IMG-LOGO

රටටත් දැයටත් අයෝමය සේවාවක් කළ මුද්දර රජා

ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මැතිතුමාගේ 132 වැනි ජන්ම දිනය ඊයේ 26 වැනිදාට යෙදී තිබිණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.ගාල්ල රත්ගම ඕවකන්දේ පදිංචි එමෝ ද සිල්වා මහතාගේ බිරිඳ වන ඇලිස් ගුණසේකර මහත්මියට 1887 නොවැම්බර් 26 වැනිදා පුත් රුවනක් ලැබිණ. ඒ රත්ගම පුරවරය බැබළ වූ ද ලංකාවාසී ජනතාවට අනූපම සේවයක් කළා වූ ද මානව හිතවාදී ඇල්බට් අර්නස්ට් ද සිල්වා කුමරුවන්ගේ උපතය. එතුමාගේ පියා ප්‍රධාන පෙළේ ඉඩම් හිමි වැවිලිකරුවෙක් විය. මවද ඉඩම් හිමි ධනවත් පවුලක උපන් ශ්‍රේෂ්ඨ ගණයේ බෞද්ධ කාන්තාවකි. සමාජයේ උසස් තලයක ජීවත් වූ ඔවුහු සිය ව්‍යපාරික කටයුතු නිසා කොළඹ “සිරිමති පායෙහි” ජීවත් වූහ.

කොළඹ නගරයේ හැදී වැඩි කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා අනතුරුව එංගලන්තයේ කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයේ කෙලයාර් විද්‍යාලයෙන් බැරිස්ටර්වරයකු ලෙස සාමාර්ථය ලැබූ අර්නස්ට් ද සිල්වා මැතිතුමා 1912 දී ලංකාවට පැමිණියේය. සිය රට බලා පැමිණි මෙම තරුණයා නීතිඥ වෘත්තියෙහි නොයෙදී තම පියාගේ ව්‍යාපාරික කටයුතුවල නියැලුණි. ඉහළ පෙළේ ධනවතකු වූ මෙම බුද්ධිමත් තරුණයා තම ඥාතියකු වූ එස්. ද එස්. ගුණසේකර මහතාගේ දියණි ඉවැඞ්නි ද සිල්වා මෙනෙවිය සමඟ 1913 මැයි 16 වැනිදා විවාහ දිවියට පා තැබීය.

වැවිලි ක්‍ෂේත්‍රයේ ඉහළ තලයක සිටි අර්නස්ට් ද සිල්වා මැතිතුමා 1915 දී ලංකාවේ ප්‍රධානතම ධනකුවේරයා බවට පත්විය. එතුමා ශ්‍රේෂ්ඨ බෞද්ධයෙකි. දර්ශනවේදියෙකි, දක්‍ෂ පාලකයෙකි, දේශ මාමකයෙකි, ක්‍රීඩකයෙකි, විනෝදකාමියෙකි, එසේම මානව දයාවෙන් පිරුණු අති උතුම් පරිත්‍යාගශීලියෙකි. මේ සෑම ගුණාංගයකින්ම එතුමා ඉහළම ගෞරවය දිනා ගැනීමට සමත් විය.

ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මැතිතුමා ක්‍රි.ව. 1912 දී ලන්ඩන් කේම්බි්‍රජ් කෙලයාර් විද්‍යාලයෙන් බැරිස්ටර් නීති උපාධිය ලබා ගන්නා විට ඉන්දියාවේ නිදහස් සටනේ පුරෝගාමියකු වූ ශ්‍රී ජවහල්ලාල් නේරුතුමා ද එම විශ්වවිද්‍යාලයෙන් ඉගෙනගත් එතුමාගේ සමකාලීන මිතුරෙක් විය. 20 වැනි සියවස වනවිට සිය ජන්ම භූමිය වූ රත්ගම දරිද්‍රතාවත් නූගත්කමත් නමැති අඳුරු වලාපටලයෙන් වැසී තිබූ බැවින් එම අඳුරු වලාපටලය ඉරා දමා ප්‍රදේශවාසීන්ගේ උසස් ජීවන තත්ත්වයක් ඇති කරලීම කෙරෙහි එතුමාගේ විශේෂ අවධානය යොමු විය. මේ කාලය තුළ ඉංග්‍රීසි සහ සිංහල අධ්‍යාපනය ලැබීමේ වරප්‍රසාද තිබුණේ එක්තරා පන්තියකට පමණි. ක්‍රිස්තියානි මිෂනාරී පාසල් එකක් හෝ දෙකක් තිබුණ ද එයින් අධ්‍යාපනයක් නොලැබුණි. දරිද්‍රතාවයෙන් පෙළුණ රත්ගම ප්‍රදේශවාසීන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම සඳහා එතුමා ක්‍රි.ව. 1920 දී රත්ගම දේවපතිරාජ විද්‍යාලය ස්වකීය ධන පරිත්‍යාගයෙන් ඉදිකළේය. තම මවගේ සහෝදරයා (මාමා) වන එයාරිස් ද සිල්වා ගුණසේකර මහතාට අයත් ඕවකන්දේ අක්කර 80ක් වූ භූමිභාගයක් ඒ සඳහා තෝරා ගති. මෙම දේවපතිරාජ විද්‍යාලය ලංකාවේ නොමිලයේ ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීම සඳහා පිහිටුවන ලද ප්‍රථම විද්‍යායතනය වූ අතර රත්ගම මවුපියන්ගේ දූ දරුවන්ට ඉංග්‍රීසි ඉගෙනීමේ වාසනාව එයින් උදා විය. ආරම්භයේදී ද්විභාෂා පාඨමාලාවක් ලෙස හඳුන්වන ලද මෙම පාසල ක්‍රමයෙන් දියුණුවන්නට විය.

 20 වැනි සියවස මුල්භාගය සිංහල ජාතියත්, බුද්ධාගමත් ආරක්‍ෂා කර ගැනීම සඳහා බුද්ධිමත් ධනවත් වීරයන් සටන් කළ අවදියක් විය. දේශබන්දු එෆ්.ආර්. සේනානායක, වලිසිංහ හරිස්චන්ද්‍ර, ශ්‍රීමත් බාරොන් ජයතිලක, මහාමාන්‍ය ඩී.එස්. සේනානායක වැනි ශේෂ්ඨයෝද මේ අතර වූහ. සිංහල ජාතියේත් බුද්ධ ශාසනයේත් අභිවෘද්ධිය පතා බෞද්ධ දරු පරපුරට බුදු දහම ලබාදීමේ විශිෂ්ට කර්තව්‍යයක නියැලුණු අතර කොළඹ තරුණ බෞද්ධ සමිතියේ සභාපති තනතුරට එතුමා වර්ෂ 1944 දී පත්විය.

 මුද්දර එකතු කිරීම ද මෙතුමාගේ විනෝදාංශයක් වූ අතර දුර්ලභ ගණයේ මුද්දර එකතු කිරීමේ ලෝක වාර්තාව පිහිට වූයේ ද එතුමාය. මෙතුමා සතුව තිබුණු දුර්ලභ ගණයේ මුද්දරයක් එංගලන්තයේදී රන් පවුම් දහසකට අලෙවි විය. එම නිසාම එතුමා “මුද්දර රජා” යන විරුදාවලියෙන් හැඳින්විය. වර්ෂ 1916 දී කොළඹ මහා නගර සභාවේ මන්ත්‍රී ධුරයකට මෙතුමා පත්විය. වර්ෂ 1926 දක්වා කොළඹ මහා නගර සභාවේ මරදාන කොට්ඨාස නගර මන්ත්‍රීවරයා ලෙස සේවය කරමින් දුප්පත් ජනතාවගේ හිතසුව පිණිස කටයුතු කළේය. දෙස් විදෙස්හි කීර්තිය ලබාගත් මෙතුමා අනුපමේය සේවය අගය කළ බි්‍රතාන්‍යයේ මහරජු විසින් එරට පිරිනමනු ලබන ඉහළම ප්‍රභූ සම්මානය වන “නයිට් පදවිය” එතුමාට 1946 ජනවාරි 10 වැනිදා පිරිනැමිණි.

 දුබලයා ප්‍රබලයා කිරීම එතුමාගේ දර්ශනයේ තවත් ප්‍රබල අංගයක් විය. එයින් කායික හා මානසික වශයෙන් දුබල අයෙකුට මෙම අපේක්‍ෂා මුදුන්පත් කරගැනීමේ ශක්‍යතාව ඇති කිරීමේ කටයුතුවලදී එවැනි පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීම ගැන අවධානය මෙතුමාට ඇති විය. එම නිසාම මානසික ආබාධිත දරුවන් සඳහා නිවාස ඉදිකොට ඔවුන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන් රාශියක් දියත් කළේය. ඒ අනුව රාජගිරියේ වික්ටෝරියා ළමා නිවාසය ඉදිකොට අවශ්‍ය සියලු පහසුකම් සපයයි. එසේම පානදුර වලානේ ළමා නිවාසයද, කටුනායක ලක්ෂ්මී ළමා නිවාසයද, ආබාධිත බාලිකාවන් සඳහා ඇන්ජලා ළමා නිවාසය මොරටුව ලුනාවේ පිහිටුවීය. මේ හැර වැඩිහිටි කාන්තාවන් සඳහා පානදුර මල්ලිකා නිවාසය පිහිටුවීමේ පුරෝගාමියා අර්නස්ට් ද සිල්වා ශ්‍රීමතාණන්ය.
අර්නස්ට් ද සිල්වා ශ්‍රීමතාණන්ගේ සේවය අනල්පය, අසාමන්‍යය, අමරණීයය. අධිෂ්ඨානශීලී චින්තන දාරාවන්ගෙන් හදවත සපුරා ගත් මෙතුමා අත තැබූ හැම ක්‍රියාදාමයකින්ම උසස්ම පළ නෙළා ගති. බුද්ධ ශාසනයේත් ජන ජීවිතයේත් චිර ජීවනය සඳහා එතුමාගේ කැපවීම සදානුස්මරණීය වේ. විශ්වාස කළ නොහැකි තරමේ අසාමාන්‍ය මානව හිතවාදියකු ලෙස මේ රටේ වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට මෙතුමා සමත්විය. අවුරුදු 70ක් ආයු වළඳා 1957 මැයි 09 වැනිදා අභාවප්‍රාප්ත විය.

ශ්‍රේෂ්ඨ වූ චරිතයෙන් උතුමන්ගේ උප්පත්ති විරලය. මහත්මා ගුණයෙන් යුත් සම්භාව්‍ය උතුමකු ජනිත වනුයේ කාලාන්තරයකිනි. අති ශ්‍රේෂ්ඨ වූ ද මහත්මා ගුණයෙන් යුක්ත වූ ද ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මැතිතුමා බුද්ධ ශාසනයේත් සිංහල ජන ජීවිතයේත් චිර ජීවනය සඳහා ඉටු කළ අසමසම අයෝමය සේවය සදානුස්මරණීය වේ.

රත්ගම දේවපතිරාජ ජාතික පාසල්
ආදි ශිෂ්‍ය සංගමයේ
රුවන් තොටගමුවගේ.



අදහස් (1)

රටටත් දැයටත් අයෝමය සේවාවක් කළ මුද්දර රජා

Prasadini de silva Saturday, 09 October 2021 10:40 AM

වටිනා ලිපියක්... මෙතුමා නේද BOC මුල්ම සභාපති.. ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 184 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 342 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 683 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site