IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


රට ආපස්සට අදින්න කිසිවකුටත් ඉඩ දෙන්නේ නෑ

(අංජුල මහික වීරරත්න)

මීට වසරකට පෙර තිබූ තත්ත්වයට රට යළි ඇද දැමීමට කිසිවෙකුට ඉඩ නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් අස (1) පැවසීය.

තම අරගලය 2048 වන විට ලෝකයේ පූර්ණ සංවර්ධිත රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම බවද ජනාධිපතිවරයා කීය.

“ජාතික පරිවර්තන මාර්ග සිතියම” රටට ඉදිරිපත් කරමින් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා මෙසේද කීය. අපේ රටේ ආර්ථිකය හැසිරවීමේ වගකීම බාර ගත් දවසේ පටන් මම විටින් විට ආර්ථිකය පිළිබඳ සැබෑ තොරතුරු ඔබට හෙළිදරව් කළා. මට අවශ්‍ය වුණේ විනිවිද භාවයෙන් යුතුව ආර්ථිකය පිළිබඳ සැබෑ චිත්‍රය හැමවිටම ඔබ ඉදිරියේ තැබීමටයි. රටේ සැබෑ තත්ත්වය, ඒ තත්ත්වයෙන් ගොඩ ඒමේ මාර්ගය වගේම රට වෙනුවෙන් අප සියලුදෙනාම සිදු කළ යුතු කාර්යභාරය පිළිබදවත් මම ඔබව දැනුවත් කළා.

පීඩාකාරී ආර්ථිකයකින් දුක් කම්කටොළු රැසකට මුහුණ දෙමින් සිටි අප දැන් ක්‍රම ක්‍රමයෙන් සහනදායී මට්ටමකට එළඹෙමින් සිටිනවා. දුර්වල වී , අඩපණ වී තිබුණු අපේ ආර්ථිකය කිසියම් ස්ථාවර තත්ත්වයකට පත්වෙමින් තිබෙනවා.

මෙම තත්ත්වය අපට උදාකර ගැනීමට හැකි වූයේ පසුගිය කාලය තුළ අප ක්‍රියාත්මක කළ නිවැරදි පිළිවෙත් නිසයි. ඒ වගේම අප සැම එකට එක්වී අභියෝගයන්ට සාර්ථකව මුහුණ දුන් නිසයි. ඒ අභියෝගයන් හමුවේ විවිධ දුෂ්කරතා විඳ දරා ගත් නිසයි.

මාතෘ භූමිය වෙනුවෙන් මේ දුෂ්කරතා විඳ දරා ගත් ඔබ සැමට මගේ කෘතඥතාවය පිරිනැමීමට මම කැමතියි. තව ටික කාලයක් මේ මාර්ගයේම ඉදිරියට යෑමෙන් දුෂ්කරතා සහ පීඩාවන් අවම කර ගනිමින් යහපත් ආර්ථිකයක් නිර්මාණය කර ගැනීමට අපට පුළුවන්කම ලැබෙනවා. ශ්‍රී ලංකාව දැන් වර්ධනාත්මක, සමෘද්ධිමත් ගමනක් යාමට සූදානම්. අප ඒ ගමන ඉදිරියට යා යුත්තේ කෙසේද? ඒ සඳහා අප අනුගමනය කළ යුතු පිළිවෙත් මොනවාද?

අද මම ඔබට පැහැදිලි කරන්න යන්නේ ඉදිරියේදී අප අනුගමනය කරන්නට බලාපොරොත්තුවන ක්‍රියාමාර්ගයයි. අපේ ඉදිරි මාර්ග සිතියමයි.

අපේ ඉදිරි ගමන සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ආර්ථිකයේ සහ සමාජයේ පරිපූර්ණ පරිවර්තනයක් සිදු කළ යුතු බව මම මීට පෙර අවස්ථා ගණනාවක දී අවධාරණය කළා. 2023 අය වැය මගින් මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ, ප්‍රතිසංවිධාන සහ නවීකරණ පිළිබඳව මම කරුණු සඳහන් කළා. යහපත් අනාගතයක් ගොඩනැංවීම වෙනුවෙන් අප වර්තමානයේ මේ පියවර ගත යුතුමයි.

මෙහිදී අප ගන්නා තීන්දු දුෂ්කර මෙන්ම වේදනාකාරී වෙන්නට පුළුවන්. ජනප්‍රිය නොවන්නට පුළුවන්. නමුත් අපේ රට යළි ඉහළට ඔසවා තබන්නට අපට හැකි වන්නේ මේ දුෂ්කර මාර්ගයේ නිවැරදි ප්‍රතිපත්ති අනුව ඉදිරියට යාමෙන් පමණයි. අපේ අනාගත පරම්පරාවට නිදහසේ සතුටින් ජීවත් විය හැකි රටක් නිර්මාණය කර ගැනීමට හැකි වන්නේ මේ මාර්ගයේ ඉදිරියට ගියොත් පමණයි.

සාම්ප්‍රදායික දේශපාලනයේ යෙදෙන සමහර කණ්ඩායම් ආර්ථික පුනර්ජීවනය වළක්වාලීමට විවිධ උත්සාහයන් ගන්නවා. ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳව බොරු බියක් ජනතාව තුළ ඇති කරන්නට වෙහෙසෙනවා. හැමදාමත් කියන "රට විකිණීමට යනවා" යන සටන් පාඨයෙන් තවදුරටත් ජනතාව මුලා කරන්න උත්සාහ ගන්නවා.

රටේ ආර්ථිකය නංවාලීම සඳහා ගන්නා සෑම පියවරකදීම ඔවුන් ඉදිරියට දැම්මේ, මේ සටන් පාඨයයි. පනස් ගණන්වලදීත් රට විකුණනවා කියමින් ජනතාව නොමඟ යැව්වා. හැට ගණන් වලදීත් රට විකුණනවා යැයි කියමින් ජනතාව මුලාවට පත් කළා. හැත්තෑ ගණන් වල දීත් රට විකුණනවා යැයි කියමින් ජනතාව තුළ අනියත බියක් මැව්වා. අසූ ගණන්වලදීත් රට විකුණනවා යැයි කියමින් ජනතාව භීතියට පත් කළා. එදා සිට අද දක්වාම මේ කණ්ඩායම් කළේ රට විකුණන සටන් පාඨය ඉදිරියට ගනිමින් ආර්ථික ප්‍රතිසංස්කරණ කඩාකප්පල් කිරීමට උත්සාහ දැරීමයි.

මෙවැනි සටන් පාඨවලින් ඔබ තවදුරටත් රැවටෙන්නේ නැති බව අප දන්නවා. අප සියලු දෙනා වෙහෙස විය යුත්තේ, කැපවිය යුත්තේ රට ඉහළට ඔසවා තැබීමටයි. 2048 වන විට ලෝකයේ පුර්ණ සංවර්ධිත රාජ්‍යයක් බවට පත් වීමේ අපේ ඉලක්කය ඉටු කර ගැනීමටයි. නවීන ලෝකයට හා නවීන තාක්ෂණයට ගැළපෙන පරිදි අපේ ආර්ථිකය හැඩගස්වා ගත්තේ නැත්නම් අපට යන්නට සිදු වෙන්නේ ආපස්සටයි. එවැනි අවගමනක ප්‍රතිඵලය වෙන්නේ රට ආර්ථික යටත් විජිතයක් බවට පත්වීමයි.

අපි ඉදිරියට යමු ! තරගකාරී ලෝකයට මුහුණ දියහැකි අන්දමට අපේ ආර්ථිකය හැඩ ගස්වා ගනිමු. රටට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රමානුකූලව සිදු කරමු.

ආර්ථික ප්‍රතිසංස්කරණ හරහා අප සිදු කරන්නේ වැරදි ප්‍රතිපත්ති, දුර්වල වැඩසටහන්, අසාර්ථක ව්‍යාපෘති, ක්‍රමවත් මාවතකට ගැනීමයි. බංකොළොත් රටක් යළි ගොඩනැගීම පැරණි සම්ප්‍රදායික ක්‍රමවේදවලින් සිදු කළ නොහැකියි. අපි අලුතින් සිතා අලුත් ගමනක් ආරම්භ කළ යුතු වෙනවා. ආර්ථික ප්‍රතිසංස්කරණ ඔස්සේ ලැබෙන ප්‍රතිඵල මොනවාද?

ඔබේ ජීවන බර අඩු වෙනවා. ජීවන මට්ටම ඉහළ යනවා. එය වරදක් ද? එය රට විකිණීමක්ද? ඉතා කුඩා මට්ටමේ සිට මහා පරිමාණ මට්ටම දක්වා ශක්තිමත් වර්ධනයක් සහිත ව්‍යාපාර ඇති කරලීම සඳහා නව අවස්ථාවන් නිර්මාණය වෙනවා. එය වරදක් ද? එය රට විකිණීමක් ද? රටේ දිළිඳුම සහ අසරණම ජන කොටස් ආරක්ෂා කරමින් ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය සහන සහ පහසුකම් සැලසෙනවා. එය වරදක් ද? එය රට විකිණීමක් ද රාජ්‍ය, මේ ව්‍යවසායන්ගෙන් රුපියල් මිලියන ගණනක් වන පාඩු පියවා ගැනීම සඳහා ජනතාවට බර පැටවීමේ සම්ප්‍රදාය අවසන් වෙනවා. එය වරදක් ද? එය රට විකිණීමක් ද? විනිවිද පෙනෙන ආකාරයට වගවීමෙන් සහ වගකීමෙන් කටයුතු කිරීමේ පිළිවෙතක් සැකසෙනවා. එය වරදක් ද? එය රට විකිණීමක් ද?

ලෝකයේ වඩාත්ම වේගවත් වර්ධනයක් සහිත රටක් බවට ශ්‍රී ලංකාව පත් වෙනවා. එය වරදක් ද? එය රට විකිණීමක් ද?

තිරසර දියුණුවක් සහ සාර්ථකත්වයක් අපේ රටට අත්පත් කරදීම සඳහා අපි මේ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරනවා. මෙම ප්‍රතිසංස්කරණ ඔස්සේ ශ්‍රී ලංකාවේ නවීකරණය වේගවත් හා අර්ථවත් කිරීමටත්, අපේ වෙළෙඳපොළ පුළුල් කර ගැනීමටත්, ජාත්‍යන්තර ප්‍රජාව සංවර්ධන ව්‍යායාම සඳහා වැඩි වැඩියෙන් දායක කර ගැනීමටත් අවකාශ සැලසෙනවා.

මේ ගමන ලෙහෙසි පහසු ගමනක් නොවන බව අප දන්නවා. බොහෝ අභියෝගයන්ට තවදුරටත් මුහුණ දීමට සිදුවන බවත් අප දන්නවා. නමුත් අප ඒ සියලු අභියෝග ජය ගැනීමට කටයුතු කරනවා. හැම විටම රටට යහපත් දේ සිදු කිරීමට අපේ රජය කැපවී සිටිනවා. මීට වසරකට පමණ පෙරාතුව රට ඇද වැටී තිබුණු තත්ත්වයට අපේ මාතෘ භූමිය යළි ඇද දැමීමට අප කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ. එදා රට වැසියන් මුහුණ දුන් තත්ත්වය අද සමහරුන්ට අමතකයි. රටේ ආර්ථිකය සියයට 7.8කින් හැකිළුණා. විදේශ විනිමය සංචිත අන්තිම අඩියට වැටුණා. ලෝකයේ වැඩිම උද්ධමනයක් ඇති රටවල් අතරට අපි එක් වුණා. විදේශ ණය ගෙවාගන්න බැරි වුණා. රට බංකොළොත් වුණා. ආහාර හිඟ වුණා. තෙල් සහ ගෑස් ලබා ගැනීමට දින ගණන් පෝලිම් වල ඉන්න සිදු වුණා. පොහොර නැති වීම නිසා ගොවිතැන් පාළු වුණා. අස්වනු නැති වුණා. ගොවීන් අසරණ වුණා. ව්‍යාපාර කඩා වැටුණා. රැකියා ආදායම් මාර්ග නැති වුණා. රෝහල්වල බෙහෙත් හිඟ වුණා. පාසල් වැහුණා. පැය 10 ක - 12 ක විදුලි බල කප්පාදුව ඇති වුණා. ජනතාවට ජීවත්වීමට තිබූ සියලු ඉඩකඩ හැකිළී ගියා. රටම උඩු යටිකුරු වුණා. ජනතාව පාරට වැටුණා.

දුක් පීඩාවන් විඳ දරා ගැනීමට නොහැකි තැන ජනතාව නොසන්සුන් වුණා. අරගල කරන්නට පටන් ගත්තා. මම අගමැති හැටියට මේ රටේ ආර්ථිකය බාරගත්තේ එවන් දුෂ්කර පසුබිමකයි. මට තිබුණේ එකම එක ශක්තියක් පමණයි. ඒ මාගේ මාතෘ භූමිය මේ අසීරු වැල් පාලමෙන් ආරක්ෂිතව එගොඩ කරන්නට හැකි බවට මා තුළ වූ විශ්වාසය හා අධිෂ්ඨානය පමණයි. අප මුලින්ම රට ස්ථාවර කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළා. දැඩි මූල්‍ය පාලනයකට රට යටත් කළා. මේ අර්බුදයෙන් ගොඩ ඒමට තිබෙන එකම විකල්පය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීම බව අප කල්තියා දැන සිටියා. ඒ නිසා අප ඔවුන් සමඟ සාකච්ඡා ආරම්භ කළා. දීර්ඝ සාකච්ඡා වට ගණනාවකින් පසු විස්තීරණ ණය පහසුකම අපට ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වුණා. ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු වෙනත් මූල්‍ය ආයතන සමග එක්ව රටට ණය ආධාර ලබා ගැනීමේ වැඩසටහන් ආරම්භ කළා.

මෙහිදී අපේ අසල්වැසි ඉන්දියාව අපට විශාල වශයෙන් උදව් උපකාර කළා. බංග්ලාදේශය සහාය වුණා. ජපානය මානුෂීය ආධාර ලබා දුන්නා. චීනය, ඉන්දියාව සහ ජපානය වැනි අපේ ප්‍රධාන ණය හිමියන් මෙන්ම පැරිස් සමාජය ද අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වුණා. මේ සියලු රටවල්වලටත්, ආයතනවලටත්, ශ්‍රී ලංකාවාසී ජනතාව වෙනුවෙන් මම මාගේ කෘතඥතාවය පළ කර සිටිනවා.

රාජ්‍ය වියදම් කපා හැරීම නිසා විශාල මුදලක් ඉතිරි කර ගැනීමට අපට පුළුවන් වුණා. අපේ විදේශ ශ්‍රමිකයින් රට ගොඩනැංවීමේ ව්‍යායාමයට උපරිමයෙන් දායක වෙනවා. 2022 හා සසදන විට මේ වසරේ මුල් කාර්තුවේ විදේශීය ශ්‍රමිකයන් එවන මුදල් සියයට 80.6 කින් ඉහළ නැංවී තිබෙනවා. නව බදු ප්‍රතිපත්ති නිසා 2023 පළමු කාර්තුවේ රුපියල් බිලියන 210ක අතිරේක ආදායමක් ලබා තිබෙනවා.

වෙහෙසීමේ, කැපවීමේ සහ ඉලක්ක ගත නිවැරදි ගමනක් යෑමේ ප්‍රතිඵල අද අප සැම භුක්ති විඳිනවා. සියයට 70ක් දක්වා ඉහළ නැග තිබුණු උද්ධමනය දැන් සියයට 25.2ක් දක්වා පහළ වැටිලා. මේ නිසා ජීවන බර ක්‍රම ක්‍රමයෙන් සැහැල්ලු වෙමින් පවතිනවා. මුළුමහත් සමාජයටම මේ සහනය දැනෙන්න පටන් අරන් තිබෙනවා.

මෙතැන් සිට අප ඉදිරියට ගමන් කරන්නට බලාපොරොත්තු වන ආකාරය ගැන මම ඔබට පැහැදිලි කිරීමට කැමතියි. අපේ ඊළඟ ක්‍රියා පිළිවෙත, එහෙමත් නැත්නම් මාර්ග සිතියම සඳහා අපි ප්‍රධාන කරුණු හතරක් පදනම් කර ගන්නවා. තවත් විදියකට කිව්වොත් අපේ අනාගතය අප ගොඩ නංවන්නේ ප්‍රධාන කුලුනු හතරක් මතයි.

පළමුවැනි කුලුන - රාජ්‍ය මූල්‍ය හා ප්‍රතිසංස්කරණ රාජ්‍ය මූල්‍ය හා මූල්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අප එකඟත්වයකට පැමිණියා. එම එකඟත්වය සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අප ලබා ගත්තා. බදු ප්‍රතිපත්තිය, ආදායම් පරිපාලනය සහ වියදම් කළමනාකරණය යන ක්ෂේත්‍රයන්හි ප්‍රතිසංස්කරණ අප ආරම්භ කර තිබෙනවා. ඒ ප්‍රතිසංස්කරණ අප ඉදිරියට ගෙන යනවා. රාජ්‍ය ණය දීර්ඝ කාලීනව තිරසාර මට්ටමක පවත්වා ගෙන යෑම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු අප හඳුන්වා දෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව විශ්වාසය තහවුරු වන ආකාරයට නව ආර්ථික ප්‍රතිපත්ති අප හඳුන්වා දෙනවා.

ආර්ථිකය ස්ථාවර කරලීමේ අරමුණින් අපි 2022 මැයි මාසයේ සිට වියදම් සීමා කිරීමේ චක්‍රලේඛ ගණනාවක් ක්‍රියාත්මක කළා.

අනවශ්‍ය වියදම් තවදුරටත් අඩු කිරීමට අප පියවර ගන්නවා. හැකි සෑම අවස්ථාවකදීම රාජ්‍ය වියදම් උපරිමයෙන් සීමා කළ යුතු බව අප නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා. 1) අනවශ්‍ය වියදම් නවතා දැමීම.

2) වියදම් අවම කරගැනීමට හැකිවන පරිදි රාජ්‍ය ක්‍රියාකාරකම් සරල කිරීම.

3) වියදම් අවම කර ගත හැකි වන පරිදි රාජ්‍ය ක්‍රියාකාරකම් සැලසුම් කිරීම.

4) වියදම් අවම කර ගැනීම සඳහාත්, ගුණාත්මක සේවාවන් සැපයීම සඳහාත් ස්වයංක්‍රීය සහ ඩිජිටල් ක්‍රමවේද අනුගමනය කිරීම කෙරෙහි මූලික වශයෙන් අපගේ අවධානය යොමු වෙනවා.

දෙවැනි කුලුන - ආයෝජන ප්‍රවර්ධනය

රටක ආර්ථිකය ඉහළ නැංවීම සඳහා ආයෝජන ප්‍රවර්ධනය අතිශය වැදගත් සාධකයක්. ආර්ථික වර්ධනයක් කරා අප යන ගමන වඩාත් ශක්තිමත් කර ගත හැකි වන්නේ රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය අතර ඇති කරගන්නා අන්‍යෝන්‍ය සහයෝගය මතයි. දකුණු කොරියාව සහ සිංගප්පූරුව මෙන් අප රට ද අපනයන ඉලක්ක කරගත් ආර්ථිකයක් බවට පත්කරලීම අපේ අභිලාෂයයි.

ඒ වගේම පුනර්ජනනීය බලශක්ති, හරිත හයිඩ්‍රජන් සහ ඩිජිටල්කරණය වැනි නවීන සහ තිරසර ප්‍රයත්නයන් කරා යොමුවීමට ද අප බලාපොරොත්තු වෙනවා. මේ සඳහා යහපත් ආදර්ශ ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයෙන් අපට දැකබලා ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ ආර්ථිකය පූර්ණ පරිවර්තනයකට ලක් කිරීමේ ක්‍රියාදාමයේ දී එවැනි නවීන තාක්ෂණයන් හා තිරසර ප්‍රයත්නයන් ද වැදගත් වෙනවා. මෙවැනි නවීන තාක්ෂණික සහ තිරසර ප්‍රයත්නයන් ක්‍රියාත්මක කරලීම සඳහා තම තමන්ගේ ව්‍යාපාරික යෝජනා ඉදිරිපත් කරන ලෙස අප පුද්ගලික අංශයෙන් ඉල්ලා සිටිනවා. මෙම යෝජනා කැඳවීම ජනමාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්කොට විවෘත හා විධිමත් ආකාරයෙන් සිදු කරනවා.

එම යෝජනා තෝරා ගැනෙන්නේ ආයෝජන ධාරිතාව, රැකියා උත්පාදනය, අපනයන දායකත්වය සහ ආර්ථික දායකත්වය යන නිර්ණායක හතර පදනම් කරගෙනයි. මෙම යෝජනා ක්‍රියාත්මක කරලීමේ පිළිවෙත සැකසීම උදෙසා අප අලුත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනවා. ඒ ක්‍රමවේදය අප හඳුන්වන්නේ “සංඝායනා ක්‍රමවේද” යනුවෙන්.

රාජ්‍ය අංශය සහ පුද්ගලික අංශය අතර සහයෝගීතාවය ශක්තිමත් කරලීමේ අරමුණ ඇතිව සැකසෙන මෙම වැඩපිළිවෙළ සඳහා ඒ ඒ ක්ෂේත්‍ර පිළිබඳ විශේෂඥ දැනුම ඇති පිරිස්, රාජ්‍ය නිලධාරීන්, යෝජනාවට හෝ ව්‍යාපෘතියට අදාළ රේඛීය අමාත්‍යාංශ බලධාරීන් හා පෞද්ගලික අංශයේ නියෝජිතයින් එක්කර ගැනෙනවා.

සති 6ක කාලයක් පුරා එක දිගට ඔවුන් මේ යෝජනා සහ ව්‍යාපෘති පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරනවා. පුද්ගලික අංශයේ නියෝජිතයන්ට කන් දෙමින් ඔවුන්ගේ ආයෝජන සඳහා ඇති සියලු බාධක ඉවත් කරලීම සඳහා කණ්ඩායම් වශයෙන් සාමූහිකව ක්‍රියා කිරීමට මෙහිදී සැලසුම් සකස් කරනවා. ව්‍යාපෘති ක්‍රියාත්මක කරලීමේ සැලසුම් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් ඔවුන්ගේ ව්‍යාපෘති සඳහා අවශ්‍ය සියලු පහසුකම් සංවිධානය කිරීමට පියවර ගන්නවා. සංඝායනා ක්‍රියාවලියට එක්වන රජයේ පාර්ශ්වකරුවන් පූර්ණ කාලීනව මෙම සති හය තුළ ව්‍යාපෘති ක්‍රියාත්මක කරලීම පිළිබඳව අවධානය යොමු කරනවා.

සංඝායනා ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා රජයේ කැපවීම සහතික කරමින් මමත්, කැබිනට් අමාත්‍යවරුනුත් මේ අවස්ථාවන්ට සහභාගීවීමට බලාපොරොත්තු වෙනවා.

සංඝායනා ක්‍රියාවලියෙන්, අපි ප්‍රධාන අරමුණු තුනක් මුදුන්පත් කරගැනීමට බලාපොරොත්තු වෙනවා.

1) අනුමත කරන ලද ව්‍යාපාරික යෝජනා සහ ව්‍යාපෘති ඔස්සේ අපේ ආර්ථිකය යළි ප්‍රකෘති තත්ත්වයට පත් කරලීම වේගවත් කිරීම.

2) නව රැකියා අවස්ථා නිර්මාණයකරලීම.

3) ව්‍යාපෘතිවලට ඇති බාධා ඉවත්කරලීම සඳහා සැකසෙන නිදහස් ක්‍රමවේදයන් ඔස්සේ අනාගත ව්‍යාපෘතීන් ක්‍රියාත්මකකරලීම වඩාත් පහසු වන පරිදි රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම.

ශ්‍රී ලංකාවේ වෙළෙඳ පිළිවෙත් සකස් වී ඇත්තේ දැඩි ආරක්ෂණවාදී වැටකඩුලු ඔස්සේයි. දැන් මේ සියල්ල නිදහස් කිරීමට සුදුසු කාලයයි. බොහෝ පිළිවෙත් සකස්වී ඇත්තේ ආයෝජකයන් අධෛර්යට පත් කිරීමටයි. උදාසීන කරවීමටයි. මේ තත්ත්වය අප වෙනස් කරනවා. ඒ හරහා ආයෝජකයන්ට ආකර්ෂණීය රටක් නිර්මාණය කරනවා.

තුන්වෙනි කුලුන - සමාජ ආරක්ෂණ ජාලය සමාජ ආරක්ෂණය සඳහා ද අපි සංඝයනා ක්‍රියාවලිය අනුගමනය කරනවා. මෙම සමාජ ආරක්ෂණ සංඝායනා ක්‍රියාවලිය සඳහා රජයේ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, නියෝජිත ආයතන, සිවිල් සමාජ නියෝජිතයන් සහ විෂය කරුණු පිළිබඳ ප්‍රාමාණික උගතුන් සම්බන්ධ කරගැනීමට අප බලාපොරොත්තු වෙනවා.

වසර ගණනාවක් තිස්සේ මේ රටේ ජනතාව ප්‍රධාන ඉල්ලීම් තුනක් අපෙන් ඉල්ලා සිටියා. ඒ

1) සමාජයේ දිළිඳු හා අසරණ කොටස් ආරක්ෂා කර ගැනීම.

2) දූෂණය මැඩලීම.

3) රජයේ ක්‍රියාමාර්ග හා පිළිවෙත් පිළිබඳව නිරන්තරව මහජන අදහස් විමසීම.

යන කරුණු ත්‍රිත්වයයි. මේ ජනතා ඉල්ලීම් සපුරාලීමට අප කටයුතු කරනවා.

මෙහිදී සමාජයේ අන්ත අසරණ දිළිඳු කොටස්වලට නිසි සමාජ ආරක්ෂණයක් සිදු වේද, යන්න සොයා බලන අතර ඔවුන්ට අවශ්‍ය සහාය හා සහන ලබාදීමට කටයුතු කරනවා.

නියාමන, ප්‍රසම්පාදන සහ දේශපාලන යන සියලු අංශයන් හි දූෂණ සම්පූර්ණයෙන්ම අත්හිටුවීම සඳහාත්, ඩිජිටල්කරණය සහ වගවීම පදනම් කරගත් රාජ්‍ය යාන්ත්‍රණයකින් දූෂණ විරෝධී පිළිවෙත් ක්‍රියාත්මක කරලීම සඳහාත් විශේෂ කාර්ය සාධන බළකායක් ස්ථාපිත කරනවා. හතරවැනි කුලුන - රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ වර්තමානයේ ආර්ථිකයේ ක්ෂේත්‍ර 33ක රාජ්‍ය ව්‍යවසායන් 430ක් ක්‍රියාත්මක වෙනවා. ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 6ක ප්‍රමාණයක් මේවායේ සේවය කරනවා.

රාජ්‍ය අංශයට ඒකාධිකාරී වෙළෙඳපොළක් ලබා දීමේ ප්‍රතිඵලය වී තිබෙන්නේ පුද්ගලික ආයෝජන අ‍ධෛර්යට පත්වීමයි. මිල නියම කිරීම, අකාර්යක්ෂම කළමනාකාරීත්වය සහ දුර්වල මූල්‍ය මෙහෙයුම් නිසා මෙම ව්‍යවසායකයන් නිරතුරුවම පාඩු ලබනවා. මේ ආයතන රජයේ බදු මුදල් මත යැපෙන යාචක ආයතන බවට පත්ව තිබෙනවා.

2021 වසරේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ලංකා විදුලි බල මණ්ඩලය සහ ශ්‍රී ලංකන් එයාර් ලයින් යන ආයතනවල මෙහෙයුම් අලාභය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.6ක්. මේ ණය බර මිලියන විසි දෙකක් වූ ජනතාවගේ කරපිටට දිගින් දිගටම පැටවීම අසාධාරණයි. ජනතාවගේ බදු මුදල් විශාල ප්‍රමාණයක් මේ අසාර්ථක ව්‍යවසායන් නඩත්තු කිරීම සඳහා යෙදවීමට සිදුව තිබෙනවා. මේ ආයතන ආණ්ඩුවටත් බරක්. රටටත් බරක්. ජනතාවටත් බරක්. එම නිසා මේවා සාර්ථක කර ගැනීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ හා ප්‍රතිව්‍යුහගත කිරීම් අප නොපමාව කළ යුතුයි.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලස්මක් සකස් කිරීම අප දැනටමත් ආරම්භ කර තිබෙනවා. මෙම සැලැස්ම ඔස්සේ සාර්ථකත්වය ලබාගන්නට මෙම ව්‍යවසායන්ට හැකි වේ යැයි අපි බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම රාජ්‍ය ව්‍යවසායන්හි ප්‍රධාන නිලධාරීන් ඔවුන්ගේ කාර්ය සාධනය වැඩි දියුණු කිරීමට කැපවී කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. ඔවුන්ට ලබාදෙන වාර්ෂික ඉලක්ක සපුරාලීමට අපොහොසත් වුවහොත් ඔවුන් වෙනුවට වඩාත් යෝග්‍ය පුද්ගලයින්ට එම වගකීම් භාර දීමට අප පසුබට වන්නේ නෑ.

මහජන දායකත්වය, සංඝායනා ක්‍රියාවලියට අප ජනතා දායකත්වය ලබා ගැනීමට ද ක්‍රියා කරනවා. සති 6ක කාලය තුළ සිදු කෙරුණු සාකච්ඡා, විශ්ලේෂණ සහ නිගමන ඔස්සේ විවිධ ව්‍යාපෘති පිළිබඳව සකස් කෙරුණු සැලසුම් නියම කරන ලද මහජන දිනයකදී ජනතාවට ප්‍රසිද්ධ කරනවා. ඒ සියලු සැලසුම් ජනතාව හමුවේ තබනවා. එමගින් ජනතාවට තම අදහස් හා ප්‍රතිචාර දක්වන්නට අවකාශ සලසනවා.

සංඝායනා ක්‍රියාවලිය ඔස්සේ සකස් කෙරුණු සැලසුම් ක්‍රියාවට නංවන්නේ ජනතා අදහස්වලින් තවදුරටත් පෝෂණය කිරීමෙන් පසුවයි. ඒ වගේම අපේ මේ ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ පිළිබඳව සියලු තොරතුරු ජනතාව හමුවට ඉදිරිපත් කරන්නට මම පියවර ගන්නවා. ජනාධිපතිවරයා සිය වාර්ෂික වාර්තාවක් ලෙස එම කාර්යය සිදු කළ යුතු බව මම යෝජනා කරනවා.

අපේ මාර්ග සිතියම ක්‍රියාවට නැංවීමේදී සමාජයේ සියලු පාර්ශ්වයන්ගේ අදහස්වලින් එය පෝෂණය කර ගැනීම වැදගත් බව අපේ පිළිගැනීමයි. සංඝායනා ක්‍රියාවලියේදීත්, මහජන දිනයේදීත් අප සිදු කරන්නේ එම ක්‍රියාවලිය යි.

අප බලාපොරොත්තු වන්නේ මෙම වසරේ දෙවන කාර්තුව අවසන් වීමට පෙරාතුව සංඝායනා ක්‍රියාවලිය ආරම්භ කිරීමටයි. තුන්වන කාර්තුවේ දී සංඝායනා ක්‍රියාවලිය සහ වර්තමානයේ ආර්ථිකයට සම්බන්ධ විශේෂ කාර්ය සාධන බලකායන් හි ක්‍රියාකාරකම් ද විවෘත සහ විනිවිද පෙනෙන ආකාරයෙන් ජනතාව හමුවේ තබනවා. ඒ සියල්ලෙන් අනතුරුව ජාතික ප්‍රතිසංවිධාන සැලැස්ම මෙම වසරේ අවසන් කාර්තුවේ දී එළි දක්වන්නට අප බලාපොරොත්තු වෙනවා. සැලසුම් හා පිළිවෙත් ක්‍රියාත්මක කරලීමේ ප්‍රගතිය ජනතාවට ඩිජිටල් මාධ්‍ය ඔස්සේ දැක බලා ගැනීමේ අවකාශ සැලසෙනවා. ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ගැටලු සහ බාධක අවධාරණය කර පෙන්වීමේ ක්‍රමවේදයක් ද එහි අඩංගුයි. ඒ අනුව බාධා හා ගැටලු හඳුනා ගැනීමටත්, ඒවා කඩිනමින් විසඳා ගැනීමටත් අවකාශ උදා කරගන්න පුළුවන්.

මෙම සැලසුම් ක්‍රියාත්මක කිරීමේ සම්බන්ධීකරණ කටයුතු සඳහා රාජ්‍ය සහ පුද්ගලික යන දෙඅංශයේම ඉහළ නිලධාරීන්ගෙන් සමන්විත ජනාධිපති විමසුම් කාර්යාංශයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නවා. රේඛීය අමාත්‍යාංශ සමඟ සම්බන්ධීකරණ කාර්යයන් ඔවුන් වෙතින් සිදු වෙනවා. අනාගතය ගොඩ නැංවීම මේ ප්‍රතිසංස්කරණ මුළු මහත් ජනතාවට ම එක ලෙස ප්‍රතිලාභ සැලසෙන වැඩපිළිවෙළක්. ඔබ ඇතුළු මුළු රටම මේ වැඩපිළිවෙළ මගින් දියුණු වෙනවා. ඔබගේත්, මුළු රටේම ජනතාවගේත් ජීවන තත්ත්වය මෙමඟින් ඉහළ නැංවෙනවා.

මෙය සමාජයේ එක් කොටසක් පමණක් ඉලක්ක කර ගත් වැඩපිළිවෙතක් නොවේ. මුළු රටම ඉලක්ක කරගත් වැඩසටහනක්.

තරුණ තරුණියන්ගේ ශ්‍රම සහභාගිත්වය ඉහළ නැංවීමේ අවස්ථා ඇති කරලීම ඔස්සේ ශ්‍රී ලංකාවේ අපනයන සඳහා ජාත්‍යන්තර තරගකාරීත්වය ඉහළ නැංවීමටත්, අප රටේ මානව ප්‍රාග්ධන සංවර්ධනය පුළුල් කිරීමටත් හැකියාව ලැබෙන්නේ එවිටයි.

ඉදිරි අවුරුදු පහ තුළ අපි ආර්ථිකය පූර්ණ වශයෙන් ස්ථාවර කරනවා. ඊළඟ අවුරුදු විසිපහ තුළ ඉහල ආදායම් ලබන දියුණු රටක් බවට පත්වෙනවා. ඒ තමයි අපේ අරමුණ. මුල් අවුරුදු පහෙන් පසු රට නඟාසිටුවීමේ වැඩපිළිවෙළ බාර වෙන්නේ ඊළඟ පරම්පරාවටයි. අප ඒ සඳහා තරුණ තරුණියන් සූදානම් කරනවා. පෙළ ගස්වනවා. එනම් අභියෝගයන්ට මුහුණ දෙමින්, 2048 වෙද්දී අපේ මාතෘ භූමිය පුර්ණ සංවර්ධිත රටක් බවට පත් කිරීමට තරුණ තරුණියන් උර දෙන බව මට විශ්වාසයි. රටේ වගකීම් භාරගෙන ඒ ඉලක්කය ළඟා කර ගන්නා බව මට විශ්වාසයි. මේ වැඩපිළිවෙළ ඔබ අප සැමගේම අනාගතය ගොඩනංවෙන වැඩ පිළිවෙළයි. අපේ අනාගත පරම්පරාවේ අනාගතය යහපත් කරන වැඩපිළිවෙළයි.ඒ නිසා මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට උපරිම දායකත්වය ලබාදෙන මෙන් මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

“2048 සංවර්ධිත රටක්” එයයි අපේ ඉලක්කය. අපේ අරගලය මේ ඉලක්කයට ළඟා වීමටයි. අපි එකට එක්ව අපේ අනාගතය ගොඩ නංවමු. යහපත් හෙට දවසක් නිර්මාණය කරගනිමු. ඒ කාර්යයට එක් වෙන ඔබ සැමට ස්තුතියි.

 



අදහස් (19)

රට ආපස්සට අදින්න කිසිවකුටත් ඉඩ දෙන්නේ නෑ

Perera Thursday, 01 June 2023 10:22 PM

ඔබතුමාට ජනතා වරමක් නොමැතිව හෝ අපේ රට බාරගත්තට පින්සිදු වෙනවා. මීට වසරකට පෙර තිබූ අපේ රට සහ දැන් මේ රටේ ලොකු වෙනසක් සිදුවී තිබෙනවා. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා...!

:       29       20

පප්පMonday, 05 June 2023 05:09 AM

පෙරේරා උන්නැහේ මොලේ ටිකක් පරික්ෂා කරගන්න... මොකද ඔය කියන කතා රටේ දැනට තියෙන තත්වය ගැන හිතලා කියන්න. අද මේ රට ලෝකේ තියෙන දුප්පත්ම රටවල් 10 අතර. තමුන් අගයන ඔය හාදය පාර්ලිමේන්තුවෙ අවුරුදු 45 ක්. අගමැති. 6 සැරයක් . මේ රට මේ තත්වයට ගේන්න කැපවෙච්ච සට්ටැඹියෙක්. එහෙව් මිනිහෙක්ද රට හදන්නේ... දැන් මිනිහාට ඕනේ හොර රාජපක්ෂ රැළයි. මිනිහා ඔතැනට ගෙනා හොරු 134 ආරක්ෂා කරගෙන ඡන්ද නොතියා, පොලිසියයි, ආර්මි එකයි දාගෙන ජනතාවගේ ප්‍රජා අයිතිය නැතිකරලා පාලනය කරන්න. මෙයාට වැඩිකාලයක් නැහැ.

:       1       14

විර Thursday, 01 June 2023 10:49 PM

හොරුන් එක්ක බුදියගෙන අපිට කැප කිරිම් කරන්නලු.. රාජාංගනේ කියාපු ටික තමයි කියන්න තියෙන්නේ...!

:       19       26

chandima Friday, 02 June 2023 02:34 AM

ඒ කියන්නේ මළාට ආයෙත් වෙන කෙනෙකුට ඔය පුටුවේ ඉඳගන්න දෙන්නේ නැහැ කියන එකද?

:       14       25

chandima Friday, 02 June 2023 06:57 AM

දැන් වයස 74 යි.2048 කියන්නේ තව අවුරුදු 25 කින් .ඒ කියන්නේ වයස 99 ක් වෙනකම්ම ජනාධිපති වෙලා ඉන්නද යන්නේ ?

:       14       30

රබෙල් Friday, 02 June 2023 09:00 AM

පාස්කු ප්‍රහාරය සිදුවූ මොහොතේ ඔබ වේදිකාව මත හැසිරුණු ආකාරයෙන් ඔබ කොතරම් අසංවේදි මනුස්සයෙක්ද කියා පැහැදිලියි. බටලන්දේ සිදුවූ කෲර ඝාතනවලින් ඔබගේ කුරීරුකම පැහැදිලියි. මහ බැංකු වංචාවෙන් ඔබගේ වංචනික සිත පැහැදිලියි. මිලෙනියම් සිටි පාවාදීමෙන් ඔබගේ ද්‍රෝහිබව පැහැදිලියි. හිතවතුන්ගේ ණය බොල් ණය ලෙස කපා හැරීමෙන් ඔබගේ පක්ෂපාතීත්වය පැහැදිලියි... තොප්පිගල ප්‍රකාශයෙන් ඔබගේ කුහකකම පැහැදිලියි.... ඔබ ජනපති පුටුවේ සිටිය යුතු අයෙක් නොව හිරේ සිටිය යුත්තෙක්. ආසනය පවා පරාද වූ ඔබ 3% වඩා පහළ වැටුණු ඔබ ජනපති ධුරය බාර ගැනීමෙන්ම ඔබගේ ලැජ්ජ නැතිකම පැහැදිලියි

:       12       47

Sunil Friday, 02 June 2023 09:18 AM

අදින්න පස්සක් නැහැ.. රට තවමත් හොඳටම පස්සට වැටිලා තියෙන්නේ... කොතරම් විකාර දෙඩෙව්වත් ඕවා කළහැකි දේවල් නොවේ...

:       12       31

Perera Friday, 02 June 2023 11:00 AM

බිත්තියටම හෙත්තු වෙලා, තව කොහෙ පස්සට යන්නඩ????

:       8       27

pradeep Friday, 02 June 2023 12:09 PM

රට ආපස්සට ඇද්දේ ජනතාවද? නැතිනම් මහාපරිමාණ වංචා, දූෂණ කරන හොර දේශපාලුවන්ද?

:       3       37

Rata Perata Friday, 02 June 2023 12:13 PM

අදින්නේ අපිද? නිකන් චූන් කතා කියවන්න එපා. ඔයා දුර්වල කෙනෙක්. ඕක කරන්න පුළුවන් කෙනෙක්ට දෙන්න.

:       8       34

Amara Friday, 02 June 2023 02:57 PM

ජනතාවද වැරදි? මේ මුත්තා දන්න කාලේ ඉඳන් රට කොරවනවා...

:       5       25

ranjith Friday, 02 June 2023 05:21 PM

රට ආපස්සට ඇද්දේ අවුරුදු 40ක් පාර්ලිමේන්තුවේ හිටිය ඔහෙලාමනේ...

:       4       27

sarath Friday, 02 June 2023 09:54 PM

මෙලෝ රහක් නැති ගොන් කතා කියන කප්පිත්තෙක්...!

:       0       7

jayantha Saturday, 03 June 2023 10:03 AM

ආයේ අදින්න පස්සක් තියෙන්න එපැයි

:       0       5

nalin Saturday, 03 June 2023 11:51 AM

රට ආපස්සට ඇද්දේ ජනතාව නොවෙයි, ඔබගේ ආන්ඩුවයි.

:       0       7

pakeer Monday, 05 June 2023 04:25 PM

අනේ බන්... නුඹලගේ වැඩ ගැන අහන්න ආයෙත් යන්න ඕනෙ 80 දශකයට... නුඹලා තමයි මේ රට ගසා කන්නේ... පාතාලයේ වංචා, දූෂණ, දේශපාලන මගඩි... මේ අය තමයි මේවා ඔක්කොම හඳුන්වා දුන්නේ...

:       0       6

R.M.Yashodi Rathnayaka Tuesday, 06 June 2023 08:22 AM

රට පුලුවන්නම් ඉසසරහට තල්ලු කරපන් කට මැත නොකියවා

:       0       0

chandima Tuesday, 06 June 2023 11:50 PM

මෙයානම් තව අවුරුදු 25ක් ඉන්න එකක් නැහැ. පෙන විදියට බෑනව ට්‍රෙනින් කරල ඉවරයි වගෙ?

:       0       1

රන්මුතුගල Wednesday, 07 June 2023 08:39 AM

අවුරුදු 40 ක් පාර්ලිමේන්තුවේ බත් කාපු ඔබතුමා මේ රටට කරපු යහපත් දෙයක් කියන්න පුලුවන්නම්. දැන් මොකෝ මේ වෙලා තියෙන්නේ. පස්සට ඇදපු එක නෙමෙයි ද කෙරුවේ.එච්චර කාලෙකට කරන්න බැරි වෙච්ච දේ දැන් කරයි කියලා කවුරු හරි හිතනවානම් එයාගේ මොළේ ප්‍රස්නයක්. රටට ආදරේ ඇති තරුණ කෙනෙකුට අවස්ථාව දෙන්න චන්දයක් තියන්න. පාලකයෙක් නැතුව හිටියනම් 48 පස්සේ රට මෙච්චර හිඟන තත්වෙට වැටෙන්නේ නෑ. කෝටිපති හිතවතුන්ට විතරක් සහන දුන්න ඔබතුමා පොඩි මිනිහට, ගොවියට නැගී සිටින්න කරපු එකම දෙයක් තියේද. ඔබතුමාගේ කාලේ යහපාලනය කාලේ ගත්තු නය වලින් රට වෙනුවෙන් මොනවද කෙරුවේ.. කුඹුරු ගොඩ කරන්න කියලා කීවෙත් ඔබතුමා නොවේද. කෝ අර බ්‍රේස්ලට්, තරුණ ළමයි ට දෙනවකීව වෑන් එක, බුලත් විට වෙනුවට චුවින්ගම්... හඃ හා..... කෝ..... ඒවා... දැන් පස්ස අදින්න එපාලු. ඔහොම යමු.

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 219 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 201 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 54 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 297 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 211 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 260 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site