IMG-LOGO

2025 අගෝස්තු මස 23 වන සෙනසුරාදා


මඩකළපු මුහුදු පතුළෙන් හමුවුණු ලන්ඩනයට හකුරු ගෙන ගිය නැව

 

 

උතුරු නැගෙනහිර යුද ගැටුම් පවතිද්දී ඒ ප‍්‍රදේශයන්හි පුරාවිද්‍යාත්මක ගවේෂණ හෝ සංරක්ෂණ කටයුතු කැරුනේ නැත. ගොඩබිම පමණක් නොව මුහුදට ද එය පොදු කරුණක් වී තිබිණි.

මුහුදු කොටි ප‍්‍රහාර වරින් වර උතුරු නැගෙනහිර මුහුදේ සිදුවෙද්දී පුරාවිද්‍යා ගවේෂණයක් කිරීමට කිසිදු හැකියාවක් තිබුණේ නැත. යුද්ධය නිමාවීමත් සමග උතුරු නැගෙනහිර මුහුදේ සමුද්‍ර පුරාවිද්‍යාත්මක

ගවේෂණ කිරීමට වැඩි අවධානයක් යොමු කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදලේ ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය කටයුතු කැර තිබිණි.

ඒ අනුව ගාල්ලේ සිට මුහුදු පුරාවිද්‍යා කණ්ඩායම 2012 වර්ෂයේ ජූලි අගෝස්තු මාසයේ දී නැගෙනහිර මුහුදේ ගවේෂණ කටයුතු ආරම්භ කළහ. නොදන්නා නුපුරුදු පළාතක මුහුදේ ඇති පුරාවස්තු පිළිබඳ තැකීමක් හෝ අවබෝධයක් නොමැතිව යුද්ධයෙන් පීඩිතව සිටි ජනතාවක් සමග ගවේෂණය පහසු කර්තව්‍යයක් නොවේ.
 

 
 
මුහුදු පතුලේ ඇති නැවේ සුන්බුන්...
 

ගවේෂකයන්ගේ අපේක්ෂාව වූයේ කලකට ඉහත ප‍්‍රදේශයේ කිමිදුම් කටයුතුවල නිරතවූ වැඩිහිටි පුද්ගලයන් සොයා ගැනීමයි. ඔවුන් වසර තිහ හතළිහකට පෙරාතුව කරන ලද කිමිදුම් අත්දැකීම් අතර පැරණි නැව් සම්බන්ධ තොරතුරු ඇතැයි යන්න පුරාවිද්‍යාඥයන්ගේ මතය වී තිබිණි.

දින කිහිපයක් වෙහෙසෙද්දී ප‍්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව කායක්කන් ප‍්‍රදේශයේ පදිංචි කොළඹගේ ජගත් ලාල් සහ මඩකලපුවේ යෝගා හෙවත් යෝගේශ්වරන් දෙදෙනා හමුවීමට ඔවුන්ට හැකියාව ලැබිණි. ජාතීන් දෙකකට අයත්වුව ද මේ දෙදෙනා දිගු කාලීන මිතුදමක් පැවැත්වූවෝ වෙති. ඔවුන් විසින් අනාවරණය කරන ලද තොරතුරු අනුව මඩකලපුවේ මුහුදු වෙරළේ සිට කිලෝමීටර තුනක් පමණ ගිනිකොණ දිගින් වූ පැරණි නැවක් පිළිබඳ තොරතුරු මේ දෙදෙනා දැන සිටියහ.

‘‘මහත්තයෝ, මේ හරියේ නැව් කිහිපයක්ම ගිලිලා තියෙනවා. ඒත් අපි මේ කියන නැවේ සුන්බුන් වැහෙන්න ගොඩක් කොරල් වැවිල තියෙනවා. ඒ නිසා මේ නැව අනිත් හැමඑකටම වඩා පරණ වෙන්න  ඕනෑ.’’ පුරාවිද්‍යාව ගැන දැනුමක් නොමැති යෝගා සහ ජගත් දෙදෙනා නැව ගැන කාලවකවානු පැවසීමට උත්සාහ නොගත්ත ද ඔවුන් ඒ ගැන යම් අවබෝධයක් ලබා තිබුණේ කොරල් වර්ධනය ගැන අවධානය යොමු කරමිනි. මේ නැව ප‍්‍රදේශවාසීන් විසින් හඳුන්වන්නේ ‘‘සක්කර කප්පල්’’ යනුවෙනි. දෙමළ බසින් සක්කර යනු හකුරු යන්නයි. කප්පල් යනු නැව යන අරුත් දේ. මේ නැව හකුරු නැව වූයේ කෙසේ ද යන්න කිසිවකුත් දන්නේ නැත.

නැව ගැන වැඩි තොරතුරක් නොදැන මුහුදු පුරාවිද්‍යා ගවේෂකයෝ නැව තිබූ ස්ථානයේ කිමිදුණහ. මිතුරන් දෙදෙනාගේ කතාවේ සත්‍යයක් තිබේ. නැව මුහුදු ජල මට්ටමේ සිට මීටර හතක් පමණ ගැඹුරේ ගිලී තිබේ. නැවේ පසුපස කොටස පැහැදිලිව දක්නට ලැබේ. එමෙන්ම නැවේ එන්ජිමේ කොටස් යැයි සිතිය හැකි අවශේෂ ද පැහැදිලිව හඳුනාගත හැකි වූ බව මුහුදු පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා පවසයි. නැවේ අවර පෙත්ත ද හඳුනාගත හැකි වූ බව හෙතෙම කීවේය. ස්ථානය පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ ගිලී ගොස් ඇති නැව බොයිලේරු තුනක් සහිත නෞකාවක් බවයි. ඉන් එක් බොයිලේරුවක් මුළුමණින්ම විනාශ වී ගොස් තිබිණි.

නැවේ කොටස් වැසී යන පරිදි කොරල් වැවී තිබේ. ඩෝම් නමින් හඳුන්වන අර්ධ කවාකාර වූ කොරල් වර්ගය මේ නැව වසා වැවී තිබේ. එය සාමාන්‍යයෙන් පෙනෙන්නේ මුනින් අතට හැරවූ හකුරු බෑයක ස්වරූපයෙනි. ඒ කොරල් දුටු පැරැුණියෝ නැවට හකුරු නැව අර්ථය ඇති සක්කර කප්පල් යන්න භාවිත කරන්නට ඇතැයි සිතීමට පුළුවන.

මෙලෙස ගිලී ඇති නැව හඳුනාගැනීමට පැරණි ලේඛන පිරික්සිය යුතුය. ජාතික ලේඛනාගාරයේ ඇති පැරණි ලේඛන හා නැව් ගමනාගමනය සම්බන්ධ තොරතුරු සොයා බැලීම ඒ සඳහා අවශ්‍ය වේ. දර්ශන ජයවර්ධන මහතා ශී‍්‍ර ලංකාව අවට මුහුදේ කිමිදුම් කටයුතුවල යෙදී සිටින අයෙකි. ඔහු සමුද්‍ර පුරාවිද්‍යා ගවේෂණ කටයුතු කෙරෙහි ද විශාල උනන්දුවක් දක්වයි.

ගිලී ගිය නැව් පිළිබඳ සොයා බැලූ ජයවර්ධන මහතාට එස්.එස්. බ්‍රේනුස් නමැති නෞකාවක් පිළිබඳ තොරතුරු ලැබී තිබිණි. ඔහු මේ සියලූ තොරතුරු ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා ඒකකයේ ගවේෂකයන්ට ලබාදුන්නේය. ඒ වනවිටත් මඩකලපුව ආසන්න මුහුදේ ගිලී ගිය නෞකා කිහිපයක් පිළිබඳ තොරතුරු ලැබී තිබිණි. එලෙස සොයාගත් නෞකා කිසිවක තොරතුරු ජයවර්ධන මහතා ලබාදුන් තොරතුරු හා ගැළපෙන්නේ නැත.

ජයවර්ධන මහතා විසින් සොයාගනු ලැබූ මේ නෞකාව නිපදවා ඇත්තේ 1878 දීය. ටොන් 1494 ක් බරැුති බ්‍රේනුස් නෞකාව බි‍්‍රතාන්‍යයේ නිපදවූවකි. වාෂ්ප නෞකාවක් වූ එය 1881 ජූලි මස 07 දා මඩකලපුවේ ප‍්‍රදීපාගාරයට ඊසාන දිගට සැතපුම් 3.5 ක් ඈතින් ගිලී ගිය මේ නෞකාවේ සීනි නිෂ්පාදනයට යොදා ගන්නා හකුරු ප‍්‍රවාහනය කරමින් තිබූ බව ද නැව ගිලී යාම පිළිබඳ වාර්තාවේ දැක්වේ.

හකුරු ප‍්‍රවාහනය කරමින් තිබූ නැවක් ලෙස බ්‍රේනුස් නෞකාව හැඳින්වුව ද එය ගිලී ඇතැයි ලේඛනවල සඳහන් ස්ථානයත් සක්කර කප්පල් නෞකාව ගිලී ඇති ස්ථානයත් අතර විශාල වෙනසක් දක්නට ලැබේ. සක්කර කප්පල් නමින් ප‍්‍රදේශවාසීන් විසින් හඳුන්වන නැව ගිලී ඇත්තේ ප‍්‍රදීපාගාරය පිහිටි ස්ථානයේ සිට ගිනිකොණ දිශාවෙනි.  නැව නිසි ලෙස හඳුනාගැනීමට තවත් සොයා බැලිය යුතුව තිබිණි. එම ගැටලූව විසඳුණු ආකාරය රසික මුතුකුමාරණ මහතා මෙසේ කීවේය.

අපට මෙය විශාල ගැටලූවක් වුණා. නැවේ හකුරු තිබුණු බව පවසනවා. ගැමියන් කියන නැවේ අර්ථයත් හකුරු නැව යන්නයි. මේ නැව් දෙක එක ම නැව විය හැකියැයි අපට දැඩි විශ්වාසයක් තිබුණා. මේ ගැන සොයා බලද්දී අපට තොරතුරක් ලැබුණා මඩකලපුවේ දැනට තිබෙන ප‍්‍රදීපාගාරය නැව ගිලී ගියා යැයි පවසන කාලයේ නොතිබූ බව. මේ අනුව සොයා බැලීමේදී දැනගත්තා දැන් තිබෙන ප‍්‍රදීපාගාරයට කිලෝමීටර පහක් පමණ දකුණින් වෙනත් ප‍්‍රදීපාගාරයක් තිබී ඇති බව. ඒ තොරතුර අනුව පැරණි ප‍්‍රදීපාගාරයට ඊසානදිගින් ගිලූණු නැව දැන් තිබෙන නව ප‍්‍රදීපාගාරයට ගිනිකොන දිගින් තමයි ගිලී තිබෙන්නේ.’’

පැරණි ප‍්‍රදීපාගාරයේ සලකුණක් හෝ දැන් සොයා ගත නොහැක. විවිධ පුද්ගලයෝ ප‍්‍රදීපාගාරය තිබුණායැයි හඳුන්වන ස්ථානයක් තිබේ. එතැන් සිිට ඊසාන දිගින් සක්කර කප්පල් නෞකාව ගිලී ඇති බව පැහැදිලි කරුණකි. ජයවර්ධන මහතා තොරතුරු ලබාදුන් නැවත් ප‍්‍රදේශවාසීන් සක්කර කප්පල් ලෙස හඳුන්වන නෞකාවත් එකක් බවට දැන් සැකයක් නැත.

බි‍්‍රතාන්‍යයට අයත් මේ නැව ඉන්දියාවේ විශාකාපට්නම් සිට එංගලන්තයේ ලන්ඩන් නගරය දක්වා හකුරු ප‍්‍රවාහනය කරමින් තිබියදී මේ අනතුර සිදුව ඇත. දැනට නැවේ අවශේෂ කොටස් විසිරී ඇති ස්ථානයේ ඇතැම් තැනක ගැඹුර මීටර තුනකි. තවත් තැනක මීටර 12 ක් ගැඹුරැුතිය. මේ අවශේෂ මීටර 20 ක් හා 50 ක් පමණ ප‍්‍රදේශයක විසිරී පවතී.

පර්යේෂකයන් පවසන්නේ ජලය පැහැදිලි දිනවලදී ඉතා හොඳින් නැව දර්ශනය වීම හා කොරල් බහුලව සෑදී තිබීම හේතුවෙන් මේ ස්ථානය අතිශයින් ම ආකර්ෂණීය බවයි. මුහුදු පුරාවිද්‍යා ඒකකයේ සැලසුම වී ඇත්තේ හැකි ඉක්මණින් මේ නැවේ ගවේෂණ කටයුතු ආරම්භ කිරීමයි.

 


 


විශේෂ ස්තුතිය  ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ස්ථාන භාර නිලධාරී ඩබ්ලිව්.එම්. චන්ද්‍රරත්න මහතා, රසික මුතුකුමාරණ මහතා සහ ඩබ්ලිව්.එච්. රුක්ෂාන් පියනන්දන ඇතුළු ගවේෂක කණ්ඩායමට.

 

 



අදහස් (0)

මඩකළපු මුහුදු පතුළෙන් හමුවුණු ලන්ඩනයට හකුරු ගෙන ගිය නැව

පහන් Sunday, 09 February 2014 05:22 PM

හකුරුත් හම්බ උනාද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 4168 0
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 219 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 180 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site