නික්ම යන පිරිස් ය. ඔවුන්ට හෘද සාක්ෂියක් තිබේ. මහජනයාගේ බදු මුදලෙන් ඉගෙනගත් තමන්ට පෙරළා ඉටු කිරීමට වගකීමක් තිබෙන බව තේරුම් ගත්තෝ වෙති. ඔවුන් තමා ලබාගන්නා වැටුපට සාධාරණය ඉටු කරන්නෝ වෙති. නපුරු සිහින නොදැක රාත්‍රිය ගෙවා දැමීමේ භාග්‍ය හිමිකර ගත්තෝ වෙති.
රාජ්‍ය සේවයේ සිටින අනෙක් පිරිස හඳුන්වන්නේ ‘‘ආවෝ-ගියෝ’’ යනුවෙනි. එනම් සේවයට වාර්තා කර එසැණින් තමන්ගේ වැඩකටයුතුවලට පිටත්ව යන පිරිසය. එහිදී වෙනත් ආයතනවල සේවය කර අමතර ආදායමක් ඉපයීමට ඔවුහු කටයුතු කරති. මෙබඳු පිරිස් දුම්රිය දෙපාර්තමේන්තුවේ, වරාය, රෝහල් ආදියෙහි සිටින බව වාර්තා වේ. අනුරාධපුර නිවන්තකචේතිය මහා විද්‍යාලයෙහි ද එවැනි ආවෝ - ගියෝ වර්ගයේ රජයේ සේවකයකු සිටිය බව එම පාසලේ උසස් පෙළ සංයුක්ත ගණිතය උගන්වන ගුරුවරයාගේ ක්‍රියා කලාපයෙන් පැහැදිලි වේ.
සමාජය අඳුරු අදෝනාවක ගමන් කරන සෙයකි. ළාබාල පරම්පරාවලට ගුරු කොටගත හැකි දූෂිත නොවුණු ක්ෂේත්‍රයක් සොයාගත නොහැකි තරම් ය. ගුරුවරයා යනු සමනොළ ගිරි හිසටත් ඉහළින් වැජඹුණ කෙනෙකි. එහෙත් අද තත්වය බෙහෙවින් වෙනස් වී තිබේ.
සමස්ත සමාජයක්ම නායගොස් තිබෙන පසුබිමක ගුරුවරයාගෙන් පමණක් අපට ආදර්ශ බලාපොරොත්තු විය නොහැකි ය. එහෙත් සියල්ලන්ටම ඉහළින් සිටින ගුරුවරයාට අත්හල නොහැකි වගකීමක් තිබේ. වඩාත් දුෂ්කරම මාර්ගය තෝරා ගැනීමෙන් නිපැදෙන අවදානම් සහගත ප්‍රීතියෙන් ගුරුවරයා ඒ වගකීම ඉටු කළ යුතුය. මන්දයත් රටේ අනාගතය රැඳී ඇත්තේ එම වගකීම තුළ වන හෙයිනි. එම වගකීම ඉටු කිරීමට නොපැකිලව දායක වන ප්‍රමාණයට අනුව රටේ හෙට දවස තීරණය වනු ඇත.
(***)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම වටිනා කතු වැකියක්! ගුරුවරයා ඉබේ දූෂණය වෙලා නොවේ.කෙනෙක් පස්සට තල්ලුකර තවකෙක් ජය ගැනීමට, දැඩි තරගයට මුහුණදී හොඳින් හෝ බොහෝ විට වක්‍ර කෙටි මගකින් තම අරමුණු කරා යාමට පුහුණු කළ සිසු වන්ගෙන් උපන් මේ නමට ගුරුවරයාගෙන් මීට වඩා යමක් බලාපොරොත්තු විය නොහැකිය.කෙටියෙන් කියනවා නම් මේ ගුරුවරයා අපේම දශක දෙකක තුනක අධ්‍යාපනයේ ප්‍ර්තිපලය යි.
ඔබ නිවැරදියි විමල් මහත්තයෝ, අපි ලංකාවේ අධ්‍යාපනය තුළ වපුරපු අස්වැන්න තමයි දැන් අපිට නෙලා ගැනීමට සිදුවී තිබෙන්නේ... ගුරු වෘත්තියට කිසිම සුදුසුකමක් නොමැති, විෂය පිළිබඳ පමණක් දැනුමැති ගුරු කෙරුම් කාරයෝ රැලක් ලංකාවේ නිර්මාණය වී සිටිති. විශේෂයෙන් ටියුෂන් කඩ කාරයින් වන මොවුන්, රට, ජාතිය, සංස්කෘතිය හා ඉතිහාසය ගැන පුහු පම්පෝරි ගසමින් ඔවුන්ගේ පම්පෝරියද දෙසමින් සිසුන්ගේ මොළ හෝදමින් සිසුන්ගේ මුදල් ගසා කමින් විභාගය පමණක් ඉලක්ක කර ගනිමින් කරන මේ විගඩම ලෝකයේ කිසිදු රටක සිදු වෙන්නක් නොවෙයි. ඒ මදිවට, මොවුන්ගේ සුඛෝපබෝගී වාහන පවා පෙන්වමින් නිහීන රංගනවල යෙදීම දැකීම අපට නම් හිරිකිතය දනවයි... එක අතකට, "යකඩ මල්ලටත් ගුල්ලෝ වහපු රටක හාල් මල්ල ගැන කවර කතාද" කිව්වාලු..?