IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රාජ්‍ය සේවයේ වෙනසක් අවශ්‍ය ඇයි?

මෙරට රාජ්‍ය සේවය දූෂණ වංචාවලින්, අක්‍රමිකතාවෙන් හා අකාර්යක්ෂමතාවෙන් පිරී ඇති බවත් එය ඉන් මුදාගත යුතු බවත් දේශපාලන ක්ෂේත්‍රය තුළත් පොදු සමාජය තුළත් යළි කතා බහට ලක්වෙමින් තිබේ. ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත් වූයේම සමාජ දේශපාලන ක්‍රමයේ වෙනසක් ඇති කරන බව ප්‍රධාන සටන් පාඨය කරගනිමිනි. අප නිදහස ලබා වසර 75කට වැඩි කාලයක් ලංකාවේ පැවැති සමස්ත දේශපාලන ක්‍රමයේ පවත්නා ජරාජීර්ණත්වය සැලකිය යුතු ආකාරයකින් වෙනස් කිරීමේ අවධානය සමගි ජන බලවේග මැතිවරණ වේදිකාවල ප්‍රධාන මාතෘකාවක් විය. ඒ වෙනස්කම් අතර මෙරට රාජ්‍ය සේවය ගතානුගතික ක්‍රමයෙන් මුදාගෙන නව වෙනසක් ඇති කිරීමද ඔවුන්ගේ ප්‍රධාන මාතෘකාවක් විය.

රාජ්‍ය සේවයේ වෙනසක් ඇති කිරීම සඳහා ජාතික ජන බලවේගයේ අවධානය මැතිවරණයට පෙර සිටම යොමු වීම වැදගත් කරුණකි. එහෙත් මෙහිදී අප අවධානයට ගත යුතු කරුණ නම් රාජ්‍ය සේවයේ මේ වෙනස ඇති කරන්නේ කෙසේද යන කාරණයයි. රාජ්‍ය පාලනය හරියාකාරව පවත්වාගෙන යාමට නම් රාජ්‍ය සේවයේ වෙනසක් අත්‍යවශ්‍යය. දැනට පවත්නා රාජ්‍ය සේවය අකාර්යක්ෂම, යල් පැන ගිය, දූෂිතභාවයෙන් පිරුණු ක්‍රමයක් බවත් එම ක්‍රමයෙන් රටක් සංවර්ධනය කළ නොහැකි බවත් පොදුවේ අප දිගින් දිගටම අවධානය යොමු කළ කරුණකි. අනෙකුත් ක්‍රමෝපායික වෙනස්කම් සමග රාජ්‍ය සේවයේ මේ කියන වෙනස සිදු කළ යුතුය යන අදහස සාකච්ජාවට ලක් වූවකි. එය තර්කානුකූල අදහසකි.

දැනට පවත්නා රාජ්‍ය සේවය දූෂිත, අකාර්යක්ෂම, කාලයට නොගැළපෙන එකක් නිසාම ජනතාවගෙන් නිතරම නැගෙන චෝදනාව වූයේ රාජ්‍ය ආයතන දෙපාර්තමේන්තුවලට තම කටයුතු සඳහා ගිය විට එම කාර්යය සාධාරණව හරියාකාරව කරගැනීමට නොහැකි වන බවය. මෙම තත්වය රාජ්‍ය සේවය පුරාම පිළිලයක් සේ පැතිර ගිය එකකි. ජනතාව ක්‍රමයේ වෙනසක් ඉල්ලා සිටියේ මේ නිසාය. සමාජ ආර්ථික සංවර්ධනය අපේක්ෂා කිරීමේදීත් දේශපාලනයේ දූෂිත බව තුරන් කිරීමේදීත් රාජ්‍ය සේවයේ වෙනස මග හැර යා නොහැකිය. එය එම ක්ෂේත්‍ර සියල්ලක් මත කේන්ද්‍රගතව පවතින නිසාය.

මෙරට රාජ්‍ය සේවය මේ කියන තරම් දූෂිතද? අකාර්යක්ෂමද? යල් පිනූ අදහස් හා ආකල්පවලින් වෙළාගත් එකක් ද? ලංකාවේ රාජ්‍ය සේවය වඩාත් පුළුල්ව පැතිරුණු එකකි. රජයට අයත් විවිධ ආයතන විශාල සංඛ්‍යාවක් මෙම සේවාව හා බද්ධව පවතී. මේ සියල්ල මෙහෙයවන පරිපාලන සේවාවක් හා ව්‍යාප්ත සේවාවක් පවතී. අනෙක් අතින් මෙරට රාජ්‍ය සේවයේ නිලධාරීහුද සේවකයෝද ඇති පදමට සුදුසුකම්වලින් යුක්ත වූවෝ වෙති. පහළම මට්ටමේ සේවකයන් බඳවා ගැනීමේ දී පවා සාමාන්‍ය පෙළ ඉක්ම වූ සුදුසුකම් දැකිය හැකිය. බොහෝ රාජ්‍ය නිලධාරීන්ට දේශීය හා විදේශීය වශ‍යෙන් උපාධි හා වෙනත් වෘත්තීය සුදුසුකම් දැකිය හැකිය. ඉන් ඇතැම්හු ආචාර්ය උපාධිධාරීහු වෙති. මේ අනුව පෙනෙන්නේ මෙරට රාජ්‍ය සේවකයන් විවිධ අධ්‍යාපන සහතික සුදුසුකම්වලින් යුක්ත වන බවය. එසේම ඒ බොහෝ දෙනා දෙස් විදෙස් වැඩමුළු ආදියට සහභාගී වී අත්දැකීම් ලැබූවෝ වෙති. එසේ නම් මේ තරම් අධ්‍යාපන සුදුසුකම් ඇති අත්දැකීම් ඇති නිලධාරීන් පිරිසක් සිටින මෙරට රාජ්‍ය සේවය අකාර්යක්ෂම වී තිබෙන්නේ ඇයි? 

මීට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන්නේ රටක් සංවර්ධනය කිරීමට සමත් රාජ්‍ය සේවක කාර්ය මණ්ඩලයක් රාජ්‍ය සේවය තුළ නොසිටීමය. අපේ රටේ රාජ්‍ය සේවකයන් බොහෝ දෙනා විභාග සුදුසුකම් සපුරාගත්තත් ඔවුන් හැකියාවන්ගෙන් හා කුසලතාවන්ගෙන් යුක්ත වූවන්ද යන ගැටලු‍ව පැන නගී. රාජ්‍ය සේවය අකාර්යක්ෂම වීමට මේ කාරණය විශේෂයෙන් බලපා තිබේ. එහෙත් මේ තත්වය රාජ්‍ය සේවය තුළ ඇති වීමට වගකිවයුත්තෝ රාජ්‍ය සේවකයෝ නොවෙති. සේවකයන් බදවාගැනීමේදීත් උසස්වීම් ලබා දීමේදීත් ඒ සඳහා වන නිර්නායක සැකසූ ඉහළ මට්ටමේ රාජ්‍ය සේවකයෝත් දේශපාලකයෝත් මීට වගකිව යුත්තාහ. නිදහසින් පසු බලයට පත් වූ ආණ්ඩු දිගින් දිගටම කළේ රාජ්‍ය සේවකයන් ගේ නිපුණතාව හා හැකියාව තේරුම් නොගෙන සහතික සුදුසුකම් මත තීරණ ගැනීමය. රාජ්‍ය සේවකයන්ට උසස් වීම් ලබා දීමේදී අවධානය යොමු කළේ එම සේවකයන් සා.පෙළ සමත් ද, උ.පෙළ සමත් ද, උපාධි කීයක් තිබේද, ආචාර්ය උපාධි තිබේද ආදි සහතික මත පදනම් වූ කාරණා පමණි. එක් ශ්‍රේණියකින් තවත් ඉහළ ශ්‍රේණියකට බඳවා ගැනීමේදී බොහෝ විට එය සිදුවූයේ සේවකයාගේ ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්වය. ඔහුගේ නිපුණතා සහ කුසලතා සලකා බැලීමක් සිදු නොවුණි. මේ නිසාම තමන් ජ්‍යෙෂ්ඨත්වයට පත් වනවිට ක්‍රමයෙන් වයස්ගත වන විට ඉහළ නිලයකට යා හැකියැයි රාජ්‍ය සේවකයා තුළද මතයක් ගොඩනැගුණි. වයස් ගතවන විටත් ඉහළ නිලයක් නොලැබුණොත් රාජ්‍ය සේවකයා කල්පනා කරන්නේ ඔහුට කැපිල්ලක් ඇති බවය. සේවා කාලය මත පදනම් වීමත් නිපුණතා හා කුසලතා නොසැලකීමත් මත වසර ගණනාවක් ක්‍රියාත්මක වූ රාජ්‍ය සේවය දිගින් දිගටම අකාර්යක්ෂම වීමට බලපෑවේය.

මේ නිසාම ජනතාවගේ පොදු මතය බවට පත් වූයේ රාජ්‍ය සේවකයා යනු ලිපි ලේඛන සඳහා අත්සන් කරන පිරිසක් පමණක් වන බවය. මේ නිසාම ඔවුන්ට මතවාදී හැකියාවක් හෝ භාෂාමය හැකියාවක් හෝ තීන්දු ගැනීමේ හැකියාවක් හෝ ගැටුම් කළනාකරණය කිරීමේ හැකියාවක් හෝ අර්බුද විසඳීමේ හැකියාවක් හෝ ඉලක්ක සඳහා වැඩ කිරීමේ හැකියාවක් හෝ නොමැති බව ජනතාව තුළ තහවුරු වී තිබේ. විභාග මතම සහතික මතම පදනම් වූ රාජ්‍ය සේවක් කෙරෙහි විශ්වාසය තැබීම මේ තත්වය ඇති වීමට හේතු වූ බව පෙනේ.

සමාජය තුළ වර්ධනය වූ අනෙක් මතය වූයේ රාජ්‍ය සේවය යනු විශ්‍රාම වැටුපක් සහිත වඩාත් සුරක්ෂිත රැකියාවක්ය යන කරුණය. ඒ නිසාම රැකියා අපේක්ෂිත බොහෝ දෙනා කල්පනා කළේ තම කුසලතා හා නිපුණතාවලින් ප්‍රයෝජනයක් ගැනීමට නොව රාජ්‍ය සේවය සඳහා ඉල්ලා සිටින සුදුසුකම් සපුරා ගැනීමටය. දේශපාලකයන්ද මෙතෙක් කල් සලකා බැලු‍වේ එම සුදුසු කම් සපුරා ඇති තමන්ගේ හිතවතුන් පාක්ෂිකයන්ට රාජ්‍ය සේවයේ දොර විවර කර දීමය. ඒ හැර ඔවුන්ගේ හැකියා හා කුසලතා මොනවාදැයි කිසිවිටෙක සොයා බැලීමක් නොවීය. මේ සඳහා පරිසරය නිර්මාණය කළ දේශපාලකයන් සහ උසස් රාජ්‍ය නිලධාරීන් මේ අකාර්යක්ෂම රාජ්‍ය සේවයට වගකිව යුතුයැයි කීවේ එබැවිනි.

ඇමෙරිකාව ඇතුළු බොහෝ රටවල රාජ්‍ය සේවය පරීක්ෂා කර බැලීමේදී සේවකයන්ගේ අධ්‍යාපන සුදුසුකම්වලට අමතරව කුසලතා සහ හැකියාව සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව පෙනේ. එම රටවල රාජ්‍ය සේවය ශක්තිමත් වීමටත් රට සංවර්ධනයටත් මේ තත්වය හේතු වී තිබේ. රට නව ඉලක්ක සඳහා ගෙන යාමට ඔහු සතුව පවත්නා කුසලතා හා ආකල්ප කවරේද, ආයතන දියුණු කිරීමට ඔහුට යම් නිර්මාණශීලී දායකත්වයක් ලබාදිය හැකිද යන කරුණු කෙරෙහි ඔවුන් විශේෂ අවධානය යොමු කරන බව පෙනේ.

එහෙත් එවැනි තත්වයක් ගැන තවමත් අපේ රටේ අවධානයට යොමු වී ඇති බවක් නොපෙනේ. වර්තමාන ආණ්ඩුව පවා රාජ්‍ය සේවයේ සිස්ටම් චේන්ජ් සම්බන්ධව මැතිවරණයට පෙර නිතර හඬ නැගුවත් ඒ ක්‍රම වෙනස සඳහා නියමාකාරයෙන් යොමුවී සිටින බවක් තවමත් පෙනෙන්නට ඇතැයි සිතිය නොහැක. රාජ්‍ය ආයතන සඳහා මෑත කාලයේ කළ ඉහළ මට්ටමේ පත්කිරීම් ආණ්ඩුව කළේ ආයතන දියුණු කළ හැකි නියම සුදුස්සන් හඳුනාගෙනද යන සැකය බොහෝදෙනා තුළ මතු වී තිබේ. ඒ පත්කිරීම් බොහොමයකදී මූලිකව සලකා බලා ඇත්තේ තම පක්ෂයට හෝ සන්ධානයට ඇති හිතවත්කම පක්ෂපාතීත්වය බවද පෙනෙන්නට තිබේ. එම පත්කිරීම්වල පුද්ගලයන්ගේ නිපුණතා හා හැකියාවන් සලකා බැලු‍වාද යන කරුණ විමසා බැලීම වටී. මෙසේ නව පත්වීම් ලද ඇතැම් රාජ්‍ය ආයතන ප්‍රධානීන් ධුරය බාරගෙන ඉතා කෙටි කාලයකින් ඉල්ලා අස්වූ තත්වයක්ද දැකගත හැකි විය. එයින් වැටහෙන්නේ ඔහුට එම තනතුර කරගෙන යාමට ඇති නොහැකියාවය.

නව ආණ්ඩුව බලයට පත් වී මාස කිහිපයක් ගත වී තිබේ. එය සැලකිය යුතු කාලයකි. එම නිසා ක්‍රම වෙනස සිදු කිරීමේදී රාජ්‍ය සේවයේ ඇති වැදගත්කම ගැන ආණ්ඩුව දැන්වත් ප්‍රමුඛ අවධානය යොමු කළ යුතුව තිබේ. රාජ්‍ය සේවය යනු රටක කොදු නාරටියයි. බටහිර දේශපාලන විද්වතුන්ගේ අදහස නම් රාජ්‍ය සේවය යනු රාජ්‍යය මෙහෙයවන එන්ජින් කාමරය බවයි. විධායකය ලෙස මීට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරන්නේ දේශපාලකයායි. ඒ සඳහා ඇතැම් අවස්ථාවල ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ තාක්ෂණික දැනුම හා සහයෝගය මීට අවශ්‍ය වේ. විධායකය ගන්නා ඒ තීන්දු තීරණ ක්‍රියාවට නංවන්නේ රාජ්‍ය නිලධාරි ධූරාවලියයි. රාජ්‍යයක් සංවර්ධනය සඳහා ගෙන යාමේදී රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය ඉතාම වැදගත් වන්නේ මේ නිසාය. එය හරියාකාරව ඉටු කිරීමට නම් දේශපාලකයාට නැති දක්ෂතාවක් නිපුණතාවක් හා හැකියාවක් රාජ්‍ය නිලධාරියාට තිබිය යුතුමය. යමකු රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ දී ඔහුගේ හැකියාවන් කුසලතාවන් උරගා බැලිය යුත්තේ මේ නිසාය. එහෙත් නිදහස ලැබූ තැන් සිට මේ දක්වා  අවාසනාවකට ඒ සම්බන්ධයෙන් නිසි ලෙස අපේ රටේ අවධානය යොමු වී නැති බව සඳහන් කළ යුතුය.

අපේ රටේ රාජ්‍ය සේවයේ කලාතුරකින් හෝ එබදු දක්ෂ කුසලතා පිරි අවංක රාජ්‍ය නිලධාරීන් නැතැයි මෙයින් අදහස් නොවේ. එබදු අය අතීතයේ බහුලව සිටි අතර වර්තමානයේදීද සුළු වශයෙන් හෝ එවැන්නන් දැකිය හැකිය. එවැන්නන් සිටින ක්ෂේත්‍ර ඉතා ඉක්මනින් ඉදිරියට යන බවද පෙනේ. ඔවුන්ට මතවාදී දැක්මක් ඇති බව දැකිය හැකිය. එසේම මේ රටේ ඇතැම් දේශපාලකයන් රාජ්‍ය සේවකයාගේ විභාග සහතිකවලටම සීමා නොවී ඔවුන්ගේ කුසලතා හා හැකියාවන් සඳහා මූලික තැන දුන් අවස්ථා ද දක්නට ලැබේ. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා තුළ මේ ලක්ෂණය දැකිය හැකිව තිබුණි. ඔහු තැන ලබා දුන්නේ ඉලක්කය වෙත ගමන් කළ හැකි නිලධාරියාටය. එසේ නොමැතිව දේශපාලකයාට හෝ පක්ෂයේ මතයට කීකරු නිලධාරීන්ට පමණක් පත්වීම් දීමෙන් සිදුවන්නේ රාජ්‍ය සේවය තවදුරටත් කඩා වැටීමය. ජරාජීර්ණත්වයට පත් වීමය. අකාර්යක්ෂම වීමය. හැකියාවක්, දක්ෂතාවක්, කුසලතාවක් නැති නිලධාරීන් රාජ්‍ය ආයතන සඳහා පත් වූ පසු ඔවුන් ක්‍රියා කරන්නේ දේශපාලකයාට අවශ්‍ය අන්දමිනි. ඔහු උත්සාහ ගන්නේ තම දේශපාලකයා සතුටු කිරීමටය. දේශපාලකයා සතුටු කිරීමෙන් රටේ හෝ රාජ්‍ය සේවයේ වර්ධනයක් හෝ යහපතක් ඇති නොවේ.

දේශපාලකයා දූෂණ ක්‍රියා කිරීමේදී මූල්‍යමය වංචා සිදු කිරීමේදී ඇතැම් රාජ්‍ය නිලධාරීහුද ඊට සම්බන්ධ වෙති. එය දේශපාලකයාට තනිවම කළ නොහැක. මූල්‍ය රෙගුලාසි අනුව මුදල් වෙන් කිරීමේ වගකීම ඇත්තේ රාජ්‍ය නිලධාරියාටය. එම මුදල් අවභාවිතාවකින් තොරව භාවිත කිරීමේ වගකීම එම රාජ්‍ය නිලධාරියා සතු වේ. දේශපාලකයා රාජ්‍ය මුදල් අනීතික ලෙස අවභාවිත කරන්නේ නම් ඊට විරුද්ධ වීමේ ශුද්ධ වූ අයිතියක් රාජ්‍ය නිලධාරියා සතු වේ. එසේ නොවුණහොත් නිලධාරියාද නීතියේ රැහැනට හසු වේ. එහෙත් දේශපාලකයාගේ රැකවරණය ලැබේය යන විශ්වාසය ඇතිව රාජ්‍ය මුදල් අවභාවිත කළ ඇතැම් රාජ්‍ය නිලධාරීන් මෙරට ඉතිහාසයේ නොසිටියේ නොවේ. රාජ්‍ය සේවය දූෂිත එකක් ය යන ජනමතය නිර්මාණය වීමට මේ කරුණු විශේෂයෙන් බලපා තිබේ.

එබැවින් රටේ ප්‍රධාන කොදු නාරටිය වන රාජ්‍ය සේවය යළි සකස් කිරීමේ දැඩි අවශ්‍යතාව දැන් මතුව තිබේ. ජනතාව වැඩි බලයක් ලබා දි මෙම ආණ්ඩුව පත් කළේ එම වෙනස්කම් සිදු කරනු ඇතැයි යන තදබල විශ්වාසය ඇතිවය. ආණ්ඩුව ගෙනා කිලීන් ශ්‍රීලංකා වැඩසටහන තුළද රාජ්‍ය සේවය ක්ලීන් කළ යුතුය යන අදහස මතු වී ආවත් එය තවමත් හරියාකාරව සිදුවන බවක් පෙනෙන්නට නැත. එහෙත් ඉදිරි කාලයේ ජාතික ජන බලවේග ආණ්ඩුව බරපතළ ලෙස රාජ්‍ය සේවය කිලීන් කිරීමේ කාර්යයට පිවිසෙනු ඇතැයි ජනතාව අපේක්ෂා සහගතව බලා සිටිනු ඇත.

(***)



අදහස් (1)

රාජ්‍ය සේවයේ වෙනසක් අවශ්‍ය ඇයි?

web Sunday, 01 June 2025 06:16 PM

මැති ඇමැතිලාට වැඩියෙන් හොරකම් කරන්නේ, අකර්ය්ක්ෂයම රජයේ සේවකයින් කියන එක තමයි ජනප්‍රිය පොදු මතය. රාජ්‍ය සේවයේ බර නිසා රජයට ලැබෙන ආදායම රටේ දියුණුවට යොදවන්න තියා හිතන්නවත් බැරි තරමක ඉන්න රටක් අපි. අපි තනිව හැදුණාට වැඩිය රට හැදුණොත් රටේ හැමෝටම සැපට ඉන්න පුළුවන්... රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න නම් රටේ සියලුම පක්ෂ පාර්ලිමේන්තුවේ එකඟතාවයකින් ප්‍රතිපත්ති සම්පාදනය කරන්න ඕනේ. තනි ආණ්ඩුවකට මේ දේවල් කරන්න බැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site