රජයේ පොහොර සහනාධාර වැඩපිළිවෙළින් කෝටි ගණනක් ගසාකෑ බවට චෝදනා ලැබ සිටින පොහොර සමාගම් හතකට සහ ඊට අනුබල දුන් කොළඹ පෙට්ටි කඩ පහකට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කර ඇතැයි අපි හෙළීකර සිටියෙමු. මෙරට ගසාකෑම් හමුවේ සහනාධාර වැඩපිළිවෙළවල් පවා බේරා ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව පවතින බවට මේ සිද්ධිය කදිම උදාහරණයකි.
ගොවි ජනතාවට සහනයක් වශයෙන් රජයෙන් ලබා දුන් පොහොර මිටියෙන් ගසාකෑමට පෞද්ගලික සමාගම් මේ ආකාරයට ඉදිරිපත් වීම පිළිබඳ අපට දැනෙන්නේ මහත් කනගාටුවකි. එහෙත්, මේ සිදු වී ඇතැයි කියන වංචාවට එවැනි සමාගම්වල සබඳතාවක් තිබීම අහම්බයෙන් සිදු විය නොහැක්කක් බව ද පෙන්වා දිය යුතුය. බොහොමයක් මහා පරිමාණ ගසාකෑම් බලවත් චරිත මගින් හසුරු වන බව ද එම ගසාකන කෝටි ගණනින් කෝටි කිහිපයක් ඔවුන්ගේ සාක්කුවලට ද වැටෙන බව ද ප්‍රසිද්ධ රහසකි.
අදාළ සිද්ධියට හේතු වූ පොහොර සහනාධාර වැඩපිළිවෙළ 2018 වසරේදී ජාතික පොහොර ලේකම් කාර්යාලය මගින් ආරම්භ කෙරුණු ලැබූ ව්‍යාපෘතියකි. ඒ යටතේ මෙරට පොහොර සමාගම් 18කට රුපියල් 2,500 බැගින් ආනයනය කරන ලද පොහොර මිටි ලබා දී ඇත්තේ රුපියල් 1,100 බැගින් ගොවීන්ට අලෙවි කිරීම සඳහාය. එම එකඟතාව කඩ කළ එකී සමාගම්, සහනාධාරය කුණු බක්කියට දමා එක මිටියක් රුපියල් 3,500 බැගින් වෙනත් නිෂ්පාදන සමාගමකට විකුණා ඇතැයි සඳහන්ය. එයින් නොනැවතී තමන් ගොවීන්ට එකී පොහොර මිටි රුපියල් 1,100 බැගින් අලෙවි කළ බවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර මිටියකට රුපියල් 1,400 බැගින් රජයෙන් මුදල් ලබා ගනිමින් තවත් රුපියල් කෝටි ගණනක් ලබාගැනීමට ද එම සමාගම් කටයුතු කර ඇතැයි ද උසාවියට ඉදිරිපත් කළ තොරතුරු මගින් හෙළි වී තිබේ.
මේ ආකාරයට දෙකොණින්ම කෝටි ගණන් මුදල් ගරා ගැනීමට ඉඩකඩ සලසමින් සිදු කළ බව කියන මහා වංචාවක් හෙළි කිරීම අමාත්‍යාංශයේත්, ජාතික පොහොර ලේකම් කාර්යාලයේත් ඉහළ නිලධාරීන්ගේ සහ එම අමාත්‍යාංශය භාරව කටයුතු කළ අමාත්‍යවරුන්ගේත් අනුදැනුමකින් තොරව සිදු විය හැකි ද? මේ තරමට ව්‍යාජ ලෙස සකස් කර ඉදිරිපත් කළ ඉන්වොයිසිවල සත්‍ය බව තහවුරු කරගැනීමට එකී අමාත්‍යාංශයේත්, පොහොර ලේකම් කාර්යාලයේත් නිලධාරීන් අසමත් වීම පිළිබඳව විශේෂයෙන් සොයා බැලිය යුතු නොවේ ද? එම පොහොර ව්‍යාපෘතිය සම්බන්ධව විගණන වාර්තා මගින් ප්‍රශ්න කර ඇති බවක් ද වාර්තා නොවේ. එසේ නම්, මේ මහා පරිමාණ වංචාව සැලසුම්සහගත ලෙස දියත් කර, එයින් ගෙඩි පිටින්ම ලාබ බෙදා ගැනීමට බලධාරීන් පිරිසක් කටයුතු කර ඇති බවට සාධාරණ සැකයක් පහළ වෙයි. එසේ නැති නම්, පෙට්ටි කඩවලින් ලබාගත් ඉන්වොයිසිවලට කෝටි ගණන් මුදල් ගෙවීමක් සිදු විය නොහැක.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරුන් වශයෙන් කටයුතු කළ සුමේධ පෙරේරා සහ රුවන් චන්ද්‍ර යන මහත්වරුන් රහස් පොලිසියේ මූල්‍ය අපරාධ විමර්ශන අංශයට කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇත. අප මේ නිලධාරීන් දෙදෙනාගේ නම් දෙක විශේෂයෙන් සඳහන් කරන්නේ, ඔවුන් මේ වංචාව සම්බන්ධව කරුණු සොයාගෙන, ඒ පිළිබඳව නොබියව ගත් පියවර අගය කිරීමක් වශයෙනි. කෙසේ වුව ද, අදාළ වංචාව සිදු වූ කාලසීමාවේ කෘෂිකර්ම අංශය භාරව සිටි නිලධාරීන්ට සහ මැති ඇමැතිවරුන්ට ද මෙහි වගකීමක් තිබෙන බව ද පැවැසිය යුතුය. ඔවුන් සියලු දෙනා මගහැර එම වංචාව පිළිබඳ සොයා බැලීම පලක් නොවේ. එයින් සිදු වන්නේ සිද්ධිය යට ගැසීමට අනුබලයක් ලැබීම පමණි. මේ වංචාවට සම්බන්ධ සියලු දෙනාට තරාතිරම නොබලා දඬුවම් ලබා දීමට ආණ්ඩුව වහාම පියවර ගත යුතුය. මෙවැනි වංචා බාධාවකින් තොරවම සිදු විය හැක්කේ චෞර රාජ්‍යයක් තුළ පමණි. ශ්‍රී ලංකාව එසේ විය යුතු නැත.
(***)

2025 නොවැම්බර් මස 04
119
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2040
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1569
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොහොර ටිකෙනුත් ගසාකන මොවුන්ට දඬුවම් නැද්ද?