අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගියේ ඔහුට එරෙහිව කැකෑරෙමින් තිබූ විරෝධය කොයි මොහොතේ හෝ අරලියගහ මන්දිරයට කඩා වදින්නට ඉඩ තිබුණු හෙයිනි.
#ගෝඨා-ගෝ-හෝම් විරෝධය ඒ සමග “ජනතා අරගලය” යැයි නම් කෙරුණි. දින දෙක තුනකට පසු “ජනතාව” හැලී එය අද කතාවන ප්‍රචණ්ඩ “අරගලය” බවට පත් විය. ජනාධිපති ගෝඨාභය තනතුරෙන් තල්ලුකර දමනු ලැබුවේ ඒ ප්‍රචණ්ඩ “අරගලය” විසින් ය. ජුලි 09 වන දින ඔහු ජනාධිපති මන්දිරය අතහැර ගියද, ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය අත්සන් කරනු ලැබුවේ ජුලි 14 වැනි දිනයේ ය.
මේ අරගලයේ ඉතාම තීරණාත්මක දේශපාලන සිදුවීම වූයේ ජනාධිපති ධුරයෙන් ගෝඨාභය ඉවත් කිරීම නොව, මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉවත් කිරීම ය. ඒ කෙසේදැයි කිහිප දෙන මගෙන් අසා ඇත. මගේ පැහැදිලි කිරීම දිගු ඉතිහාස කතාවකි. එය මීට පෙර මා ලංකාදීප පුවත්පතට ලියූ චිලියේ ජනාධිපති සල්වදෝර් අයන්ඩෙ 1973 දී ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය දක්වා දුර ඈත අතීතයකට දුවන්නකි. එවැනි දුර නොගොසින් 2021 අවසන් කාර්තුවේ ඉංග්‍රිසියෙන් ජීවත්වන කොළඹ මැදපාන්තික කාන්තාවන් අතළොස්සක් ඉන්ධන හිඟයට විසඳුම් ඉල්ලා නෙළුම් පොකුණ හා නිදහස් චතුරශ්‍ර භූමියේ ඉංග්‍රීසියෙන් ලියූ දැන්වීම් පුවරු ඔසවා ගෙන ආරම්භ කළ විරෝධතාවෙන් මේ පැහැදිලි කිරීම පටන් ගන්නෙමි.
ඒ වනවිට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතිශය අසාර්ථක පාලකයකු බැව් බහුතර සමාජය පිළිගෙන තිබුණි. 2019 නොවැම්බර ජනාධිපතිවරණයට නාමයෝජනා කැඳවීමට පෙර ජුනි මාසයේ දී ගෝඨාභය රටේ නායකයා කළ යුතු යැයි අස්ගිරි පාර්ශවයේ උපප්‍රධාන වෙඬරුවේ උපාලි ස්ථවීරයෝ කීහ. රටට අවශ්‍ය හිට්ලර් පන්නයේ දැඩි සිංහල-බෞද්ධ නායකත්වයක් යැයි උන්වහන්සේ තම යෝජනාව සාධාරණය කළහ. එහෙත් පළමු දින සිටම ජනාධිපති ගෝඨාභය අසාර්ථක විය. වෙඬරුවේ උපාලි ස්ථවීරයන් අපේක්ෂා කළ “හිට්ලර්” ඔහුගෙන් නොලැබුණි. සය මසක් යත්ම ඔහු විකටයකුගේ තත්වයට පත් කෙරුණු කතා සමාජයේ පැතිරුණි. “සර් ෆේල්” යැයි නමක් ද පට බැඳුණි.
ඉන්ධන හිඟය ඔහුගේ ආණ්ඩු පාලනයේ අසාර්ථකත්වය හේතුවෙන් ඇති වූවක් යැයි පොදු මතය විය. ඉන්ධන හිඟය නිසා විදුලි කප්පාදුවක් ද සිදු වූයෙන් 2021 වසර අවසාන වනවිට ගෝඨා විරෝධය, ආණ්ඩු විරෝධයක් බවට පත්වෙමින් තිබිණ. අපේ ඉතිහාසයේ පළමු වරට ගෝඨා-ගෝ-හෝම් යැයි ඉංග්‍රීසියෙන් සටන් පාඨයක් විරෝධතාවයකට එකතු වූයේ කොළඹ මධ්‍යම පාන්තික හවුල් සමගින් ය. අප්‍රේල් 09 වැනිදා ඉලක්ක කරමින් ගාලුමුවදොර පිටියට රොද බැඳීමේ ආරාධනා සමාජ මාධ්‍ය ජාල හරහා බෙදා ගනු ලැබුණේ ගෝඨා-ගෝ-හෝම් ඉංග්‍රීසි සටන් පාඨය එකම සටන් පාඨය කර ගනිමින්ය. එහි එකම අරමුණ ජනාධිපති ගෝඨාභය ඉවත් කිරීම යැයි අදහසක් සමාජගත විය.
මේ විරෝධය සඳහා පිළිගත් ප්‍රකාශිත නායකත්වයක් නොවුණි. ජනාධිපති ගෝඨාභය ගෙදර යැවූ පසු ආණ්ඩු පාලනයට සිදු වන්නේ කුමක්දැයි කියන්නට ද කිසිවෙක් නොවූහ. ගාලුමුවදොර විරෝධයෙහි ඇත්තේ සමස්ත රාජ්‍ය පද්ධතිය හා දේශපාලන සදාචාරය වෙනස් කිරීම සඳහා වන තරුණ අභිලාෂයකැයි # ගෝඨා-ගෝ-හෝම් විරෝධයට දේශපාලන වැදගත්කමක් දීමට ඉදිරිපත් වූ කොළඹ උගත් මැදපාන්තිකයෝ කීහ. හැමකටම “සිස්ටම් චේන්ජ්” යැයි කියන්නට වූයේ ඒ සමගින් ය. ඕස්ට්‍රේලියාවේ සිටි ආචාර්ය නන්දලාල් වීරසිංහ හදිසියේ කැඳවාගෙන ඔහු මහ බැංකු අධිපති ලෙස පත් කළ පසු රට ආර්ථික වශයෙන් බංකොලොත් යැයි ඔහු අප්‍රේල් 12 වන දින ප්‍රකාශ කළේය. ඒ සමග අප ජාත්‍යන්තරව ද ප්‍රතික්ෂේප වූයෙන් ආර්ථික අර්බුදය රාජපක්ෂලාගේ ගිණුමට බැර කෙරුණි.
එහෙත් ගාලුමුවදොර ගෝඨා-ගෝ-හෝම් විරෝධය සාමකාමී සංස්කෘතික සැණකෙළියක් ලෙස වර නැගෙන්නට වූයෙන් එහි දේශපාලන අරමුණ ද තනුක වන්නට විය. එනිසා කවුරුන් හෝ ගෝඨා-ගෝ-හෝම් විරෝධයට රාජපක්ෂ වර්ණය වැඩියෙන් එකතු කරමින් අගමැති මහින්ද රාජපක්ෂට එරෙහි තවත් විරෝධයක් අරලියගහ මැදුර ඉදිරිපස ගාලු පාරේ වාඩි ලා ගැනීමක් ලෙස ආරම්භ කළහ.
රාජපක්ෂ විරෝධය වඩා ආකර්ෂණය වන්නේ අගමැති මහින්ද රාජපක්ෂ ඉලක්ක කෙරුණු විට යැයි ඔවුහු “මයිනා ගෝ හෝම්” යැයි අලුත් සටන් පාඨයක් ද ඊට එකතු කළහ. ගාලුමුවදොර පිටියෙහි රොද බඳින්නටත් පෙර මාස ගණනාවක් පුරා ගෝඨාභය ඉලක්ක කෙරුණු විරෝධය වඩා සටන්කාමී ලෙස අගමැති මහින්ද රාජපක්ෂ වෙත මාරු කෙරුණේ කුමක් නිසාද හා කවුරුන් විසින්දැයි කොතැනකවත් කියවෙන්නේ නැත.
එහි පැහැදිලි දේශපාලනයක් ඇත. මහින්ද රාජපක්ෂ අගමැති වශයෙන් සිටිය දී ජනාධිපති ධූරය පුරප්පාඩු කර ගැනීමේ අවාදානමක් ගෝඨා-ගෝ-හෝම් විරෝධය සඳහා ගාලුමුවදොර පිටියට ඒකරාශි වූ ජනතාවට නොව, එය සැලසුම් කළ කවරකුට හෝ තිබිණ. රාජපක්ෂලාගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායකත්වය 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ආණ්ඩුව පිහිට වූයේ මන්ත්‍රීවරුන් 145 ක් සමග ය.
ජනාධිපති ධූරය පුරප්පාඩු කෙරුණු විට එවැනි පාර්ලිමේන්තුවක බහුතර මන්ත්‍රී ඡන්දයකින් අගමැති මහින්ද රාජපක්ෂ නැවත ජනාධිපති ලෙස තේරී පත්විය හැකි බැව් දේශපාලන යථාර්ථය විය. එබැවින් ගෝඨා-ගෝ-හෝම් විරෝධය පිටුපස සිටි සැලසුම්කරුවන්ට ජනාධිපති ගෝඨාභය ඉවත් කර ගැනීමට පෙර විශ්වාසදායි අගමැතිවරයකු පත්කර ගෙන සිටිය යුතු විය. එය ගාලුමුවදොර පිටියට රොද බැඳි ආණ්ඩු විරෝධී ජනතාව හෝ තරුණ සටන්කාමින් දැන සිටියක් නොවේ. එහෙත් මැයි 09 වැනි දින අලුයම මහින්ද රාජපක්ෂ ඉවත්කර අගමැති ධූරය හිස් කර ගැනීමට ඔවුහු සක්‍රීය ලෙස හවුල් වූහ.
ඉන්පසු දෙදින තුළ ජනාධිපති මන්දිරයෙහි ගනු ලැබූ පාර්ලිමේන්තු සම්ප්‍රදායෙන් බැහැර වූ හිතුවක්කාර දේශපාලන තීන්දු සඳහා ජනාධිපති ගෝඨාභය කොටුකර ගනු ලැබුණේ කෙසේද යන්න තවමත් අනුමාන මත කතා කෙරෙන්නකි. පාර්ලිමේන්තු සම්ප්‍රදාය වන්නේ අගමැති තනතුර කුමන හෝ හේතුවකින් පුරප්පාඩු වූ විට, ආණ්ඩු පක්ෂයේ නැතිනම් බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් ඉන්නා පක්ෂ නායකයකුට ඒ අගමැති ධූරය බාර ගැනීමට ආරාධනා කිරීම ය. මහින්ද රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ අගමැති ධූරය බාර ගැනීමට ඔහුගේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන ඇමතිවරයකුට ඒ අනුව ආරාධනා කළ යුතුව තිබිණ. එහෙත් ඊළඟ අගමැති පත් කිරීමේදී ඔහුගේ පක්ෂයේ බහුතර ආණ්ඩුවක් ඇති බව ගෝඨාභය ජනාධිපතිට වගක්වත් නොවුනි. ඔහු කතා කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ය.
ගෝඨාභය ජනාධිපති කැඳවූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අගමැති ධුරය බාර ගන්නවා යැයි කියන්නේ ආණ්ඩුව ද බාර ගැනීමකි. ජනාධිපති ධුරය ද අස්ථාවරව තිබියදී මන්ත්‍රීවරුන් 54 ක් සමගවන සුළුතර ආණ්ඩුවක් එවැනි වගකීමක් බාර ගැනීම, අතේ සතේ නැතිව බූරු පොළක වාඩි වෙනවා වැනි ය. අගමැතිධුරය බාර නොගෙන සජිත් පසු බැසීම එබැවින් අරුමයක් නොවේ. අරුමය වන්නේ, ඒ වනවිට පක්ෂයේවත් පූර්ණ සහායක් නොතිබූ, පක්ෂයට ලැබුණු එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා දස මාසයක පමණ කාලයක් රණ්ඩු සරුවල් කර පාර්ලිමේන්තු පැමිණි, හුදකලා විපක්ෂ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ අගමැති ධූරය සඳහා ඇරියුම් ලැබීම ය. ඒ සඳහා ඔහු සූදානමින් සිටි බැව්ද කලින් දිනයේම දකින්නට තිබුණකි.
ඊටම ගැට ගැසුණු අනෙක් කතාව නම්, මැයි 12 වැනිදා සවස රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස දිවුරුම් දීමෙන් පැයකට පමණ පසු කොළඹ ඉන්නා ඇමෙරිකානු තානාපතිනි ජූලි චං ඇයගේ “ට්විට” (දැන් එක්ස්) ගිණුමෙහි නව අගමැති වික්‍රමසිංහට සුබ පැතීමට අමතරව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගවන ගනු දෙනු සඳහා පූර්ණ සහාය දැක්වීමටත් පොරොන්දු වීමය. ඉන් දින දෙකකට පසු ඇය පැලවත්තේ ජ.වි.පෙ මූලස්ථානයට ගොඩවී අනුර කුමාර හා විජිත හේරත් සමග සාකච්ඡාවක් පැවැත් වූවාය. ඒ සම්බන්ධව දෙපාර්ශවයම කිසිදු ප්‍රසිද්ධ ප්‍රකාශයක් නොකළහ. අගමැති ධූරයට පත් කෙරුණු වික්‍රමසිංහ අනතුරුව ගෝඨාභයගෙන් පසු ජනාධිපති වන්නට සැලසුම්කර ඇති බැව් සහ ඊට රාජපක්ෂලාගේ සහායද සහතික කර ඇති බැව්, #ගෝඨා-ගෝ-හෝම් විරෝධයේ ක්‍රියාකාරීන් හා කොළඹ මැදපාන්තික උගතුන් හා සමාජ ක්‍රියාකාරීන් කිසිවකුද දැන සිටියක් නොවේ. ඔවුන්ගේ රාජපක්ෂ විරෝධය ගාලුමුවදොර පිටියට සහ පසුව කොළඹ වීදිවලට අරගලය ලෙස පැමිණියද, රාජ්‍ය පාලනයෙහි වෙනස්කම් තීන්දු වූයේ ඔවුන්ගෙන් නොවන බැව් 2022 ජුලි මාසය අවසන් වන්නට පෙර දකින්නට ලැබුණි. වික්‍රමසිංහ තනිව හෝ පාර්ලිමේන්තුවේ සිටීම, #ගෝඨා-ගෝ-හෝම් විරෝධයේ පූර්ව සූදානමක් යැයි කිව යුත්තේ එබැවින් ය. ගාලුමුවදොර #ගෝඨා-ගෝ-හෝම් විරෝධයේ සැලසුම්කරුවන් සමග වික්‍රමසිංහට ආරම්භයේ සිටම සමීප සම්බන්ධකම් තිබුණු බැව්ද බොරුවක් නොවේ. ඒ තොරතුරු හෙළි කෙරුණේ රනිල් වික්‍රමසිංහ මැයි 12 වැනි දින සවස ජනාධිපති ගෝඨාභය හමුවේ අගමැති වශයෙන් දිවුරුම් දුන්නාටද පසුව ය. ඒ වනවිට රටේ ආර්ථිකය විනාශ කෙරුවේ යැයි ජනාධිපති ගෝඨාභයට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක, යාපනය මන්ත්‍රී සුමන්තිරන් සූදානම්කර තිබිණ. එය සම්මත කිරීමෙන් ජනාධිපති ඉවත් කළ නොහැකිය. එහෙත් ඉන් බලාපොරොත්තු වූයේ ජනාධිපතිට එරෙහි ජනතා විරෝධය හමුවේ ඔහුට තවදුරටත් එම තනතුරෙහි සිටීමට සදාචාරමය අයිතියක් නැතැයි පාර්ලිමේන්තුව පිළිගන්නා බව කීම ය.
දිගු විරාමයෙන් පසු මැයි 17 වැනිදා පාර්ලිමේන්තුව රැස් වූ විට එය විශේෂ යෝජනාවක් ලෙස විවාදයට ගැනීමට විපක්ෂය යෝජනා කළේය. නව අගමැති වික්‍රමසිංහද ප්‍රමුඛව ආණ්ඩු පක්ෂය එම යෝජනාවට විරුද්ධව ඡන්දය දුන්නේ ය. තමන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන විශ්වාසභංග යෝජනාව ගැන විස්තර කතා කරමින් විපක්ෂ මන්ත්‍රී සුමන්තිරන් එදින පාර්ලිමේන්තුවට කීවේ, අගමැති ධූරය වෙනුවෙන් තම ප්‍රතිපත්ති ප්‍රසිද්ධියේ පාවා දුන් වික්‍රමසිංහ විපක්ෂයේ සිටියදී එම විශ්වාසභංග යෝජනාවට පක්ෂ වූ බවය. අප්‍රේල් මාසයේ දෙවැනි භාගයේදී විශ්වාසභංග යෝජනාවේ කෙටුම්පත බලන්නට අවශ්‍ය යැයි වික්‍රමසිංහ කියූ විට, එය ඔහුට විද්‍යුත් තැපෑලෙන් යොමු කළ බවත් එයට ඔහුගේ විරෝධයක් නොමැති වූවත් “අරගලයේ” නායකයන්ගේ එකඟතාව ලබා ගැනීම වැදගත් යැයි වික්‍රමසිංහ කියූ බවත් සුමන්තිරන් පාර්ලිමේන්තුවට කීවේය. සුමන්තිරන් පාර්ලිමේන්තුවට කියූ ඉතිරි විස්තරය වඩාත් වැදගත් ය. තමන්ට “අරගලය” සමග කිසිදු සම්බන්ධයක් නැතැයි සුමන්තිරන් කියූ විට, ඒ එකඟතාව ලබා ගැනීමේ වගකීම වික්‍රමසිංහ බාර ගත් බවත් ඊට ඔවුන්ගේ කිසිදු අකමැත්තක් නොමැති බව පසු දින වික්‍රමසිංහ ඔහුට දැන්වූ බවත් සුමන්තිරන් කීවේය.
අප්‍රේල් මාසයට පෙර සිට සංවිධානය කෙරුණු “අරගලය” බවට පත් කෙරුණු #ගෝඨා-ගෝ-හෝම් විරෝධය හුදෙක් රාජපක්ෂ විරෝධී උද්ඝෝෂණයක් නොව, වික්‍රමසිංහ පෙරටු කෙරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ඉඩකඩද යොදා ගනු ලැබූ ආණ්ඩු පෙරැළියක් වූවකි. ඒ සඳහා වික්‍රමසිංහ ජනාධිපති කරවීමට අත්‍යවශ්‍ය වූ ප්‍රථම තීන්දුව වූයේ ගෝඨාභය ජනාධිපති ධූරයෙන් ඉවත් කිරීම නොව, මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉවත් කිරීම ය. එතැන් සිට අද වනවිට ගෙවුණු වසර 03 ක ඉතිහාසයෙහි ජ.වි.පෙ ඔසවා ගත් රාජපක්ෂ විරෝධය, වික්‍රමසිංහ ජනාධිපති වීමට පැමිණි සම්මුතියෙහි ඊළග දිගුව ය. ඉතාම කෙටියෙන් “අරගලය” යනු එය ය.
(*** කුසල් පෙරේරා)
පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා
අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව
මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො
දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07
ශ්රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ
පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අරගලය ඉතිරි කළ වෙනස