දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල ජනතාවට උගුර කට තෙමා ගන්නටවත් වතුර පොදක් නොදෙන තරමට සැහැසි වූ අහස දිගුකලකට පසු මහ වැසි මුදාහැරියේ කඳුළු වැස්සක් ලෙසිනි. වැහැරී ගිය බදුල්ලේ දුන්හිඳ කොමලිය මේ මහ වැස්සෙන් පෝෂණය වී හැඩරුව වැඩිකරගත්තාය. එහෙත් ඇය අසපුවේ ඇති මහ කළු ගල් කඩා වැටෙන්නට පටන් ගත්තේ ඇය බැලීමට යන එන සංචාරකයන්ට තහනමක් පැනවෙන අයුරිනි. මේ ගමන අවදානම් බැවින් තාවකාලිකව තහංචි පැනවූ බව ආපදා කළමනාකරණ ඒකකය කියා සිටියේය. මේ නිසා එම සංචාරකයන්ට හකුරු සමග බෙලිමල් කෝප්පයක් සැපයීමෙන් හෝ සඳුන් දැව කැබැල්ලක් හෝ රස කැවිලි හෝ විසිතුරු බඩු අලෙවි කරමින් දිවි ගැටගහගත් පවුල් 45ක් කිසිදු ආදායමක් නැතිව දුකට පත්ව කඳුළු බොමින් සිටිති. එක දිගටම මහ වැස්ස වැටෙන විට බදුල්ල දිස්ති‍්‍රක්කයේ බදුල්ල බණ්ඩාරවෙල, හපුතලේ, ඌව-පරණගම, හාලිඇල, පස්සර, ලූනුගල, සොරණාතොට යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි බහුතරයක් ජනතාව පසුවන්නේ බියෙනි. මේ ප‍්‍රදේශවල බොහෝ ස්ථාන නාය අවදානම ඇති ස්ථාන බවට ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් හඳුනාගෙන තිබීම ඊට හේතුවයි. ඉකුත් 31 වැනිදා බණ්ඩාරවෙල-දියතලාව-හපුතලේ හරහා සුළි කුණාටුවක් හමා ගියේ මේ වැසිබර කාලගුණය සමඟය. හපුතලේ රොහැම්ටන් වත්තේ සහ බණ්ඩාරවෙල නායබැද්ද වත්තේ කම්කරු පවුල් 56ක් ජීවත්වූ ලැයිම් නිවාසවල වහලේ සෙවිළිකළ ටකරන් සුළෙඟ් පාවී ගියේ මහා භීෂණයක් මවා පාමිනි. එය වචනයෙන් විස්තර කිරීමට නොහැකි තරම් බිහිසුණු බව රොහැම්ටන් වත්තේ කම්කරුවකු වන එස්. සෙල්වේන්ද්‍රන් (45) කීවේය. ”දවල් ඉඳලම මීදුමයි සුළඟයි තිබුණා. හවස් වෙනකොට සුළඟ වැඩි වුණා. සවස 4.00ට විතර සැඩ සුළඟක් හමන්න පටන්ගත්තා. අපේ ලැයිම්වල ටකරන් සුළඟට ගසාගෙන යද්දී අපි ගෙවල්වලින් එළියට පැනලා පණ බේරාගන්න කෝවිලට දුවගෙන ගියා. පස්සේ ඇවිත් බලනකොට වහල කැඩිලා, ගෙවල් පුපුරලා, ගෙවල් ඇතුළට වතුර ගලලා. අනේ දෙයියෝ තමයි අපි බේරාගත්තේ” යැයි ඔහු අහසට දෑත දිගු කළේය. රාමදාස් ගජේන්ද්‍රන් 40 මෙසේ කීවේය. ”කවදාවත් අපි ඒ තරම් බය වෙලා නැහැ. වටේටම සුළං කැරකුනා මොනවා කරන්නද කියල හිතාගන්න බැහැ. මගේ අබලන් ලැයිම් කාමරය හෙළවෙන්න පටන් ගත්තා. මමයි බිරිඳයි ළමයි තුන්දෙනා අරන් එළියට පැන්නා. කොහේ දුවනවද කියල අරමුණක් නැතිව පණ බයෙන් දිව්වා. ඒ දුවනකොටත් ටකරන් අහසේ පියාඹනවා වගේ ගහගෙන යනවා. අපිත් කෝවිලට ගිහින් බේරුණා. කම්කරු වේදනාව හා කඳුළ සටහන් කරගත් මම පාරට බැස්සෙමි. හපුතලේ සිට දියතලාව දක්වා වූ මාර්ගය පුරා පයිනස් ගස් වැටී තිබිණ. දියතලාව නගරය ආසන්නයේ විදුලි කණුවක් දෙකට කැඞී එල්ලෙමින් තිබිණ. වෙළෙඳසල්වල නාම පුවරු බිම වැටී ඇත. ගස් කඩා වැටී මාර්ගය අවහිරවීම නිසා වාහන ගමනාගමනය මුළුමනින්ම ඇණහිට තිබිණ. බණ්ඩාරවෙල, දියතලාව, හපුතලේ විදුලිය රැහැන් මතට ගස් කඩා වැටී බිඳ වැටී අඳුර රජයන්නට විය. උඩරට දුම්රිය මාර්ගයේ හපුතලේ සිට ඉදල්ගස්හින්න දක්වා ගස් සිය ගණනක් දුම්රිය මාර්ගයට කඩා වැටීම නිසා බදුල්ලේ සිට කොළඹ බලා යමින් සිටි රාතිී‍්‍ර තැපැල් දුම්රිය බණ්ඩාරවෙලින් ආපසු හරවන්නට සිදුව තිබිණ. කොළඹින් ආ උඩරට මැණිකේ ඉදල්ගස්හින්නෙන් හැරී නානුඔයට ගියාය. ඇල්ල-වැල්ලවාය මාර්ගයේ ද හපුතලේ බෙරගල මාර්ගයේ ද අධික මීදුම් ගලන අවස්ථාවන්හි ඇඟේ හැපුනත් නොපෙනෙන තරම් වූ මීදුම් අඳුරකි. වාහන පදවන්නෝ දැඩි අසීරුතාවයෙන් රිය හසුරුවති. මාර්ගවලට ගස් ගල් කඩා වැටෙන විට ආපදා කළමනාකරණ බදුල්ල කාර්යාලයේ සම්බන්ධීකරණය යටතේ යුද හමුදාව පොලීසිය හා ප‍්‍රදේශවාසීන් මාර්ගවල අවහිරතා ඉවත් කිරීමට කටයුතු කරති. සැඩ සුළඟින් පීඩාවට පත්වූවන්ට බණ්ඩාරවෙල හා හපුතලේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සහන සැලසීමට පියවර ගත් බව බදුල්ල දිස්ති‍්‍රක් ලෙක්ම් රෝහණ කීර්ති දිසානායක මහතා පැවැසීය. අයහපත් කාලගුණික තත්ත්වය මා මෙය ලියන විටත් අවසන්ව නැත. එළවළු වගාවන් ද මහ වැස්සෙන් විනාශවෙමින් පවතී. දොළ පහර වල දිය කඳුරුවල මෙන්ම ඔයවල්වල ද ජල මට්ටම ඉහළ ගොස් ඇත. සපත්තු පාලම් උඩින් ජලය ගලා යයි. මේ නිසා දොළ පහරට බැස හෝ සපත්තු පාලම් හෝ උඩින් ගමන් කර පාසල් යන දරුවන් විශාල පිරිසක් එම ගම්මානවලටම හිරවී ඇත. එවැනි ගමනාගමන අපහසුතා ඇති ගම්මානවල රැකියාවලට යන එන අයද රෝහල් කරා යන රෝගීන්ද අසරණව සිටිති. එදිනෙදා වේලට යමක් හොයාගත් කම්කරුවන් හා පදික වෙළෙඳුන් මහ වැස්ස නිසා එදාවේල සොයාගත නොහැකිව දැඩි අපහසුතාවයට පත්ව සිටී. වෙනදා වැසි සමයන්හි පවතින නාය අවදානමට අමතරව මෙවර සැඩසුළං අවදානමද අකුණු සැර අවදානමද දැනෙමින් පවතී. නොබෝදා හපුතලේ ලිප්ටන් අසුනේ සිරි නරඹමින් සිටි කොරියන් තරුණයෙක් හා තරුණියක් ද හා පැටවුන් සේ මරා දැමුවේ අකුණු සැර විසිනි.මේ අවදානම් සියල්ල ගැන ආපදා කළමනාකරණ අංශයන් විසින් කල් ඇතිවම නිවේදනය කර තිබේ. වැස්ස ඇතිවත් බැරිය නැතිවත් බැරිය ඒත් වැස්ස පමණට වඩා ඕනෑම නැත. සුළං නැතිවම බැරිය. ඒත් සැඩ සුළං ඕනෑම නැත. අප කැමැති වුවත් අකමැති වුවත් හෙට දිනයේ ........?
සටහන ඡායාරූප - බදුල්ලේ පාලිත ආරියවංශ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැසි කාලයක් සැම වසරෙම ගෙන දෙන්නේ සොබාදහම අපගෙන් නැත වෙන් වෙන්නේ ගංගා පිරී වැව් ඇළ දොළ උතුරන්නේ දුන්හිඳ ළඳුන් කෙස් කළඹින් ඔප වෙන්නේ අවුරුද්දේ බොහෝ කාලයක් දුන්හිඳ ඇල්ලෙන් ඇද හැලෙන ජල ප්‍රමාණය අඩුවුවත් දැන් ඇල්ල ඇයගේ උපරිම ප්‍රමාණයෙන් ඇදහැලේ. මෙය සැම වසරෙම මෙන් සිදුවන දෙයකි. ඇල්ලට යන කැළෑපාර ප්‍රදේශයේ ජීවත්වන දුප්පත් අයට ශක්තිමත් ගෙවල් දොරවල් තනා ගැනීමට උපකාර කලහොත් අනාගතයේදීද පැමිණෙන මෙවැනි ආපදා වලින් ඔවුන් ආරක්ෂා කරගත හැකිය.(නු)
මේ ලෝක ධර්මයයි මෙයට විරුද්ධව මිනිස්සු ක්‍රියා කරන නිසා තමයි මේ ඔක්කොම ප්‍රශ්ණ..(නු)
සුළං නැතිවම බැරිය. ඒත් සැඩ සුළං ඕනෑම නැත.අප කැමති වුවත් අකමැති වුවත් හෙට දිනයේ ලොව අනිත්‍යවුවකි. එමෙන්ම එහි ජීවත්වන මිනිසාද අනිත්‍යවුවකි. ලොව ඇති අජීවී සජීවී සියලු දෙයක්ම අනිත්‍ය බව සෑම විනාඩියකම ඔප්පු වෙමින් තිබෙන බව සියලු දෙනාටම තම පියවි ඇසින් දැගගත හැකිය.එහෙත් මිනිසා පමණක් මේ ලොවෙහි නිරන්තර නිත්‍ය ජීවිතයක් දකින්න ආශා කරයි. අනිත්‍ය තත්ත්වය සිතීම පවා මිනිසා අප්‍රිය කරයි. මේ නිසා යමක් තමාට අහිමිවීම හෝ යමක් විනාශ වීම මිනිසාට දරාගත නොහැකි වේදනාවක් ගෙන දෙයි. සමහරවිට මිනිසා විනාශයෙන් මිදුනද දුක් වේදනාවෙන් මිදීමට නොහැකිව හැසිරෙයි. මෙය මිනිස් ජීවිතයේ විශාල ප්‍රශ්නයකි. (නි)
සොබාදහම විටෙක කීකරුයි. විටෙක අකීකරුයි. (නි)
විටෙක කීකරු විටෙක අකීකරු සොබාදහමට අපි ආදරය කළ යුතුයි. (නි)
අපේ සොබා දහමේ ලස්සන ආරක්ෂා කිරීම අපේ වගකීමකි..!(නු)
ලබන අප්‍රියල් වෙනකම් ඔහොම තමයි.. අල බතල වට්ටක්කා ටිකක් තම්බන් කාලා තේ උගුරක් බීලා ඉවසීමෙන් ජීවත් වෙන්න..!(නු)
හිරන්ත, අසරණ වුණ මිනිස්සු ගැන මීටවැඩිය සාධාරණ හැගීමකින් හිතන්න බලන්න. (නි)