IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


රෝහල්වල ඖෂධ හිඟයෙන් සෞඛ්‍ය සේවයේ බිඳවැටීමක්

රට අර්බුද පොකුරක සිරවී තිබේ. ජනයාට නිදහසේ හුස්ම ගැනීමට නොහැකි තරමට තත්ත්වය තියුණුය. ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අහස උසට නැග තිබේ. ඉන්ධන පෝලිම්වල, ගෑස් පෝලිම්වල සහ භූමිතෙල් පෝලිම්වල දිවා රෑ දෙකෙහි නිරා දුක් විඳීම ජීවිතයේ දෛනික අංග බවට පත්වී තිබේ. විදුලිය විසන්ධිය. ජන ජීවිතය උඩුයටිකුරු කිරීමට හේතු වී තිබේ. දෙවසරක් අහිමි වූ අලුත් අවුරුද්ද සිත් සේ සැමරීමේ ජනතාවගේ අපේක්ෂාව ගලක හැපුණු වීදුරු පාත්තරයක් මෙන් කුඩු පට්ටම් වී ගොස් තිබේ.

රට තුළ මතුව ඇති පීඩාකාරී පරිසරය තුළ දැවෙන තැවෙන ජනයා ගලග්‍රහණයට ගැනෙන පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ රට පුරා සියලු ඖෂධ අලෙවිසල්වල අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවල දැඩි හිඟයක් පවතින බවට පාරිභෝගිකයන් චෝදනා කරන බවය. ඇතැම් ඖෂධ අලෙවිසල්වල පැරසිටමෝල් පවා නොමැති බවත්, බෙහෙත් තුණ්ඩුවක් ඉදිරිපත් කළ විට ඒවායින් ලබාගත හැක්කේ වට්ටෝරුවේ ඇති බෙහෙත් වර්ග එකක් හෝ දෙකක් පමණක් බවත් පාරිභෝගිකයන් පවසන බව අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.

ඉතා භයානක තත්ත්වයක් බව නොකිවමනාය. මිනිසා රෝගාබාධවලට ගොදුරුවන්නේ කලින් දැනුම් දී නොවේ. එනිසාම තමාට කවරාකාර රෝගාබාධයක් වැළඳුණ ද එය සුව කර ගැනීමට අවශ්‍ය ඖෂධ පහසුවෙන් ලබා ගත හැකි පරිසරයක් රටේ තිබිය යුතුය. ජීවිතයට විශ්වාසයෙන් මුහුණ දිය හැකි වන්නේ එවිටය. එහෙත් අද රට තුළ එබඳු විශ්වාසයකින් මුහුණ දිය හැකි පරිසරයක් නොමැති බව ඉතාම පැහැදිලිය.

මිනිසාට ජීවත්වීමට ආහාර, ජලය, වස්ත්‍ර හා නිවාස මෙන්ම ඖෂධ ද අත්‍යවශ්‍ය වේ. ඇතැම් රෝගවලට සදාකාලිකවම ඖෂධ ගැනීමට සිදුවේ. ‘‘ඖෂධ හිඟය’’ සම්බන්ධ පුවත් එබඳු රෝගීන් සසල කිරීමටත්, පවුලේ පිරිස් කම්පනය කිරීමටත් හේතු වේ. සමාජ අසහනය ගොඩනැගෙන්නේ මෙම සියලු සාධක සමගින්ය. අවසානයේදී මෙම සමාජ අසහනය පුපුරා යන්නේ ප්‍රවේගකාරී විලාශයෙනි. එය මුළු මහත් රටේම පැවැත්ම කෙරෙහි තීරණාත්මකව බලපානු ලබයි.

අප පුවත්පත කොළඹ නගර ශාලාව අසල පිහිටි ප්‍රධාන ඔසුසලේ ප්‍රකාශකයකුගෙන් විමසූ විට ඔහු පවසා තිබුණේ, ඖෂධවලට අමතරව වෛද්‍ය උපකරණවලද හිඟයක් පවතින බවය. මිල අධික ඇතැම් වෛද්‍ය උපකරණ පසුව ආනයනය කරදීමේ පදනම මත රෝගීන්ගේ ඖෂධ තුණ්ඩු ලබාගන්නා බව ද එමගින් ඔසුසල් මෙන්ම රෝගීන් යන දෙපාර්ශ්වයම දැඩි අපහසුතාවට පත් වන බවය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති මෙම භයානක තත්ත්වය සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය නොපමාව යොමු විය යුතුය. මෙම ප්‍රශ්න කල් මැරිය හැකි ප්‍රශ්න නොවේ. සැබැවින්ම දුර දක්නා නුවණින් මෙම ප්‍රශ්න දැක ඒවාට පිළියම් යෙදීමේ වගකීමක් බලධාරීන්ට තිබේ. එහෙත් සංහාරයෙන් පසුව සංරක්ෂණය සම්බන්ධයෙන් කටමැත දෙඩවීම ජාතික සිරිතක් බවට පත්ව ඇති රටක උද්ගතව ඇති තත්ත්වය විමතියට කාරණයක් ද නොවේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද ඖෂධ හා වෛද්‍ය උපකරණවල හිඟය සම්බන්ධයෙන් ඉකුත් දා ප්‍රකාශ කර තිබිණි. එම සංගමය පවසන්නේ ඖෂධ හා වෛද්‍ය උපකරණවල හිඟයත්, විදුලිය කප්පාදුවත් ඉන්ධන හිඟයත් නිසා රෝහල්වල බරපතළ රෝග සත්කාර සේවා බිඳවැටී ඇති බවය. එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර තිබුණේ ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන නිදහස් සෞඛ්‍ය සේවාවට ප්‍රමුඛතාව ලබා නොදීම නිසා සෞඛ්‍ය සේවා බිඳ වැටෙමින් තිබෙන බවය. ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සහ සෞඛ්‍ය සඳහා ඇති අයිතිය තහවුරු කිරීම රජයකට අත්හල නොහැකි වගකීමක් බව ද සඳහන් කර ඇති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා, එම මූලික අයිතිවාසිකම් තහවුරු කිරීමට රජය වර්තමානයේ අසමත්ව ඇති බවය.

සෞඛ්‍ය සේවය බිඳ වැටීම යනු මරණයට පාවාඩ එළීමකි. ජීවිතය අනියත බවත්, මරණය නියත බවත් සැබෑවකි. එහෙත් ගෞරවාන්විත ජීවිතයක් මෙන්ම ගෞරවාන්විත මරණයක් ශිෂ්ට සම්පන්න සමාජය තුළ මිනිසාට තිබිය යුතුය. එය අනුල්ලංඝනීය අයිතියකි. ලංකාව මරණය වැළඳ ගත යුතු නැත. එමෙන්ම විඳවීමකින් තොරව ජීවිතය විඳීමට ජනතාවට පරිසරයක් තිබිය යුතුය.

මෙම තීරුවෙන් බොහෝ විට අවධාරණය කෙරුණ කාරණාවක් වූයේ රටේ අවශ්‍යතා සම්බන්ධයෙන් ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කළ යුතු බවය. දියුණු විද්‍යාත්මක ක්‍රමය වන්නේද එයයි. එය කෙතරම් දුරට ප්‍රායෝගිකව හා සාර්ථකව මෙරට තුළ ක්‍රියාත්මක වීද යත්, මෙම සටහන තබන මොහොත වන විට මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට කැබිනට් අමාත්‍යවරයකු ද නැත. සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් භීතියක් ඇවිළී යන්නේ මෙම පරිසරය තුළය.

(***)



අදහස් (0)

රෝහල්වල ඖෂධ හිඟයෙන් සෞඛ්‍ය සේවයේ බිඳවැටීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1775 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1457 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site