පසුගිය සියවසේ ලියැවුණු ගැඹුරු දහම් පොත්වලින් බොහොමයක්ම රේරුකානේ චන්දවිමල මහා නායක හිමියන්ගේ බව ගිහිපැවිදි දෙපක්ෂයම හොඳින් දනී. උන්වහන්සේ ලියූ බෞද්ධ පොත් විනය ග‍්‍රන්ථ, අභිධර්ම ග‍්‍රන්ථ, භාවනා ග‍්‍රන්ථ, ධර්ම ග‍්‍රන්ථ ආදී වශයෙන් වර්ග කොට දැක්වීමට පුළුවන. ඒ ඒ විෂයනට අදාළව පරතෙරට ගිය අපූරු ධර්මධරත්වයක් උන්වහන්සේට තිබුණි. එසේම ගුණ බර වූ විනය ධරත්වයක් ස්වභාවයෙන්ම රේරුකානේ නායක හාමුදුරුවන් ගෙඩනගා ගෙන තිබිණි. ඒ ධර්මධරත්වය හා විනයධරත්වය මගින් උන්වහන්සේ අපේක්ෂිත අරමුණක් උදෙසා ගමන් කළ බවටද සාක්ෂි සාධක තිබේ. බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියන් රේරුකානේ චන්දවිමල මහ නාහිමියන් කෙරේ දැක්වූයේ අපමණ ගෞරව භක්තියකි. "රේරුකානේ නායක හාමුදුරුවන්ගේ බණ පොත්ටික හොඳින් කියෙවුවොත් එ තැනැත්තා හොඳ ධර්ම ධරයෙක්. ධර්මඥයෙක් වෙනවා” යි. දවසක් බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියෝ උත්සව සභාවකදී වදාළහ. ඒ ප‍්‍රකාශයෙන් එහාට රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ ධර්මධරත්වය ගැන තවදුරටත් පුන පුනා ප‍්‍රකාශ කිරීම අවශ්‍ය නැත. තමන් වහන්සේ තුළ වූ ධර්මධරත්වයෙන් හා විනය ධරත්වයෙන් උතුම් බුද්ධ පුත‍්‍රයකු හැටියට කිසියම් අපේක්ෂිත අරමුණක් සාක්ෂාත් කරගත් බව රේරුකානේ නායක හාමුදුරුවන්ගේ මහ සඟ චරිතය පිළිබඳ සොයා බලන කළ හොඳින්ම පෙනේ. අදත් අපේ විහාරස්ථානවල හා ආරණ්‍ය සේනාසනවල ධර්ම මාර්ගයේ ගමන්කරන ස්වාමින් වහන්සේලා රේරුකානේ චන්දවිමල නායක හාමුදුරුවන්ගේ පොත් නිරන්තරයෙන් පරිශීලනය කරති. ධර්මය දැන ඉගෙන ගන්නා ගිහි පැවැදි දෙපිරිසම රේරුකානේ හිමින්ගේ පොත් කියවති. මිථ්‍යා දෘෂ්ඨියෙන් තොරව බුදු දහම දැන ඉගෙන ගෙන ධර්ම මාර්ගයේ යන්නට ඕනෑ නම් රේරුකානේ චන්දවිමල නායක හාමුදරුවන්ගේ පොත් කියවන්නැයි යක්කඩුවේ ප‍්‍රඥාරාම නාහිමියෝද නිතර වදාළහ. පොත පත ලීවා පමණක් නොව ඉන් ඔබ්බට උන්වහන්සේ සසර නිවීමටද පත්වූවා යැයි බොහෝ දෙනා විශ්වාස කරති. උන්වහන්සේ බුදු මගේ කිසියම් උසස් තලයක සිටි බව සමහර අවස්ථාවල කරන ලද ප‍්‍රකාශ මගින්ද තහවුරු වේ. තමන් වහන්සේ අසවල් ඵලයක් ලැබීයැයි කිසිවිටෙක ප‍්‍රකාශ නොකළත් රේරුකානේ හිමියන්ගේ උපස්ථායකයන් වහන්සේ හැටියට එදා වැඩ සිටි කිරිඔරුවේ ධම්මානන්ද හිමියන් සමඟ උන්වහන්සේ කළ ඇතැම් ප‍්‍රකාශ මත ස්ථිර වශයෙන්ම උන්වහන්සේ සසර නිවීමක් ලැබී දෝයි යන නිගමනයේ අපට නැවතීමට සිදුවේ. රේරුකානේ චන්දවිමල නායක හිමියන් පිළිබඳව විස්තර සොයා අපි පසුගිය දිනෙක කොළඹ හොරණ පාරේ පොකුණුවිට හංදියට නුදුරුව මනරම් වෙල්යායක් සමීපයේ පිහිටි විනයාලංකාරාරාම විහාරයට ගියෙමු. බුරුම පන්සල නමින්ද ප‍්‍රචලිත මෙතැන රේරුකානේ චන්දවිමල නායක හිමියන් වැඩ සිටි විහාරස්ථානයය. තවත් අතෙකින් රේරුකානේ චන්දවිමල හිමියන්ගේ උපස්ථායකව සිටි කිරිඔරුවේ ධම්මානන්ද නාහිමියන් අදටද වැඩ සිටින විහාරස්ථානයය. කන වැකුණු ආරංචියේ හැටියට ධම්මානන්ද හිමියන් විහාරයට නුදුරු කැලයක කඳු මුදුනේ භාවනා කරන්නේය යන තොරතුරු පිට ගම්වැසියකුගෙන් මම එහි සත්‍යතාව විමසා සිටියෙමි. ධම්මානන්ද නායක හාමුදරුවො කැලේ ආරණ්‍යයේ භාවනාවෙන් වැඩ ඉන්නෙ. දානයට තමයි පන්සලට වැඩම කරන්නෙ. මෙතැන ඉඳන් කි.මි. දෙකක් විතර කැලෙන් කන්දට යන්න තියෙනවා. සමහර විට දැන් දානෙ වෙලාව නිසා පහලට වැඩම කරල ඇති. පන්සලට ගිහින් බලල නැත්නම් කන්දට යන්න. ඒ අනුව අපි විනයාලංකාරාරාම විහාරයට ගියෙමු. ඈතට පෙනෙන විහාර වාහල්කඩ මුදුනේ රේරුකානේ හාමුදුරුවන්ගේ රුව මනාවට නිමවා තිබේ. විහාර බිමේ ඇති කුඩා ආවාසය ළඟ වැඩ සිටි තරමක් වයෝවෘද්ධ ස්වාමින් වහන්සේ නමක ගෙන්, ”කිරිඔරුවෝ ධම්මානන්ද නායක හාමුදරුවෝ වැඩ සිටිනවා” දැයි විමසීමු. ‘‘ඔවු, මමයි ධම්මානන්ද හාමුදරුවෝ’’ ඉන් පසු අපි පැමිණි කාරණය උන්වහන්සේට පවසා සාකච්ඡාව ආරම්භ කළෙමු. මම පැවිදි වුණේ රේරුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ ලියූ දහම් පොත් පත් කියවලා බුදුදහම ගැන ඇතිවූ පැහැදීම නිසයි. මට මුලින්ම ලැබුණේ උන්වහන්සේ ලියූ ‘අභිධර්ම මාර්ගය’ කියන පොත. එය කියවීමෙන් මට ධර්ම රසයෙන් ලොකු සැනසීමක් දැනුනා. මම රේරුකානේ හිමියන්ගේ පොත් නිතර කියෙව්වා. උන්වහන්සේ පැවිද්ද පිළිබඳව ලියූ ‘ශාසනාවතරණය’ පොත කියවූ පසුව මටත් පැවිදි වෙන්නට අවශ්‍යය යන වුවමනාව ඇතිවුණා. ඒ අනුව 1977 ජූනි 23 දා බිබිල යල්කුඹුරේ ටැම්ගොඩ රජමහා විහාරාධිපතිව වැඩ සිටි ලූණුගල සුනන්ද ලොකු හාමුදරුවන්ගේ ශිෂ්‍යයකු ලෙස පැවිදි වුණා. පැවිදි වන විට මම ගුරුවරයෙක්. පැවිදි වුණාට පසුවත් යල් කුඹුර මහා විද්‍යාලයේ ඉගැන්වීම් කළා. එහෙම සිටිද්දී රේරුකානේ නායක හාමුදරුවන් ලියූ පොත් නිසා සද්ධර්මය ගැන දැන ඉගෙන ගන්නට ලැබුණු මට කෙටිකළක් හෝ උන්වහන්සේට උපස්ථාන කළ යුතුය යන අදහසක් ඇති වුණා. මේ අදහස හිත පුරා දවසින් දවස මෝරා වැඩුණා. ඒ අනුව 1980 අගෝස්තු අන්තිම යල්කුඹුර විදුහලට අස්වීමේ ලිපිය භාරදී ගුරු හාමුදරුවන් වහන්සේටත් දායක දායිකාවන්ටත් දන්වා මේ විහාරස්ථානයට පැමිනුණා. එදා මම එනවිටත් උන්වහන්සේ බොහොම වයෝවෘද්ධව, දුබලව සිටියෙ ඒ වන විට රේරුකානේ හාමුදුරුවෝ සැරයටියක් භාවිත කළා. තනිවම ඇඳෙන් නැගිට ගන්නත් අපහසුවෙන් හිටියෙ. නිතර උපස්ථානයට හිටියෙ හේන්ගොඩ කල්‍යාණධම්ම හාමුදුරුවෝ. මම වැඩම කරන විට රාත‍්‍රි උදා වෙලා තිබුණත් නායක හාමුදරුවෝ අපහසුවෙන් නැගිටල මට ගිලන්පස හදා දෙන්නැයි කල්‍යාණ ධම්ම හාමුදුරුවන්ට වදාළා. උන්වහන්සේ තුළ තිබුණු ආගන්තුක සත්කාරය මට එවෙලේ දැන හැඳින ගන්නට ලැබුණා. 1980 ඔක්තෝම්බර් 05 වැනිදා මම පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමයේ සීමා මාලකයේදී රේරුකානේ මහ නායක හිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යයෙකු හැටියට උපසම්පදාව ලබා ගත්තා. කිරිඔරුවේ ධම්මානන්ද හිමියෝ තමන් වහන්සේ පොකුණුවිට විහාරස්ථානයට වැඩම කිරීම පිළිබඳ මතකය ආවර්ජනය කළහ. එතැන් සිට රේරුකානේ නායක ස්වාමින් වහන්සේ අපවත් වන තුරුම උන්වහන්සේගේ අග‍්‍ර උපස්ථායකයා වූයේ ධම්මානන්ද හාමුදරුවෝය. පසුකාලය වන විට රේරුකානේ නාහිමියන්ගේ දෑස් ද අන්ධ විය. එවිට කළයුතු උපස්ථාන පෙරට වඩා වැඩි විය. සියලූ දේ ඉදිරියේ ධම්මානන්ද හිමියෝ කළ මනා උපස්ථාන නොපිරිහෙළා ඉටුකළහ. දෑස් අන්ධ වූවත් රේරුකානේ චන්දවිමල නාහිමියන් තුළ පැවති ධාර්මික ප‍්‍රතිපදාවන් බිඳකුදු අඩු නුවූහ. නිතර භාවනාවේ යෙදෙමින් ධර්මය සිහිපත් කරමින් කල් ගත කළහ. රේරුකානේ නායක හාමුදරුවෝ නිවන් අවබෝධ කරගත්තද? කිරිඔරුවෝ ධම්මානන්ද හිමියන්ගෙන් අපි විමසීමු. එයට එකවර පිළිතුරක් නොදුන්නත් ධම්මානන්ද හිමියෝ කාමරයට ගොස් පොතක් ගෙනැවිත් මා අතට දුන්හ. මෙකල නිවුණු ඇත්තෝ එම කෘතිය රේරුකානේ චන්දවිමල මහ නා හිමියන් පිළිබඳව ධම්මානන්ද හිමියන් කල විවරණයක් සහ ගුණ සමරු දම් දෙසුම් එකතුවකි. කෘතියේ නමින් එහා තවදුරටත් විමසීම් කළ යුතු නොවේ. රේරුකානේ හාමුදුරුවන්ගේ ගුණ බර චරිතය පිළිබඳව අපි ධම්මානන්ද නාහිමියන් හා සාකච්ඡා ඇරඹීමු. පැවිදි වුණත් පුන්‍ය පහසුකම් හිඟ විය. පොල් අතු මඩුවක පැදුරක් එලා රාත‍්‍රියට සැතපෙන්නට සිදුවිය. උදේට ලූණු කැඳ හකුරු කැබැල්ලක් සමඟ වළදන්නට සිදුවිය. දුෂ්කරතා පැවතියද පාලි ඉගෙනගත් උන්වහන්සේ 1908 ජනවාරි මහේ බුරුම රටට පිටත් වූහ. එහිදී පාලි හා බුරුම භාෂාද ජන්ම භාෂාව මෙන්ම දැන ඉගෙන ගන්නට රේරුකානේ හිමියන්ට හැකිවිය. ත‍්‍රිපිටකය, විනය, අභිධර්මය හොඳින් ප‍්‍රගුණ කරන්නටද හැකිවිය. 1917 ඔක්තෝම්බර් මාසයේ බුරුමයේ ධම්මිකාරාම සීමාවේදී උන්වහන්සේ උපසම්පදාව ලැබූහ. ඉන් පසුව යළි ලංකාවට වැඩම කළ චන්දවිමල හාමුදුරුවෝ දෙමටගොඩ විශුද්ධාරාමයේ නවාතැන් ගත්හ. එදා එහි විහාරාධිපතිව වැඩ සිටියේ අරංගල සිරිධම්ම හාමුදුරුවෝය. එහිදී රේරුකානේ චන්දවිමල හාමුදුරුවෝ විහාරයට දැන ඉගෙන ගන්නට එන අයට අභිධර්මය ඉගැන්වීම් කළහ. විශුද්ධාරාමයෙන් පසුව පානදුර වැල්ලබඩ පන්සල, කළුතර කුමරිකන්ද පන්සල, බොල්ගොඩ බෝධිරුක්ඛාරාමයේද වැඩ සිට පසුව පොකුණුවිටට යළි වැඩම කළහ. එතැන් පටන් අපවත්වන තුරුම රේරුකානේ චන්දවිමල මහ නා හිමියෝ පොකුණුවිට විනයාලංකාරාරාමයේ වැඩ සිටියහ. උන්වහන්සේ හමුවීමට යම් කෙනකුට අවශ්‍ය නම් එය ලොකු පොඩි කියා භේදයක් තිබුණේ නැත. ඕනෑම කෙනකුට උන්වහන්සේ හමුවීමට හැකි විය. ඒ ඒ අයට කිසිම විටෙක මදි පුංචි කමින් සැලකිල්ලක් දැක්වූවේද නැත. තවත් අතෙකින් රේරුකානේ හිමියන් තුළ පැවතියේ ඕනෑම සියුම් ගැඹුරු කාරණයක් වුවද, විනිවිද ගොස් දැකිය හැකි නුවණකි. මහාචාර්යවරු පවා උන්වහන්සේගේ දැනුම පිළිබඳ මවිත වූහ. යමක් එක්වරක් කියැවූ පමණින් මතක හිටින ස්වාභාවයක් රේරුකානේ හාමුදුරුවන්ට තිබිණි. ඒ ධාරණ ශක්තිය දිවියේ 95 වැනි විය ගෙවෙන විටද එසේම පැවැතිණි. ධම්මානන්ද මම ගාථාවල් කවදාවත් අමාරුවෙන් පාඩම් කරල නෑ, මට යමක් එක්වරක් කියුවාම පාඩම් හිටිනවා. මට පාඩම් තියෙන ප‍්‍රමාණය නම් කොච්චරද කියල මමවත් දන්නෙ නෑ. ඇතැම් විට උන්වහන්සේ ප‍්‍රකාශ කළහ. "මම ඉගෙනීම් කළේ පොත් පත් ලිවීමේ අදහසින් වත් අනුන්ට බණ කීමේ අදහසින්වත් උගතෙක් වශයෙන් ප‍්‍රසිද්ධ වීමේ අදහසින්වත් නොවේ. අපේ සම්මෝහය දුරු කර ගැනීමටයි.” ධම්මානන්ද හිමියන් සමඟ ප‍්‍රකාශ කල එම අදහසත් උන්වහන්සේ ලියූ පොත් දෙස බලද්දී උන්වහන්සේ සම්මෝහය දුරු කරගන්නා ලදැයි සිතන්නට සැක සිතිය යුතුද නැත. චතුරාර්ය සත්‍යය, පාරමිතා ප‍්‍රකරණය, පට්ච්ච සමුප්පාද විවරණය, ධර්ම විනිශ්චය , කෙලෙස් එක්දහස් පන්සීය, නිර්වාණ විනිශ්චය හා පුනරුත්පත්ති ක‍්‍රමය, බෝධි පාක්ෂික ධර්ම විස්තරය, විදර්ශනා භාවනා ක‍්‍රමය, පෞරාණික සතිපට්ඨාන භාවනා ක‍්‍රමය, චත්තාලීසාකාර මහා විපස්සනා භාවනාව, සතිපට්ඨාන භාවනා විවේචනය, අභිධර්ම මාර්ගය, පට්ටඨාන මහා ප‍්‍රකරණ සන්නය, අනුවාද සහිත අභිධර්මාර්ථ සංග‍්‍රහය, විනය කර්ම පොත, ශාසනාවතරණය, උපසම්පදා ශීලය රේරුකානේ හිමියන් ලියූ කෘති කීපයක් පමණකි. "ධම්මානන්ද සාමණේර කාලයේ පටන් අපේ අදහස වුණේ කොහෝ හෝ තැනක හුදකලාව ඉඳගෙන මහණ කම හොඳින් කර ගැනීමයි.” ඒ උදෙසා උන්වහන්සේ නිතර පිරිසිදු ශීලය ආරක්ෂා කර ගත්හ. විකාලයේ තැඹිලි වතුර ටිකක් හෝ නොවැළඳුහ. ”ධම්මානන්ද මා රැස් කළ විශාල ධනය පැවිදි ජීවිතයයි.” තම පැවිදි දිවියේ නිරාමිස ප‍්‍රීතිය නිතර විඳගත්හ. රේරුකානේ චන්දවිමල නායක හාමුදරුවෝ අසූ-අනූ වියට එළැඹදේදි අමුතු විදිහේ ප‍්‍රකාශයක් කළහ. ලෝකයේ සිටින ලොකුම පොහොසතාත් මමයි. ලොකුම දුප්පතාත් මමයි’ එය අර්ථකථනය කර දෙන්නටද උන්වහන්සේ උනන්දු වූහ. "දුප්පත්කම කියන්නේ සෑහීමකට පත් නොවීමයි. තව ආකාරයකින් කියනවා නම් සෙවීම ඇති නොවීමයි. ලද දෙයින් සතුටුවී සෙවීම ඇති වී සිටින නිසා ලෝකයේ ලොකු ම පොහොසතා මමයි කියා හිතනවා. අපි හිඟන්නෙක් ගැන හිතල බලමු. ඒ හිඟන්නාට තියෙන පොල්කටුව හැරමිටිය වුණත් මගේ හැරමිටිය, මගේ පොල්කටුව කියා ඔහු විසින් සිතින් අල්ලාගෙනයි ඉන්නේ. ඒ නිසා ඒ හිඟන්නා යමක් ඇති කෙනෙක් නේද? මට අයිතිව තිබෙන මේ කිසිවක් මම හිතින් අල්ලාගෙන නැති නිසා කිසිවක් නැති කෙනෙක් හා සමානයි. ඒ නිසා ලෝකයේ සිටින දුප්පතාත් මමයි කියා මං හිතනවා”. මානසිකව එතරම් දියුණු තලයක සිටි උන්වහන්සේ තමන්ට ලැබී තිබුණු මහා නායක කම්. උපාධි තනතුරු පිළිබඳ ලොකුවට සිතුවේ නැත. තමන් වහන්සේ ඒවා ඉල්ලා ලබාගත් ඒවා නොවන බවත් ඒවා ලැබුණත් ඉස්සරත් දැනුත් තමන් වහන්සේගේ තත්ත්වය එකම බවත් නිතර වදාළ දෙයකි. රේරුකානේ හාමුදරුවෝ කුඩාකල සිටම යම් කිසි භාවනාවක යෙදුනහ. එය පිරිහීමට නොදී දිගටම කරගෙන පැමිණියහ. වයෝවෘද්ධ සමයේ උන්වහන්සේ දවසේ වැඩි වේලාවක් භාවනා යෝගිව ගතකළහ. දවල් කාලයේ සමථ භාවනාව වැඩූහ. රාත‍්‍රියේ ත‍්‍රිලක්ෂණය මෙනෙහි කළහ. 1986 අපේ‍්‍රල් 13 වැනිදා රේරුකානේ හාමුදුරුවෝ ධම්මානන්ද හිමියන්ට තවත් විශේෂ හැඳින්වීමක් කළහ. ”ධම්මානන්ද මේ කාලෙ ලෝකෙ ඉන්න විශේෂ පුද්ගලයෙක් තමයි මම ලෝකයා දන්නෙ නැතුවට. එය ලෝකයාට දැන ගන්නට විදිහක් නෑනේ.” එම ප‍්‍රකාශයෙන් කියැවිණි.
සටහන අසංක ආටිගල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
rerukanemahanahimi.lk වෙබ් අඩවියෙන් උන් වහන්සේගේ පොත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම දැනට ගොඩක් පොත් කියවලා තියෙනවා. ඒවා ආයේ ආයේ කියවනවා. සියලු දෙනාටම උතුම් වූ ධර්මය අවබෝධ වේවා. (නි)
උන්වහන්සේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සංඝ රත්නයකි. මගේ විශ්වාසයේ හැටියට උන්වහන්සේ වෙනුවෙන් පැතිය යුතු යමක් නොවේ. කළයුතු එකම දෙය උන්වහන්සේට උත්තමාචාර දැක්වීම පමණි. මාගේ ජිවිතයට මහඟු ආලෝකයක් උන්වහන්සේගේ පොත පත පරිශීලනය කිරීමෙන් උදාකර ගැනීමට හැකි වුණි. උන්වහන්සේට මාගේ උත්තමාචාරය වේවා. (නි)
http://www.ogatharana.org/ වෙතින් උන්වහන්සේගේ පොත් ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන්. (නි)
අපේ ඤාණවිමල තෙරුන්වහන්සේ උතුම් වූ මාර්ගපලයකට පත්වූ බවනම් සැකයක් නැහැ.. උන්වහන්සේගේ ධර්මඥාණය අති විශිෂ්ඨයි.. සාදු.. සාදු.. සාදු...!!(නු)
ඉදුනිල්, දිමුතු සහ මෙම හිමියන් ඇතුලු සියලු දෙනාට බොහොම පින්..(ස)
මෙවන් යථිවරයන් ඉදිරියටත් බිහි වේවා. (ත)
රේරුකානේ චන්දවිමල ස්වාමීන්වහන්සේ ලක්දිව සම්බුදු සසුන එළිය කළ මහා පහන් තාරකාවකි. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා! (ස)
රේණුකානේ චන්දවිමල මහා නායක හිමියන් විසින් රචිත පොත් "www.ogatharana.org" වෙබ් අඩවියෙන් නොමිලයේම කියවීමටත් බාගත කරගැනීමටත් හැකියාව ඇත...!!(නු)
එම හිමියන්ගේ බෞද්ධයාගේ අත්පොත නැමති කෘතිය මම කියවා මහත් දැනුමක් ලබා ගත්තෙමි. දානය පිළිබදව උන්වහන්සේ දක්වා ඇති පරිදි මා විදෙස් රටක රැකියාව කරන අතරතුර අතින් ලියා මගේ ස්වාමියාට තැපැල් කොට එය කුඩා අත්පොතක් ලෙස මුද්‍රණය කොට අප පන්සලේ සිල් සමාදන් වූ අයට පුජා කරවූයෙමි. මා පස්පවින් තොරව මාගේ ජීවිතය හරවත්ව ගෙන යමි.එයට එම පොත්පත් ඉමහත් උපකාරයක් විය. කෑමට මස්ම භාවිතා කරන රටකත් මා මාගේ ආහාරය මසින් තොරවම සකසා ගනිමි. (නි)
ස්තූතියි තොරතුරු දැන්වූවාට..බුදු සරණයි..(ස)
මේ විස්තර ලබාදීමට ගොඩක් පිං.ඒ වගේම වෙබ් අඩවි ගැන තොරතුරු ලබාදුන්නට බොහොම ස්තුතියි.ප්‍රියන්ත මහත්මාගේ අදහස නම් ගොඩක් වටිනවා (නි)
ප්‍රියන්තගේ යෝජනා හරිම වටිනවා (අ)
මගේ කවදාවත් මුණ නොගැසුණු පරමෝත්තම පළමු ගුරු උතුමා (නදී)
ලිපියේ කරුණු වලා ස්තූතියි! (නි)
මම රේරුකාණේ චන්දවිමල නා හිමිපාණන් පොතපතින් දුටුවෙමි. උන්වහන්සේ විසින් ලියා පළ කරන ලද පොත් කියවීමට තරම් මම භාග්‍යවන්ත වීමි. බෞද්ධාගමික පුනරුදයක් පතන යම් දානපතියෙකු වේ නම් රේරුකාණේ හාමුදුරුවන්ගේ පොත්පත් මුද්‍රණය කර නොමිලේ බොදුනුවන් අතට පත්කිරීමට කටයුතු කරන්නේ නම් වත්මන් සමාජය පරිහානිය කරා යන ගමන මදකින් හෝ පමා කිරීමට හැකිවනු ඇත. භික්ෂුව යනු දේශපාලනය කරපින්නාගෙන භික්ෂු සමාජයත් ගිහි සමාජයත් වලට ඇදගෙන යන චීවරධාරීන් නොව රේරුකාණේ ගරු හිමියන් බඳු යතිවරයන් බව අවධාරණය කරමි. (නි)
rerukanemahanahimi.lk වෙබ් අඩවිය ඔබට තවත් විස්තර සපයන වෙබ් අඩවියක්. මේ වෙබ් එක රේරුකාණේ නායක හාමුදුරුවන් වැඩසිටි පන්සලේ වෙබ් අඩවියයි. (නි)
උන්වහන්සේ ලියන ලද පුඤ්ඤෝපදේශය මෙයට වසර විස්සකට පෙර මගේ අතට පත්වුණා. එය කියවා මා මහත් අවබෝධයක් ලබාගතිමි.. එහි සදහස් සමහර දේ ක්‍රියාත්මක කර සාර්ථක ප්‍රථිඵල ලදිමි.. අදද මම එහි සදහන් සමහරදේ කර ප්‍රතිඵල ලබමි.. උන්වහන්සේට නිවන් සුව..!!(නු)
මේ ලින්ක් එක අපට ලබා දුන්නාට බොහොම ස්තූතියි. (නි)
ලිපිය කියවල, දැනුවත්ව අදහස් ප්‍රකාශකරනවානම් තමයි හොඳ ??
බෞද්ධයන්ගේ උපහාරය ඔබවහන්සේට නිරතුරුව හිමිවෙනවා....!!(නු)
උන්වහන්සේ තරම් අල්පේච්ඡ අයෙක් මම දැක නැත්තෙමි. (නි)
ඉස්‌සර අධ්‍යාපනය තුළින් භික්‍ෂුවක් සකස් වූයේ ලෝක ශාසනික වැඩපිළිවෙළට ගැළපෙන ආකාරයටයි. අද අධ්‍යාපනය තුළින් සකස් කරන්නේ රැකියාවකට ගැළපෙන භික්‍ෂුවක් පමණයි. ශාසනික වැඩපිළිවෙළවල් සකස් වීම අඩුයි. මෙසේ බලන විට වර්තමාන ශාසනික තත්ත්වය ගැන ඇතිවෙන්නේ සංවේගයක්.(වි)
www.rerukanemahanahimi.lk වෙබ් අඩවියෙන් උන්වහන්සේ ගැන ගොඩක් විස්තර දැන ගැනීමට හැකිවේවි..!!(නු)
උන්වහන්සේ වෙනුවෙන් යෝජනා දෙකක් ඉදිරිපත් කරමි . 1.උන්වහන්සේ පිළිබඳ අන්තර්ජාලයේ විකීපිඩියාහි තොරතුරු ගිණුමක් සවිස්තරාත්මකව ආරම්භ කිරීම . 2. මෙම විශිෂ්ට පොත් පෙළ ඉංග්‍රීසියෙන්ද මුද්‍රණය කොට පිට රටවල බෙදා හැරීමට උත්සාහ කිරීම. (නි)
ඔබවහන්සේ මතු බුදු වේවා (දී)
ඉතාම වටිනා ලිපියක්.. මමත් රේණුකානේ මහා නාහිමියන්ගේ නිර්වාන විනිශ්චය පොත කියවලා තියෙනවා.. අනිවාර්යයෙන්ම මුන්වහන්සේ සසර ගමන කෙටිකරගත් ආර්ය ශ්‍රාවකයෙක්...!!(නු)
සාධු, සාධු, සාධු !!! (නි)
පැවිදි වූ දා පටන් රේරුකානේ චන්දවිමල නා හිමියන්ගේ පොතපතින්මයි බණ දහම් ප්‍රගුණ කරන්නනේ...උන්වහන්සේගේ චරිතයමයි හිතින් දකින්නේ...උන්වහන්සේගේ අපවත්වීමත් ඒ පිළිබඳව උන්වහන්සේ කටයුතු කරන අයුරු කලින් කී ආකාරයත් නිරන්තරයෙන්ම මගේ හිතේ සනිටුහන් වී තිබෙනවා....ඒ වගේම ප්‍රියන්ත මහතාගේ අදහස් ක්‍රියාවට නංවන්නේ නම් අපිටත් සහයෝගය දියහැකියි. අද භික්ෂු අධ්‍යාපනය ගැන කී අදහසත් ඉතාම නිවැරදියි.... (දී)
අපේ ලංකාවේ බිහි වූ ඉතාම උතුම් ස්වාමීන්වහන්සේ නමක්..මම ඉතාම ගරු කරනවා..!! සෑම සත්වයකුටම සත්‍යය අවබෝධවේවා..!!(නු)
තෙරුවන් සරණයි
බුදු දහම වෙනුවෙන් ඔබ කළේ කෙතරම් විශිෂ්ට ක්‍රියාවක්ද? (නි)
බොහොම ස්තුතියි ලංකාදීප... මේ හාමුදුරුවන්ගේ පොත් කියවන්න පටන් ගත්තා... (නු)
නදීශාන්ට හා දිමුතුට ස්තූතිය්.මවුබිමෙන් ඈත රටක සිටින මම මේ දිනවල කියවන්නෙ රේරුකානෙ චන්දවිමල නාහිමියගේ විදර්ශනා භාවන ක්‍රමය පොත.ඔබ සඳහන් කල වෙබඩවි මට ගොඩක් ප්‍රයෝජනවත් වෙනව.(නු)
නදීශානිගේ ප්‍රාර්ථනාව බොහොම හොදයි.. හැබැයි රේණුකානේ හාමුදුරුවන් අපවත් වෙලා.. දැං වැඩ සිටින්නේ රේණුකානේ හාමුදුරුවන්ගේ ගෝල හිමි හා ප්‍රධාන උපස්ථායක හිමි වෙලා සිටිය ධම්මානන්ද හාමුදුරුවන්ය.. ඒ වගේම රේණුකානේ හාමුදුරුවන්ගේ පොත් බෞද්ධ කටයුතු අමාත්‍යංශයෙන් හෝ දෙපාර්තමේන්තුවෙන් හෝ මුද්‍රණය කරලා බෙදා හරිනවානම් ඉතාම ලොකු පිංකමක් ඒ සදහයා අවධානය යොමු වේවා!!(නු)
රේරුකානේ නායක හාමුදුරුවන් දිගු කලක් සතුටින් සහ නීරෝගී සුවයෙන් වැජඹේවා! (නි)
උන් වහන්සේගේ ධර්ම ඥානය ගැන සිතනකොට පුදුම තරමි හිතෙනවා. රටට අවශ්‍ය ආධ්‍යාත්මය ඇති කරන්න උන් වහනසේගේ ගමන් මග ඉතා වැදගත්.(නදී)