ශ්‍රී ලංකාවේ මැතිවරණ සිතියම අනුව පළාත් සභා ඡන්දය වහාම පැවැත්විය යුතුය. මැතිවරණ කොමිෂන් සභාව එම ඡන්දය සඳහා සූදානම් බව නිරීක්ෂණය කළ හැක. වසර දහයකින් පළාත් සභා ඡන්ද පවත්වා නැත. 2012 සිට 2014 දක්වා කඩින් කඩ තිබුණ ඡන්දවලින් පසු නිල කාලය හමාර වී තිබේ.
ඒවායේ පාලනය ආණ්ඩුකාරවරුන්ට සහ රජයේ නිලධාරීන් සතුව පවතී. තමන්ට සුදුසු නියෝජිතයන් පළාත් සභාවට තෝරා පත්කර ගැනීමේ අයිතියක් මහජනතාවට තිබේ. ව්‍යවස්ථානුකූලව හිමි එම අයිතිවාසිකම පැහැර ගැනීම විකෘතියකි. පළාත් සභා ක්‍රමය අක්‍රියවීම සාමාන්‍ය ජනතාවට, ඉතාම බරපතළ ප්‍රශ්නයක් නොවේ. පළාත් සභා මහජනතාවගෙන් දුරස්ථය. කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සලකන විට එය කිසිසේත් සාධාරණ තත්වයක් නොවේ. මහ ආණ්ඩුවට අයත් බලතල යම් ප්‍රමාණයකින් විමධ්‍යගත කර ඇති අතර එය ප්‍රමාණවත් ද නැද්ද යන්න කෙසේ වෙතත් මෙම යාන්ත්‍රණය හරහා සිදුවිය යුතු බල පිරමීඩය උවමනාවෙන් අකර්මණ්‍ය කිරීම සුදුසු නැත.
ජාතික ජන බලවේගය සහ එහි ප්‍රධාන පාර්ශ්වයක් වන ජනතා විමුක්ති පෙරමුණ පළාත් සභා ක්‍රමය ගැන වෙනම ස්ථාවරයක පසුවන බව පැහැදිලිය. සෙසු දේශපාලන පක්‍ෂවලට ද ඔවුන්ගේ අදහසක් තිබේ. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධානීන් දක්වන පරිදි ව්‍යවස්ථාවේ දහතුන් වැනි සංශෝධනය මගින් ස්ථාපිත කරන ලද පළාත් සභා ක්‍රමය හා එහි මුල් අරමුණු සාක්ෂාත්කරන්නට අසමත් වූ අතර ඒ වෙනුවට යෝග්‍ය පාලන ක්‍රමයක් ඉදිරිපත් කරන බව අවධාරණය කරයි. පළාත් සභා අහෝසි කරන හෝ විකල්ප ක්‍රමයක් ඇති කිරීමේ හෝ ඕනෑම තීන්දුවක දී ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු අතර ජනමත විචාරණයකින් බහුතර තීන්දුවක් අවශ්‍යය.
වගන්තිය වලංගු ද ප්‍රශ්න කළ යුතු පළාත් සභා
උතුරේ හටගත්, රට මහත් විනාශයකට ඇද දමන ලද ත්‍රස්තවාදය විසඳීමේ පියවරක් වශයෙන් පළාත් සභා ක්‍රමය හඳුන්වා දෙනු ලැබීය. ඉන්දු ලංකා ගිවිසුම අනුව කරන ලද දහ තුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් 1987 වසරේදී පළාත් සභා ක්‍රමය මෙරටට හඳුන්වා දී තිබේ. තවත් වසර දෙකකට පසු එය හතළිස් අවුරුද්දක් පැරැණි ව්‍යුහයක් බවට පත්වේ. ආම්භක වකවානුවේ දී ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ප්‍රධාන දේශපාලන පක්‍ෂ ගණනාවක් මෙම ක්‍රමය එක හෙළා ප්‍රතික්ෂේප කළේය. ඉන්දියාව විසින් බලහත්කාරයෙන් පවරන ලද බවට තිබුණ මතවාද එයට බලපෑවේය. උතුරේ ත්‍රස්තවාදය තුරන් කරන අතර වෙනම රටක් ඉල්ලන කණ්ඩායම් දේශපාලනයට ඇතුළු කර ගැනීමේ පියවරක් වශයෙන් මධ්‍යස්ථ මතධාරීහු පළාත් සභා ක්‍රමය හුවා දැක්වූහ. ඉන්දියාවේ ප්‍රාන්ත සඳහා බලය බෙදීම කරන ලද ආකාරයකට සමාන කරන්නට ඇතැම් පිරිස් උත්සාහ කළ නමුත් එය එවැනි විශේෂ බලතල සහිත ව්‍යුහයක් නොවේ.
පළාත් මට්ටමින් වෙනම සුළු ආණ්ඩු පවත්වාගෙන යන පිළිවෙළ ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට ගැළපෙන්නේ නැත. විශාල භූමියක් සහ එකිනෙකට වෙනස් භාෂා කතා කරන, වෙනස් සංස්කෘතික ලක්‍ෂණ දක්වන දැවැන්ත ජනගහනයක් එකට තබා ගැනීම සඳහා ඉන්දියාව සිය ප්‍රාන්ත ආණ්ඩු සංකල්පය ක්‍රියාත්මක කරන නමුත් ශ්‍රී ලංකාවට එය අසාමාන්‍ය තත්වයකි. ඉන්දියාව හා සමානව වෙනම පොලිසි හා අධිකරණ, පළාත් විෂයය සඳහා ස්වාධීන බලතල යනාදී කරුණු ශ්‍රී ලංකාවට ගැළපෙන්නේ නැත. බහුතරයක් පළාත් ආණ්ඩුවලට ස්වාධීන පාලනයක් සඳහා ප්‍රමාණවත් ආදායමක් ලැබෙන මාර්ග ද රහිත තත්වයක් තුළ මෙම ක්‍රමය ප්‍රායෝගික නැත.
කාලානුරූපව ශ්‍රී ලංකාවේ පාලන ව්‍යුහය යාවත්කාලීන කළ යුතුව තිබේ. සිස්ටම් වෙනස් කරන ලෙස ජනතාව කරන ලද මැදිහත්වීම අමතක කර පසෙක තැබිය යුතු නැත. නොගැළපෙන ව්‍යුහයක් නඩත්තු කිරීම අනුචිතය. පළාත් සභා අහෝසි කිරීම හෝ ඒ වෙනුවට ප්‍රයෝගික ක්‍රමය වහාම හඳුන්වා දිය යුතුය. පළාත් සභා ක්‍රමය රටට පනවන ලද ඉන්දියාව, එරට, ජම්මු හා කාශ්මීර ප්‍රදේශවලට ලබා දී තිබූ විශේෂ බලතල 2019 වසරේ දී අහෝසි කළේය. නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා එම පියවර ගැනීමේ දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය ලබාගත් අතර ප්‍රායෝගිකව තීන්දු ගත් බව පෙන්වා දිය යුතුවේ.
ඉන්දියාව සමග උපායශීලී ප්‍රතිපත්තියකට
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහත්වරුන් අතර හොඳ අවබෝධයක් ගොඩනැගී තිබේ. ජනාධිපතිවරයා ගේ පළමු ඉන්දීය නිල සංචාරය සහ ඉන්දීය අගමැතිවරයා කොළඹට පැමිණ පවත්වන ලද රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා දෙරට අතර සබඳතා ඉහළම තලයකට කැඳවා ඇත. කොන්ග්‍රස් පක්‍ෂයෙන් අගමැතිවරයාව සිටි රජීව් ගාන්ධි හා එවකට එක්සත් ජාතික පක්‍ෂයේ නායක ජේ.ආර්. ජයවර්ධන මහත්වරුන් අතර තිබුණ අවබෝධයට සමග වත්මන් තත්වය සැසඳීය හැකිය. ඉන්දු ලංකා ගිවිසුම ඉදිරිපත් කිරීමේ දී ශ්‍රී ලංකාව වෙනම රටක් බවට පත්වීම වළක්වන අරමුණ ඉන්දියාවට තිබුණි. ශ්‍රී ලංකාවේ බෙදුම්වාදය ඉන්දියාව දක්වා ව්‍යාප්තවීමේ අවදානම වළක්වා ගත යුතු වූ බව සැකයක් නැත. උතුරේ ත්‍රස්තවාදය පෝෂණය සඳහා ඉන්දියාව එවකට ආධාර කරන ලද බවට පවතින සාක්ෂි කෙසේ වෙතත් එම ත්‍රස්තවාදය ඉන්දියාවටම තර්ජනයක්වීම වලක්වා ගැනීම පළාත් සභා ක්‍රමයේ යටි අරමුණ විය.
වර්තමානයේ පැතිකඩ වෙනස්ය. එක පැත්තකින් චීනය සමග දේශ සීමා අර්බුදයක සිටින ඉන්දියාව අනෙක් පැත්තෙන් පකිස්තානය සමග අවි අමෝරාගෙන සිටී. කලාපයේ බලවතා දක්වා ගමන් කිරීමේ දී රටවල් එකඟකර ගැනීම අවශ්‍ය කෙරේ. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සහසම්බන්ධතාව ඉතාම වැදගත්ය. පළාත් සභා යන ශ්‍රී ලංකාවට අනවශ්‍ය ඒකකය බැහැර කිරීම සඳහා මතයක් ඇති කරගත හැකි පසුබිමක් තිබේ. ඉන්දු ලංකා ගිවිසුම එවකට බලයේ සිටි ඉන්දීය කොන්ග්‍රස් පක්‍ෂයෙන් පවරා තිබීම සහ ආරම්භයේ සිට එයට එකඟ නොවූ ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය වත්මන් භාරතීය ජනතා පක්‍ෂ ආණ්‍ඩුවට ඒත්තු ගැන්වීම අපහසු නැත.
දහ තුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන අතර එයට විකල්ප සැලැස්මක් රටට තිබෙන බව මෙහිදී රටට අවබෝධ කළ යුතුව තිබේ. අනුර ජනාධිපතිවරයා ඇතුළු දේශපාලන බලවේගය උතුරේ ජනතාවගේ විශ්වාසය දිනාගැනීමට සමත්ව ඇත. පළාත් පාලන මැතිවරණයේ දී එය පලුදු වී තිබේ. පළාත් සභා වෙනුවට පළාත් පාලන ආයතන ශක්තිමත් කරන හා ප්‍රදේශයේ ජනතා නියෝජිතයන්ට තීරණගත හැකි පරිදි ප්‍රාදේශීය බලය ඇති ක්‍රමයක් හඳුන්වාදීම විශ්වාසය තරකරන්නට හේතුවනු ඇත.
මහ ආණ්ඩුවෙන් යැපෙන තවත් ආණ්ඩු
ආර්ථික ද්‍රෘෂ්ටි කෝණයෙන් සලකන පසු පළාත් සභා රටට වාසි අත්කරන්නේ නැත. 2020 වසරේ සියලුම පළාත් සභාවල ආදායම රු. බිලියන 331ක් වන අතර එය දළ දේශීය නිෂ්‍පාදිතයෙන් සියයට 2.21කි. පළාත් සභා නමය දක්වන පරිදි බස්නාහිර හැරුණු කොට ඒවායේ ආදායම්වලින් සියයට අනූපහ ඉක්මන ප්‍රතිශතයක් මධ්‍යම රජයෙන් ලැබේ. බස්නාහිර පළාත රු. මිලියන 23,437ක් උපයන අතර මධ්‍යම රජයෙන් රු. මිලියන 46,322ක් ලබාගෙන තිබේ. මධ්‍යම පළාත මිලියන 36,515ක් මධ්‍යම රජයෙන් ලබාගෙන ඇත. ඔවුන්ගේ ආදායම රු. මිලියන 4,442කි. දකුණු පළාත් සභාව ද රු. මිලියන 33,737ක් ලබාගන්නා විට ඔවුන්ගේ ආදායම රු. මිලියන 5,492ක් බව දක්වයි. උතුරු නැගෙනහිර පළාත් මෙයටත් වඩා ආණ්ඩුවෙන් යැපෙන බව දැක්විය යුතුය.
කෙසේ වෙතත් සෑම පළාත් සභාවක්ම මෙම ආදායම සිය නඩත්තුවට වැය කර තිබේ. බස්නාහිර පළාත් සභාවේ ආදායමෙන් රු. මිලියන අනූනමයක් පමණක් සංවර්ධනය සඳහා වූ අතර ඉතිරි මිලියන 66,941 වැටුප්, සේවා හා නඩත්තු කටයුතු සඳහාය. දකුණු පළාත් සභාව පමණක් වැඩිම කොටසක් එනම් රු. 1,993ක් සංවර්ධනයට වැය කර ඇති අතර ඔවුන්ගේ නඩත්තු වියදම රු. මිලියන 39,790කි.
පළාත් සභා වෙනුවෙන් ජනතාව ගෙවන වන්දිය සැලකිය යුතුය. රජයේ ප්‍රතිපත්ති තීරණ අනුව ජාතිය ගොඩනැගීමේ බද්දෙන් හරියටම තුනෙන් එකක් පළාත් සභාවලට ආපසු යැවේ. මුද්දර ගාස්තු සියයට සියයක් පළාත් සභා ආදායමට බැර කෙරේ. රථ වාහන ලියාපදිංචියෙන් සියයට හැත්තෑවක් හා අධිකරණවල දඩ පළාත් සභාවලට ලැබේ. මෙයට අනුව මධ්‍යම රජය වෙනුවට තවත් වටයකින් මහජනතාවගෙන් යැපෙන රාමුවක් බව ඉතාම පැහැදිලිය. පළාත් සභා අහෝසි කර පළාත් පාලන ආයතන හා මධ්‍යම රජය පමණක් පවත්වා ගැනීමෙන් රටට මහජනතාවට ලැබෙන බදු සහනය මෙහි දී සැලකිල්ලට ගත යුතුවේ.
මැති ඇමැතිවරු තවත් අවශ්‍ය නැත
පළාත් සභා මැතිවරණ වෙනුවෙන් අතිවිශාල ධනයක්වැය කරන්නට සිදුවෙයි. අපේක්ෂකයන් කරන වියදම ද සුළු පටු නොවේ. මෙම ධනය ඉතිරි කරගත හොත් පළාතක් සංවර්ධනය කර ගැනීම අපහසු නැත. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඉහළම මිලක් ගෙවන ආකාරයට ක්‍රමය සකස් වී ඇත. මහ මැතිවරණයකින් ජනතා නියෝජිතයන් 225ක් පත්වන විට පළාත් සභා ක්‍රමය තුළ තවත් නියෝජිතයෝ 450ක් පත් වෙති. පළාත් පාලන ක්‍රමය යටතේ අලුතින් පත් වූ නගර සභා සහ සුළු නගර සභා සඳහා නියෝජිතයන් අටදහස් හත්සිය ගණනකි. ඇමැති තනතුරු, නිලධාරීන් හා කාර්යාල නඩත්තු කිරීමේ පිරිවැය මෙහිදී සලකා බැලිය යුතුවේ. මහජන නියෝජිතයන් සංඛ්‍යාව නැංවීමෙන් පසු රටට අලුත් සංවර්ධනයක් ලබාගත හැකි වී නැත.
2020 වසරේ වාර්තා පෙන්වන මුදල් කොමිසම, පරිදි බස්නාහිර පළාත් සභාවේ සේවක පිරිස පනස් පන්දහසකට වැඩි බව දක්වයි. මධ්‍යම හා දකුණු පළාත්වල හතළිස් පන් දහසක් පමණ වෙති. අනෙක් පළාත්වල ද කාර්ය මණ්ඩලය සෑහෙන පිරිසක් වන අතර හුදෙක් රැකියා අවස්ථා පමණක් බව ප්‍රකාශ කළ හැකිය. රටක පරිපාලනය ඉක්මන් තීන්දු ගැනෙන හා ජනතාවට සහනයක් දැනෙන ව්‍යුහයක් විය යුතුය. පළාත් සභා තවදුරටත් පවත්වාගත යුතු නැති අතර ඒවා අහෝසිකර එම ඒකක වෙනුවට පළාත් පාලන ආයතන ශක්තිමත් කළ හැකිය. අලුතින් පත් වූ පළාත් පාලන ආයතනවල සභිකයන්ගේ වගකීම පුළුල් කරන සැලැසුම් නිර්මාණය කිරීම අපහසු නැත. ජනතාවගේ එදිනෙදා උවමනා එපාකම්වලට ප්‍රාදේශීය සභාවෙන් විසඳුම් සැපයිය හැකිය. සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාවට නැංවීම සඳහා නගර සභාව හෝ ප්‍රාදේශීය සභාව හවුල් කරගත හැකිවේ. තුනෙන් දෙකක බලයක් තිබෙන ආණ්‍ඩුව මෙම පසුබිම අලුතින් හිතන්නට අවශ්‍යය.
(*** සාරා කන්දෙගොඩ)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පළාත් සභා රටට අවශ්‍යද?
L G P J Wednesday, 28 May 2025 07:03 AM
ලංකාවට ගැලපෙන්නේ නෑ.
gamunu Wednesday, 28 May 2025 07:10 AM
දේශපාලකයන් නොමැතිව පළාත් සභාව Civil administration පවත්වාගෙන යාම ඉතාම සුදුසුයි. දැනට පවතින්නේද එසේමයි. දේශපාලකයන් වෙනුවෙන් වියදම්වන බිලියන ගණනක් මුදල් ඉතිරිකර රටේ පාසල් අද්‍යාපනය වෙනුවෙන් පුරවැසියා නගාසිටුවීම වෙනුවෙන් වැය කලහැකියි.
Kalagedihena Thursday, 29 May 2025 11:51 AM
දේශපාලුවෝ නැහැ කියන්නේ කොහොමෙයි... ඒවායේ ආණ්ඩුකාරවර නැත්නම් ආණ්ඩුකාරවරි ඉන්නවනේ එනිසා 1992 ට පෙර (1987ට) තිබුණු තත්වය වඩා හොඳයි... තවත් ක්‍රමයටම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ කර එහි ප්‍රධානි ලෙසට කොට්ඨාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පත්කර (අදාල මංත්‍රී එම ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකුම විය යුතුමයි ) ජනතා මනාපයෙන් පත්වෙන ප්‍රදේශයේ ස්ථිර පදිංචි නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පළාත් පාලන ආයතන ඇතිකලොත් රටේ සංවර්ධනය කරන්න පුළුවන් වේවි..!
mangala Thursday, 29 May 2025 03:56 PM
මහජන මුදල් කන කාළකණන්ණි දේශපාලුවන්ගේ බඩ තර කරන පළාත්සභා ඕනම නෑ...