IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


යුක්තිය අයුක්තියට පෙරළීමේ සිද්ධියක්

පොලිසිය මෙහෙයවනු ලබන්නේ ස්වාධීන පොලිස් කොමිසම මගින් යැයි කියති. එහෙත් එය විශ්වාස කළ නොහැකි තරමේ සිදුවීම් පොලිස් දෙපාර්තමේන්තුවෙන් වාර්තාවීම සුලබ සිදුවීමක් බවට පත් වී තිබේ. නවතම සිදුවීම වයඹ පළාතෙනි.

වයඹ පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, පුත්තලම දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. සෙනෙවිරත්න, පුත්තලම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.ඩී.ඒ. පුෂ්පකුමාර, පුත්තලම පොලිස් අධිකාරි එච්.එම්.ඩී.ඒ. හේරත් සහ ආණමඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එම්.වී. බණ්ඩාර යන මහත්වරුන් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර යවා ඇතැයි පොලිස් මූලස්ථානය පවසන බව අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. එකම පළාතක් නියෝජනය කරන ඉහළම පොලිස් නිලධාරීන් පිරිසක් මෙසේ එකවර මාරු කර යැවූ මෑත කාලයේ පළමු සිදුවීම ලෙස ද මෙය හැඳින්වේ.

මෙසේ මාරුකර යැවීමට අදාළ හේතුවද විශේෂ අවධානයට යොමුවිය යුත්තකි. නවගත්තේගම පොලිසියේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල් වරයකුට පහර දී ත්‍රිරෝද රථයකින් රැගෙන ගොස් කනත්තක් අසල දමාගොස් ලැබ සිටියදී හමුවීම මෙම සිදුවීම් මාලාවේ පළමු අංකය වේ. සේවය නිමවා නිවසට පැමිණෙමින් සිටි නවගත්තේගම පොලිසියේ කොස්තාපල්වරයා සිය නිවෙස ඉදිරිපිට රැඳී සිටි පිරිසකගෙන් මෙසේ අප නිවස ඉදිරිපිට සිටින්නේ ඇයි දැයි විමසා තිබේ. මෙම විමසීම ගුටි බැට හුවමාරුවක් දක්වා වර්ධනය වී ඇති අතර පසුව පොලිස් කොස්තාපල්වරයාට පහරදී ත්‍රිරෝද රථයකට දමාගෙන ගොස් කනත්තක් අසල දමා ගොස් තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයා ආණමඩුව පොලිසියට පැමිණිලි කර ඇත. පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ මෙම පහරදීම පොලිස් විශේෂ කාර්ය බළකායට සම්බන්ධ නිලධාරීන් පිරිසක් සිදු කර ඇතැයි අනාවරණය වී ඇති බවය. එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරමින් තිබියදී සැකකරුවෝ පොලිසියට පැමිණ බාර වී ඇත්තාහ. එම සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔවුහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු රිමාන්ඩ් බාරයට පත්කරනු ලැබ සිටිති.

අප ප්‍රවෘත්තියෙහි සඳහන් වන්නේ වයඹ පොලිස් ලොක්කන් වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යවා තිබෙන්නේ සිද්ධිය සමථයකට පත් නොකිරීම නිසා යැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වාර්තා කරන බවය.

‘කැකිල්ලේ තීන්දු’ යැයි සැලකෙන වර්ගයේ තීන්දුවකට කිසිලෙසකින් හෝ වෙනස් නොවන තීන්දුවක් ලෙස මෙය හැඳින්විය හැකිය. නීතිය සම්බන්ධයෙන් ක්‍රියාකරන මේ රටේ ප්‍රධානම ආයතනයක් මෙසේ කටයුතු කිරීම අතිශයින්ම හාස්‍යජනකය. එමෙන්ම එය ඉතා භයානකය.

 නීතිය සම්බන්ධයෙන් අල්ප මාත්‍රවූ දැනීමක් ඇති අයකු වුවද පිළිගන්නා එමෙන්ම හොඳින්ම දන්නා කාරණයක් තිබේ. එනම් යම් පැමිණිල්ලකට අදාළව නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට නම් පැමිණිල්ල අස්කරගත යුතු වේ. පහර කෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා තම පැමිණිල්ල අස්කර ගෙන නැති හෙයින් ඉදිරි නීතිමය කටයුතු සිදුකෙරී තිබේ. විය යුත්තේද එය ය. එය එසේවීම නිසා ඉහළ පොලිස් නිලධාරීන්ට අනීතික හා අසාධාරණ ලෙස මෙන්ම අයුක්ති සහගත ලෙස දඬුවම් විඳීමට සිදුවන්නේ නම් පොලිස් මූලස්ථානය තම දෙපාර්තමේන්තුවටත් පොදුවේ සමාජයටත් දෙනු ලබන පණිවිඩය කුමක්ද යන්න විමසිය යුතුය.

නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සිටින තමන් වැනිම පිරිසකගෙන් අහේතුකව හා අමානුෂික ලෙස පහර කෑමට සිදු වූයේ නම් තමන්ට සිදුවූ එම අකටයුත්තට එරෙහිව කටයුතු කිරීමට එම පොලිස් නිලධාරියකුට ශුද්ධ වූ අයිතියක් තිබේ. තමන් එම ප්‍රදේශයට පැමිණියේ යම් වැටලීමකට බවත් අදාළ පොලිස් කොස්තාපල්වරයා නිසා එම වැටලීම අසාර්ථක වූ බවත් සැකකාර පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පොලිසියට පවසා ඇතැයි මාධ්‍ය වාර්තාවල සඳහන්ය. එය එසේ නම් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට කිරීමට තිබුණේද නීතිය ක්‍රියාත්මක කිරීමය. එසේ නොකර පොලිස් කොස්තාපල්වරයාට පහරදී කනතු අද්දර දමා යාම අතිශයින්ම අධම ක්‍රියාවකි. පොලිස් විශේෂ කාර්ය බළකාය වැනි අපරාධ මර්දනයෙහි සුවිශේෂි පුහුණුවක් ලද නිලධාරීන්ගෙන් බලාපොරොත්තු විය නොහැකි තරම්ය. එකී අධම හා නීච ක්‍රියාදාමයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ ඉහළ පොලිස් නිලධාරීන්ට දඬුවම් කිරීම ඉතා පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතුය.

(***)



අදහස් (0)

යුක්තිය අයුක්තියට පෙරළීමේ සිද්ධියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 356 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site