
ජාතියක අනන්‍යතාව සාධනය කිරීමෙහිලා ජීව විද්‍යාත්මක ලක්ෂණවලට ද වඩා ප්‍රබල වන්නේ ඒ ජාතිය සතු සංස්කෘතියයි. සංස්කෘතිය ඉතා පුළුල් අරුත් දනවන්නක්. නමුදු එහි ප්‍රමුඛ අංග දෙකක් පැහැදිලිව දැකිය හැකි ය. එකක් නම් ආගමයි. ආගම යන්නෙන් විධිමත් ආගම පමණක් නොව යම් ඇදැහිලි පිළිවෙත් රැසක් වූවද සැලකිය හැකි ය.
සංස්කෘතියෙහි අනෙක් ප්‍රමුඛ අංගය නම් භාෂාවයි. භාෂාවෙන් තොර වැ සංස්කෘතියක් ඇති නොවන්නා සේම පවතින්නේ ද නොවේ. ඒ සංස්කෘතිය පරපුරින් පරපුරට ගෙන යනු ලබන්නේ භාෂාව විසින් බැවිනි.
ජාතික වශයෙන් භාෂාව සතු අතිශය වැදගත් බව මෙයින් පැහැදිලි වේ. භාෂාව ප්‍රබල වැ පවත්නා කල්හි ජාතියක් ඒ ජාතිය සිටින දේශයක් ප්‍රබලව පවතින්නක් මෙන් ම භාෂාව දුර්වලව, පිරිහී යන කල්හි රටත් දැයත් පිරිහී යයි. ලෝක ඉතිහාසය විමසා බලන කල්හි මේ සත්‍යය මනාව වටහාගත හැකි වේ. අප රටේ වර්තමාන තත්ත්වය බලන කල ද එය මනාව වටහාගත හැකිය.
දැන් සිංහලය එය ව්‍යවහාර කැරෙන එක ම රටෙහි ම අසරණව, දුර්වල ව සිටී දුර්භාවිතය මෙන් ම ඌණ භාවිතය ද මේ තත්ත්වයට බෙහෙවින් හේතුව ඇත. දුර් භාවිතය නම් භාෂාව වරදවා, දූෂණය කොට යෙදීම යි.
ඌන භාවිතය නම් අඩුවෙන් යෙදීම යි. වඩාත් පැහැදිලි ව කිව හොත් යෙදිය යුතු තන්හි සිංහලය නොයෙදීම යි. සිංහලය යෙදිය යුතු තන්හි ඉංගිරිසිය යෙදීම යි. මේ දීන කාර්යය කලෙක සිට සිදු වූ නමුදු ඉතා තදින් සිදු වන්නට වූයේ මෑතෙක සිට ය.
එහි ප්‍රමුඛත්වය ලැබෙනුයේ ජන මාධ්‍යවලට යි. විශේෂයෙන් ම විද්‍යුත් ජනමාධ්‍යවලට සිට රජය සතු ජනමාධ්‍ය මැනැවින් බස හසුරුවමින් කටයුත කරන කල්හි පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය නොවියත් බසින් පහත් පෙළේ වහරින් සන්නිවේදනයෙහි යෙදෙමින් බාල ජනප්‍රියත්වය වහරින් සන්නිවේදනයෙහි යෙදමින් බාල ජනප්‍රියත්වය ලබාගන්නට තැත් කළ සැටි කලකට පෙර සිට අත් දකින්නමු.
කෙක්කෙත් හෝ කොක්කෙන් හෝ තමන් ජනප්‍රිය වීමත් තම නාලිකාව ජනප්‍රිය කැරගැනීමත් පමණක් ම පරමාර්ථය කැරගත් ළඳ බොළඳ නිවේදක-නිවේදිකාවන් රැහැයියන් නද දෙන්නාක් මෙන් උදේ සිට රෑ වන තෙක් කට කමිසිරියා වක් නැති වෑ “දොඩමලු” වෙමින් බස නසා වනසා දමනු දැක දැකත් අපි ඇස් කන් පියාගෙන සිටියෙමු. සිංහලය අමු අමුවේ ම ඝාතනය කෙරෙමින් ලයිව් ඇට් එයිට්, නිව්ස් පස්ට්, ප්‍රයිම් වොච්, රියල් ස්ටාර්, ඩ්‍රීම් ස්ටාර් ආදී අනේක නාම ඉංගිරිසියෙන් ලෑටි ගාමින් යොදන කල්හි ද අපි නිහඬ ව ම ඒ ඇසුවමු නැරැඹුවමු. මේ අකල විතට මැද වුව ද එක් සැනැසීමක් තිබිණ. කිමෙක් ද? අපගේ රාජ්‍ය මාධ්‍ය තවමත් හොඳ වියත් බසින් තවමත් කටයුතු කිරීම යි. ඉඳ හිට වරදක් වුව ද ඔවුන් ගේ පිළිවෙත වූයේ නිවැරැදි බසින් සන්නිවේදනයේ යෙදීම යි.
වේවා! දැන් තත්ත්වය කෙසේ ද? දැන් රජයේ විද්‍යුත් මාධ්‍ය පෞද්ගලික නාලිකා ද පරයාලමින් ‘පොල් කුඩු’ බසට බැස සිටී ප්‍රවෘත්ති ප්‍රකාශය ඇසීමෙන් පමණක් වුව ද එය මැනවින් වැදගත්. හොඳ හොඳ සෙල්ලම් ඉදිරියේ දී බැලිය හැකි වෙයි.
රජයේ මාධ්‍යවල අලුත් ම නැඹුරුව නම් පෞද්ගලික මධ්‍යකාරයන් හිටගෙන කළ වැඩ දුවමින් කිරීම යි. ‘ගුවන් විදුලි’ සංස්ථාවේ අලුත් ම නාලිකාව ’විශන් එප්.එම්’ නම් වෙයි. මේ කොරෝනා කාලයෙහි අසරණ සිසුන් වෙනුවෙන් අධ්‍යාපන නාලිකාවක් ඇරැඹුම පැසැසුම් කළ යුතු කරුණෙකි. එහෙත් රටේ ජනයාගෙන් හතරින් තුනකටත් වැඩි වන සිංහලයන් ගේ මවුබසින් අයත් නොවන, ගැමි දරුවනට කිසි සේත් නොතේරෙන අමු ඉංගිරිසි වදනක් මේ නාලිකාව හඳින්වීම පිණිස යොදන ලදුයේ අර බමුණූ කුලයට නැවත නැගී සිටුනා හෙයින් ද? එසේ නැතහොත් දැන් රාජ්‍ය භාෂාව ඉංගිරිසිය වී ඇති හෙයින් ද ?
‘විශන්’ යන වදන විමසමු. එහි ඇත්තේ දර්ශනය’ යන අරුත යි ඒ ඇසූ විගස මතකයට එන්නේ කණ්ණාඩි කාරයෝ යි. අධ්‍යාපන සමඟ එ වදන සබඳ වන්නේ ඉතා දුරිනි. අධ්‍යාපනයට සම්බන්ධ, ගැමි දරුවනට පවා තේරෙන හොඳ සිංහල වදනක් සොයාගැනීම‘ගුවන් විදුලි’ ඇත්තන් හට ඒ තරම් ම අමාරු ද?
(‘විදුල’ යනුවෙන් දැනටත් ගුවන් විදුලියේ ළමා නාලිකාවක් ඇත. කොතරම් සරල අරුත්බර, ගුණ දොස් ආදියෙන් තොර මිහිරි නමක් ද? අධ්‍යාපන නාලිකාවකට වුවද එ නම් කොතරම් සුදුසුද? එ බන්දක් තනා ගැනීමට බැරි ම නම් ඒ නම ම වුවත් ගන්නට බාධාවක් නොවේ. විදුල1, විදුල 2 ආදි වශයෙන් වුවත් ගත හැකිය. අපේ අසල්වැසියා වන ඉන්දියාවේ ‘නිපුණ’ නමින් අධ්‍යාපන නාලිකා හතරක් වේ. ‘විද්‍යා’ නමින් පසෙකි ‘ඥානදර්ශන්’ නමින් ද එ බඳු යි. ඔවුන් සෑදූ මිසයිලය පවා ‘අග්නි’ නම් විය. ඔවුන් ගේ මෝටර රිය ‘මාරුතී’ නම් වෙයි. ඔවුන් ගේ දියුණූ වේ රහස ද මේ ජාතිකත්වයට, මවු බසට, ස්වායත්තතාවට දෙන තැන යි. ජපානය චීනය ආදී බොහෝ දියුණූ රටවල තතු එ බඳු යි. අපි වනාහි තවමත් මස් ලේ නැති ඇට ලෙවකෑමෙහි යෙදෙන්නෝ වම් හ.
අධ්‍යාපනයේ භාෂාව ද ඉ..රිසි විය යුතු යැයි කියන රජයේ ඉහළ බලධරයන් ඉන්නා රටෙක ‘වියත්’ එබඳු වීම පුදුමයෙකුත් නොවෙයි. භාෂාවෙත් සංස්කෘතියේත් සිරස ම කා දමා විනාශ කළවුන් ඉහළ ම ‘නාට්‍ය ලොක්කන්’ වූ කල මේ පමණක් හෝ සිංහලයන් සිංහල සංස්කතියත් ඉතිරි වැ තිබීම සතුටට කරුණෙකි.
භාෂාව වනාහි උසස් චින්තනයේ ද මාධ්‍යය යි. චින්තනයෙන් තොර වූ ජාතියකට දියුණුවක් නැත. ස්වායන්ත චින්තනය පහළ වන්නේ මවුබසින් සිතීමෙන් බව ඉතා පැහැදිලි කරුණකි. මෙ සියල්ල පෙනි පෙනීත් ඉංගිරිසිය උදෙසා සිංහලය බිලි දීම ජාතිය ම ඝාතනය කිරීමක් නොවේ ද?
(***)
ශ්‍රීනාත් ගණේවත්ත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපගේ මව්බසට ඇතිවී තිබෙන සත්‍ය තත්වය පිලිබදව හොද විග්‍රහයක්. මෙම විනාශයට අප රටේ සියලුම පුරවැසියන් ( ඔබ මෙන්ම අපද ඇතුළුව) ඍජුවම වගකිව යුතුය. ලෝකයේ සමහර රටවල් තියෙනවා ඒ ඒ අයට අනන්‍යවූ භාෂාවක්, ඒ ඒ අයට අනන්‍යවූ අකුරුද නැතිව වෙනත් ජාතීන්ගේ භාෂාවන්ද අකුරුද බාවිතාකරනවා. අපට නම් අපටම කියා භාෂාවක් මෙන්ම අකුරුද තිබෙන නමුත් අපට එහි වටිනාකමක් නැතිවීම කනගාටුවකි.
බසත්, ජාතියත් ගසට පොත්ත මෙනි. බස රැකුණු කළ පමණක් ජාතිය රැකේ. ඉංග්‍රීසිය උගත යුතුයි. නමුදු මව්බස පළමු තැන තබා වැඩකිරීම ජාතිය පවත්වා ගැනීම සඳහා උපකාරී වේ. ඉංග්‍රීසිය බසක් මිස සංස්කෘතියක් නොවේ. අපේ මිනිසුන් එය සංස්කෘතියක් කරගෙනයි. ටයි එක දමාගෙන දහඩිය පෙරපෙරා ඉන්න කළ ඇඳුමක්වත් අර්ථය නොදත් කෙනා බස රැක ගනීවිදැයි සැක සහිතයි.
සිංහල භාෂාවේ විනාශයට වගකිව යුත්තෝ ජනමාධ්‍ය සහ කලාකරුවන්... අද කලාකරුවන් කතාකරන කොට සිංහලට වඩා ඉංග්‍රීසි වචන කියැවෙන්නේ. ඇතැම් නිවේදකයින් මාධ්‍ය හසුරුවන්නෙත් එසේමයි. අද සමහර සිංහල ළමයින්ට සිංහල බෑ. ඔවුන්ට උපන්දා ඉඳලා ඇහෙන්නේ ඉංග්‍රීසි... තව දශක 3-4 කින් සිංහල මළබසක් වෙනවා...
මීට හේතුව සිංහල භෂාව විනාශ කිරීම සඳහා උපක්‍රමිකව වැඩකිරීමක් විය හැකියි. මේ කාලේ ප්‍රවෘත්ති වාර්තාකරුවන් හැටියට වැඩකරන බොහෝ දෙනෙක් භාෂාවේ ව්‍යාකරණ සලකන්නෙත් නෑ. ඒ සමහරවිට නොදැනුවත්කම නිසා හෝ මුලින්ම කියූ විදිහට වුවමනාවෙන්ම කරන නිසා හෝ වෙන්න පුළුවන්... මොන හේතුවෙන් කෙරුණත් ප්‍රතිඵලය හැටියට භාෂාවේ ව්‍යාකරණ භාවිතයත් විකෘති වෙනවා. පරම්පරා දෙකක් ගතවුණාට පසුව දැන් තියෙන ඒ විකෘති වූ ව්‍යවහාරය හැර වෙනත් දෙයක් නොදන්නා අයගෙන් රට පිරෙයි. දැනටමත් ඒ පැත්තට සෑහෙන දුරක් ගිහින් වගෙයි පේන්නේ...
ඔබගේ අගනා අදහස් වලට ස්තුතියි..!!!