IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


මුළු රටම වැහෙන තැනට කටයුතු කරන්න එපා

‘සෙළවෙන සෑම තැනකටම වෙඩි තබනු’ යන්න කොමාන්ඩෝ පුහුණුවේදී දෙනු ලබන නියෝගයකි. එයින් කියැවෙන්නේ සතුරාට කිසිදු අවස්ථාවක් නොදිය යුතු බවය. සතුරා දෙස සැකයෙන් බැලිය යුතු බවය. සටන් බිමේදී සුරතල්වීමට කිසිවකුට අයිතියක් නැත.

අද මුළු රටම යුද පිටියකි. සෑම පුරවැසියකුටම කොවිඩ් මාරයා සමග සටන් කිරීමට සිදුවී තිබේ. මේ සටනේදී සතුරාට ජය ගැනීමට ඉඩ දිය යුතු නැත. මෙම සටනින් අප අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කළ යුතුය. දෙවසරක අත්දැකීම් ඒ සඳහා ප්‍රමාණවත්ය. අවශ්‍යවන්නේ එම අත්දැකීම් ප්‍රයෝජනයට ගැනීමය.
රජයේ සහ රජය අනුමත පාසල්වල  6-7-8 හා 9 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු සඳුදා ආරම්භ කරන බව අප පුවත්පත වාර්තා කළේය.

එය ශුභාරංචියකි. එම ශ්‍රේණි ආරම්භ කිරීමත් සමග පාසල්වල සියලුම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු සම්පූර්ණ වේ. මෙය මුළු මහත් ජාතියම අත්පත් කරගත් අනගිතම ජයග්‍රහණයකි. මෙම ජයග්‍රහණය පාවා නොදිය යුතුය.

පාසල්වල සියලු ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කරනු ලබන්නේ කොවිඩ් මාරක වසංගතය මුළුමනින්ම තුරන් වූ පරිසරයක නොවේ. සාමාන්‍යයෙන් දෛනිකව හමුවන ආසාදිතයන්ගේ සංඛ්‍යාව පන්සියය ඉක්මවා යයි. ආසන්න මෑත දිනයකදී එය හත්සීයේ සීමාව ඉක්මවා ගියේය. මෙය යහපත් තත්ත්වයක් නොවේ. අහඹු පීසීආර් පරීක්ෂණ කරන්නේ නම් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මෙයට වඩා ඉහළ මට්ටමකට ගනු ඇත.

අප පුවත්පත වාර්තා කළ පුවතකින් කියැවුණේ හල්දුම්මුල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් හතරක දූ පුතුන් හා ගුරුමණ්ඩලයේ කිහිප දෙනකුට කොවිඩ් ආසාදිත බව තහවුරු වීමත් සමග එක් විදුහලක් වසා දැමීමට තීරණය කර ඇති බවය. එමෙන්ම අනෙක් විදුහල්වල අදාළ පන්ති නතර කිරීමට පියවර ගෙන ඇති බවය. මේ එක් නිදසුනක් පමණි. එම නිදසුනෙන් අපට රටේ සාමාන්‍ය තත්ත්වය හඳුනාගත හැකිය.
මේ රට ගිලී තිබුණේ කොවිඩ් රතු කලාපයේය. එහෙත් ඉක්මනින් එම මරු කපොල්ල පැන ගැනීමට රටක් වශයෙන් අපට හැකිවිය. එය නියත වශයෙන්ම මෙරට ජනයා තමන් උපන් බිමට ගෙවූ ණයක්ය. තමන්ගේ උපන් බිමට තිළිණ කළ ජයග්‍රහණයක්ය. ඔවුන් වගකීමෙන් නොහැසිරුණේ නම් මේ රට කොවිඩ් වගුරේ පත්ලටම ගිලෙන්නට ඉඩ තිබිණි.

එන්නත්කරණය සාර්ථකව සිදු කළ ලෝකයේ රටවල් 10 අතරට එක්වීමට අප රටට හැකි විය. එන්නත්කරණය සම්බන්ධයෙන් විවිධ ප්‍රවාද ප්‍රචාරය කරමින් සිටියදී පවා එම ජයග්‍රහණය අත්පත් කර ගැනීමට හැකිවීමද විශේෂත්වයකි. එමෙන්ම වයස අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්‍ඨ පුරවැසියන්ට කොවිඩ් මර්දන තුන්වැනි එන්නත එනම් බූස්ටර් එන්නත ලබාදීම අරඹා තිබේ. කොවිඩ් මාරාන්තික වසංගතය හමුවේ දැනට ඇති එකම පිළිසරණ එන්නත පමණකි. ඒ අනුව අප රට කොවිඩ් මාරයාට සාර්ථකව මුහුණ දෙමින් සිටින බව පැහැදිලිය.

කොවිඩ් වසංගතය මුහුද මෙනි. මුහුද වරෙක නිසසලය. එහෙත් එක්වරම මහා ප්‍රචණ්ඩ ලෙස හැසිරීමට පටන් ගනී. පොල් ගස් කරටි අගිසිවලට උඩින් පියාඹන තරමට සුනාමියක් බවට පත්වීමට මුහුදට ගත වෙන්නේ නිමේෂයකි. රළ පසුබැස ගොස් ඇති බව පෙනුණද කොවිඩ් මුහුද කුමන මොහොතේ සුනාමියක් බවට පත්වේද යන්න කිව නොහැකිය. එවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීම අප සියලු දෙනාම ඉදිරිපිට ඇති වගකීම වේ.

කොවිඩ් වසංගතයේ විශේෂත්වයක් තිබේ. එනම් අවශ්‍යනම් එය අපට පාලනය කළ හැකිවීමය. උපරිම සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත්වලට අනුව කටයුතු කරන්නේනම් කොවිඩ් මාරයාට හිස එසවිය නොහැක. දත් විළිස්සාගෙන පොකුරු මවමින් පැමිණි කොවිඩ් මාරයා පරාජය කිරීමට අපට හැකි වූයේ එසේ උපරිම සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත්වලට අනුව කටයුතු කළ හෙයිනි. අවශ්‍යවන්නේ එය තවදුරටත් පවත්වාගෙන යාමය.

පාසල්වල සියලු ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට හැකියාව ලැබුණද මෙම තත්ත්වය දිගින් දිගටම පවත්වාගෙන යෑම අසීරු අභියෝගයකි. එය අභියෝගයක් වුවත් එයට නිර්භීතව මුහුණ දිය යුතුය. මෙබඳු මාරක වසංගතයක් සම්බන්ධ අත්දැකීම් අපට නොවූවද දෙවසරක් පුරා ප්‍රමාණවත් අත්දැකීම් අපි ලබා ගත්තෙමු. මෙබඳු මාරක වසංගතයක් සමග පරණ පුරුදු ජීවිත රටාවක් ගත කිරීමට නොහැකි බව අප පිළිගත යුතුය. එසේ නම් මෙබඳු පරිසරයක කෙසේ ජීවත්විය යුතුද යන අවබෝධය අප ලබා ගත යුතුය. ඒ සඳහා අලුතෙන් සිතිය යුතුය. නිර්මාණශීලීව සිතිය යුතුය. එසේ නොවුණහොත් පාසල් පමණක් නොව මුළු රටම වසා දැමීමට සිදුවනු ඇත. ඒ මහා පාපකර්මයට දායක නොවී සිටීම සියල්ලන්ම ඉදිරිපිට ඇති වගකීම වේ.

(***)



අදහස් (2)

මුළු රටම වැහෙන තැනට කටයුතු කරන්න එපා

Senarath Sunday, 21 November 2021 12:17 PM

මේක අපේ දේශපාලුවන්ට තේරෙන්නෙත් නැහැ... බහුතරයක් මිනිස්සුන්ට තේරෙන්නෙත් නැහැ.ඔවුන් පුරුදු වෙලා ඉන්නේ බෙල්ල මුලට හිරවුණාම ඒකෙන් ගැලවෙන්න දඟලන එකට... ප්‍රභාකරන් කිව්වා වගේ සති 2න් ඔක්කොම අමතක කරනවා. සියලුම දෙනා හරියට මාස 2ක් ප්‍රවේසම් වෙනවානම් මේක ඉතා හොඳින් පාලනය වෙනවා. ඒ වගේම සංචාරකයෝත් රට ආවාම රටේ ආර්ථිකයත් හොඳ වෙනවා.

:       0       0

pakeer Tuesday, 23 November 2021 12:41 AM

මේවා මහා ගොන් කතා. බස් එකකට නැගලා බලන්න හවසට කොහොමද කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 276 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 802 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1217 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site