ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.
ජාතික ජනබලවේගය තමන් පළමු තැනට පත් වූ පළාත් පාලන ආයතන සංඛ්‍යාව ගෙන හැර දක්වමින් ඉතිහාසයේ විශාලම පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණය ලැබුවේ තමන් යැයි කියයි. සමඟි ජන බලවේගය ඉකුත් මහ මැතිවරණයේ දී සියයට 17ක් පමණ ඡන්ද සංඛ්‍යාවක් ලැබූ තමන් මෙවර සියයට 22ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ බව කියමින් උදම් අනයි.
පසුගිය නොවැම්බර් මස පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාගත හැකි වූයේ ඡන්ද ආසන්න වශයෙන් 350,000 කි. එහෙත් තමන්ට මෙවර ඡන්ද 9.50,000ක් ලබාගත හැකි වූ බව කියමින් එම පක්ෂයේ නායකයෝ සතුටු වෙති. හය වසරකට පෙර තමන් ඡන්ද හැට නව ලක්ෂයක් ලැබූ බව සිතන්නටවත් ඔවුන් කැමැති නැති සේය.
සර්ව ජන බලය පක්ෂය ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණයේ සිට මෙවර පළාත් පාලන මැතිවරණයට එනවිට සියයට සියයකින් තම ඡන්ද සංඛ්‍යාව වැඩිකර ගෙන ඇතැයි එම පක්ෂයේ නායකයකු වන මහචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. මහ මැතිවරණයේ දී එම පක්ෂය ඡන්ද178,000ක් පමණ ලබාගත් අතර එය මෙවර 295,000ක් පමණ දක්වා වැඩිවී තිබිම ඔහු එසේ කියන්නට හේතුවයි. කුඩා පක්ෂයක් විශාල පක්ෂයකට වඩා මෙවැනි ජයග්‍රහණ ලබා ගැනීම පහසුය.
කිසිවක් නොපවසා මුනිවත රැකගෙන සිටින්නේ එක්සත් ජාතික පක්ෂයයි. එම පක්ෂය ඉකුත් සැප්තැම්බර් මස පැවැති ජනාධිපතිවරණයේ දී සිලින්ඩරය ලකුණින් තරග කොට ඡන්ද ලක්ෂ 22ක් ලබා ගත්තේය. මහ මැතිවරණයේ එම පක්ෂය සිලින්ඩරය හා අලියා යන පක්ෂ දෙකක ලකුණු යටතේ තරග කොට ඡන්ද 566,000ක් ලබා ගත්තේය. මෙවර එම පක්ෂය තවත් පහතට වැටී ලබාගෙන ඇත්තේ ඡන්ද 488,000කි. එහෙත් වහසි බස් දොඩන්නේ නම් එම පක්ෂයට ද කියන්නට දෙයක් තිබේ. ඉකුත් මහ මැතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දුන් කණ්ඩායම් දෙකෙන් අලියා ලකුණට ලැබුණේ ඡන්ද 66,000කි. මෙවර එය 488,000 දක්වා වැඩිවී ඇතැයි ඔවුන්ට ද කිව හැකිව තිබිණි.
කෙසේ වෙතත් මෙවර මැතිවරණයේ දී ඉතා පැහැදිලිව පෙනෙන කරුණ වන්නේ ඡන්ද ලක්ෂ හැට අටලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් ලබා පාර්ලිමේන්තුවේ තනි පක්ෂයක් ලෙස පළමුවතාවට තුනෙන් දෙකක බලයක් දිනා ගත් ජාතික ජන බලවේගය මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ලබාගෙන තිබෙන්නේ ඡන්ද හතළිස් පන් ලක්ෂයකියි යන්නයි.
ප්‍රතිශතයක් වශයෙන් ගත් කල ජාජබ ජනාධිපතිවරණයේ සිටි තැනට වඩා ඉදිරියෙන් සිටි. ජනාධිපතිවරණයේ දී ඔවුනට ලැබුණේ සියයට 42ක ඡන්ද ප්‍රතිශතයකි. මෙවර එය සියයට 43කි. එහෙත් මහ මැතිවරණයේ දී ඔවුහු සියයට 62කට ආසන්න ප්‍රතිශතයක් ලබා ගත්හ. ප්‍රතිශතයක් වශයෙන් ජා.ජ.බ. ජනාධිපතිවරණයට වඩා මෙවර ඉදිරියෙන් සිටිය ද ඡන්ද සංඛ්‍යාව අනුව ගත් විට ඔවුහු ජනාධිපතිවරණයට වඩා ඡන්ද ලක්ෂ එකොළහකින් ද මහ මැතිවරණයට වඩා ඡන්ද ලක්ෂ විසි තුනකින් ද පසු පසින් සිටිති.
මෙම මැතිවරණවල දී ඡන්ද දායකයන්ට බලපෑම් කරන සාධක දෙස බලන විට මෙම මැතිවරණ එකිනෙක සන්සන්දනය කිරීම එතරම් ප්‍රයෝජනවත් දෙයක් නොවේ. විශේෂයෙන්ම පළාත් පාලන මැතිවරණවල දී මැතිවරණය ක්‍රමය අනුව ආසන බෙදා දෙනු ලැබුවද මූලික වශයෙන් ඡන්ද විමසීම පැවැත්වෙන්නේ කේවල ක්‍රමයට ආසන පදනමිනි. එහෙයින් අපේක්ෂකයන්ගේ පුද්ගල සාධකයක් බරපතළ ලෙස ඡන්දදායකයාට බලපායි. ජා.ජ.බ හැර අනෙක් සියලු ප්‍රධාන පක්ෂ තම අපේක්ෂකයන් වශයෙන් තෝරනු ලබන්නෝ ගම් මට්ටමෙන් යමක් කමක් ඇති ඒ නිසාම ගම් මට්ටමේ යම් ප්‍රභූත්වයක් හා බලපෑමක් ඇති පුද්ගලයෝය. එය මෙවර ජාජබට ඡන්ද අඩුවීමට ප්‍රධාන වශයෙන් හේතු වන්නට ඇත.
මෙම කාරණය පාර්ලිමේන්තු මැතිවරණයට ද අදාළය. ඡන්දායකයන් තමන් නොදන්නා අපේක්ෂකයන්ට ඡන්දය නොදෙනු ඇතැයි ජාජබ විරෝධී පක්ෂ මහ මැතිවරණයට පෙර කියා සිටියේ ඒ නිසාය. ජනතා විමුක්ති පෙරමුණේ හා ජාජබ ජ්‍යෙෂ්ඨ නායකයකු වන කෘෂිකර්ම ඇමැති ලාල් කාන්ත මහතා ද තමන් ජාජබ මන්ත්‍රීවරුන් වැඩි දෙනකු නොහඳුනන බව මහ මැතිවරණයෙන් මාස හතරකට පමණ පසු මෑතක දී පවසා තිබිණි.
එහෙත් මහ මැතිවරණය පැවැත් වුණේ එම පක්ෂයේ ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් මාස දෙකක් ගත වන්නටත් පෙරය. එම උණුසුමත් සමග ආර්ථික ආර්බුදයෙන් පීඩාවට පත්ව සිටි ජනතාව තුළ ජාජබ පොරොන්දු නිසා වෙනසක් සඳහා වූ අපේක්ෂා තවදුරටත් උද්දීපනය වී තිබීම බොහෝ දුරට එම පක්ෂය මහ මැතිවරණයේ දී ලැබු අසාමාන්‍ය ජයග්‍රහණයට හේතු වන්නට ඇත.
රාජ්‍ය යාන්ත්‍රණය ද ඇතුළු සමාජයේ ඉහළම ස්ථරයේ සිට පහළම ස්ථරය දක්වා සෑම ස්ථානයක්ම දූෂණයෙන් වංචාවෙන්, නාස්තියෙන්, අකාර්යක්ෂමතාවෙන් හා වැරැදි කළමනාකරණයෙන් පිරුණු, බංකොලොත් වූ රටක ජනතාවගේ අපේක්ෂා පරාසයෙන් හා ගැඹුරින් අති විශාලය. 2022 ආණ්ඩු විරෝධි අරගලයෙන් ප්‍රකාශයට පත් වූ එම අපේක්ෂා ඉටුකර ගැනීමට ජනතාව තෝරා ගත්තේ ජවිපෙ ප්‍රමුඛ ජාජබයි.
එහෙත් ජනතාව බලාපොරොත්තු වූ ආකාරයට හා බලාපොරොත්තු වූ වේගයෙන් එම අපේක්ෂා ඉටු වූයේ නැත. එක් අතකින් දූෂිත ක්‍රමයට අනුගත වූ රාජ්‍ය යාන්ත්‍රණය ජාජබ ආණ්ඩුවේ ඉලක්ක සපුරා ලන්නට සුදානම් නැත. මේ බව ඇමැතිවරුන් වන ලාල් කාන්ත හා හඳුන්නෙත්ති යන අය කිහිප වතාවක්ම පවසා ඇත. මැයි මාසය අවසන් වන්නට පෙර වෙනස් වන්නට සූදානම් නැති පිරිස් වෙනස් කරන බව ජනාධිපතිවරයා ද පවසා තිබිණි.
අනෙක් අතට පවතින ක්‍රමය පවත්වාගෙන යාමට වඩා එය වෙනස් කිරීම දුෂ්කරය. ඒ සඳහා අනිවාර් යයෙන්ම නිර්මාණශීලිත්වයක් අවශ්‍ය වේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 දෙනකු ආණ්ඩුවේ සිටියද ඉන් කී දෙනකු සතුව එම නිර්මාණශීලිත්වය තිබේද යන්නද ගැටලුවකි.
වඩාත්ම ගැටලුකාරී ප්‍රශ්නය නම් 2023 සිට 2027 දක්වා මෙරට ආර්ථිකය සැබැවින්ම හසුරුවන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වීමයි. සාම්ප්‍රදායික වාමාංශික පක්ෂ කුමක් කීව ද මූල්‍ය අරමුදලේ වැඩ පිළිවෙළින් ඉවත්වීමට ආණ්ඩුවට නොහැකිය. ඉවත් වුවහොත් ඒ සමඟම විශාල මුල්‍යමය හා විදේශ විනිමය ගැටලුවකට ආණ්ඩුව මුහුණ දිය යුතුය. ඒ නිසාද ආණ්ඩුවට ජනතාවගේ අපේක්ෂා ඉටු කිරීම සිතන තරම් වේගයෙන් කළ නොහැකිව තිබේ.
එහෙත් මේවා ඉතා පහසුවෙන් විසඳිය හැකි යැයි ජනතාවට හැඟෙන අයුරින් ජාජබ නායකයන් ජනාධිපතිවරණයට හා මහ මැතිවරණයට පෙර දැක්වූ අදහස් අද ඔවුන්ටම පෙරළා විශාල අභියෝගයක් බවට පත්වී තිබේ. තමන්ගේ අපේක්ෂා ඉටුකිරීමේ දී ආණ්ඩුව මුහුණ දෙන ගැටලු ජනතාවට අදාළ නැත. ඔවුනට අවශ්‍ය තමන්ගේ අපේක්ෂා ඉටු කර ගැනීමයි.
ජනමාධ්‍ය සහයෝගය ද ආණ්ඩුව මුහුණ දෙන තවත් ප්‍රශ්නයකි. ජනමාධ්‍ය සාමාන්‍යයෙන් පවතින ක්‍රමය විවේචනය කිරීමට පෙළඹේ. බලයට පත් වීමට පෙර ඒ තත්වයේ වාසිය ලැබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටය. ජනමාධ්‍ය නිසියාකාරව හසුරුවාගෙන විපක්ෂයේ විවේචනයන්ට නිසි ලෙස ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ඇත්තේ ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද ඇතුළු ජාජාබ ආණ්ඩුවේ කිහිප දෙනකුට පමණි.
ජන ප්‍රසාදයේ අඩුවීමට අමතරව මැතිවරණ ක්‍රමයේ ගැටලුවලට ජාජබ මුහුණ දී සිටී. මෙවර එම පක්ෂය පළාත් පාලන ආයතන 266ක වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත් පක්ෂය වුවද එම පක්ෂයට බහුතර බලය (අඩකට වැඩි ආසන සංඛ්‍යාවක්) දිනා ගැනීමට හැකි වූයේ ආයතන 133ක පමණි. රටේ ප්‍රධාන පළාත් පාලන ආයතන වන කොළඹ නගර සභාවේ ද ආසන 117න් ආසන 48ක් දිනා ප්‍රථම ස්ථානයට පත්වීමට ජාජබ සමත් වුව ද අනෙක් සියලු පක්ෂ ලබාගත් ආසනවල එකතුව 69කි.
මෙවැනි සභාවලට ජාජබ නොවන පක්ෂ එක්වී සභාවේ බලය අත්පත් කරගන්නා බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඒ අතර එවැනි සභාවල ස්වාධීන කණ්ඩායම් එකඟ නම් ඒවා සමඟ එක්වී සභාවේ පාලනය අත් කරගන්නට උත්සාහ කරන බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය.
ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කරන්නේ ප්‍රතිපත්තිමය අදහසකි. එනම් අතීතයේ දී රටේ විනාශයට දායක වූ පක්ෂ සමග සන්ධාන ගත නොවන බවයි. එහෙත් ප්‍රේමදාස මහතා පවසන්නේ ප්‍රතිපත්ති කුමක් වුවත් බලය සඳහා ඕනෑම කණ්ඩායමක් සමග සන්ධාන ගතවීමට සජබ සූදානම් බවයි. එජාප සහ සජබ සමගි කරන්නට මෙම මැතිවරණයට පෙර ඇතැම් පිරිස් උත්සාහ කළද ප්‍රේමදාස මහතා ඊට එකඟ වූයේ නැත. සමගියට බාධාවක් ලෙස එදා ඒ මහතා දුටු කාරණා දැන් නැති ද යන ප්‍රශ්නය ද මතුවේ.
ටිල්වින් සිල්වා මහතා කුමක් කීවද දේශපාලන දොළ පිදේනි නැතිව ස්වාධීන කණ්ඩායම්වල නායකයන් ජාජබ සමග සන්ධාන ගත වීමට එකඟ වේද යන්න ප්‍රශ්නයකි. එසේ බලය සඳහා දොළ පිදේනි දෙන්නට ජාජබ එකඟ වුවහොත් ඔවුන් මෙතෙක් කථා කළ දේශපාලනික සදාචාරයට කුමක් වේද යන ප්‍රශ්නය මතුවේ.
පළාත් පාලන ආයතන වැඩිම ආසන ගණන දිනා ගන්නා පක්ෂයට වඩා අනෙක් සියලු පක්ෂ දිනා ගන්නා ආසන සංඛ්‍යාව වැඩිවී මෙවැනි අවුල් සහගත තත්වය ඇතිවෙන්නේ 2012 දී පළාත් පාලන මැතිවරණ සඳහා හඳුන්වා දෙන ලද මිශ්‍ර මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක වන ආකාරය නිසාය. එම ක්‍රමය මුල්වරට අත්හදා බලන ලද්දේ 2018 පෙබරවාරි 10 වැනිදා පැවැති මැතිවරණයේදීය.
එවරද වැඩිම සභා ගණනක (එනම් සභා 231ක) වැඩිම ආසන ගණනක් දිනාගත් පොදුජන පෙරමුණ මෙම ගැටලුවට මුහුණ පෑවේය. ඒ ඇතැම් සභාවල අනෙක් පක්ෂ සියල්ල ලබාගත් ආසන ගණන පොදුජන පෙරමුණ දිනාගත් ආසන ගණනට වඩා වැඩි වීම නිසාය. අනුව ඒවායේ බලය අත්පත් කර ගැනීම ගැටලුවක් විය. මේ නිසා මෙම මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් කළ යුතුව ඇතැයි පොදුජන පෙරමුණේ නායක එවක විපක්ෂනායක වූ මහින්ද රාජපක්ෂ මහතා දැඩි ලෙස කියා සිටියේය.
එහෙත් ඉන්පසු කිසිවකුගේ අවධානය ඒ වෙත යොමු නොවීය. සමානුපාතික ක්‍රමය ද මෙම මිශ්‍ර මැතිවරණ ක්‍රමය තුළ තිබීම මෙම ගැටලුවේ මුලයි. එහෙත් කුඩා පක්ෂවලට සාධාරණය ඉටු කිරීමට සමානුපාතික ක්‍රමය වැදගත් වේ. 1978 දී සාමානුපාතික ක්‍රමය හඳුන්වා දීමේ දී එවක සිටි ජේ.ආර්. ජයවර්ධන මහතාගේ එජාපය මෙම අවුලට පිළියමක් වශයෙන් ප්‍රසාද ආසන ක්‍රමය හා පක්ෂයක් ලබාගත යුතු අවම ඡන්ද ප්‍රතිශතයක් හඳුන්වා දුන්නේය.
මැතිවරණයේ දී ඉදිරියෙන්ම සිටින පක්ෂයට ප්‍රසාද ආසන දීමෙන් එම පක්ෂය හා අනෙක් පක්ෂ අතර පරතරය වැඩි කෙරේ. එසේම අවම ඡන්ද ප්‍රතිශතය මගින් කුඩාම පක්ෂ තරගයෙන් ඉවත් කෙරේ. එම උපක්‍රම සාර්ථක බව 1978 සිට මේ දක්වා සමානුපාතික ක්‍රමය යටතේ පවත්වන ලද පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල වලින් පෙනේ.
මිශ්‍ර ක්‍රමයට පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ දී එතෙක් රටපුරා පළාත් පාලන ආයතනවල තිබුණු ආසන සංඛ්‍යාව ආසන්න වශයෙන් හාර දහසේ සිට අට දහස දක්වා වැඩි විය. මෙය හුදු මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් කරන මුදල් නාස්තියකි.
ඒ අනුව මාස හයක් තුළ තම ඡන්ද පදනම සියයට 61ක සිට සියයට 43 දක්වා කඩා වැටුණේ කුමක් නිසාදැයි සොයා බලා ජනතා අපේක්ෂාවලට ආමන්ත්‍රණය කිරීමේ මං මාවත් සොයනවා සේම මැතිවරණ ක්‍රමයේ ඇති මෙම අවුල් අනාගතයට ඉතිරි නොකරන්නට වගබලා ගැනීම ද ජාජබ වගකීමකි.
(*** එම්.එස්.එම්. අයුබ්)
දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්
ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.
පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා
අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව
මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො
දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මැතිවරණ ප්‍රතිඵල පුරසාරම්