IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මීගොඩ යකා නැටූ නරුමයන්ට අමතක නොවන පාඩමක් දෙමු

මුඛ ආවරණ නොමැතිව ඉන්ධන ලබා ගැනීමට මීගොඩ ඉන්ධන පිරවුම් හලකට පැමිණි යතුරුපැදිකරුවකුට දුරස්ථභාවය තබාගෙන සිටින ලෙස ඉන්ධනහලේ සේවකයකු දැන්වීමත් සමග උරණ වූ යතුරුපැදිකරු තවත් පුද්ගලකු සමග  පැමිණ එම සේවකයාට පහරදී පලා ගොස් ඇතැයි මීගොඩ ​පොලිසිය පවසන බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. එම පහරදීම වැළැක්වීමට පැමිණි තවත් සේවකයකුට ද එම  දෙදෙනා පහරදී ඇතැයි ද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.

මැරයන් දෙදෙනා පැමිණ ඉන්ධන පිරවුම්හලේ සේවකයාට පහර දෙන ආකාරය ඒ අසල තිබු සිසිටීවී කැමරාවක සටහන්ව තිබෙන අතර එයින් දිස්වෙන්නේ මැරයන් දෙදෙනා එම සේවකයා උස්සා පොළොවේ ගසන බිහිසුණු තත්ත්වයයි.

සිය වසකට පමණ පසුව පැමිණි කොවිඩ් මාරාන්තික වයිරසය හරහා සෑම මිනිසකුටම මනුෂ්‍යත්වය සම්බන්ධයෙන් අලුත් පාඩම් රැසක් ඉගෙන ගැනීමට හැකියාව ලැබිණි. ධනය, බලය, නිලය, කුලය හෝ වෙනත් කිසියම් භෞතික සම්පත් කොතෙක් තිබුණ ද මරණය කොයි මොහොතේ අප කරා පැමිණේවිදැයි කිව නොහැකි බව කොවිඩ් මාරයා අපට ඉගැන්නුවේය. එහෙයින් කළ යුතුව තිබෙන්නේ මනුෂ්‍යත්වය රැක ගනිමින් ගුණගරුක ජීවිතයක් ගත කිරීමය. එහෙත් විනාශයෙන් මෙපිට පාඩම් ඉගෙන නොගන්නා අනුවණ අසමත්ජාතිකයෝ මරාගෙන මැරෙන ජීවිතයකට පණ පොවති. එබන්දන්ට සොබා දහම කියා දෙන පාඩම අදාළම නැත. ඔවුන්ට වුවමනා තම බාහු බලය ප්‍රදර්ශනය කිරීමය. මීගොඩ ඉන්ධන හලකට පැමිණ තිබෙන්නේ එබන්දන් දෙදෙනෙකි. එහෙත් පහර දීමෙන් පසුව චණ්ඩින් දෙදෙනා සැඟව ඇතැයි අප ප්‍රවෘත්තියේ සඳහන්ය. සැබෑ චණ්ඩින් බය නැතිව සිටිය යුතුය. මෙබඳු චණ්ඩින් ගමේදී හඳුන්වන වචනයක් තිබේ. කෙසේ වුවද මේ චණ්ඩින් දෙදෙනාට වැඩි වේලාවක් නිදැල්ලේ සිටිමට නොහැකි විය.  මේ දෙදෙනා මේ මස 18 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයට පත්ව සිටිති. සමස්ත සමාජයම පොලිසියේ  හා අධිකරණ ක්‍රියාවලිය  පිළිබඳව ප්‍රසාදයට පත්ව සිටිති.

ඉන්ධන පිරවුම්හලේ සේවකයා සිදුකර තිබෙන්නේ ජාතික යුතුකමකි. ඉන්ධන ලබා ගැනීමට පැමිණි පුද්ගලයා මුඛ ආවරණ පැළඳ සිට නැත. එහෙයින් ඔහු පවසා තිබෙන්නේ දුරස්ථභාවය රැකගෙන සිටින ලෙසය. වැරැද්දක් පෙන්වා දුන්විට එය පිළිගැනීම නිහතමානිකමය. නිහතමානය යනු මිනිසකුට සාඩම්බර පදක්කමකි. එහෙත් දුර්ජනයන්ට එසේ නොවේ. නිහතමානිකම වෙනුවට ඔවුන් වගා කර ගන්නේ හීනමානය වේ. නැතහොත් අධිමානය වේ. මෙම මාන දෙකම රැගෙන එන්නේ පරාජය සහ විනාශය මිස අන් යමක් නොවේ. කොයි මොහොතක හෝ පොලිසියට කොටුවී යකඩ කූරු ගණන් කරන විට එම චණ්ඩින් දෙදෙනාට තමාට අත්වූ ඉරණම ගැඹුරු විමසුමකට ලක් කරන්නේ නම් එය ජීවිතයේ ඉදිරි කාලයට ප්‍රයෝජනවත් වනු ඇත. එහෙත් මෙබන්දන්ගෙන් අපට එවැන්නක් බලාපොරොත්තු විය නොහැක. සියොළඟම විස පිරි මෙබඳු දුර්ජනයන්ට යහපත් චේතනා පහළවීමට ඉඩක් නැත.

සිව් මස් හැවිරිදි සිඟිති දියණියගේ ගෙල තියුණු ආයුධයකින් කපා මරා දැමූ තරුණ පාසල් ගුරුවරියක වන මවක් පිළිබඳ ප්‍රවෘත්තියට දෙතුන් දිනකි. එබඳු පුවත් සංවේදී හදවත් දන්නවුන්ට දරාගත නොහැකිය. එහෙත් එබඳු පන්නයේ ප්‍රවෘත්ති කොතෙක් වාර්තා වන්නේද යන්න මාධ්‍ය වාර්තා දෙස බැලූ විට පැහැදිලිය. පියාගේ පොලු පහරින් මිය යන දූ පුතුන් ගැන මෙන්ම දූ පුතුන්ගේ ප්‍රහාර වලින් මිය යන මව්පියන් සම්බන්ධ පුවත් ඒ අතර ඉහළින්ම සටහන්ය. ඉතිහාසය මග නතරව සසලව ඉකි ගසන කඳුලෙන් ලෙයින් පිරුණ අනුවේදනීය සිදුවීම් හරහා අපගේ සමාජ ආධ්‍යත්මය කොතෙක් දුරට සෝදාපාළුවට ලක්වී ඇතැයි ද දෙදරුම් කවා ඇතැයි ද යන්න පැහැදිලිය. මුළුමහත් සමාජයම දරුණු නාය යාමකට ලක්වී තිබේ.

චිත්තාවේග පාලනය දියුණු මිනිසකු සතු උත්තම ගුණාංගයකි. සෙත් පිරිතෙන් අවදිව මහ පිරිතෙන් නින්දට යන ජාතියක ආගමික ගුණ සුවඳින් ඔදවන් වූ තෙදවත් වූ ආධ්‍යත්මික පරිසරයක් ඇති රටක දුරාතීතයේ මෙම චිත්තාවේග පාලනය ඉහළින්ම තිබිණි. එහෙත් වර්තමානය ඉතා සකීර්ණය. ආධ්‍යත්මය වැහැරී ගිය පසු රැක ගැනීමට කිසිවක් නැත. යන්න කියමනක් පමණක් නොව ඒකාන්ත සත්‍යයකි. සිදුවීම් හරහා ප්‍රකාශයට පත්වන්නේ ආධ්‍යත්මය  වැහැරි ගිය සමාජයක දුක්ඛිත අඳෝනාවය.

මීගොඩ ඉන්ධන පිරවුම් හලේ සිද්ධිය හුදෙකලා තවත් එක් සිදුවීමක් වශයෙන් හඳුනා ගැනීම වැරැදිය. මෙය මෙම සමාජය ගමන් කරමින් සිටින දිශාව පෙන්වන කැඩපතකි. මිනිසුන්ට මෙසේ හැසිරිය හැකිද?

සැබැවින්ම නොහැකිය. එහෙත් එසේ හැසිරී තිබීමෙන් පැහැදිලි වන්නේ මෙම සමාජය මුළුමනින්ම පිරිපහදුවට ලක් කිරීමට, පුනරුත්ථාපනය කිරීමට ලක්කළ යුතු බවය. අත්‍යවශ්‍ය කටයුත්තක් ලෙස මෙය පෙරට ගත යුතුය. නැතහොත් අප සමාජයේ ඉරණම කෙසේ ලියැවේදැයි අනුමාන කළ නොහැකි වනු ඇත.

(***)



අදහස් (2)

මීගොඩ යකා නැටූ නරුමයන්ට අමතක නොවන පාඩමක් දෙමු

Raveendra Saturday, 09 October 2021 11:07 AM

මොවුන්ට රටේ නීතියෙන් දඬුවම් කිරීමට නොහැකි වනු ඇත. මක්නිසාදයත් මොවුන් වෙනුවෙන් මුදලට ගම් කබරයින් ගල් පැලෙන බොරු, බේගල් ඇදබා මොවුන්ව එයට ගනු නියතයි. ඒ බැවින් මේ දෙදෙනාට කැලෑ නීතිය වඩාත්ම සුදුසුයි යන්න අපගේ මතයයි..

:       1       17

janahitha UAE Sunday, 10 October 2021 08:52 AM

බොහොමයක් දෙයනා ආගම අදහන්නේ නැහැ ඒ තුල හැසිරෙන්නේ නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site