IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


රණවිරුවන්ගේ කරමතින් යන ආපදා කළමණාකරණය

ඩයනා උදයංගනී     

පසුගිය දිනවල ඇතිවූ මහ වැසි හේතුවෙන් මේ වන විට උතුරු පළාතේ දිස්ත‍්‍රික්ක පහක් ඇතුළුව දිස්ත‍්‍රික්ක හතකට අධික ජලගැලීම් තත්ත්වයක් ඇති වී තිබේ. එයින් පීඩාවට පත් වී සිටින සංඛ්‍යාව 75,000කට ආසන්නය.

මෙය මෙරටට බලපෑ පළමු ස්වභාවික ආපදාව හෝ අවසන් ආපදාව ද නොවේ. මෑත කාලයේදී සුනාමි, ගංවතුර, නායයෑම්, හදිසියේ ඇතිවන ගිනි ගැනීම් ආදී ව්‍යසන රැසකට ශ්‍රී ලංකාව මුහුණ දුන්නේය. ඒ සෑම අවස්ථාවකදීම පාහේ ජනතාව මුදා ගැනීමේ කටයුතු සම්බන්ධයෙන්   කාටත් පළමුව සිහිපත් වූ පිරිසක් වේ. ඒ ත‍්‍රිවිධ හමුදා හා සිවිල් ආරක්‍ෂක බලකා රණවිරුවන් මිස අන් කවුරුත් නොවේ.

වයෝවෘද්ධ දෙමාපියන්, දරුවන්, රෝගීන්, කාන්තාවන් කර තබාගෙන එන රණවිරුවන් මේ දිනවල ද  මාධ්‍ය ඔස්සේ දකිමින් අපි සිටින්නෙමු. අද දිනයේත් උතුරේ ජීවිත බේරාගැනීමේ අරගලයක නිරතව සිටින්නේ යුද අපරාධ කළ බවට චෝදනා ලැබූ ඒ රණවිරුවන්මය. ඇතැම් දේශපාලකයින්   උතුරු පළාතෙන් ඉවත් කළ යුතු බව කී රණවිරුවන්මය.

විපතක් පැමිණි  ඕනෑම අවස්ථාවක තමන්ගේ පවුලේ සාමාජිකයින් විපතකින් බේරාගන්නාක් මෙන් වෙනසකින් තොරව රණවිරුවෝ එම ජනතාව බේරා ගත්හ. ගං වතුරකදී කර මත තබාගෙන හෝ බෝට්ටුවලින් සිර වී සිටි ජනයා ගොඩට ගෙන ආහ. නාය ගිය අවස්ථාවක අවදානම ද නොතකා පස් අතර සිරවී සිටි අය ගොඩට ගත්හ. පණ පිටින් බේරාගැනීමට නොහැකි වූවන්ට ද ගෞරවනීය අවසානයක් හෝ ලබාදීමේ අරමුණින් ඔවුන්ගේ සිරුරු සොයා වෙහෙසුණහ.

නාවික හමුදාව බෝට්ටු යොදාගෙන දියෙහි පීනමින් එම කටයුතුවලට සහය දෙද්දී ගුවන් හමුදාවද ගුවනේ සිට නිරීක්‍ෂණය කරමින් හා මුදාගත නොහැකි ස්ථානවල සිරවූවන් ගුවන් යානා යොදවා බේරා ගනිමින් එම කටයුතුවලට සහය දුන්නේය. පසුගිය කාලයේ ඇති වූ ගංවතුරකට කොටුවී සිටි ජනතාව බේරාගැනීමේ කාර්යයේ යෙදී සිටි ගුවන් හමුදා විරුවකු ජීවිතය පවා පූජා කළේය.

මේ සියල්ල කරද්දී ඔවුන් අව් වැසි තකන්නේ නැත. රෝග අවදානම්, ජීවිත අවදානම් ද තකන්නේ නැත. එමෙන්ම ආපදාවෙන් ජීවිත බේරාගැනීමෙන් පසු ඔවුහු තම මෙහෙවර අවසන් නොකරති. අවතැන් කඳවුරුවල ජීවත් වන්නන් හට ඒ සිටින කාලයේදී ආහාර සකසාදීම, සෞඛ්‍ය කඳවුරු පැවැත්වීම, සනීපාරක්‍ෂක ආදී සෙසු පහසුකම් ලබාදීම මෙන්ම නිවෙස් අපවිත‍්‍ර වී ඇත්නම් ඒවා හා මාර්ග ආදිය පිරිසිදු කර දෙන්නේ ද එම විරුවන්මය. ඔවුහු සම්පූර්ණයෙන් විනාශ වූ නිවෙස් ද යළි ගොඩ නගති.

ආපදා අවස්ථාවකදී  සහයවීම සඳහා  ඕනෑම අවස්ථාවක රණවිරුවන්ගේ සහය ලබාගැනීමේ හැකියාව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සතු අතර 2005 වසරේ සිට එම මධ්‍යස්ථානයේ කටයුතු වෙනුවෙන් හමුදා නිලධාරීහුද එක්ව සිටිති. බොහෝ විට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත‍්‍රික් සම්බන්ධීකාරක නිලධාරීන් ලෙස කටයුතු කරන්නේ ද හමුදා නිලධාරීන්ය.

මෙම දිනවල උතුරු පළාතේ ඇතිවූ ජල ගැලීමෙන් පීඩාවට පත්වූවන්ට ඔවුන් පිහිටවන්නේ සිය බත්පත පවා එම ජනතාවට ලබාදෙමින් නිරාහාරව බව පැවසේ. එයින් විපතට පත් වැසියන් වෙනුවෙන් සහන සැලසීමට හමුදා කණ්ඩායම් රැසක් යොදවා ඇති බව හමුදා ආරංචි මාර්ග පවසයි.

මෙම ජල ගැලීම් හේතුවෙන් විපතට පත්වූයේ එම ප‍්‍රදේශවල පදිංචිකරුවන් පමණක් නොවේ. රත්නපුරයේ සිට පැමිණි 68 දෙනෙකුගෙන් යුත් සංචාරක පිරිසක් ඉකුත් සිකුරාදා (21) දින විල්පත්තුව ජාතික අභයභූමි රක්ෂිතය තුල සිරවූයේ බස්රථය මඩවගුරක එරීම හේතුවෙනි. වන සතුන් බහුල රක්‍ෂිතය තුළ කර කියාගත හැකි දෙයක් නොවූ පිරිස 119 හදිසි ඇමතුම් අංකයට ඇමතුමක් දී ඒ බව දැනුම් දුන් අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ පොලිසිය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ඔවුන්ට සහය වීමට කටයුතු කළේ බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 14 සේනාංකයට අයත් පුත්තලම ප‍්‍රදේශයේ ස්ථානගත 143 බලසේනාවේ සේවය නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ය.

යුද හමුදා 143 වන බලසේනාවේ බලසේනාධිපති බි‍්‍රගේඩියර් ධම්මික දිසානායකගේ ප‍්‍රධානත්වයෙන් යුතුව යුද්ධ හමුදා සාමාජිකයින් ද පුත්තලම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඇතුළු පිරිසගේ සහයෝගය ද ඇතිව සිදු කළ මෙම මෙහෙයුම සඳහා කොලන්කනත්ත නාවික හමුදා කඳවුරේ සාමාජිකයින් කිහිපදෙනෙකු ද එක්ව ඇත. සංචාරක පිරිස මුදාගෙන වනාතවිල්ලූව ශාන්ත ජූඩ් දේවස්ථානය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඔවුන් සඳහා නවාතැන්, ආහාරපාන සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් ලබාදෙනු ලැබුවේද එම හමුදා සාමාජිකයින් විසිනි.

උතුරු පළාතට පසුගිය දිනවල ඇදහැලුණු ධාරාණීපාත වැසි හේතුවෙන් ඉකුත් සිකුරාදා  නිවාස රැසක් ජලයෙන් යටවූ අතර එම   වැසියන්ට සහන සැලසීම සඳහා යුද්ධ හමුදා සහන සේවා කණ්ඩායම් පැමිණෙන විටත් එම ජනතාව ආරක්‍ෂාව වෙනුවෙන් ගස් හා වෙනත් උස් ස්ථාන වෙත ගොස් සිට සිටියහ. ඔවුන් මෙන්ම ප‍්‍රදේශයේ සිටි සුනඛයන්, ගවයින්, ගොනුන් හා බලලූන් වැනි සතුන් ද ආරක්ෂිත ප‍්‍රදේශවලට ගෙනැවිත් ඔවුන්ට අවශ්‍ය ආහාර ද ලබා දුන්නේ යුද හමුදා සාමාජිකයින් විසිනි.

මූලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරුගේ උපදෙස් හා 64 වැනි සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ගේ අධීක්ෂණය යටතේ එම සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්   විශේෂ බලකායේ සහ නයාරු පිහිටි නාවික හමුදා කඳවුරේ ජිවිත ආරක්ෂක කණ්ඩායම්වල ද සහයෝගය ඇතිව සෙනසුරාදා (22) අලූයම 2.00   පමණ දක්වා මෙම ගලවාගැනීමේ මෙහෙයුම් දියත් කළ බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.

ඔවුන්ට අවශ්‍ය පිසූ ආහාර සහ වෛද්‍ය ආධාර ද යුද හමුදාව විසින් සපයනු ලැබීය. තවද, මාර්ගයට කඩා වැටුණු ගස් ඉවත් කරමින් මාර්ගයේ ගමනා ගමනය යථා තත්ත්වයට පත් කිරීමට යුද්ධ හමුදා සාමාජිකයෝ සමත්වූහ. එමෙන්ම, අවට ප‍්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් නිවාසවල කොටුවී සිටින සිවිල් වැසියන් සඳහා ආහාර පාර්සල් බෙදාදීමට ද යුද්ධ හමුදාව කටයුතු කළේය.

එමෙන්ම වර්ෂාව සමඟ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පිහිටි  ඕළුමඩු පුලිමුච්චුනාඩුකුලම් වැවෙහි ජල මට්ටම් සීඝ‍්‍රයෙන් ඉහල ගොස් වැව් බැමි කැඩී යාමේ අවදානමක් ද මතුවු අතර එසේ වූයේ නම් විශාල විනාශයක් වන්නට තිබිණි. එම අවස්ථාවේදී 57 වැනි සේනාංකය යටතේ ස්ථාපිත 574 වන බලසේනාවේ සහ 3 වැනි ගජබා රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයෝ පිරිසක් යුහුසුළුව ක‍්‍රියාත්මක වී වැව් බැම්මේ ජලය කාන්දුවන ස්ථානය වටා වැලිකොට්ටා අතුරා වැව් බැම්ම ආරක්‍ෂා කරගත්හ.

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 68 වැනි සේනාංකයට අයත් 7 වැනි ගැමුණු හේවා බලඇණියේ සහ 4 වැනි ශ‍්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයෝ ද මෙම කටයුතුවල නිරත වූහ.

මීට අමතරව කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 7 වන ශ‍්‍රී ලංකා පාබල හමුදාව, 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුව, 1 වන ශ‍්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 15 වන ශ‍්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයෝ විශාල පිරිසක් ද වර්ෂාපතනය හේතුවෙන් ජලයෙන් යටවූ ප‍්‍රදේශයන්හි ගලවාගැනීමේ මෙහෙයුම්වල නිරතවූහ.

එමෙන්ම මෙම   කාළගුණික තත්වයෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා ඩිංගි යාත‍්‍රා 09 ක් සහිත නාවික සහන කණ්ඩායම් 06 ක් යොදවා තිබිණි.

ජල ගැලීම් හේතුවෙන් ජලයෙන් යටවී තිබූ කිලිනොච්චි දිස්ත‍්‍රික්කයේ කන්දවෙලෙ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අත්‍යවශ්‍ය ලිපි ලේඛන සහ උපකරණ ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන යාම සඳහා ද නාවික හමුදා සහන කණ්ඩායම් කටයුතු කර තිබේ.

 මේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ද බෙල් 212 හෙලිකොප්ටර් යානයක් හා වයි 12 වර්ගයේ යානයක් යොදාගනිමින් ජලගැලීම් තත්ත්වය නිරීක්ෂණය කරමින් මුදාගැනීමේ මෙහෙයුම්වලට සහය දුන්නේය.



අදහස් (2)

රණවිරුවන්ගේ කරමතින් යන ආපදා කළමණාකරණය

Victor Diganathenna Wednesday, 26 December 2018 10:08 AM

අපදා කළමනාකරණය සැමදා යැපුණේ ත්‍රිවිධ හමුදා සහයෙන් මිස අන් කිසිවෙකුගෙන් නොවේ. එසේම ඕනෑම රටක ආපදා කළමනාකරණ කටයුතුවලදී පළමු ප්‍රතිචාරකයින් ලෙසින් කටයුතු කරන්නේද, ඒ රටේ ත්‍රිවිධ හමුදාවයි. එසේවුවද, ලාංකේය සිවිල් පරිපාලන ගෙම්බන් අපදා කළමනාකරණය තමන්ගේ සාක්කු පුරවා ගැනීමේ පූර්ණ විකල්පයක් ලෙස තබාගැනීම සඳහා ත්‍රිවිධ හමුදා අයවලුන් එහි අධ්‍යක්ෂක ජෙනරාල් තනතුරට පත්වීම කෙසේ හෝ වළක්වාලීමට කටයුතු කරන්නෝය...

:       0       117

bandula Wednesday, 26 December 2018 10:25 AM

ඩයනා උදයංගනී, ඔබගේ මෙම සවිස්තර වාර්තාව ඉතාම අගය කර සලකමි. මෙය ජනතාව දැනුවත් කිරීම වගේම ආරක්ෂා හමුදාවේ දිරිමත් කිරීමට උපකාර වනු ඇතැයි විශිවාස කරමි. මෙවැනි ලිපි නිතර පලකිරීම නිතිපතා කරගෙන යාමට ඔබටත් ධෙර්යය පතමි. ස්තුතියි!!!

:       0       234

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 434 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 314 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 485 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site