සටහන - ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
ඩුබායි රටේ සැඟව සිටිමින් සිය ගෝලබාලයන් යොදවා දරුණු අපරාධ මෙහෙයවමින් භීෂණයෙන් රටක් මුසපත් කළ දකුණේ ප්‍රබලතම පාතාල නායකයකු ලෙසින් සැලකෙන සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් උපන්දින සාදයකට සහභාගි වෙමින් සිටියදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූවේ තරු හයේ හෝටලයකදීය.
මාකඳුරේ මධුෂ්ට අමතරව තවත් ශ්‍රී ලාංකිකයන් 25 දෙනෙක් ද අත්අඩංගුවට පත්ව ඇති අතර ඒ පිරිස අතර ජනප්‍රිය ගායකයකු වන අමල් පෙරේරා ඔහුගේ පුත් යොවුන් පරපුරේ ගායක නදිමාල් පෙරේරා සහ ටෙලිනාට්‍ය නළුවකු වන රයන් වැන්ඩස්ට්‍රාස් ද ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු ලෙස සැලකෙන රණලේ චුට්ටා, අංගොඩ සුද්දා, මාලිගාවත්තේ කංජිපාති ඉම්රාන් සහ කෙසෙල්වත්තේ දිනුක ද සිටින බව මෙරට බුද්ධිඅංශ මේ වනවිටත් තහවුරු කරගෙන හමාරය.
ශ්‍රී ලංකා පොලිසියේ රහසිගත මෙහෙයුමක අවසන ප්‍රතිඵලය වූයේ ඩුබායි පොලිසියට මෙම පාතාල නායකයා ඇතුළු ඔහුගේ මේ පාතාල ගෝලබාලයන් කොටුවීමය.
මාකඳුරේ මධුෂ්ගේ දෙවැනි බිරිය ලෙස සැලකෙන්නේ කළුතුෂාර නමැත්තාගේ බිරිය වන අතර ඇයගේ දියණියගේ පළමුවැනි උපන්දිනය සැමරීමට මහ ඉහළින් මෙම සාදය ඉකුත් 4වැනිදා රාත්‍රියේ සිට පසුදින අලුයම කාලය දක්වා පවත්වා ඇත.
පාතාලයේ ප්‍රබලතම නායකයකු ලෙස සැලකෙන මාකඳුරේ මධුෂ් නමැත්තා ඇතුළු පිරිස ඩුබායි පොලිසියට කොටුවූ ඒ රහසිගත මෙහෙයුම ක්‍රියාත්මක වී ඇත්තේ මීට මාස හයක පමණ කාලයක සිටය.
පොලිස් විශේෂ කාර්ය බළකායේ කාලයක් සේවය කළ දැනට වෙනත් කොට්ඨාසයක අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වූ මෙම රහසිගත මෙහෙයුමට එම බළකායේම සේවයකර දැනට සාමාන්‍ය පොලිස් රාජකාරියේ නිරතව සිටින පොලිස් පරීක්ෂකවරයකුගේ ද සහාය ඇතිවය.
පොලිසිය යෙදවූ ඔත්තුකරුවකු ඩුබායිවලට යන්නේ එහි රැකියාවක් සොයාගෙනය.
ඒ මීට මාස හයකට පමණ ඉහතදීය.
පොලිසිය යෙදවූ ඔත්තුකරුවාට පැවරී තිබූ ලොකුම වගකීම වී තිබුණේ මාකඳුරේ මධුෂ් සමඟ කිට්ටු සම්බන්ධකම් පවත්වන කීපදෙනකු සමඟ හා එම රටට පලාගොස් සිටින මධුෂ්ගේ ප්‍රතිවාදී පාතාල කල්ලිවල සාමාජිකයන් සමඟ කිට්ටු සම්බන්ධතා ගොඩනගා ගැනීමය.
පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් වැළකී සිටීමට බහුදින යාත්‍රාවකින් 2016 වසරේ මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට පලාගිය මාකඳුරේ මධුෂ් පසුකාලයක ඩුබායිවලට පළාගොස් තිබිණි.
ඉන්දියාවේ සිට ඩුබායිවලට යාමට මධුෂ් වෙනත් නමකින් විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කරගෙන තිබූ අතර මේ පිළිබඳ තොරතුරු රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන්ගේ අතට ඒ වනවිටත් පත්ව තිබුණි.
ඩුබායි රටට ගොස් එරට රැකියාවක් කරන අතර එසේ පොලිසිය යෙදවූ ඔත්තුකරුවා ඔහුට එරටින් යාමට තමන් පවරා තිබූ වගකීම අකුරටම ඉටු කරමින් ඒ රටේ සිටින මධුෂ්ට ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි ක්‍රියාකාරීන් සමඟ සහ මධුෂ් සමඟ කිට්ටු සම්බන්ධතා පවත්වන්නන් සමඟ සම්බන්ධතා ගොඩ නගාගැනීමට සමත් වී ඇත.
අවශ්‍ය මඟපෙන්වීම එම උසස් පොලිස් නිලධාරියාගෙන් ලබාගත් පොලිසිය යොදවා සිටි ඔත්තුකරු ඔහුට පවරා තිබූ අවසන් ඉලක්කය සපුරා ගන්නා තෙක්ම බොහොම නොඉවසිල්ලෙන් කටයුතු කළේය.
ඩුබායි රටේ පිහිටි ආගමික ස්ථානයක් මාකඳුරේ මධුෂ් නිතර යන එන තැනක් විය.
ඔහු නිරතුරුවම පාහේ එහි යන්නේ ආගමිකවතාවත්වලට සහභාගි වී ආශිර්වාදය ලබාගැනීමට බව පොලිසිය යොදවා සිටි ඔත්තුකරු සොයාගත්තේය.
මාකඳුරේ මධුෂ් එරටේ සිටි ඔහුට හිතවත් ශ්‍රී ලාංකිකයන්ට අත දිගහැර වියදම් කරන බවට ද පොලිස් ඔත්තුකරුට දැනගැනීමට ලැබී ඇති බව කියති.
ඩුබායි රටේ පිහිටි තරු හයේ හෝටලයක උපන්දින සාදයක් පෙබරවාරි 04වැනිදා මහ ඉහළින් පැවැත්වීමට මාකඳුරේ මධුෂ් සූදානමින් සිටින බව පොලිස් ඔත්තුකරුට දැනගැනීමට ලැබී ඇත්තේ අවසන් දින තුනකට පමණ ඉහතදීය.
ඩුබායි රටේ තරු හයේ සුපිරි හෝටලයක මේ උපන්දින සාදය පැවැත්වෙන්නේ මධුෂ්ගේ අනියම් බිරියගේ දරුවාගේ පළමු වසර සැමරීම පිණිසය.
ශ්‍රී ලංකාවේ සිටින ජනප්‍රිය ගායක ශිල්පින් හා කලා ක්ෂේත්‍රයට සම්බන්ධ කිහිප දෙනකුට හා මෙරට සිටියදී ළඟම ඇසුරු කළ කීප දෙනකු ද මේ උපන්දින සාදයට ඇරියුම් ලබා තිබෙන බව පොලිස් ඔත්තුකරුට වැඩිදුරටත් දැනගැනීමට ලැබී ඇත.
නියමිත දිනයේ උපන්දින සාදයට ඇරියුම් ලබා සිටි පිරිස ඩුබායිහි සුපිරි හෝටලයට ගිය අතර එයට සහභාගි වී සිටි පිරිස 25 දෙනෙක් පමණ වූහ.
රාත්‍රී කාලයේ පැවැති මෙම උපන්දින සාදය වෙනුවෙන් ගීත ගායනා කළේ ජනප්‍රිය ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් යොවුන් පරපුරේ ගායක නදිමාල් පෙරේරාත්ය.
ඔවුන් දෙදෙනාගේ සුමියුරු ගීත ගායන හමුවේ සාදයට සහභාගි වූ පිරිස ද තාලයට පාද තබමින් නටන්නට පටන්ගෙන ඇත.
වසරක් වයසැති දියණියගේ උපන්දිනය සමරමින් කළු තුෂාරගේ බිරිය හා මාකඳුරේ මධුෂ් කේක් ගෙඩියක් කැපුවේ පොඩි එකාගේ අතින් අල්ලාගෙනය.
උපන්දින සාදයට සහභාගි වූ ඇතැමුන්ට පානය කිරීමට යහමින් කොකේන් සහ හෙරොයින් වැනි ද්‍රව්‍ය ද සපයා තිබුණේ ඔවුන් විසින්ම බව පැවසේ.
මධ්‍යම රාත්‍රිය පසුවී අලුයම උදාවෙමින් තිබියදී ඩුබායි පොලිසියේ නිලධාරී කණ්ඩායමක් හෝටලයට පැන්නේ එහි පැවැත්වෙන සාදයට සහභාගි වී සිටින සමහරු ළඟ මත්ද්‍රව්‍ය තිබෙන බවට එරටේ ක්‍රියාත්මක පොලිස් 9111 අංක හදිසි ඇමතුම් අංකයට ලැබී තිබුණ තොරතුරක් අනුවය.
ඒ තොරතුර 9111 අංකයට කතාකර දැනුම් දී තිබුණේ වෙන කවුරුවත් නොව පොලිසිය යොදවා තිබූ ඔත්තුකරුය.
මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස් ඩුබායි පොලිසියට කොටු වූයේ ඒ අනුවය.
කොකේන් සහ හෙරොයින් ද මෙම වැටලීමේදී පොලිසියට හමුවිය.
පොලිසිය හෝටලය වැටලීමට එන අවස්ථාවේ උපන්දින සාදයට සහභාගි වී සිටි අංගොඩ ලොක්කා නමැති පාතාල නායකයා සිට ඇත්තේ හෝටලයෙන් පිටතය.
අංගොඩ ලොක්කා ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන එතැනින් පැනගත් බව පොලිස් ඔත්තුකරු මෙරට සිටින උසස් පොලිස් බලධාරීන්ට දැනුම් දී ඇත.
ඩුබායි පොලිසිය අත්අඩංගුවට ගත් මෙම පිරිස ඩුබායි අමීර් බන්ධනාගාරයේ රඳවා තබාගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යන බව දැනගැනීමට ඇත.
මධුෂ් කොටුකර ගැනීමේ රහසිගත මෙහෙයුම මෙහෙය වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මේ වනවිටත් සිටින්නේ විදේශගතවය.
මෙම මෙහෙයුම ගැන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම්වත් කිරීමෙන් පසු මෙහෙයුම බාරව සිට දායක වූ පොලිස් නිලධාරීන් පෙරේදා ජනාධිපති මන්දිරයට කැඳවා මෙය ඇගැයීමට ලක්කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂක අංශ අනුගමනය කරන මෙවැනි සූක්ෂම ක්‍රියාමාර්ග ප්‍රසිද්ධ නොකලයුතුයි. අවසන් ප්‍රතිඵලය පමණක් ජනතාවට දැනගන්න සැලැස්වීම ප්‍රමානවත්.
මෙයින් කියවෙන්නේ ඩුබායි පොලිසිය අහම්බෙන් කල වැටලීමක් බවයි. මත්ද්‍රව්‍ය ළඟ තිබ්බේ නැතිනම් මදුෂ්වත් නිදහස් කරයි. ඔන්න ලංකාවට ලෝකයේ තියන තැන .
වැරදිකාරයෝ ඉක්මනින්ම දඬුවම් ලබනවා දකින්න අපි පුන පුනා බලන් ඉන්නවා.
අපේ රටේ තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි අති පණ්ඩිතකම. අපේ අය ගොසිප් අනාවැකි කිය කියා ඉන්නවා හැර වෙන වැඩක් කරනවද? ඒකටම හරියන දේශපාලන පිරිසකුත් ඉන්නවානේ. මේවගේ වෙන කිසිම රටක මම නම් දැකලා නෑ පොලීසියේ කාරණා ගැන අනාවැකි කියන රටක්. මේක අපේ අයට වැඩ නැතිකමද? ඩුබායි පොලීසිය මේවා ගැන හොයලා බලලා ඒ රටේ නීතිය අනුව ක්‍රියා කරයි. මේ කේස් එකේදි කිසිම බලපෑමක් කල නොහැකි බව මාගේ විශ්වාසයයි. ඩුබායි පොලීසියට ඒ රාජකාරි කරන්න ඇරලා අපි බලා සිටිමු.
සමාජ පිළිලයක් අයින් වෙයි වගේ.
මට මතක් වෙනවා පොලිස්පති පූජිත් ජයසුන්දර මැතිතුමා..එදා 2002 දී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිලයේ , අධ්‍යක්ෂක නාකොටික්ව රාජකාරි කරද්දී එවකට සිටි කුඩුරජා අත්අඩංගුවට ගනිද්දී එවකට හිටපු පොලිස්පතිත් ඒ සිද්ධියෙන් ගෙදරගියා මට අදවගේ මතකයි. ඒවගේම යුද්ධය පවතී වකවානුවේ පුපුරන ද්‍රව්‍ය කිලෝ 1000 කට වැඩියෙන් අත්අඩංගුවට ගත්තා. අද මේ ක්‍රියාවට පොලිස්පතිතුමා විදියට කටයුතු කල ගරු පොලිස්පතිතුමනි ඔබතුමා අපේ මවුබිම වෙනුවෙන් මේ කල සේවය සිංහල ඉතිහාස පොතේ රන් අකුරෙන් ලියවෙනු ඇත.... ඔබතුමාට චිරංජයතු ....!!!
ලාල් .."ආරක්ෂක අංශ අනුගමනය කරන මෙවැනි සූක්ෂම ක්‍රියාමාර්ග ප්‍රසිද්ධ නොකලයුතුයි. අවසන් ප්‍රතිඵලය පමණක් ජනතාවට දැනගන්න සැලැස්වීම ප්‍රමානවත්." හැටිම වැදගත් .මෙරටේ සිදු වෙන බහුතරයක් වැරදි නිසා එය රහස් ආරක්ෂක අංශ වලට බාධාවක් විය හැකිය.. මොකට එලි කරනවද ..
අරාබී රටවල තියන නීතිය අනුව දඩුවම් මේ අයට ලබා දෙන්නම ඕනි
මදූශ්ව අල්ලපු මේ සූක්ෂම මෙහෙයුම නොකියා හිටියානම් අංගොඩ ලොක්කාවත් අල්ල ගන්න තිබුණා. නොදකින්.., කරන හැමදේම කියන්න යනවනේ...
නොදකින්.., කරන හැමදේම කියන්න යනවනේ. හාහ් හාහ් හා
ඇල්බට් අයින්ස්ටයින් ගැන ලිපියක් පලකරනවා නම් මොන තරම් වටිනවාද? මැණික් යටගොසින් තිරුවානා කැට මතුවෙනවා. ඒවා වටින්නේ මෝඩ හැතිකරයටම පමණි.
කවුරු කොහොම කිව්වත් ආයතන ප්‍රධානියාගේ උදව් නැතිව කොහොමද වැඩ කරන්නේ? විශේෂයෙන් මේවගේ දැවැන්ත වැඩක් කරන්න අනිවාර්යයෙන්ම පොලිස්පතිතුමාගේ මෙහෙයවීම වුවමනාවේ... පොලිස්පතිතුමා රාජකාරි වැඩවලදී එය අකුරට ඉටු කරනවා. ඔය අනික් අයවගේ කයිවාරු ගහන්නේ නැහැ.
මෙවැනි ලිපියක් ලංකාදීපයේ පලවීම ගැන කනගාටුයි
පොලිස් විශේෂ කාර්ය බලකාය.. එය පොලිස් දෙපාර්තමේන්තුවේ, පොලිස්පතිතුමාගේ යටතේ පාලනය වෙන කොටසක් ඒ කොටසේ ප්‍රධානියා හැටියට ජේ.නි. පොලිස්පති ලතිෆ් මහතා අණදුන්නට පොලිස්පතිතුමාගේ යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ.. සියල්ල සිදුවෙන්න ඕනෑ පොලිස්පතිතුමා දැනුවත්ව හා එතුමාගේ කැමැත්ත මතයි. ඒ මන්දයත් ඉහළට වගකිව යුත්තේ පොලිස්පතිතුමා වීමයි. බලය බෙදාහැරෙන්නේ උඩ සිට පහළට මිස, පහළ සිට උඩට නොවේ... උදාහරණයක් ලෙස :- හොඳම නළුවා සම්මානය නළුවාට ලැබේවි... ඔහුට දක්ෂතා තිබේ. නමුත් ඒ චරිතය නිර්මාණය කරන්නේ අධ්‍යක්ෂක වීමයි.. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතිෆ් මැතිතුමා අතිදක්ෂ, එඩිතර, නීතිගරුක, අවංක, නිහතමානි, නිලධාරියෙක් බව පැවසිය යුතුමයි..!!!
මේ වගේ වැදගත් ආරක්ෂක වැටලීම් රහස් රට වටේට කියලා ඊළඟට කියන්න වෙන්නේ අන්න පැනලා ගිහින් කියලා
ඉතාලියේ මාෆියා මෙහෙයුම් වලදී ඒවා කරන්නේ කවුද කොහොමද කියා කවුරුත් කියන්න යන්නේ නැහැ. ක්‍රියාන්විතව ඉන්නා සියලු පොලිස් නිලධාරීන් ඉන්නේද මුහුණ ආවරණය කරගෙනයි. ලංකාවේ විතරක් කවුද කරන්නේ කොහොමද කලේ කියා අඬබෙර ගහනවා. මෙහෙව් රටක්...!
උදර්පණ ගිවිසුම මස 7 ජනාධිපතිගේ මෙසේ උඩ .... ලු ...ලු ...ලු ,.. එල්ලුම් ගහ ගේනවා ලු ...ලු ....ලු .....කවුද කිවුවේ පත්තරෙන් දැක්කේ නොකිවුවෙත් ලු ...ලු ..ලු ... තමයි පුදුමේ ලංකාවේ ඉන්න මිනිස්සු බත්කන මිනිස්සු බව හිතන්න .....2015 වේ ලක්ෂ 62 කට වුනු මේක තමයි ලෝකේ ලොකුම වැරැද්ද. රැ වැටුණු වලේ මිනිස්සු දවල් වැටේ ....ද ...ද ...ද ...?
ජනාධිපති උදර්පණ ගිවිසුම අත්සකරලවත් නෑ මධුෂ් ගේ ලකුණු මස් රාත්තලම ගන්න හදනවා අරයා පොලව ඉබලා යුද්දේ මස් රාත්තලම ගත්තා වගේ සත්‍ය ජයගනියි ඉවසන්න.