
ක්‍රි.ව. පස්වන සියවසේදි මහායාන ආගමික සංකල්ප ඉස්මතුවීම නිසා බුදුදහමෙ ප්‍රබල අර්බුදයකට මුහුණ දුන්නේය. එකළ බුදුසමය හෙළ අටුවාවට පෙරළමින් ථෙරවාදී බුදු දහම රැක ගැනිමට පෙරමුණ ගත් බුද්ධඝෝෂ හිමියෝ වර්තමානයේදී ලෝකයා විසින් අදහනු ලබන බුදුදහම ආරක්ෂා කරගැනීම සඳහා විශිෂ්ට සේවාවක් කළහ.
එදා බුද්ධඝෝෂ හිමියන් වටහාගත් බුදු දහමේ නිර්මලත්වය ලෝකයේ බහුතර ජනතාවක් වෙත පහදා දීම පාළි භාෂාවෙන් හෝ සිංහල බසින් පමණක් කිරීම අසීරු කාර්යයකි. එබැවින් වර්තමානයේ ප්‍රබලතම ජාත්‍යන්තර භාෂාව වන ඉංග්‍රීසි භාෂාවෙන් බුදු දහම ලොව පුරා ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් මොහාන් ලාල් ග්‍රේරු පදනම මගින් ආරම්භ කර තිබේ. ඒ දිවයින පුරා විහාරස්ථාන වල වැඩවාසය කරන භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් හා ආරාම වාසී සිල් මෑණිවරුන් සඳහා නොමිලයේ ඉංග්‍රීසි දැනුම බෙදාහදා දෙමින් ලෝපුරා ධර්ම දානයේ යෙදීමට ඔවුන්ට භාෂා දැනුම සැපයීමයි.
මෙම වැඩසටහන් මාලාවේ 10 වැනි පාඨමාලාව පසුගියදා ආරම්භ වූ අතර වසරක පාඨමාලා කාලය අතරදී සියළුම හිමිවරුන්ට සහ දසසිල් මෑණිවරුන් වෙනුවෙන් ගිලන්පස හා දහවල් දානය ලයිසියම් අධ්‍යාපන ආයතනය මගින් පිළිගැන්වේ.
මොහාන් ලාල් ග්‍රේරුමහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන ලයිසියම් අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂිකා කුමාරි ග්‍රේරු මහත්මියගේ පූර්ණ අධීක්ෂණයෙන් පැවැත්වේ.
ප්‍රවීණ ඉංග්‍රීසි දේශකවරු වන ෂේන් බ්ලොක් සහ උපුල් ග්‍රේරු යන ආචාර්යවරු පාඨමාලාව මෙහෙයවති.
වසර නවයක් මෙම පින්බර කාර්යයට දායක වන උපුල් ග්‍රේරු මහතා මෙසේ මෙසේ පැවසීය..
“අපි කළින් කළ පාඨමාලා නවයේදීම ඉතා ඉහළ සාර්ථකත්වයක් අපට ලබා ගන්න හැකිවුණා. ඒ පාඨමාලා සඳහා පැමිණි සියළුම භික්ෂුන් වහන්සේලා ඉංග්‍රීසි භාෂාවෙන් තනියම ධර්ම දේශනාවක් කළ හැකි තත්ත්වයටම දියුණු වෙලා තිබුණා. ඒ නිසා අපි මේ 10 වැනි වසරේ පාඨමාලාවට ඉතා ඉක්මනින් ඉගැනුම් ක්‍රම මගින් ඉගනගන්න දිවයින පුරාම වැඩ සිටින වැඩි භික්ෂුන් පිරිසකට අවස්ථාව ලබා දෙන්න කටයුතු කළා.“
“සභාපති මොහාන් ලාල් ග්‍රේරු මහතා වසර නවයකට ඉහත දීර්ඝ විදේශීය සංචාරයක නිරතවෙලා සිටින කාලයේදී එතුමාට මුණ ගැහිලා තියෙනවා විදේශීකයින් හතරදෙනෙක්. සභාපතිතුමා ශ්‍රිලාංකික බෞද්ධයෙක් කියලා දැනගත්තාම ඒ අය බුදු දහම පිළිබඳව දිගින් දිගටම ප්‍රශ්න අහලා බොහෝ දේ විමසලා තිබුණා...බෞද්ධ දර්ශනය පිළිබඳව ග්‍රේරු මහතාටත් හොඳ දැනුමක් තිබෙන නිසා එහිදී ඒ විදේශිකයින්ට බුදු දහම පිළිබඳ විග්‍රහයක් කරලා තිබුණා.“
ඒ සමගම වගේම තමයි සභාපතිතුමාට සිතිවිල්ලක් පහලවෙලා තියෙන්නේ අපේ මේ දැනට ඉන්න ස්වාමීන් වහන්සේලාට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුමක් ලබා දුන්නහොත් අපේ බෞද්ධ දහම තුළ ඇති වටිනාකම විශාල පිරිසකට දර්ශනවාදීව දකින්න ඉඩ සකසන්න හැකි නේද කියලා. ඒ අනුව ග්‍රේරු මහත්මයා දවසක් මට කිව්වා උපුල් අපි මේ කරන කටයුත්තෙන් අපේ භික්ෂුන් වහන්සේලාට හැකිවෙනවා බුදු දහම ලෝකයේ සෑම තැනටම රැගෙන යන්න අපි මේ කටයුත්ත කෙසේ හෝ ඉදිරියට අරන් යමු කියලා.
ඒ අනුව තමයි මේ පාඨමාලාව ආරම්භ වුණේ
“අපි මේ සදහා වයස් සිමාවක් සීමා පනවන්න යන්නේ නැහැ. මොකද දෙවනි භාෂාවක් ඉගෙන ගන්න වයස බලපෑමක් නෑ. කෙනෙකු තුළ තියෙන උනන්දුව උත්සහය පමණයි මේ සඳහා වැදගත් වෙන්නේ. විශේෂයෙන් තමන් තුළ ඇති ආකල්ප මේ සදහා බලපානවා.
“ඇත්තෙන්ම කියන්න සතුටුයි. අද වන විට 2000 කට වැඩි භික්ෂුන් වහන්සේලා පිරිසක් මේ පාඨමාලාව හදාරලා තියෙනවා උන්වහන්සේලා අතරින් 100 කට වැඩි පිරිසක් තායිලන්තය, කැනඩාව, බුරුමය ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල ඒ ආගමික කටයුතු වල නිරතවෙලා ධර්ම ප්‍රචාරය කටයුතුවල නියැලී සිටිනවා .
වැදගත්ම දේ තමයි මේ සදහා එක්වන භික්ෂුන් වහන්සේලාගෙන් කිසිම අය කිරීමක් කෙරෙන්නේ නැහැ. එපමණක් නොවෙයි උන්වහන්සේලා වෙනුවෙන් අවශ්‍ය ලිපිද්‍රව්‍ය පොත්පත් පවා ආයතනයෙන් සපයනවා. පන්ති ආරම්භ වෙන්නේ සවස දෙකෙන් පස්සේ ඒ අවස්ථාවන් අතර අපි දෙවතාවක් ගිලන්පස පූජා කරනවා
ස්වාමීන් වහන්සේලාගේ ගමන් පහසුව සඳහාත් යම් මුදලක් වෙන් කරන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.
මෙම පාඨමාලාව සම්බන්ධයෙන් මහාචාර්ය විලේගොඩ අරියදේව හිමියෝ මෙසේ පැවසූහ
“කිසිදු දේශපාලන අභිලාෂයකින් තොරව භික්ෂුන් වන අපට දුන්නු විශාල දානයක් මේක. ලයිසියම් ආයතනයේ මොහාන් ලාල් ග්‍රේරු මහතා සහ එම මහත්මිය ඉතා ධනවත්. ඒ ධනවත් කියන්නේ වත්කම් අතින් නොවෙයි සීලාදි ගුණධර්ම වන ශ්‍රද්ධා ශීල ශ්‍රත ත්‍යග ප්‍රඥා කියන ගුණ ධර්මවලින් මේ අය පොහොසත්. ඒ නිසා තමයි අද මේ භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් මේ දානමය කටයුත්ත කරන්නේ.
2500 ක් නොවෙයි තවත් වසර දෙදහස් පන්සියක් ගෙවී ගියත් මේ බුදුදහම නසන්න කිසිම කෙනෙකුට බෑ මේ වගේ ශ්‍රද්ධාවන්ත පිරිස් මේ රටේ ඉන්නකම්
අපේ භික්ෂුන් වහන්සේලා කවදත් තමා ලැබූ දේ ලෝකයට බෙදා දීම කරන ත්‍යාග වන්ත අය. ඉංග්‍රීසි භාෂාවෙන් ධර්මය පමණක් නොවෙයි උන් වහන්සේලාට තමන් ලද මේ ඉංග්‍රීසි දැනුමත් අනෙක් පිරිස වෙත ලබා දීමට කටයුතු කරාවි කියන දේ මට විශ්වාසයි.
මේ වෙනුවෙන් කැප වෙන සෑම අයෙකුටම මහා පිනක් අත් වෙනවා“ යයිද මහාචාර්ය විලේගොඩ අරියදේව හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කෙරුවත් වැඩක් නැහැ.. මේ අය බුද්ධ ධර්මයට ගරු කරන්නේ නැත්තම්, පිළිපදින්නේ නැත්තම්!!! එය ඉතා කණගාටුදායකයි.
බොහොම හොඳ වැඩක්....
ඉංග්‍රීසි විතරයි අඩුවෙලා තියෙන්නේ, රට ගිනි තියන්නයි පාරවල් ගානේ විකාර කරන්නයි තමයි හදන්නේ..
ඉතාම මාහැඟි පුණ්‍ය කර්මයක්. බුදු දහම ලොවට ප්‍රචලිත කිරීමට වැදගත් අඩිතාලමක්. එහෙත්, හැමදාමත් සංඝ සමාජයට, සම්බුද්ධ ශාසනයට ගරහන, අවලාද නගන, නිගණ්ඨ මිසදිටුවන්ට මේවා දැකීමත්, ඇසීමත් නයාට අඳු කොළ මෙනි. මොහාන්ලාල් ග්‍රේරෝ ගුරුතුමා සහ එම පිරිසට චිරාත් කාලයක් මෙවැනි ඵලදායි, උතුම් කාර්යයන් කරගෙන යාමට හැකි වේවා යයි පතමි !!!
ඉතාම කාලෝචිත වැඩ පිළිවෙලක්. බොහෝ රටවල ධර්ම ප්‍රචාරයෙහි යෙදී ඉන්නා බහුශ්‍රැත ශික්ෂාකාමී ගුණගරුක භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නා නමුත් දැන් දැන් පිටරට ධර්ම ප්‍රචාරය සඳහා වැඩම කරනා ස්වාමීන්වහන්සේලා ඒ ඒ රටවල භාෂාවන් ඉගෙන ගන්නේ එහෙ ගියාට පසුව බව පෙනෙන්නට තියෙනවා. බොහෝ අවස්ථාවල අපේ විහාරස්තාන වලින් කෙරෙන්නේ ධර්ම ප්‍රචාරයට වඩා ඒ රටවල ඉන්නා ශ්‍රී ලාංකික බෞද්ධයින්ගේ දෛනිකය අවශ්‍ය තාවයන් සපුරාලීමයි. ආගමික සහ සංස්කෘතික වැඩ කටයුතු මෙන්ම දහම් පාසල් වගේ දේවලින් ලාංකිකයින්ගේ ඉල්ලීම් වලට අවශ්‍ය සේවයක් ලබාදීමයි. ඒඅතර රථ වාහන එලවන, රස්සාවල් කරන, අමුතු ජාතියේ සිවුරු පළඳින, බුද්ධාගමට අමතරව යෝග ව්‍යායාම වැනිදේ කියාදී මුදල් හම්බ කරන ලාංකික භික්ෂුන් වහන්සේලාද පිටරටවල ඉන්නවා. බොහෝ අවස්ථාවල පිටරටවලට යන තරුණ භික්ෂුන් වහන්සේලා ටික කාලයකින් සිවුරු හැර යාමත් සිදුවෙන දෙයක්. මේ නිසාම භික්ෂුන් වහන්සේලාට සමහර රටවලට යාම සඳහා විසා ලබාගැනීමද අසීරු දෙයක් බවට පත්වී තියෙනවා. මෙනිසාම ඒ රටවල අලුතෙන් ආරම්භ කල විහාරස්තාන භික්ෂුන් වහන්සේලා නැති කම නිසා වසා දැමීමට පවා සිදුවී තියෙනවා.
මම නම් දන්නා විදිහට බුද්ධඝෝෂ ස්වාමින්වහන්සේ කලේ සිංහල අටුවාව පාලියට හැරවීමයි. එහෙම නැතුව බුද්ධදේශනා හෙළ අටුවාවට හැරවීම නෙමෙයි. එහිදී බුද්ධඝෝෂ ස්වාමින්වහන්සේගේ දැනුම පරික්ෂා කරන්න 'අන්තෝ ජටා බහි ජටා' ගාථාවට විවරණයක් ලියන්න පැවරුවා. ඒ ලියපු පොත තමයි 'විශුද්ධි මාර්ගය' කියන්නේ.
බුදු දහමට ලංකාවේම අභියෝග එල්ලවී තිබෙන කාලයක මෙම උත්සාහය අතිශයින් අගය කල යුතුය.
මෙම අදහස ඉතාම හොඳ දෙයක්.
මියන්මාරයේ කන්දේත් මෙහාට ගෙනාවනම්, හොඳ දහමක් ප්‍රචාරය කරන්න තිබුනා මුළු ලෝකෙටම.
බුදු දහමට ලංකාවේම අභියෝග එල්ල වී තිබෙන කාලයක මෙම උත්සාහය අතිශයින් අගය කල යුතුයි.
අනුන්ට උගන්නන්ඩ ඉස්සෙල්ලා තමන් හැදුනොත් නරකද?