
හැටන් - දික්ඔය රෝහලට වේල් ගණන් නොකෑ රෝගීන් පැමිණෙන බව නොබෝදා අප පත්‍රයේ පළවූ පුවතකින් අනාවරණය වූයේය. වතු ආශ්‍රිත නිරාහාරව පසුවන රෝගීන් රෝහලට පැමිණි විට සියලු ප්‍රතිකාරවලට පෙරාතුව ඔවුන්ගේ කුසගිනි නිවීමට වෛද්‍යවරුනට සිදුව තිබේ. රෝග අතුරින් දරුණුම රෝගය කුසගින්න බව බුදු බණේ පැවසේ.

රටේ ශ්‍රම බළකායේ වැදගත් කොටසක් වන වතුකරවාසීන්ගේ කුසගිනි නිවීම කෙතරම් වැදගත් වේද යන්න සියලුදෙනාගේ අවධානයට පාත්‍ර විය යුත්තකි. ශ්‍රී ලංකාවේ අපනයන ආදායමෙන් තවමත් සියයට 17 ක ප්‍රතිශතයක් උපයන්නේ තේ නිෂ්පාදනවලිනි. ආර්ථික අර්බුදය හමුවේ රටට අවශ්‍ය විදේශ විනිමය තේ කර්මාන්තයෙන් උපයා දෙන අතර වතු කම්කරුවා නිරාහාරව පසුවීම මහත් දුක්ඛදායක තත්ත්වයකි.
මෙරට මිලියන 22 ක්වූ ජනගහනයෙන් මිලියනයක් පමණ සිටින්නේ වතුකර ජනයාය. වතුකර සේවක සංඛ්‍යාව තුන්ලක්ෂ විසිඑක් දහසකට වැඩිවේ. දෛනික වැටුප රුපියල් දහසක් කරගන්නට වසර හයක් තිස්සේ ඔවුන් ගෙනගිය සටන ජය ගත්තේ 2021 මාර්තු මාසයේය. එදා පටන් මේ දක්වා වසරක පමණ කාලයක් තුළ ආහාර උද්ධමනය සියයට 95 කින් ඉහළ ගොස් ඇති බව 3 වැනිදාම වාර්තා වූයේය. සතරදෙනකුගෙන් යුක්ත පවුලක සාමාන්‍ය දෛනික වියදම රුපියල් 2500 ක් පමණ වන බව සති දෙකකට පමණ පෙර වාර්තා විය.
තිරිඟු පිටි වතුකර ජනයාගේ දෛනික ආහාරයේ අත්‍යවශ්‍ය අංගයක් විය. තිරිඟු පිටි මිල පසුගිය මාස කිහිපය තුළ දෙගුණ වූයේය. වතුකර ජනයාගේ ආහාර වේලේ වැදගත් අංගයක්වූ උළුඳු ආනයනය නවතා දැමුවේ වසර දෙකකට පමණ පෙරදීය. උළුඳු යනු දැන් වරප්‍රසාද හිමි ජනයාට පමණක් මිලදී ගත හැකි ධාන්‍යයකි. දෛනිකව උපයන දහසක වැටුපකින් දෙදහස් පන්සීයක් වියදම් කරද්දී වතු කම්කරුවා එක්කෝ ණය විය යුතුය, නැතහොත් නිරාහාරව පසු විය යුතුය.
වතු කම්කරුවාගේ ජීවන තත්ත්වය එසේ ඇද වැටෙද්දී, අනෙක් අතට ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය පහත වැටේ. 2022 අගෝස්තුවේ තේ අස්වැන්න අවුරුදු 28 කට පසුව පහත වැටී තිබුණි. 2022 පළමු මාස අට තුළ ලැබූ තේ අස්වැන්න 1996 න් පසු ලැබූ අවම තේ අස්වැන්න බවද එම වාර්තාවේ සඳහන් විය. රසායනික පොහොර තහනම් කිරීම නිසා පසුගිය වසර පුරාම මෙරට තේ වගාවට නිසි ලෙස පොහොර වැටුණේම නැත. දැන් නිරාහාරව ඉන්නා වතු කම්කරුවාගේ කුසගින්න නිවා දැමීමට සිදුව ඇත්තේ නිෂ්පාදනය පහත වැටෙමින් පවතින එවැනි තේ කර්මාන්තයකිනි.
වතු සේවකයන්ගෙන් බොහෝදෙනාට ලෙඩ නිවාඩු හිමි නැත. ඔවුන් බොහෝදෙනකුට වැඩ කළේ නැත්නම් එදාට වැටුප් ලැබෙන්නේ නැත.
පාසල් දරුවන්ගෙන් බොහෝදෙනකු නිරාහාරව පාසලට පැමිණෙන බවට ඊයේ පෙරේදා බොහෝ වාර්තා පළවිය. රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ අඩු ආදායම්ලාභීන්ට ජීවන බර දරාගත නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බව මේ සියල්ල ඔස්සේ ලැබෙන පණිවිඩයයි.
ඉදිරියට එන්නේ රටේ ආර්ථිකය ගොඩගැනීම සඳහා සියලු ප්‍රතිව්‍යුහගත කිරීම් කිරීමට නියමිත කාලයයි. රටපුරා පොදුවේ බෙදන සහනාධාර එම ප්‍රතිව්‍යුහගත කිරීම්වලදී අත්හැර දැමීමට සිදුවනු නියතය. සියලු ප්‍රතිසංස්කරණවල දී ඒවායේ අහිතකර ප්‍රතිඵල අඩු ආදායම්ලාභීන්ට විඳින්නට සිදුවන බව කල්තියා දැන සිටි කාරණයකි.
පොදුවේ බෙදන සහනාධාර නවතා දමා සහනාධාර අත්‍යවශ්‍ය ජන කොටස් තෝරාගෙන ඔවුන්ට ආහාර ඖෂධ හා අනෙකුත් අත්‍යවශ්‍ය සහනාධාර සැපයීම කෙරේ අවධානය යොමුකළ යුතු කාලය දැන් එළඹ තිබේ. වතු කම්කරුවා නිරෝගීව තැබීම ශ්‍රම බළකාය ශක්තිමත්ව තැබීම සඳහා අත්‍යවශ්‍ය වූ සාධකයකි. එය රටේ ඵලදායීතාව හා බැඳී පවතින සාධකයකි.
(***)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තේ දළු කිලෝවට රුපියල් 100 ලැබෙද්දීත් ආණ්ඩුව පොරොන්දු වුණා වැටුප දිනකට රුපියල් 1000 කරන්න. දැන් තේ දළු කිලෝව රුපියල් 200 පසුකරලා ඇති. ඒත් තවම තේ දළු නෙලනවට ලැබෙන්නේ රුපියල් 800ක් වගේ මුදලක්. ඒ මිනිස්සු කොහොමද රුපියල් 800න් ජීවත් වෙන්නේ කියලා අපිට නම් හිතාගන්න බැහැ. අඩුම තරමේ 1200ක් වත් වෙන්න ඕනෙ හරි විසඳුමක් ලැබෙනකම්...!
තිරිඟු පිටි වතුකර ජනයාගේ දෛනික ආහාරයේ අත්‍යාවශ්‍ය අංගයක් නිසා තිරිඟු පිටි, සීනි සහ සහල්, සහ (පොල් හැකිනම්) ඔවුන් සේවය කරනා ආයතනයේ මැදිහත්ව ආයතනය තුළදීම දෛනිකව හෝ සතියකට අවශ්‍ය තිරිඟු, පිටි, සීනි සහ සහල් වර්ග 2ක් සේවකයින්ගේ කැමැත්ත අනුව එම සමාගම් මගින්ම ආරම්භ කරනලද budget shop මගින් සහන මිලට ලබාදීමට කටයුතු කල හැකිද කියා සොයාබැලිය යුතුවේ. එවිට වැඩකරනා සේවකයින්ගේ දෛනික වැටුපෙන් සේවකයා සේවය නිමවී නිවෙස් වෙත යාමට පෙර මිලදී ගනු ඇත. අවශ්‍ය වනුයේ සැලසුමක් සකස්කර සේවකයන් සමග සකච්ඡා කර සමාගම මගින් ඉතාම පහසුවෙන් ක්‍රමවත්ව මෙම කටයුතු කාර්යක්ෂමව කළ හැකිවේ. සමාගම සහ සේවකයා අතර සම්බන්ධතාවක් සහ සේවකයාට සමාගම මගින් සහ සමාගමට සේවකයාගෙන්ද වටිනාකම ලැබෙනු ඇත. සමාගම් සහ එහි හිමිකරුවන් සහ අධ්‍යක්ෂවරුන් නිර්මාණකරුවන් සහ මනුෂ්‍යත්වය අගයන පුද්ගලයන් විය යුතුයි. එවිට කළ නොහැකි ඕනෑම අපහසු කටයුත්තක් කළ හැකිවේ...!
තේ හිටෙව්වෙත් මේ මනුස්සයෝ තේ වගාව නඩත්තු කරන්නෙත් මේ මනුස්සයෝ...! ඒත් කවුද මේ මනුස්සයින්ව හූරගෙන කන්නේ..? මෙන්න මේක තමයි අපේ තේ කර්මාන්තයට සාපයක් වෙලා තියෙන්නේ..!