IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


රාජ්‍ය නායක විදේශ සංචාර රටකට අවශ්‍යද?

ශ්‍රී ලංකාව අද මුහුණ දී සිටින්නේ ගෙවී යන හැම තත්පරයක්ම රටේ අනාගතය පිළිබඳව තීරණාත්මක තත්වයක් ඇති කරන මොහොතකය. එබැවින්, රටේ ජනපති සහ ඇමැතිවරුන් ද විපක්ෂ නායකවරයා ඇතුළු පක්ෂ නායකයන් ද පාර්ලිමේන්තුවෙන් බැහැරව මෙන්ම පාර්ලිමේන්තුවේදී ද කරන ප්‍රකාශ රට කෙරෙහි ද යම් බලපෑමක් ඇති කිරීමට ඉඩ තිබේ. රටේ මහජනතාව මෙන්ම රට ගැන සැලකිල්ලක් දක්වන විදේශිකයන් ද රට සම්බන්ධව පළ වන අදහස් හා මතවාද පිළිබඳව අවධානය යොමු කරමින් සිටින බව අප අමතක කළ යුතු නැත. හුදු ජනප්‍රියතාව මුල් කරගෙන අසත්‍ය හෝ විකෘති කරන ලද තොරතුරු ඇතුළත් ප්‍රකාශ කරන විට ඒවායින් හානි සිදු වන්නේ රටට සහ මහජනතාවටය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විදේශ සංචාර පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් කරන ලද ප්‍රකාශයක් පසුගිය දිනවල ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත්කර තිබුණි. ඔහු ප්‍රකාශ කර තිබුණේ, අයවැයෙන් ජනාධිපතිවරයාට වෙන් කර තිබූ මුදල් ප්‍රමාණවත් නොවීම නිසා රජය විසින් පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර එම වියදම් පියවා ගැනීමට කටයුතු කර ඇති බවයි. රුපියල් මිලියන 200ක මුදලක් ජනාධිපතිවරයාගේ ඉන්ධන, වාහන සහ විදේශ චාරිකා සඳහා යොදන බවක් ද එහි සඳහන් විය. ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීම සඳහා රුපියල් මිලියන 1,200ක මුදලක් වෙන් කර ඇති බව ද, එය මේ වන විටත් වියදම් කර ඇති බව ද, පෞද්ගලීකරණය කිරීමට මෙතරම් මුදලක් වැය කළේ කවර කටයුතු සඳහා ද යන්න හෙළි කළ යුතුව ඇති බව ද ප්‍රකාශ කළේය.

මහජනතාව දැඩි පීඩනයකට ගොදුරු වී ඇති අවස්ථාවක රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා මසකට එකක් බැගින් විදේශ සංචාරවල යෙදීම මුදල් නාස්තියක් බව පෙන්වන අයුරින් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා තම ප්‍රකාශය කර ඇත. මඟුල් සහ අවමඟුල් වැනි දේ වෙනුවෙන් එම සංචාර යොදාගෙන ඇති බව ද, ඒවා හේතුවෙන් රටට කිසිවක් නොලැබුණු බව ද ඔහු ප්‍රකාශ කර තිබේ. සත්‍ය වශයෙන්ම ජනාධිපතිවරයා විසින් රටට සහ රටේ ජනතාව දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටින අවස්ථාවක ප්‍රතිඵලයක් අත් නොවන විදේශ චාරිකා සඳහා කාලය ගත කර ඇත්නම්, එය රටටත්, අපමණ කැපවීම් කරන මහජනතාවටත් කරන විශාල හානියක් බව පිළි ගැනීමට සිදු වේ.

බ්‍රිතාන්‍යයට හතර වරක් ද, ජපානයට දෙවරක් ද ගිය බවක් ඔහුගේ ප්‍රකාශයේ සඳහන්ව ඇත. ජනාධිපතිවරයා එම ධුරයට පත්වීමෙන් පසු සැලකිය යුතු විදේශ සංචාර ගණනක යෙදී ඇති බව සත්‍යයකි. එම සෑම සංචාරයක්ම කිසියම් නිල සංචාරයක් හෝ රාජ්‍යතාන්ත්‍රික අවශ්‍යතාවක් මත යෙදුණක් බව ඊට අදාළ වර්තා පරීක්ෂා කරන විට පැහැදිලි වේ. රට විදේශ ණය නොගෙවන බව ප්‍රකාශයට පත්කර බංකොළොත් තත්වයට පත්වීමත් සමග එම තත්වයෙන් ගොඩ ඒමට විදේශීය රටවල්, ජාත්‍යන්තර ආයතන සහ විදේශ ණයකරුවන් සමග සාකච්ඡා කිරීමට සිදු විය. එහිදී රටට මුළුමනින්ම යැපීමට සිදු වූයේ විදේශ සම්බන්ධතා මතය. මළගෙවල්වලට හෝ මඟුල් ගෙවල්වලට ගිය ද ඒවාට ගිය එකම නායකයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා නොවේ. විදේශ සම්බන්ධතාවල වැදගත්කම අනුව එවැනි ගමන්වල යෙදීමට සිදුවන අතර, ශ්‍රී ලංකාව මුහුණ දී සිටි තත්වය යටතේ එවැනි අවස්ථා වුව ද තවත් රටවල් සමග සම්බන්ධතා දියුණු කරගැනීම සඳහාත්, ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම වැනි කරුණු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහාත් යොදාගෙන තිබුණු බව එම සංචාරවලට අදාළ වාර්තාවලින් හෙළි වේ.

ජනාධිපතිවරයා බලයට පත්වන විට රටේ විදේශ සම්බන්ධතා පිළිබඳ පැවැතියේ හොඳ තත්වයක් නොවේ. චීනය සහ ඉන්දියාව සමග සම්බන්ධතා පවත්වාගෙන යෑමේදී මනා රාජ්‍යතාන්ත්‍රික කළමනාකරණයක් නොපැවැතීම නිසා අවුල් ගණනාවක් මතුවිය. ජපානය විසින් ලබාදෙන ලද ආධාර ව්‍යාපෘති නැවතී සම්බන්ධතා පහළ මට්ටමකට වැටී තිබුණි. බොහෝ රටවල් ශ්‍රී ලංකාව පිළිබඳව වැඩි අවධානයක් යොමු නොකරන තත්වයකට රට පත්විය.

එවැනි තත්වයක් යටතේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා විදේශ රටවල් එකඟ කරවා ගැනීමටත් වඩා වැඩි ගැටලු‍වක් වූයේ බොහෝ රටවල් සමග සම්බන්ධතා යථා තත්වයට පත් කරවා ගැනීමය. මේ සියල්ල ගොඩනගා ගැනීමට නම් එම රටවල නායකයන් සමගත් ශ්‍රී ලංකාව හා සම්බන්ධ වන ආයතන සමගත් සම්බන්ධතා තීව්‍ර කරගැනීමට සිදු වේ. උදාහරණයක් ලෙස ජපානය සමග සම්බන්ධතාවල තත්වය විමර්ශනය කළ හැකිය. ජපානය ශ්‍රී ලංකාවට ලබා දී තිබු සැහැල්ලු‍ දුම්රිය ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘති කිහිපයක් ශ්‍රී ලංකා රජය විසින් ඒක පාර්ශ්වීයව අහෝසි කළේය. මෙය එම දිනවල විදේශ රටවල මාධ්‍ය විසින් ඉහළ ප්‍රචාරයක් ලැබෙන අයුරින් වාර්තා කර තිබූ අතර, ජපානයේ කීර්ති නාමයට ද විශාල හානියක් සිදු විය.

ජපානය බොහෝ කලෙක සිට ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයේදී විශාල මෙහෙයක් ඉටුකළ රටකි. දශක කිහිපයක්ම එම රට ශ්‍රී ලංකාවට ආධාර ලබාදුන් රටවල් අතර ප්‍රමුඛයා ලෙස කටයුතු කළේය. එසේම, ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආනයන සැපැයුම්කරු ලෙස ද කටයුතු කර තිබුණි. ශ්‍රී ලංකාවේ ජනතාව සඳහා අධ්‍යාපන සහ පුහුණු වැඩසටහන් රාශියක් ද පිරිනමා තිබූ අතර, දෙරට ජනතාව අතර ද පුළුල් සම්බන්ධතාවක් ගොඩනැගී තිබුණි. එසේ වුව ද, රජය විසින් සංවර්ධන ව්‍යාපෘති එක වරම ඒක පාර්ශ්වීයව නවතා දමනු ලැබීම රටවල් දෙක අතර හොඳ හිත පළුදු වීමට හේතුවිය. ජපානය ශ්‍රී ලංකාවට ණය ලබාදුන් රටවල් අතර ප්‍රමුඛ රටක් වීම නිසා ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී එරට හොඳ හිත දිනා ගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියක් බවට පත්වූයේය.

අනුර දිසානායක මහතා ජනාධිපතිවරයා ජපානයට දෙවරක් ගිය බවට චෝදනා නගා තිබුණි. ජපන් මුදල් ඇමැතිවරයා පසුගිය සතියේ ශ්‍රී ලංකාවට පැමිණි අතර, ශ්‍රී ලංකාව විසින් ආර්ථික කටයුතු සම්බන්ධයෙන් මෑතකදී ලබාගෙන ඇති ප්‍රගතිය පිළිබඳව ප්‍රශංසා කළේය. නවතා දමා ඇති සංවර්ධන ව්‍යාපෘති වහාම ආරම්භ කිරීමට කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව මුහුණ දුන් විදේශ ණය නැවත ගෙවීම ආරම්භ කිරීම පිළිබඳ ගැටලු‍වේදී ජපානය ලවා විශාල කාර්යභාරයක් ඉටු කරවාගත හැකි බව රනිල් වික්‍රමසිංහ මහතා දැන සිටියේය. ඒ සඳහා ආධාර කරන ලෙස ජනාධිපතිවරයා ජපානයෙන් කළ ඉල්ලීම පිළිගෙන ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී අනෙක් රටවල් ඒ සඳහා එකඟ කරවා ගැනීමට ජපානය විශාල මෙහෙයක් ඉටු කළේය. ඒ සියල්ලට ඉඩ ලැබුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දෙවරක් එරට සංචාරය කිරීම වැනි මාර්ග ඔස්සේ ඉතා කෙටි කලක් තුළදී දෙරට අතර සම්බන්ධතා ඉතා ඉහළ මට්ටමකට ගෙන ඒම නිසා බව පැහැදිලි වේ.

විදේශ සම්බන්ධතා පිළිබඳව මීට පෙර පැවැති තත්වය හා සසඳන විට පසුගිය කෙටි කාලය තුළදී සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට රටට හැකි වී තිබේ. කිසියම් හෝ සුළු සිදුවීමක් රට තුළ උද්ගත වන විට බොහෝ රටවලින් සංචාරකයන්ට අනතුරු ඇඟවීම් කරන තත්වයක් ඇතිව තිබුණි. රටේ සිටින විදේශ තානාපතිවරුන් රටේ තත්වය පිළිබඳව නිරන්තරයෙන්ම ප්‍රකාශ නිකුත් කරන තත්වයක් අත්දැකීමට අපට හැකි විය. එහෙත්, අද වන විට තත්වය සැලකිය යුතු අන්දමකින් වෙනස් වී තිබේ. විවිධ රටවල රාජ්‍ය නායකයන් සහ ඉහළ නිලධාරීන් සැලකිය යුතු පිරිසක් පසුගිය කාල පරිච්ඡේදය තුළ රටට පැමිණියහ. ජනාධිපතිවරයාට ද බොහෝ රටවලින් සහ ජාත්‍යන්තර ආයතනවලින් මෙන්ම සම්මේලන ආදියෙන් ද නිරන්තරයෙන්ම ආරාධනා ලැබෙමින් පවතී.

රට ආර්ථික අර්බුදයට මුහුණ දෙන විට ඉන්දියාව අපට ආධාර ලබාදීම සඳහා පෙරමුණ ගත්තේය. චීනය මුලදී ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් එකඟතාවට පැමිණීමට අදිමදි කළ ද, දැන් ඒ සඳහා තම එකඟතාව පළ කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අමතරව ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා විශාල ලෙස ආධාර කිරීමට පටන්ගෙන තිබේ. ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වූ වහාම මධ්‍යම අධිවේගී මාර්ගය ආදියට ලබාදුන් ආධාර නැවත ආරම්භ කරන බව ජපානය ප්‍රකාශ කර තිබේ. මේ සියල්ල ගොඩනැගීමට හැකි වූයේ පසුගිය කෙටි කාලය තුළදී විදේශ රටවල් සමග සහ විදේශ නායකයන් සමග සම්බන්ධතා පුළුල් කරගැනීම නිසා බව පැහැදිලි වේ.

ජනාධිපතිවරයාගේ විදේශ සංචාරවල ප්‍රතිඵල නිරීක්ෂණය කිරීමේදී ඒ හා සම්බන්ධ අනෙකුත් තත්වය පිළිබඳව ද අපගේ අවධානය යොමු විය යුතු යැයි සිතමි. මීට පෙර රාජ්‍ය නායකයන්ගේ විදේශ සංචාර හා සැසඳීමේදී වත්මන් ජනාධිපතිවරයාගේ සංචාරවල ස්වරූපය වෙනස්කම් කිහිපයක්ම දක්නට ලැබෙන බව පෙනේ. සංචාර ඉතා කෙටි කලකට සීමා කිරීම, ඉතා අඩු පිරිසක් එම සංචාරවලට සහභාගි කරවා ගැනීම, රැඳී සිටින කාලය තුළ සියලු‍ම කටයුතු නිල හමුවීම් සහ කාර්යයන් සඳහා පමණක් සීමා කිරීම ආදිය පිළිබඳව සඳහන් කළ හැකිය. විශේෂ ගුවන් යානා මගින් අති විශාල පිරිසක් සමග දිගු කාල පරිච්ඡේදයක් විදේශගතව සිටීමේ පෙර ක්‍රමයට වඩා මෙම ක්‍රමය පිළිබඳව විපක්ෂයේ දේශපාලනඥයන්ගේ අවධානය යොමු වී ඇති බවක් නොපෙන්.

ජ.වි.පෙ. නායකයාගේ ප්‍රකාශය විමර්ශනය කරන විට පැහැදිලි වන්නේ, එවැනි ප්‍රකාශයකදී පවත්වාගෙන යා යුතු වගකීම පිළිබඳ කිසිඳු සැලකිල්ලක් දක්වා නැති බවයි. රුපියල් මිලියන 200ක පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇති බව සඳහන් කළ ද, එය එවැනි ඇස්තමේන්තුවක් නොව විසර්ජන පනත් කෙටුම්පතේ 6.1 යටතේ පාර්ලිමේන්තුවට කරන ලද දැනුම් දීමක් පමණක් බව හෙළි විය. එම මුදල් ද වැය කර ඇත්තේ විදේශ සංචාරවලට නොව අරගලකරුවන් විසින් කඩා බිඳ දැමූ ජනාධිපති මන්දිරය සහ ලේකම් කාර්යාලයේ අලු‍ත්වැඩියා කටයුතු සඳහා බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා විසින් පෙන්වා දෙනු ලැබීය. ටෙලිකොම් වෙනුවෙන් මුදල් වැය කර ඇත්තේ ජාතික ඉතිරිකිරීමේ බැංකුව සතු කොටස් මහා භාණ්ඩාගාරයට පවරා ගැනීම වෙනුවෙන් එම බැංකුවට මුදල් ගෙවීම සඳහා බව පැහැදිලි විය. පාර්ලිමේන්තුව වැනි ආයතනයක සිදු කරන ප්‍රකාශවලදී නායකයන්ගේ වගකීම වන්නේ හුදු ජනප්‍රියතාව පමණක් අපේක්ෂාවෙන් ඒවා සිදු නොකිරීමත්, විකෘති කිරීම්වලින් වැළකීමත් සියලු‍ තොරතුරු අධ්‍යයනය කර ඒවා ප්‍රකාශයට පත් කිරීමත්ය.

 

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර



අදහස් (6)

රාජ්‍ය නායක විදේශ සංචාර රටකට අවශ්‍යද?

ase Thursday, 18 January 2024 04:51 PM

රටයාම හෝ නොයෑම ඵලදායීතාවය මත මැනිය යුතුයි. දැනට එකම සන්චාරයකදීවත් අපේ රටට සෙතක් වුණාද? පාරිසරික සමුළුවල ගෙනෙන ලද යෝජනා සිනහවට ලක්වූදේ නොවේද? එයට හේතුව අපේ දේශපාලනය ගැන අවිස්වාසය නේද? පළමුව වෙන්ස්විය යුත්තේ?

:       17       12

nimalSunday, 21 January 2024 06:12 AM

විපක්ෂ දේශපාලකයින්ගේ ප්‍රකාශයන් කුමක් වුවද ශ්‍රී ලංකාව අද මුහුණ දී සිටින ආර්ථික කඩාවැටීම් හමුවේ වුවත් විදේශ නායකයින්, හිටපු නායකයින් / ගෝලීය ආයතන නිලධාරීන් හමුවීම ලංකාවට විදේශ ණය ලබාගැනීම සඳහා සාකච්ඡා කිරීම පමණක්ම නොවේ.

:       0       0

Chandima Thursday, 18 January 2024 05:00 PM

මේක රාජ්‍ය නායක සංචාරයක් නෙවෙයිනේ... අර පාරෙ ඉද්දී අල්ලා ඇවිත් පුටුවේ ඉඳපු මගේ සංචාරයක්නේ...?

:       15       19

wedage Friday, 19 January 2024 04:12 PM

නෑ... අවශ්‍ය නෑ... අපි හිඟන රටක්නේ...! ඉන්දියාවටත් යටවෙලා ඉන්නේ...!

:       13       12

wedageTuesday, 23 January 2024 11:59 AM

බිත්තරවලට වැට් ගහලා දැන් මිල ඉහළ ගිහින් තියෙන්නේ... ඉතින් රට යන්නේ පිස්සන් මිසක් වෙන කවුරුන්ද?

:       2       6

චන්දිම Friday, 19 January 2024 06:22 PM

ඔය දියුණු රටවල් වල ඉන්නේ මෙහේ ඉන්නවා වගේ මෝඩ නායකයෝ නෙමෙයි. ඔය ගිහින් කරනවා කියන මහා ලොකු සාකච්ඡා ටික ඔන්ලයින් ක්‍රමයට කළානම් ඒ මිනිස්සු තවත් ඒ ගැන අගය කිරීමක් කරනවා. මොකද මුළු ලෝකෙම දන්නවා... දැනට අපි ඉන්න ආර්ථික අගාධයේ තත්වය... දෙපැත්තේම කාලය මුදල් ඉතිරි වෙන නිසා. ඒ මිනිස්සු මෙහේ එන්නේ ඒ මිනිස්සුන්ට ගමන් බිමන්වලට හැකියාවක් තියෙන නිසා. ඔහොම සවාරි ගියයි කියලා විතරක් වැඩක් නැහැ. රටට ප්‍රයෝජනවත් ව්‍යාපෘති ලබා ගන්නයි ඕනෑ. මේ වෙන්නේ ගිහින් ගිහින් ඇග්රිමන්ට් අත්සන් කරලා අතට අතදීලා එනවා. ලිපිගොනුව කොහාට හරි විසිවෙනවා... එනවා ඊට පස්සේ මොකද වෙන්නේ කියලා කාටවත් මතකයකුත් නැහැ. වෙන වැඩක් ඇත්තෙත් නැහැ.

:       15       16

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

​කාගේත් තරම උරගාන පුංචි ඡන්දය
2025 මැයි මස 05 139 0

ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.


ලොවම බලාසිටින ඉන්දු - පාකිස්තාන අර්බුදය
2025 මැයි මස 05 335 0

ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ


කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 855 1

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 552 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 436 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1767 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 723 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 188 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1227 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site