තෙළිතුඩ ඔහුගේ ආත්මයයි. 1961 නවයුගය පුවත්පත ‘‘රත්තරං පුතා’’ චිත‍්‍රකතාවෙන් සැරසූ ඔහු ‘‘යෝධයා හා පඬිතුමා’’ ‘‘ඔන්න බබෝ’’ වැනි චිත‍්‍රකතා තුළ ගොඩනැගූ යෝධයා, පඬිතුමා, බටකොලආච්චි හා බූබම්බා වැනි චරිත අදත් ළමා ලොවේ විරයෝය.
|
දැනට 81 වැනි වියේ පසුවන එස්.ඒ. දිසානායක නම් වූ මෙම සොඳුරු සිතුවම් ශිල්පියාගේ ‘‘යෝධයා සහ පඬිතුමා* චිත‍්‍රකථා එකතුව ළමා පොතක් ලෙස මෙම මස 27 වැනිදා සවස 3.30ට කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී එළිදැක්වේ. රජයේ ලියාපදිංචි සී.පී.යූ. නම් දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දෙන පරිගණක අධ්‍යාපනය ලබාදෙන ළමා සුබසාධනය වෙනුවෙන් කැපවන ආයතනයේ ළමා අරමුදලට මෙම පොත අලෙවියෙන් ලැබෙන ආදායම බැරවෙයි. අපි ඔහුගේ වසර 81ක සොඳුරු කලා දිවියට එබී බලමු.
‘‘පුංචි සන්ධියේ ඉඳන්ම තෙළිතුඩ හසුරවන්න ඔබට හැකියාවක් තිබුණද? මා එහි යන තුරුත් ඔහු ඇඳි සිතුවම් සහිත පුවත් පත්වල පිටු ඇලවූ ඇල්බමයක් හා තවත් නිර්මාණ ගොන්නක් මේසය මත තබාගෙන සන්සුන්ව අසුන්ගෙන සිටි එස්.ඒ. දිසානායකයන්ට පළමු පැනය යොමු කළෙමි.
‘‘පුංචි කාලෙ මට මේ ලෝකෙ දෙයක් අඳින්න බෑ. චිත‍්‍ර කලාව කියන දේ මගේ ඇඟේ තිබුණෙ නැහැ. මගේ ගම අවිස්සාවේල්ල. මම පාසල් ගියේ කතෝලික හා බුද්ධාගමේ දරුවන් මිශ‍්‍ර වූ දියුරුම්පිටිය කනිටු විදුහලටයි. මගේ මව මට වයස අවුරුදු 7ක් වෙද්දි මිය ගියා. තාත්තා වතුපිටි බලා කියා ගන්නා රැකියාවක් කළේ. පියාටත් හදිසියේම රැකියාව නැති වුණා. ඊට පස්සෙ බලංගොඩ පැත්තට පදිංචියට ගිහින් තැන තැන කුලී නිවාසවල පදිංචි වෙලා හිටියා.
ඔහුගේ දිවියේ අඳුරුතම හා අපූරුතම කාලපරිච්ෙඡ්දය දිගහැරෙන්නේ ඒ වකවානුවේදීය. පාසල් අධ්‍යාපනය කඩාකප්පල් වී අනාගතය පිළිබඳ අවිනිෂ්චිත හැඟුම් සමුදායකින් ඔහුගේ මනස ඔද්දල් වෙයි. දරුවකුට පාසල් අධ්‍යාපනයේ වටිනාකම දැනෙන ඔහුගේ පියා යළිත් මේ කුඩා දරුවා අවිස්සාවේල්ල මාදොළ පදිංචි ඔහුගේ මෑණියන්ගේ නිවෙසට රැගෙන එයි. ආච්චිගේ සහයෙන් යළිත් මේ දරුවා යාබද පාසලේ 4 වැනි පංතියට ඇතුළත් කෙරෙයි.
‘‘කලින් පාසලේම 4 වැනි පංතියට ආයෙත් මාව ඇතුළත් කළාට පංතියේ අධ්‍යාපන කටයුතු කිසි දෙයක් මට කරන්න බැහැ. ඒ තරමට මම අදක්ෂයි. ඇති වනතුරු ගුරුවරුන්ගෙන් ගුටි කෑවා. ගුටි කෑවට ගෙදර ගිහින් කිසි දෙයක් මම කියන්නෙ නැහැ. ගෙදර අය හිතන් ඉන්නෙ මම අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන යනවා කියලයි. ඒ කාලෙ මගේ මාමලත් ගුරුවරු. ඒත් අම්මා නැති වුණාට පස්සෙ ඒ නෑයොත් තරහවුණා. තාත්තටත් ඒ වෙද්දි හරිහමන් රැකියාවක් නැහැ. තාවකාලික රැකියා කළේ. මා ගැන කවුරුත් සොයා බැලූවේ නැහැ. නමුත් මම 8 පන්තියට ගියාම යාන්තම් 8 පාස්වුණා. මම වෙළෙඳ ලිපිකරු රැකියාවක් හොයා ගත්තා. තරඟ විභාගෙකින් තමයි මට ඒ රැකියාව ලබුණේ. ඒක කරන අතරේ දැන්වීම් පුවරු අඳින්නත් පුරුදු වුණා. දිගටම ඇන්දා.
තාත්තගේ ආර්ථිකයත් මේ වෙද්දි හොඳ අතට හරුණා. ඊට පස්සෙ මම කළුතර, කලපුගම පාසලකට ඇතුළ් වුණා. ඒ පාසලේ දී මට හොඳ පිළිගැනීමක් තිබුණා. මගේ කලාහැකියාවන් ඒ අය අඳුනා ගත්තා. ගුරුවරුන්ගේ කලා කටයුතුත් මට ගෙනත් දුන්නා. සියල්ල හොඳින් කළා.
මේ අතරතුරේ ලංකාදීප පත්තරේටත් ඇන්දා. පත්තරේට ලිපිත් ලිව්වා. කුඹුරු පනත ගැන ඒ පත්තරේ ‘‘ලියුං කියුං’’ තීරයටත් ලිව්වා. ඒ කාලෙ අපි වැඩකළ කුඹුරුවලිනුත් අස්වැන්නෙන් අපට ලැබුණෙ සොච්චමයි. වෙන වෙන කොටස් කාරයො අස්වැන්නෙන් ගොඩක් පටවාගෙන යනවා. මේවා ගැන මම ලිව්වා. ඒ කාලෙ ගුරුවරයෙක්වත් පත්තරයකට ලිපියක් ලියන්න බයයි.’’
ඔහුගේ ජීවිතය යම් තාක් දුරකට කළඑළි වන්නට පටන් ගත්තේ මේ අවධියේය. ඔහු තුළ එතෙක් කලක් නොතිබූ අලූතින් ගොඩනැගුණු මානසික සුවය ඔහුව නිර්මාණශීලී ලෝකයකට රැගෙන ගියේය. ජීවිතය අලූතින් ප‍්‍රතිනිර්මාණය වන බවක් ඔහුට දැනෙන්නට විය.
‘‘මේ අතරේ මම කනිෂ්ඨ විභාගෙන් සමත් වුණා. සාමාන්‍ය පෙළ විභාගය පටන් ගත්තෙන් 1952. ඒකත් මම සමත් වුණා. එතැනින් මගේ අධ්‍යාපනය අවසන් වුණා. ලිපිකරු සේවයට කොළඹ ගියේ ඉන් පස්සෙ. ඒ රැුකියාව කරන අතරේ පොත් කඩවලින් පොත් කවර අඳින්න වැඩ ඉල්ලගෙන අවිද්දා. මුලින්ම මාරක කතා පොතක පිටකවරයක් ඇන්දා. ඒ කාලෙ ඒකට රුපියල් 7.50ක් ලැබුණා. වෙසක් බකට් පහකට චිත‍්‍ර ඇන්ඳා. සල්ලි ලැබුණේ නැහැ. ඒ පුද්ගලයා මට මුදල් නොදී දෙමළ අයෙකුගේ වෑන් රථයක අකුරු නිර්මාණය කරන්න අල්ලලා දුන්නා. ඒ දෙමළ පුද්ගලයා මගේ හිතට ඇල්ලූවා. එයා මට උපදෙසක් දුන්නා. කොළඹ රස්තියාදු නොවී ගමට ගිහින් නිදහසේ කලා කටයුතු කරන්න කියලා බොහොම ලෙන්ගතුව කිව්වා. ඒක මගේ හිතට ඇල්ලූවා.
ඊට පස්සෙ ‘‘රාජකාරිය’’ කියලා චිත‍්‍රකතාවක් නවයුගය පුවත්පතට මම ඇඳගෙන ගියා. ලේක්හවුස් ආයතනයට ගිහින් නවයුගය කරන ශ්‍රී ලාල් ලියනගේ කියන මහත්තයා හමුවුණා. එයා කිව්වා මගේ චිත‍්‍රකතාව ලංකාදීප, දිණමිණ වගේ පත්තරේකට තමයි හොඳ කියලා. අන්තිමට මම ඒ චිත‍්‍රකතාවත් අරගෙන ටයිම්ස් මන්දිරයට ගිහින් නතරවුණා. ‘‘රසවාහිනී’’ කාර්යාලයටම ගියා. කර්තෘ මහත්තයා කාර්යාලයේ හැමෝටම ඇහෙන්න මගේ චිත‍්‍රකථාව කියෙව්ව. මට හරිම පුදුමයි. සුසිල් පේ‍්‍රමරත්න, ජී.එස්. ප‍්‍රනාන්දු වගේ නමගිය චිත‍්‍ර ශිල්පීන් ඉන්න ඒ කාර්යාලෙ මගේ චිත‍්‍රකතාව රසවිඳිමින් මෙහෙම අගය කරන එක මට දරාගන්න බැරිවුණා. මම බලාපොරොත්තු වුණේ මගේ චිත‍්‍රකතාව කුණු කූඩෙට දාලා අලූත් එකක් ඇඳගෙන එන්න කියයි කියලයි. මට කිසි දෙයක් හිතාගන්න බැරුව වෙන දේ බලාහිටියා. කොහොමහරි අන්තිමට ඒ දේම වුණා. 1961 නවයුගය සඟරාවෙ මගේ මුල්ම චිත‍්‍රකතාව ‘‘රත්තරං පුතා’’ නමින් පළවුණා. මම සඟරාව මුද්‍රණයෙන් එළියට එනකම් හිටියේ නොඉවසිල්ලෙන්. ආයෙත් චිත‍්‍රකතාවක් ඇන්දා. ඒකත් පළවුණා. දිගටම ඇඳපු චිත‍්‍රකතා පළවුණා. ලියනගේ මහත්තයා නවයුගය සඟරාවේ පිටු 4ක් මට දුන්නා. කෙටිකතා, නවකතා වලට ‘‘හෙඞ්ලයින්’’ ඇන්දා. විකට කතාවකුත් අඳින්න කීවා. මොකද ඒ වෙද්දිි නවයුගය සඟරාවට චිත‍්‍ර ශිල්පියෙක් හිටියේ නැහැ. මම ‘‘පඬිතුමා’’ කියන විකට කතාව ඇන්ඳා ඒකත් පළවුණා.
ඒ වන විට ඔහුට ‘‘නවයුගය’’ තුළ ස්ථාවරයක් නිතැතින්ම ගොඩනැගිණි. තමන්ගේ තෙළිතුඬින් ඔප් නැංවෙන ‘‘නවයුගය’’ දෙස ඔහු බැලූවේ මහත් ගෞරවයෙනි.
ජීවිතය ජීවත්වන බවක් ඔහුට දැනිණි.
‘‘මේ කාලයේදී ලියනගේ මහත්තයා අලූත් පත්තරයක් පටන් ගන්නවා කියලා මට කිව්වා. ඒකට ළමා කතාවක් ඕනෙ කියලත් කිව්වා. මම ‘‘ඔන්න බබෝ’’ කියන කතාව කොටස් තුනක්, හතරක්, ඇඳගෙන ගියා. ලියනගේ මහත්තයා ඒක අල්මාරියෙ දාලා තියාගත්තා. පත්තරේ පටන් ගන්න තරමක් ප‍්‍රමාද වුණා.
මේ අතරේ මට කළුතරට ගුරු පත්වීමක් ලැබුණා. තරඟ විභාගයක් පවත්වලයි ගත්තෙ. මම කළුතර දිස්ත‍්‍රික්කයෙන් 6 වෙනියට ලකුණු අරන් සමත් වුණා. ලියනගේ මහත්තයා පත්තරේ පටන් ගත්තා. ඒකෙ නම ‘‘මිහිර’’. මගේ ‘‘ඔන්න බබෝ’’ කතාවත් පිටුවක් පුරාම මුද්‍රණය වුණා. මහාවංශය කතාවටත් චිත‍්‍ර අඳින්න ඕනෑ. නවයුගයේ ‘‘පඬිතුමා’’ කතාවත්, ළමා කතාවත් දිගටම පළවෙනවා. ඒ අතරේ ගුරුවෘත්තියත් කරනවා. පාසලේ අතිරේක වැඩ ගොඩකුත් කරනවා. ජීවිතේ හරිම යාන්ත‍්‍රික වුණා.
‘‘ලියනගේ මහත්තයා තවත් කාන්තා පත්තරයක් පටන් ගත්තා. නවයුගය සඟරාව වෙනත් කාර්තෘ කෙනෙකුට දුන්නා. ඔහු පළමු සඟරාවෙන්ම ‘‘පඬිතුමා’’ සහ ළමා නවකතාව’’ කපලා දැම්මා. ඒත් මගේ හිතේ කිසිම කනගාටුවක් ඇති වුණේ නැහැ. මට ඒකෙන් පුංචි නිදහසක් ආවා. ඒ ගැන සතුටු වුණා. ලියනගේ මහත්තයා ඊට කළින් මිහිර පත්තරේට ‘‘යෝධයා’’ කතාව පළකළා. දවසක් ඔහු කිව්වා. ‘‘පඬිතුමා’’ නවයුගයේ පළවෙන්නෙ නැති නිසා කාන්තා පත්තරයට කතාවක් අඳින්න කියල. මම යෝධයා සහ පඬිතුමා යන චරිත එකට එකතු කරලා. ‘‘යෝධයා සහ පඬිතුමා” යන කතාව ගොඩනැගුවා.
‘‘ලේක් හවුසියේදී ප‍්‍රසිද්ධ චිත‍්‍ර ශිල්පීන් කවුරුත් ඇසුරු කරන්න අවස්ථාව ලැබුණෙ නැහැ. මම මොටා ගෙදර වනිගරත්න මහත්තයාගෙන් චිත‍්‍ර ඉගෙන ගන්න ගියා. එයාගෙ ගෙදර ඉස්සරහ කඬේ මම ඇඳපු පත්තර පිටකවරයක් තිබුණු පත්තරයක් එල්ලලා තිබුණා. ඒත් මම ඒක මම ඇඳපු එකක් බව කිව්වෙත් නැහැ. මට චිත‍්‍ර අඳින්න පුළුවන් බව කිව්වෙත් නැහැ. අවුරුදු 55 වෙද්දි මම අසනීප වුණා. අවුරුදු 55න් මම ගුරු සේවයෙන් විශ‍්‍රාම ගත්තා. මගේ කලා කෘතිවලට සම්මාන කිහිපයකුත් ලැබුණා. ‘‘නැන්දයි මාමයි’’ පොතට මම මුල්ම රාජ්‍ය සම්මානය ලැබුවා. අද මට වයස අවුරුදු 81 වෙනවා. මම අදත් චිත‍්‍ර අඳිනවා. දුව නදී දිසානායකත් පුතා චරිත දිසානායක එක්කත් ගෙවෙන මගේ ජීවිතේ හෙටත් බොහොම නිදහස්. ඒ වගේම ඒක හරිම සුන්දරයි’’.
ජීවිතයේ සැඳෑසමය විඳින ඔහුගේ තෙළිතුඩු එදා සේම තවමත් සොඳුරුය. තවත් චිරාත් කලක් ඒ තෙළිතුඩට පණදෙන්නට ඔහුට ශක්තිය, ධෛර්ය ලැබේවායි පතමින් අපි ඔහුගෙන් සමුගතිමු.
සටහන : දුෂ්‍යන්ත කුමාර - ඡායාරූප : ඇලෙක්සැන්ඩර් බාලසූරිය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මෙතුමාගේ දුරකතන අංකය ගන්න බැරිද? (නි)
90 ගණන්වල ශිෂ්‍යත්ව පත්තරේට ඇඳපු 'හේමලයා' කතාවත් හුඟක් අය නොකියවපු අපූරු කතාවක්. (නි)
මම ඇත්තෙන්ම ඔහුගේ කතා රසවින්දා. (නි)
නිරෝගිසුව, දීර්ඝායුෂ ලැබේවා! (නි)
ඔබතුමාගේ කතා අපි කුඩා කාලේ බොහෝ රස වින්දා.... චිරං ජයතු! (නි)
මේ ලිපිය බලා මම යළිත් ඒ සොදුරු ලෝකයට ගියා (නි)
"මිකී මව්ස්", "ඩොනල්ඩ් ඩක්" වගේම මේ කාර්ටූන් චරිත හැමදාම පැවතීමට රජයේ වැඩපිළිවලක් තිබිය යුතුයි. (නි)
බූ බබා ඒ කාලයේ මගේ වීරයා. ඔබට නීරෝගී සුව! (නි)
අපි කියවන්න, රසවිදින්න ඉගෙන ගත්තෙ මිහිරෙන් . විහේෂයෙන් එස් .ඒ ගේ කථා වලින්.(ස)
මේක කියවලා මම හොඳටම අඬනවා සර්. මම කළුතර ඥානෝදයේ සර්ගෙන් චිත්‍ර ඉගෙන ගත්තා. ඒ කාලේ සර්ට හිටිය හොඳම ගෝලයන්ගෙන් කෙනෙක්. ඒ දක්ෂතා අද මම වැඩ කරන මහජන බැංකුවේදී පෙන්වන්න පුළුවන් වුනේ සර්ගේ දක්ෂතා නිසා. චරිත අයියගෙන් සර් ගැන අහලා දැන ගත්තා. එයා මගේ යාලුවෙක් වුනේ මගේ බ්ලොග් එකේ සර් ගැන ලියපු මේ ලිපිය දැකල. http://awidda-paya.blogspot.com/2012/07/blog-post_09.html rel="nofollow" ඉර බැස යන දර්ශනයක් .... (නි)
පුන්චිත්තා මගේ ළමා ලෝකයේ වීරයා ,ඩිගිරි වහුපැටියගේ කතාව අපි ආසාවෙන් කියෙවුවා.මැතිදුනි, ඔබට දීර්ඝායුෂ !!! (නි)
නිදුක් නිරෝගී සුව ලැබේවා! (නි)
ඔබ අපට සොදුරු මතකයකි.. මිහිර පත්තරේ පඩිතුමා යෝදයා සහ පුංචිත්තා වගේ චරිත වලින් මම ගොඩක් ආශ්වාදයක් ලැබුවා.. ඔබට නිරෝගී සුව ලැබේවා..!(නු)
උපතින් ලැබූ හැකියාවන් දියුණුකර.. චිත‍්‍ර කලාවෙන් අප සැම සතුටුකර.. තෙළිතුඩ තුලින් නැගු සිතුවම් මතක්කර.. අගයමු ඔබේ සේවය අපි දහස් වර (ස)
වසර අසූඑකක්.. නියමයි.. ඔබට සියක් ආයු ලැබීමට වාසනාව ලැබේවා ඔබට හොද හදවතක් තියෙනවා..!(නු)
හිගුල්වල දිසානායක ,චිත්‍රශිල්පී නොයෙල් ලසන්ත එදා ළමා පුවත් පත් හැඩකලා ඔවුන් ගේ අද තත්වව කෙසේද ?ඔවුන් සනීපෙන් සිටිනවා ඇතැයි සිතමි .(ස)
එස්. ඒ. කියන්නෙ මගේ ළමා කාලයෙන් හතරෙන් පංගුවක්. (සිබිල් වෙත්තසිංහ හා දැදිගම වි. රුද්‍රිගුත් 'මිහිර' පත්‍රයත් අනිත් තුන් පංගුවයි ) ඔහුට සමකරන්න වෙනත් කෙනෙක් නැහැ. එතුමන්ට නිරෝගී සුවයත්, දීර්ඝායුෂත් සිතේ සතුටත් ලැබේවා! (නි)
අපේ ළමා කාලයේ වීරයෝ (දී)
අපිත් පුන්චිකාලෙ මිහිර පත්තරේ ගේනකම් බලාගෙන ඉන්නෙ ඔය කතාටික බලන්න තමයි. ඒ කාලෙ කවුද ලිව්වෙ කවුද ඇන්ඳෙ කියල හිතුවෙ නැති උනාට, දැන්නම් ඇත්තටම සතුටුයි මේ මහත්මයාව පත්තරෙන් හරි දැක්ගන්න ලැබුනට. ඔබට නිදුකින් චිරාත්කාලයක් වැජබෙන්න ලැබේවා! මෙවන් පුද්ගලයන් අපේ මතකයට ගෙනෙන ලන්කාදීපයටද, අපගේ ස්තුතිය!(නු)
අප කුඩා කළ සදාචාර සමිපන්නව හදවතට සමීපවූ ඔබ අද ක්ෂේත්‍රෙය් ඉන්න අයට නියම ආදර්ශයක්. එම යහපත් හැගුම අද ඔබ ඉතා සතුටෙන් ජීවත් කරවනවා සිකුරුයි. එදා අප නැලවූ, සැනසූ ඔබට දීර්ඝායුෂ හදපත්ලෙන් පතමු.(නදී)